අතීතකාමය, විශේෂ

මව් කිරි

Off

තව මාසයක් ගියාම මොකක්ද අප්පා කරන්නේ….සුමානෙක වෙලාවේ ඉඳන් තිලක්ගේ යටි හිත ඔය සිතිවිල්ල උඩ දදා ඉන්නේ. කොළඹ තනිවෙලා, පාරක් තොටක් තේරෙන්නෙවත් නෑ. බාප්පලාගේ උදව්වක් උපකාරයක් ඇරෙන්න අවවාදයක් අහගන්නවත් කෙනෙක් නෑ.

කාන්තිගේ මූණයි, කිරෙන් පිරිච්ච පපුවයි පොඩී එකීගේ අතපය උඩ දැමිමයි දකිනකොට ආපහු ඒ සිතිවිල්ල ලිඳට වැටිච්ච පොල් ඇට්ටියක් වගේ ජබුස් ගාල යට යනවා…. මුලු ඇනෙක්සිය පුරාම තියෙන්නේ කෙළීගෙ ඇඳුම් හෝදලා වැනුවාම එන ලේ මුසු කිරි සුවඳ….අවුරුදු 21ක් වෙනකොට මේ සුවඳ අයිතිකරගන්න වාසනාවක් තියෙන්න ඕනිය කියලා පුංචිඅම්මා කිව්වට වයසට වඩා බර උහුලලා තියෙන තිලක්ට මේ හැමදේම දැනෙන්නේ සාක්කුවෙ තියෙන මාරුකාසි ගානට කරන්න පුලුවන් දේවල් වලින් එහා තියෙන අනිත් ඒවා වගේ. එහෙම දැනෙනකොට කිරි සුවඳට වඩා ලේ සුවඳ ඉස්සරවෙනවා කියලමයි තනියම හැම වෙලාවෙම කථා කරනකොට තිලක් කියාගන්නේ.

ඉස්කෝලෙන් අස් උනේ ඊයෙ පෙරේදා වගේ දැනුනාට කැම්පස් එකෙන් අවුට් වෙලත් දැන් අවුරුද්දක් ගිහින් නේද කියල තිලක්ට හිතුනේ ගිය මාසේ අන්තිම කැම්පස් සීසන් එකක් ගන්න බාප්ප හම්බවෙන්න ගියාම. ඒකටත් රුපියල් පනස් දෙකක් නැතිව හංදියේ ජිනන්දගෙන් ලෝන් එකක් ඉල්ලගන්න උනා නේදැයි කියල හිතෙනකොට අපරාදේ ඒලෙවල් පාස් උනේ කියලමයි තිලක්ට හිතෙන්නේ. ඉරඔට්ටුවක් ගහගෙන ජීවත්වෙන්න තිබ්බා කැම්පස් නොගියානං.

අම්මට ලියුමක්වත් ඇරියේ නැත්තේ ලැජ්ජාවට. ඊටත් වඩා බයට. කැම්පස් එකෙන් එලියට එනකොටත් කාන්ති එක්ක අවුරුදු දෙකක් විතරම යාලුවෙක්ගේ කාමරයක් අරන් හිටිය නිසා හීනෙකින්වත් හිතුවේ නෑ බබෙක් හම්බවෙන තැනට වැඩ සිද්ධවෙයි කියලා. ඉස්සරවෙලාම කාන්තිව අම්මට එක්කන් ගිහින් පෙන්නුවේ දෙන්නාම දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට, අම්මානම් දැක්ක හැටියේ කාන්තිට කැමති උනා. ඒත් තාම මතක් වෙන්නේ අම්ම ඇවිත් කාර් එකේ දාගෙන ගිහින් දෙන්නව බන්දපු දවස. උඹලා ඔහොම ඉඳලා ලමයි හදා ගත්තාම උන්ගේ උප්පැන්නේ අවජාතක කියල දාන්න වෙන්නේ කියල රෙජිස්තාර් ගාවට ඇදගෙන ගිහින් අස්සන් ගැස්සුවේ තිලක්ගේ අම්මා. කාන්තිගේ අම්මලාට එයා තාම පොඩි ලමයෙක් කියල හිතෙන්නැති කරදර නොකරේ. කැම්පස් එකට කාන්තිව බලන්න ආවේත් අයියා විතරමයිනේ.

තිලක්ට මතක් වෙන්නේ කාන්ති බොහොම අමාරුවෙන් පොඩි පොඩි රෙදි කැලි ගෙනල්ලා පොඩි එකීට බේබි ඇදුම්, නැප්කින් එහෙම මහගත්ත හැටි. එයානම් දැන් අම්ම කෙනෙක් වගේමයි. ඒත් තිලක්ට තාත්තා කෙනෙක් වගේ හිතෙන්නේ නැත්තේ ඇයි කියල හිතෙනකොට මොකක්දෝ මහ කාලකන්නි දුකක් හිතට එනවා. තාත්තා කෙනෙක් වෙන්න ගොඩක් වයසට යන්න එපැයි කියලමයි තිලක්ට හිතෙන්නේ.

අද සෙනසුරදා නිසා හිතන්න වෙලා වැඩියෙන් තියෙන එකත් මහ කරදරයක් නේදැයි කිය කිය ඉන්නකොට තමයි එක පාරටම රත්නායක මාමලගේ කලු පාට ෆොර්ඩ් ප්‍රිෆෙක්ට් එක ඇනෙක්ස් එක ඉස්සරහා ගෙදර මිදුලට හැරෙව්වේ…

අම්මා…

කාරෙකෙන් බහින අම්මාගේ මූඩ් එක කචල් බව තිලක්ට දැනුනෙන් විදුලියක් වැනි දෙයක් පිට කොන්ද හරහා ඇවිලී ගියේ කාන්ති මෙන්න අම්මා ඇවිල්ලා යයි කියද්දීමයි. කාන්ති දරුවාව දෑතින් ගෙන අම්මාට දුන්නේ මහා ලොකු ප්‍රාතිහාර්යක් කල අයුරින්. ඈ කොහොමත් අම්මාට ආදරේ බැව් තිලක් දනී.

“හප්පේ මයේ කෙල්ලට මේ අම්මයි තාත්තයි සලකනවද දෝනියී…..”

අම්මා දරුවා හුරුතල් කරන්නේ ප්‍රශ්න අසමිනි.

“අම්මියා ඔයාට කුක්කු දෙනවද පැටියො…”

“කෝ මේ දරුවගේ තට්ටම් දෙකම රතුවෙලානේ. ඇයි ලමයො රත ගාය හැදෙනවා පොඩි අයට කියල දන්නේ නැද්ද..”

තිලක් කාන්ති ගේ මූණ බැලුවේ අනේ මමනම් ඕවා දන්නේ නෑ යැයි කියනා අන්දමිනි….

“මම තාත්ත එක්කත් කතා කරලයි අද ආවේ. ඔය දෙන්නට මේ ලමයා හදන්න දන්නේ නෑ. මම ලමයා අරන් යනවා ගමේ. කාන්ති ආයේ වැඩට යන්නත් ඕනිනේ. ඔය ඇඳුම් කෑලි ටික ලේස්ති කරලා දෙන්න දුවේ…”

“අනේ අම්මේ මම තාම දූට කිරි දෙනවා. මට නිවාඩුත් තියෙනවා තව මාසයක්…”

කාන්ති එහෙම කිව්වට අම්මාගේ තරම දැනගත් තිලක් පොඩි එකීගේ ඇඳුම් මල්ලකට දාන්නට පටන් ගත්තා.

‘අනේ තිලක් කොහොමද මම මේක කරන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද. දූ නැතිව අපි කොහොමද ඉන්නේ..”

තිලක් කිසිවක් නොකියා ඇඳුම් බෑගය රැගෙන කාර් එක වෙත ගියේ කෙසෙල් කොටයක් ලෙසින්. දරුවා රැගත් වාහනය කන්ද බැස යන අයුරුත්, ඒ පසු පස වැලහින්නියක් සේ විලාප නගමින් දුවන කාන්තිත් බොඳවෙමින් පවතින දැසින් බලා සිටන තිලක්ගේ පපුව හිරවෙනවාත් උගුර වියලී යනවාත් කකුල් පන නැතිවේගෙන එන බවත් දැනුනි….

“තිලා…ඒයි…තිලා…මොකෝ මේ මෙච්චර හීතලේ ඔයාට දාඩිය දාලා..අන්න දූගේ නම කිය උනා…අර අර.. බලන්න එයා තමයි ඊලඟට ස්ක්‍රෝල් එක ගන්නේ…ලමයෝ..තිලා…”
ආචාර්ය උපාධිය සඳහා අවුරුදු හතක් එක්සත් රාජධානියේ ඉගෙනගත් කෙල්ලගේ අද උපාධි ප්‍රධානෝත්සවය නේදැයි තිලක් ට පසක් උනේ කාන්තිගේ මොර දීමෙනි.

අම්මා කෙනෙක් හැටියට ඇය අද උදම් අනන්නී….තාත්තා කෙනෙක් හැටියට තමාට කොච්චර හංගාගත් දේවල් අරන් යන්න ඇද්දයැයි සිතමින්, අනෙක් සුද්දන් මෙන් තිලක්ද දකුනතේ දබරගිල්ලත් මහපටගිල්ලත් කටේ තද කරගෙන විසිල් එකක් ගැහුවේ යට ගියාව ඔහේ තිබෙච්චදෙන් මා ලඟම කියා තමාටම කියාගනිමින්ය ….
පිදුම දියනියට…..
නිමිත්ත: ප්‍රාජේ සමග කල කතාබහක ප්‍රතිපලයක්…

http://chef-archiect.blogspot.co.uk/2015/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල