ඉතිහාසය

දෙසීය, මහාචාර්ය සිඩ්නි ස්මිත් සහ සතාසිවම්

Off

අද පළවන්නේ මගේ අතින් ලියැවෙන දෙසිය වන පෝස්ටුවයි.පෝස්ටු දෙසීයක් ලිවීම එපමණ උදම් අනන්නට දෙයක් දැයි සමහරවිට මටම සිතේ.එහෙත් දළ පෝස්ටුවක් ලිවීමට හා ඒ පෝස්ටුව සුද්දකර ඔපදමා හැඩකර එළිදක්වන්නට ගන්නා වෙහෙස ගැන සිතනවිට ඒ ගැන තරමක පුරාජේරුවක් කීමද වරදක් නැතැයි අවංකවම සිතමි.දෙසීයක් සම්පූර්ණ කරගැනීම සඳහා මට අවුරුදු තුනකට බෙහෙවින් ආසන්න කාලයක් ගතවී ඇත.එනම් ලබන මාසයට හෙවත් නොවැම්බරයට මේ බ්ලොගය අවුරුදු තුනක් සපුරන නිසාය.(උඩින් පල්ලෙන් කියවා වසර තුනටද සුබ පැතීමෙන් වලකින්න) එදිනට මා තරමක විස්තරාත්මක ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටිමි. මුලින්ම වසර තුනේ සංවත්සරය හා ලිපි දෙසීය එක දිනකට යොදාගන්නට අදහස් කරගෙන සිටියත් එසේ කරන්නට ගියහොත් 199 හා 200 ලිපි දෙක අතර සෑහෙන තරමක පරතරයක් ඇතිවන නිසා ඒ ගැන නොසිතා සාමාන්‍ය පරිදි ලිපි පළකරන්නට සිතුවෙමි.

බ්ලොගය ආරම්භ කළ සමයේ මා උත්සාහ කළේ වැඩි ලිපි ප්‍රමාණයක් පළකරගැනීමටය.ඒ හේතුවෙන් ලිපිවල ගුණාත්මක භාවය ගැන එතරම්ම සැලකිල්ලක් නොදක්වුයෙමි. අද මට සිත් තැවුලක් ඇතිවන්නේ ඒ ලිපි අද පළකලේ නම් මීට වඩා හොඳින් ලියාගන්නට තිබුනා නොවේදැයි සිතෙන විටදීය.නමුත් පසුකාලීනව ප්‍රමාණයට වඩා අන්තර්ගතයේ ගුණාත්මක භාවය පිළිබඳව බෙහෙවින් සැළකිලිමත් වුනෙමි.එහෙයින්ම ලියන වේගය අඩුවන්නට විය.ලියන්නට පටන්ගත් දිනයේ සිට මේ අවුරුදු තුනකට ආසන්න කාලය තුළ මගේ අතින් ලියවෙන දේවල් කෙමෙන් අඩුවෙමින් යන්නේ ඒ නිසාය.දැන් මා ලිපියක් සකස් කර ගැනීමට දින කීපයක්ම ගතකරමි.බොහෝ වාරයක් කපා කොටා අඩු වැඩි කරමින් පළකිරීමට සුදුසු යැයි සිතන මට්ටමට එන තුරුම වෙහෙසවෙමින් කල් මරමි.ඊට හේතු කීපයක් ඇත.මා වෙහෙසවී ලියන තරමට කියවන අයට වෙහෙසකින් තොරව කියවන්නට ලැබීම එකකි.අනෙක් කාරණය වෙනත් බ්ලොග් රචකයන් කරන වැරදි නිවැරදි කිරීමට මම නිතරම උනන්දු වන නිසා මා ලියන දෙය නිවැරදිව තිබිය යුතු වීමයි.

මෙහිදී මට තරමක් පැරණි කතාවක් මතක්වේ.බ්ලොග්කරණයට මා පිවිසි මුල් අවදියේ එවකට සිටි පළපුරුදු බ්ලොග් කරුවෙකුගේ ලිපි දෙක තුනක අඩුපාඩු පෙන්වා දුනිමි.ලැබුණු පිළිතුර බෙහෙවින් කර්කශ හා නොරුස්සන සුළු එකක් විය.හේතුව වුයේ ඔහු වැනි ප්‍රවීනයෙකුගේ ලිපිවල අඩුපාඩු පෙන්වීම ආධුනිකයෙකු වූ මට තරම් නොවන බවට ඔහුගේ සිත්හි වූ හැඟීමයි. ඒ බ්ලොග්කරුවාටත් වඩා ජ්‍යෙෂ්ට වූද හොරෙක්,මංකොල්ලකරුවෙක් හා දේශප්‍රේමියෙකු වූ තවත් බ්ලොග් රචකයෙකුගේද වැරදිද එදා මෙන්ම අදත් මම පෙන්වා දෙමි.ඒ පෙන්වා දෙන්නේද ඔහු දිගින් දිගටම වැරදි කරනවා යැයි බැන වදිමිනි.ඔහු ඒ වැරදි හිස් මුදුනින් පිළිගෙන නිවැරදි කරන්නට තරම් නිහතමානී වනවා පමණක් නොව මට කිසිසේත්ම අවශ්‍ය නොවුවද සිය කණගාටුවද පළකරයි.ඒ ඔහුගේ හැටිය මේ මොහුගේ හැටිය.

ඉතින් ඔවැනි නොයෙකුත් කාරණා හේතුවෙන් දැන් මා අතින් ලියැවෙන්නේ බෙහෙවින් අඩු ලිපි ප්‍රමාණයකි.එසේ වුවද මගේ බ්ලොගයේ පාඨකයන්ට හොඳම දේ අඩුවක් නොමැතිව ලබා දෙන්නට නිතරම වෙහෙස ගනිමි.”අප පිළිබඳව විශ්වාස කරන විට අපට ඇති වගකීම්ද ඉහළ යයි”. මා මේ පාඨය උපුටා දැක්වුයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශ්‍රීමත් සිඩ්නි ස්මිත් ලියු “Mostly Murder” නම් පොතෙනි.ඒ පොත “ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්” නමින් කොටස් දෙකකින් 1998 දී සිංහලට පරිවර්තනය විය.මේ පොත ගැන වරක් මගේ බ්ලොගයේදී කෙටි කතාබහක් ඇතිවුවද එය දිග දුර ගියේ නැත.පොත ගැන කතාකළේ ශ්‍රීනාත්ය.ඔහුට පිළිතුරු වශයෙන් තවත් කෙනෙක් කියා තිබුණේ මහාචාර්ය සිඩ්නි ස්මිත් ඔහුගේ පොතේ ලංකාවේ සිදුවූ සතාසිවම් මිනීමැරුම ගැන ලියා තිබුනද එහි තීන්දුව අපැහැදිලි බවයි.ඒ නඩු විභාගය පැවැත්වුනේ බොහෝවිට 1953 වර්ෂයේදී වියහැකිය. ඒ මිනීමැරුමට කිසිවෙක් උසාවියේදී වරදකරුවකු නොවීම නිසා ඔහු එසේ කියන්නට ඇත.නමුත් කතාව ප්‍රවේශමෙන් කියවන විට මිනීමරුවා කවුද යන්න අපට මහ දවල් මෙන් පැහැදිලිවේ.එතැනදීද ලංකාවේ පොලීසිය මිනීමරුවා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ කටයුතු කිරීම හේතුවෙන් මිනීමරුවා කිසිම දඬුවමක් නොලබා රජයේ සාක්කි කරුවෙකු වී නිදහස් ව ගෙදර ගියේය.මිනීමැරුමට සැක කළ ලංකා ක්‍රිකට් නායක මහාදේවන් සතාසිවම් ද නිදහස් විය.වංගෙඩිය මිනීමැරුවා යැයි සුප්‍රසිද්ධ කියමන ඇතිවුයේ මේ නඩු තීන්දුවෙන් පසුවය.මහාචාර්ය සිඩ්නි ස්මිත් ලියා ඇති මේ කතාව නොදන්නා අයගේ දැනගැනීම සඳහා උපුටා දක්වන්නට ඇත්නම් හොඳයැයි මට සිතේ.

මතකය අලුත්කර ගැනීම සඳහා මම නැවතත් ඒ පොත්දෙක කියවුයෙමි.එහිදී මට පෙනීගිය කරුණක් වුයේ මහාචාර්ය සිඩ්නි ස්මිත් අධිකරණ වෛද්‍ය විශේෂඥයා හාස්‍ය රසයට බෙහෙවින් ප්‍රිය කළ අයෙක් බවයි.පොතේ කතාවල තැන තැන ඔහු ලියා ඇති අතුරු කතාවලින් ඒ බව හොඳින් පැහැදිලිවේ.මහාචාර්ය ස්මිත් කලක් ඊජිප්තු රජයේ ආරාධනයෙන් එරට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස සේවය කළේය.එකල ඔහු සාමාන්‍ය ඊජිප්තු ජන ජීවිතය ගැන ද හොඳින් අධ්‍යයනය කර ඇත.එක කතාවකදී ඔහු ලියන මේ කොටස උපුටා දැක්වීමට කැමැත්තෙමි.

“එකළ ඊජිප්තු කාන්තාව බාහිර ලෝකයා විසින් මුළුමනින්ම අමතක කළාවූ අයෙකු වූ අතර ඇගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් පැහැර හැර තිබුණි.ජීවිතයේ උගත යුතු මුලික දේ පවා ඇයට අහිමිවී තිබිණි.පොදු සමාජීය කටයුතුවල දී ඇය දකින්නට ලැබුණේ ඉතාම කලාතුරකින් වූ අතර එසේ පැමිණි අවස්ථා වලදී පවා ඇය සිටියේ මුහුණ ආවරණය කරගෙනය.ගම්බද කාන්තාවන් පැළඳ සිටි මුඛවාඩම ඝණ කළු රෙද්දෙන් නිමවා තිබු අතර නැහැය පෙදෙසට තඹ ආවරණයක් සවිකර තිබුණේ පෙනුම තවත් අවලක්ෂණ කිරීම පිණිසය.පිරිමියෙකු විසින් තම මුහුණ දැකීම ඔවුන් පිළිගෙන තිබුණේ අන්ත ලජ්ජාශීලී කරුණක් ලෙසිනි.මේ නිසාය මුහුණ විවෘත කරගෙන දියනාමින් සිටි එක් ගම්බද කාන්තාවක් අනපේක්ෂිතව තමන් දෙසට එන පිරිමියෙකු දුටු වහාම හිටි උසටම තම හැඳිවත ඔසවා මුහුණ වසාගත්තේ. ඇයට උවමනා වුයේ පිරිමි නෙත්වලට තම මුහුණ හසුවීමේ විශාල ලැජ්ජාවෙන් ගැලවීමටය.අනෙක් අවයව ප්‍රදර්ශනය වීම පිලිබඳ ඇය තැකීමක් නොකළාය.”

නැවතත් සතාසිවම් පිලිබඳ කතාවට එමු.මහාදේවන් සතාසිවම් ගැන අප බොහෝ දෙනෙක් අසා නොමැති බවට සැකයක් නොමැත. 1915 වර්ෂයේදී ඉහළ පංතියේ ද්‍රවිඩ පවුලක උපතලද සතාසිවම්ගේ සුරතල් නාමය සතා විය. ඔහු 1940 දශකයේ සිට 1960 දශකය දක්වා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අතර 1948 දී ලංකා ක්‍රිකට් පිලේ නායකයාද විය.1941 දී සතාසිවම් විවාහ වුයේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිබිරියක වූ පරිපූර්නම් ආනන්දම් රාජේන්ද්‍රා මෙනවිය සමගය. ඒ විවාහයෙන් ඔවුන් දියණියන් සිව්දෙනෙක්ගේ දෙමාපියන් බවට පත්වුහ. වසර දහයක පමණ කාලයක් පවුල් ජීවිතය ගතකළ පසු පවුලේ සමගිය බිඳ වැටුණු අතර සැමියා ද්වේෂ සහගත ලෙස තමා හැරගිය බව පවසා සතාසිවම් මහත්මිය දික්කසාද නඩුවක් පැවරුවාය. නඩු කටයුත්ත පවතිද්දී 1951 දිනෙක සතාසිවම් මහත්මිය මියගිය අතර බිරිය මරාදැමීමේ චෝදනාව මත සතාසිවම් අත්අඩංගුවට ගන්නා ලදී. කතාව ඇරඹෙන්නේ සහ මහාචාර්ය සිඩ්නි ස්මිත් කතාවට සම්බන්ධ වන්නේ එතැන් පටන්ය.සතාසිවම් මහත්මියගේ අබිරහස් මරණය රටම කැළඹු පුවතක් විය. මිනීමැරුමට සැකපිට ඇයගේ ස්වාමිපුරුෂයා වූ සතාසිවම් අත් අඩංගුවට ගත් දිනයේ සිටම පොලිසිය මෙන්ම මුළු මහත් ලාංකික ජනතාවම සතාසිවම් වරදකරු කොට තීන්දුව දී අවසානය.ඉතිරිව තිබුණේ ඔහු එල්ලා මැරීමට අධිකරණ තීන්දුව ලබාගැනීම පමණකි. තත්ත්වය එසේ තිබියදී ලෝ ප්‍රකට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ මහාචාර්ය සිඩ්නි ස්මිත් විත්තිය වෙනුවෙන් විශේෂඥ සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්වීම ලංකාවාසීන්ගේ පැන්ටසියට එල්ලවූ මරු පහරක් විය.ඒ ගැන මහාචාර්ය ස්මිත්ට සාප කරමින් ලාංකික ජනතාව හැසිරුණ ආකාරය ඔහු තම කෘතියේ උපහාස මුඛයෙන් සඳහන් කරයි.

සතාසිවම් රටවල් තුනක ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ එකම පුද්ගලයාද වියහැක.ඔහු පිළිවෙලින් ලංකාව,සිංගප්පුරුව සහ මලයාසියාව යන රටවල් තුනේම ක්‍රිකට් කණ්ඩායම් වලට නායකත්වය ලබාදී ඇත.මා උඩින් පළකර ඇති ගුගල්වලින් ගත් ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකා ක්‍රිකට් නායක සතාසිවම් ඕස්ට්‍රේලියානු නායක ඩොන් බ්‍රැඩ්මන් සමග කාසියේ වාසිය සඳහා වනාතමුල්ලේ ඕවල් පිටිය මැදට පියමනින ආකාරයයි.බොහෝවිට ඒ 1948 වර්ෂය විය යුතුය.පසුබිමේ දැක්වෙන ක්‍රීඩාගාර නිසා පිටිය හඳුනා ගැනීමට පහසු වන්නේ ඕවල් පිටිය අදද ඔය ආකාරයෙන්ම පවතින නිසාය. සතාසිවම් ස්ටෑන්ඩ් නමින් ඕවල් පිටියේ ක්‍රීඩාගාරයක් නම් කර ඇති ආකාරය මා පසුගිය දිනෙක රූපවාහිනියෙන් දුටුවෙමි෴

බ්ලොගය – හැළපයා  ගේ අඩවිය

http://helapakade.blogspot.co.uk/2015/10/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල