විශේෂ, සඳැස් / නිසඳැස්

තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ……..

Off

පළවෙනියට ම ඔෆිස් ගිය දා
රස්සාවත් එපා කරවං 
ඔෆිස් එක පුරා ඔරවං හිටපු
නාකි මූණු හිතුවේ 
මං උංගේ රස්සාව හොරකං කරා කියලා ……….

වෙනම කාමරයක හිටියාට

මොකක් දෝ ලෙංගතුකමක් 
හෘදයාංගම කමක් එක්ක හිනාවුණ
එකම එක මූණක් තිබුණා
කට්ටියගේ ම අාමන්ත්‍රණය වුණේ විජේ අයියා……..

වැඩ පටං ගන්න කලින් ම 

බ්‍රීෆ් කේස් එකේ හංගන් එන
බුලත්, පුවක්, හුණු ගුලිකරලා
විටක් හපන්න පටං ගන්න ගමන්
මේක නැතුව බෑ බං කිව්වේ විජේ අයියා ………

හරියට ම අවුරුදු විස්සක් 

බාල මම උඹ වෙද්දි  
තාත්තට වඩා අවුරුදු කීපයක්
අඩු දෙදරු පියෙක් වුණාට
මගේ කටින් කියැවුණෙත් විජේ අයියා……..

උඹව දුරින් තියලා වැඩක් නැහැ

මං ලියුමක් හදලා දැම්මා
හෙට ඉදලා හෙඩ් ඔෆිස් වරෙං
මං කොහෙද එතකොට ඉන්නේ
මගේ මේසේම හිටපං යකෝ මං විජේ අයියා……. 

මෙන්න බං කලු අලකොළ

තෙල්දාපු දෙල් එක්ක කෙහෙල්මුව 
පියනට මාලු අයින් කරන්නේ මට
කාලා ඉවර වුණ ගමන් අල්ලපු කඩේට 
කෙහෙල් අැවරිය ම ගත්තෙත් විජේ අයියා…….

අර වැඩේ හරි මං තේරුණා

අම්මපා උඹ ගැලපෙන්නේ ඒකට
උඹට හොද ගමනක් තියෙනවා
මං මේවා මොනවා හරි කරගන්නම්
තාත්තා වගේ ම සතුටුවුණ කෙනා විජේ අයියා……

මට සද්දේ දාපු උන්ට පේන්න

ගණන් ගත්තේ නැති උන්ට දැනෙන්න
දෙතුන් ගුණයක් වැඩි පඩියකට 
මහා පොරක් වගේ පිටවෙලා අාවාට
තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ……..

තුෂාර විතාරණ

http://kurutugegeepawra.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල