සාහිත්‍ය කළා විචාර

රුසියන් ප්‍රහාර සහ බටහිර මාධ්‍ය (බුද්ධික තාඹුගල)

Off

මේ, සිරියාවේ අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන රුසියන් ප්‍රහාර හා ඒ සම්බන්ධව බුද්ධික තාඹුගල විසින් මුහුණු පොතෙහි තැබූ අගනා සටහනකි.

රුසියන් හමුදාව සිරියාවේ අයිසිස් ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ගල් ගිලපු තත්ත්වයකට පත් ව ඇත. පෙන්ටගනයට, නේටෝවට සහ සී.අයි.ඒ සංවිධානයට අනුව නම් රුසියාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට නොව “මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්ට” ය. සිරියාවේ “මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්” කීදෙනෙක් ඉන්නවාදැයි ඇසූ විට ඔවුන් කියන්නේ “සීයක් හමාරක් ඉන්නව, අපි ට්‍රේන් කරපු අය” කියායි. ඇමෙරිකන් ස්ට්‍රැටජිය වන්නේ මේ “මධ්‍යස්ථ මතධාරීන්” ලවා අසාද් රජය පෙරළා ඉන්පසු අයිසිස් සංවිධානය විනාශ කිරීමලු.

බටහිර මාධ්‍ය වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා රෂියා ටුඩේ චැනලය පවසන්නේ ඊනියා මධ්‍යස්ථ මතධාරියෙක් හොයා ගැනීමට නොහැකි අතර රුසියන් ගුවන් හමුදාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට බවයි. රුසියන් ප්‍රහාර වලට දාර්ශනික ලෙස විරුද්ධ වන ඇතැම් බටහිර හිතවාදියෙක් පවසන්නේ පූටින්ගේ අභිප්‍රාය අයිසිස් සංවිධානය විනාශ කිරිම නොව අසාද් රෙජිමය ආරක්ෂා කිරිම බවයි. මේ අවුල ලිහාගන්නේ කෙසේ ද?
(සැ.යු : මෙය ලියන මා කිසි ලෙසකින් රුසියන් හිතවාදියෙක් නොවේ. රුසියාව යුක්‍රේනයේ කැරළිකරුවන්ට ආයුධ දී නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කරද්දී, ක්‍රිමියාව ආක්‍රමණය කර බලහත්කාරයෙන් ඈඳාගනිද්දී ඊට දැඩි ලෙස විරුද්ධ වූයෙමි. සෝවියට් සමයේ දශක හතරක් පුරා නැගෙනහිර යුරෝපය සහ ජර්මනියේ කොටසක් යටත් කරගෙන රුසියානුවන් විසින් කරන ලද මිනිස් සංහාර බටහිර කිසිම කලෙක කර නැත. රුසියානු ව්‍යාප්තවාදයට වැට බැඳීමේ ඇමෙරිකානු සහ නේටෝ උත්සාහයන් අගය කළෙමි. දැනුත් අගය කරමි ) එහෙත් සිරියානු අර්බුදය ඇති කළේ රුසියානුවන් ද?

මුලින්ම අපි “පූටින් කරන්නේ අවස්ථාවාදී වැඩකි” යන දාර්ශනික ප්‍රශ්නය සලකමු. රුසියාව කරන්නේ අවස්ථාවාදී වැඩකි. ආයෙ ඒකෙ දෙකක් නැත. ඔවුන්ට උවමනා අසාද් රෙජිමය රැක ගැනීමට ය. එහෙත් අවස්ථාවාදී නැත්තේ කවුද? සුමනසිරි බේකරියෙන් පාන් ගන්න ඔබ “අයිසෙ සුමනසිරි, තමුසෙ මේ පාන් හදන්නෙ අපිට ආදරේටෙ නෙමෙයි තමුසෙ සල්ලි හොයන්ඩ නේද?” කියා අසන්නේ නැත. අප පාවිච්චි කරන බොහෝ භාණ්ඩ සහ සේවා කිසිවෙක් තමන්ගේ “ආත්මාර්ථකාමී උවමනාවට” නිමවූ ඒවා ය. නැතුව අපිට ආදරේට හදපුවා නොවේ. සිරියාවට පහරදීමේ දී රුසියාව කොතරම් ආත්මාර්ථකාමී වුවත්, එම ප්‍රහාර වල අවසාන ප්‍රතිඵලය ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ වීමයි. අසාද් ශාන්තුවරයෙක් නොවේ. රුසියන් හිතවාදී ආඥාදායකයෙකු වන ඔහු සුන්නි සිරියානුවන් ඔහුට විරුද්ධව නැගී සිටි විට ඔවුන්ව අමානුෂික ලෙස මර්දනය කළේ ය. කල දුටු කළ වල ඉහගත් ඇමෙරිකාව එවකට “මධ්‍යස්ථ මතධාරී” සුන්නි කණ්ඩායම් වෙත ආයුධ ලබා දී අසාද් රජයට විරුද්ධව මෙහෙයවූයේය.

වසර දෙකකට පසු අපට අයිසිස් සංවිධානය ගැන අසන්නට ලැබේ. සිරියාවේ සහ ඉරාකයේ විශාල පදාසයක් එකවර ආක්‍රමණය කරන අයිසිස් ත්‍රස්තයන් නොබෝ කලකින්ම ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යන කිරුළ දරයි. ඔවුන්ගේ දරුණුකම කොතෙක් ද යත් තලිබාන්වරු පවා ඔවුන්ගෙන් වෙන් ව යයි. කාන්තාවන් වහල් වෙන්දේසියේ විකිණීමේ සිට අහිංසක විදේශිකයන්ගේ ගෙල කපා මරා යූටියුබ් දැමීම දක්වා ලොව ඇති තරමක් කුපාඩි වැඩ කරන අයිසිස් කල්ලිය මැදපෙරදිග “ඉස්ලමික කලිෆේට් රාජ්‍යයක්” බිහි කිරීම තම අරමුණ බව පවසයි. මේ කර්තව්‍යය උදෙසා අයිසිස්වරු ඉරාකයේ සහ ජෝර්දානයේ ඇමෙරිකන් හිතවාදී රජයන්ටත්, ඉරානයේ බටහිර විරෝධී රජයටත්, තුර්කියේ කර්ඩිෂ් ජාතිකයන්ටත්, යුදෙවුවන්ටත්, ඇමෙරිකාව විසින් පලවා හැරීමට උත්සහ ගත් සිරියාවේ අසාද් රජයටත් විරුද්ධව භේද නැතුව, ලෝස් නැතුව සටන් වදියි.

අන්තිමේ සිරියාවේ ඉතුරු වන්නේ අසාද් රජය, අයිසිස් ත්‍රස්තයන් සහ ඒ දෙකොටසට මැදි වූ සාමාන්‍ය ජනතාව පමණි. ඇමෙරිකාව විසින් ආයුධ සපයන ලද ඊනියා “මධ්‍යස්ථ මතධාරීන්” සිරියන් පොළවේ ඉතිරි නොවෙයි.. බොහෝ සංවිධාන අයිසිස් ත්‍රස්තයන්ට එක් වන අතර ඉතිරිය එක්කෝ අයිසිස් විසින් මර්දනය කර/යටත් කර අවසන් වෙයි. මධ්‍යස්ථ මතධාරී ඉස්ලමික සටන්කරුවෙක් කියා එකෙක් මේ ලෝකෙ නැත. එහෙම උන් ඉන්නේ ඔබාමා මහතාගේ සිහින වල පමණි. අවසන අයිසිස් සංවිදානය අතට පත් වූයේ ඇමෙරිකන් ආයුධයි. අයිසිස් එකට විරුද්ධව ඇමෙරිකන් ප්‍රතිචාරය කුමක් ද? සරලය. බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන ප්‍රංශ උපහැරණයෙන් පැහැදිළි කළ හැකි ය. අයිසිස් සහ අසාද් හමුදා එකිනෙකා කෙළගනිද්දී උන් දෙගොල්ලන්ටම කෙළ කර දැමිය නොහැකි බව ඇමෙරිකාව මනාව දනියි. ඔවුන් කරන්නේ අයිසිස් සංවිධානය අසාද් රජය පෙරළනකම් බලා සිටීමය. එහෙත් ඔවුන්ට හිතවත් ජෝර්දානයට, ඉරාකයට හෝ කර්ඩිෂ්වරුන්ගේ ප්‍රදේශයට අයිසිස්වරුන් ව්‍යාප්ත වීම වැළැක්වීමට පමණක් ගුවන් ප්‍රහාරයක් දෙකක් එල්ල කිරීමය. මේ තත්ත්වය යටතේ අයිසිස් ත්‍රස්තයන් සිරියාවේ බලය පැතිරවීම වැළැක්විය නොහැකිය. සිරියානු සරණාගතයන් සිරියාවෙන් යුරෝපය කරා ඇදී යන්නේ මෙම ඉදිරියට ඇදෙන ත්‍රස්තයන්ට බියෙනි. ඔවුන් නික්ම යාමට අසාද් රජයේ දරුණුකමත් හේතුවක් වේ නම් ඔවුන් යන්නට තිබුණේ වසර කිහිපයකට පෙර සිටය.

සිරියාවට අත පෙවීම මගින් ඇමෙරිකාව කරගත් ප්‍රධාන වැරදි දෙකකි. එක අතකින් ඇමෙරිකන් ආයුධ, මුදල් සහ පුහුණුව ලබාගත් ඊනියා “මධ්‍යස්ථ කැරළිකරුවන්” අවසානයේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් බවට පරිණාමය වීමය. අනෙක නම් සිරියාව තුළ රුසියාවේ චරිතය අවතක්සේරු කිරීම ය. රුසියානු – සිරියානු මිත්‍රත්වය ඇමෙරිකාව මුලින් සිතුවාට වඩා අතිශයින්ම ප්‍රබල එකකි. කුස්නෙට්සොවු නැමති රුසියාවේ එකම එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක ඇතුළු රුසියන් මධ්‍යධරණී නැවු හමුදාවට නිවහන් වරාය වන්නේ සිරියාවේ හෝම්ස් වරායයි. මෙසේ ස්ට්‍රැටජිකලි වැදගත් වන ස්ථානයක් අහිමි කර ගැනීමට රුසියාව කිසිසේත් සූදානම් නැත. අසාද් රෙජිමයට විරුද්ධව නේටෝ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ගෙන ආ යෝජනාව රුසියාව නිෂේධ කළේ ය. රුසියාව සහ බටහිර රටවල් අතර ඇති සීතල යුද්ධයේ සටන් පෙරමුණු සලකද්දී සිරියාවේ දී බටහිර අත ගැසුවේ රුසියන් බල ව්‍යුහයේ මධ්‍යයට ය. රුසියාව ඊට ප්‍රතිචාර නොදක්වා සිටිතියි බලාපොරොත්තු වීම මෝඩකමකි. අයිසිස් සංවිධානය විනාශ කිරීමට බටහිරට නැති උවමනාවක් රුසියාවට ඇති බව අතිශයින්ම පැහැදිළිය. පසුගිය වසර තුළ ඇමෙරිකන් ප්‍රහාර වලින් සිදුකළ හානිය මෙන් කිහිප ගුණයක හානියක් පසුගිය දින කිහිපය තුළ රුසියන් ගුවන් ප්‍රහාර මගින් අයිසිස් වෙත සිදුවිය. අයිසිස් ත්‍රස්තයන්ගේ ආයුධ සැපයුම සහ මෙහෙයුම් අඩාළ වී ඇත. ඔවුහු දහස් ගණනින් රැවුළ කපා පලායති. සීතල යුද්ධයේ අපගේ පක්ෂපාතීතා කුමක් වුවත් අයිසිස් මිනීමරුවන්ට රුසියාව දුන් සංග්‍රහය ලොව සියල්ලන් භේදයකින් තුළ අගය කළ යුතුය. (ඉරාකය තුළ අයිසිස් සංවිධානයට ඇමෙරිකාව විසින් කරන අටමගලක් නැති බව තේරුම් ගන්නා ඉරාක රජය ද රුසියාව සමග ඩීල් ගැසීමට සැරසෙයි )

බටහිර රටවල් වල මැදපෙරදිග මැදිහත්වීම් ගැන අමිහිරි මතකයන් බොහොමයකි. 20 වන සියවස පටන් ගන්නා විට පලස්තීනය, අරාබිය, පර්සියාව, මෙසපොටේමියාව ඇතුළු මැදපෙරදිග බහුතර ප්‍රදේශයක් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට අයත් විය. පළමු ලෝක යුද්ධයේදී ඔටෝමන් අධිරාජ්යය ජර්මන්වරුන්ගේ පැත්ත ගැනීම නිසා ඔවුන් මැදපෙරදිග බ්‍රිතාන්‍ය කොලනි වලට තර්ජනයක් විය. තුර්කි අධිරාජ්‍යය සීසීකඩ කිරීමට බ්‍රිතාන්‍යයෝ ක්‍රියා කළහ. ලෝරන්ස් සෙනෙවියා අරාබියෙක් මෙන් ඇඳ පැළඳගෙන අරාබිය පුරා යමින් එහි ගෝත්‍ර තුර්කියට විරුද්ධව පෙළ ගැස්වීය. සෞඩ් නම් අන්තවාදී ගෝත්‍රික නායකයා සෞදි අරාබිය නම් නව රාජ්‍යයේ රජු විය. ඉරාකය, ඉරානය බ්‍රිතාන්‍ය හමුදා වලට පත් විය. ඒවායේ බටහිර හිතවත් පාලකයෝ බිහි වූහ. පලස්තීනය අල්ලාගත් බ්‍රිතාන්‍යය එහි ඊශ්‍රායලය නම් යුදෙවු රාජ්‍යය පිහිටුවිය. අද සෞදි අරාබිය අන්තවාදී වහබි රාජ්‍යයකි. අසාද්, ගඩාෆි, සදාම් හුසේන් යන කොයි කාටත් වඩා දරදඬු සෞදි රජු සෞදි තෙල් සම්පතට පින් සිදු වන්නට බටහිර රටවල් වල ඉවසීම සහ පෝෂනය ලබයි. එහි ලෝකයේ දරුණුම මානව අයිතිවාසිකම් කඩවීම් සිදු වේ.. ඊශ්‍රායෙල් පලස්තීන් ගැටුම නොනිමෙන ගැටුමක් වී ඇත. ඉරානයේ ෂා රජුට එරෙහිව කැරළි ගැසූ මූලධර්මවාදීන් එහි බටහිර විරෝධී ඉස්ලමික ජනරජයක් පිහිටුවීය.. ඉරාකයේ හමුදා කුමන්ත්‍රණ ගණනාවක් සිදු වී දෙවරක් ආක්‍රමණය වී අද අවුල් ජාලයකි.

මැදපෙරදිග රටවල් අතරින් 2000 වන විට යම් ස්ථාවරත්වයක් ලබා සිටියේ ඓහික ඒකාධිපතියන් සිටින රටවල ය. ඉන් සදාම් හුසේන්, ට්‍යුනීසියාවේ බෙන් අලි, ලිබියාවේ ගඩාෆි, සිරියාවේ අසාද් බටහිර විරෝධීහු වූහ. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර හුසේන් බලයෙන් පහ කළේ ය. බටහිර උදවුවෙන් සන්නද්ධ කරන ලද සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරී විපක්ෂ කණ්ඩායම් විසින් ගඩාෆි, බෙන් අලි බලයෙන් පහ කෙරිණි. මැදපෙරදිග පුරා විසිරුණු මෙම කැරැල්ලට බටහිර හිතවත් ඒකාධිපතීන් ද හසු විය. ඊජිප්තුවේ මුබාරක් සහ යේමනයේ පාලකයා එසේ හසු විය. මෙලෙස ඉවත් කරන ලද ඒකාධිපතියන්ගෙන් හිස් වුණු ‘බල රික්තකය’ පිරෙමින් පවතින්නේ බටහිර අදහස් කළ මධ්‍යස්ථ මතධාරින්ගෙන් නම් නොවන බව මැදපෙරදිග දෙස බලන ඕනෑම අයෙකුට වැටහී යයි. එම බල රික්තක්ය තුළට රිංගමින් පවතින්නේ සෞදි අරාබියටත් වඩා අතිශයින් අන්තවාදී මත දරණ ඉස්ලමික සටන්කරුවන්ය. අද එම රටවලට විදේශිකයෙකුට ආරක්ෂිතව යා නොහැකිය. අයිසිස් යනු මෙම ප්‍රවණතාවයේ කූටප්‍රාප්තියයි. බටහිර විසින් ඇති කරන ලද මෙම රැල්ලෙන් තමන්ගේ හිතවතෙකු වන දරදඬු ඒකාධිපතියෙක් බේරා ගැනීම සඳහා ආයුධ එසවීම ගැන රුසියාව විවේචනය කිරීමට බටහිරට කිසිඳු අයිතියක් ඇතැයි මම නොසිතමි. අනෙක් අතට අයිසිස් මිනීමරුවන් අතුගා දැමීම ඉතා ප්‍රශංසනීයය. තමන්ගේ වාසිය සඳහා වුව ද රුසියාව ඉටු කරන්නේ සමස්ථ ශිෂ්ට ලෝකයේ ම අවශ්‍යතාවයකි.

http://raj1st.blogspot.co.uk/2015/10/blog-post_21.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල