සංගීතය

අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවො අපි

Off

ජනකාන්ත ගායක සංගීතවේදී “බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන්” නොහොත් “ග්‍රේෂන් ආනන්ද” , ජෝතිපාලයන් සහ මිල්ටන් මල්ලවආරච්චි වැනි සමකාලීනයන් සමඟ චිත්‍රපට පසුබිම් පසුබිම් සංගීතය තුල නොමැකෙන සටහනක් තැබීමට සමත් විය.ඔවුන්ගෙන් පසුව සිංහල සිනමාවේ ප්‍රමුඛ පසුබිම් ගායකයා වූයේ ග්‍රේෂන්ය. ඔවුන් සිටියදීද ග්‍රේෂන් ගී ගැයුවත් පෙරමුණටම ආවේ ඔවුන්ගේ ඇවෑමෙනි. ගාමිණී,රවීන්ද්‍ර , සනත් , ජීවන්, සිට චන්න පෙරේරා, අර්ජුන කමලනාත් යන වර්තමාන නළුවන් වෙනුවෙන් ද ග්‍රේෂන් චිත්‍රපට පසුබිම් ගී ගයා ඇත. ඔහු පළමුවරට සංගීතය අධ්‍යක්‍ෂණය කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ “දුර්ගා” චිත්‍රපටයේය. පසුව ළඳුනි ඔබ දෙවඟනක්, රන්දෙනිගල සිංහයා, ධවල පුෂ්පය ඇතුළු චිත්‍රපට දහ අටක පමණ සහ ටෙලි නාට්‍ය කිහිපයක සංගීතය අධ්‍යක්‍ෂණය කළේය. ග්‍රේෂන් ආනන්ද චිත්‍රපට දෙසීයක පමණ පසුබිම් ගීත ගයා තිබේ. “රජ දරුවෝ” චිත්‍රපටයට ග්‍රේෂන් ගැයූ “බිළිඳුනේ දරුවනේ මගේ” ගීය වෙනුවෙන් ඔහු පළමු වරට සම්මානයක්‌ දිනා ගත්තේය.
දේවස්‌ථානයේ කන්තාරු කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙතෙම එහිදී පියානෝව වාදනය කිරීමට පුරුදු පුහුණු වූවේය.බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වනුයේ ග්‍රේෂන් පියානෝ වාදනය පිළිබඳ ලන්ඩන් උපාධිධරයෙකි. ඒ වාගේම දක්ෂ ගිටාර් වාදකයෙකි. එළිමහන් ප්‍රසංග වලදී පවා ඔහුගේ ගායනය අතරතුර ඇතැම් විටක ඔහුගේ සුරත රැඳි ගිටාරයෙන් ඔහුම ඇතැම් කොටස් වාදනය කරමින් හැඩගැන්වීය.එය ඔහුට අනන්‍යතාවක් වීදෝයි සිතේ.සරත් දසනායක හමුවීම නිසා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ග්‍රේෂන් ආනන්ද ප්‍රථම වරට ගායනා කළේ යුග ගීයකි. ඒ 1976 දී නීලා වික්‍රමසිංහ සමඟ ගයන ඈත දුරක දෑස පායලා.” ගීයයි. එම ගීතයේ සංගීත නිර්මාණය කළේ ද ග්‍රේෂන් ආනන්ද විසින්මය. ඔහු පළමු චිත්‍රපට ගීය ගැයුවේ සේන සමරසිංහගේ “මල් කැකුළු” චිත්‍රපටයටය. එයද යුග ගීයකි. ඒ ශ්‍යාම් ෆොන්සේකා සමඟ ගැයූ “බිඳු කඳුළු සලා” ගීයයි.


චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිරූපය වූ ජෝතිපාලයන් සමඟ එක්ව ගීත ගයමින් ගායන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගත් ග්‍රේෂන් ආනන්ද ගේ වියෝව ගැන නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරන්නටත් , බොහෝ දෙනා ඔහුගේ මධුවිත පානය පිළිබඳ වැඩිපුර කතාබහට ලක් කළා. එහෙත් ඊට සාපේක්ෂව මධුවිත සමඟින් ම ඔහු මේ ක්ෂේත්‍රයට කළ මෙහෙවර පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු නොවේද ?
——————————————————————–
01.බිඳු බිඳු කඳුළු ගලා

බිඳු බිඳු කඳුළු ගලා – පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා – ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා – ආදරේට ආදරේ පාලා

උදේ හවා සිනා දෙනා
සිනා වෙනා රඟා එනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
එ අමර අමර නෙත
බමර කුමර සඳ ස්නේහේ

පරාද වී හඬා නැතේ
හඬා වැටී පලා නැතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
එ බඹර කුමරු වෙත තවම නොපිපි සිත
ආශාවේ

ගායනය – ග්‍රේෂන් ආනන්ද, ශ්‍යාමි ෆොන්සේකා,
සංගීතය – සරත් දසනායක
පද රචනය – සෝමපාල ලීලානන්ද
(සේන සමරසිංහ මහතාගේ ‘මල් කැකුළු‘ චිත්‍රපටියෙන්)
——————————————————————–
02.තරුයායේ ඈතින් ඈතට දිදුලන

තරුයායේ ඈතින් ඈතට දිදුලන
රන්තරු යුවළක් සේ
කිසි දිනයක නොමියෙන
සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුනාවේ
හද දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමුවේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

යන එන හැම තැන සෙවනැලි විලසේ
කිසි මොහොතක හෝ
වෙන්නොම වේවා – හැමදාම එකටයි ඉන්නේ
සෙනෙහෙ පුදා – සෙනෙහෙ පුදා
ජීවිතෙ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

ඔබ අප අතරට කිසියම් දිනයක
නොසිතූ ලෙසකින් – මරු ලං විනි නම්
ඒ මගද එකටයි යන්නේ
සෙනෙහෙ පුදා – සෙනෙහෙ පුදා
ජීවිතේ පුරා
මතු බවයෙන් බවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය – ස්ටැන්ලි පීරිස්
ගායනය – ග්‍රේෂන් ආනන්ද
——————————————————————–
03.ඈත දුරක දෑස පාවෙලා

ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනි වෙමු
පාළු ලොවක ඈත දුරක
දෑස පාවෙලා

පාසැල් යාමේ බැඳිලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවී සදා

ඒ සිහිනේ වී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – ග්‍රේෂන් ආනන්ද
ගායනය – ග්‍රේෂන් ආනන්ද සමඟ නීලා වික්‍රමසිංහ
——————————————————————–
04.ඉපදී ලොවේ

සිනහ කඳුළු එනවා – යනවා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා – යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි
භවයෙන් භවේ . . .

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා – පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

පද රචනය – හේමසිරි හල්පිට
සංගීතය – සරත් ද අල්විස්
ගායනය – ග්‍රේෂන් ආනන්ද
——————————————————————–
05.ආදර සීනුව පෙම් ලොව

ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණ යි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ

කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහස යි මුහුද යි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්න ද සිදුවන්නේ

සංසාරේ හුරු සුවඳ යි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමට යි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව…

ගායනය – ග්‍රේෂන් ආනන්ද
පද රචනය – කේ.ඩී. කේ. ධර්මවර්ධන
‘ප්‍රමාද වැඩියි’ ටෙලි නාට්‍යයේ ගීතයකි
——————————————————————–
06.ගීත ගයා

ගීත ගයා ගීත ගයා
පළදන්නේ මා ඔබට
පෙම් මල් මාලා
සංගීතේ මා වේවා සංසාරේ
හැම වාරේ හමුවේවා – සුපෙම් පා

රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී
මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා
ලං ලං වෙලා පෙම් සිත් මවා
ලංවේවා
සුපෙම් පා . . .

තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ
මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ
අපි පැද්දෙමු නිති රැන්දෙමු
පා සෙනෙහේ . . .
සුපෙම් පා . . .

පද රචනය – ආනන්ද බණ්ඩාර විජේතුංග
සංගීතය – සරත් දසනායක
ගායනය – ග්‍රේෂන් ආනන්ද
——————————————————————–
07.සතුටින් නිදැල්ලේ

සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
මේ ඇසුරින් මිදීල ඉගීලියන් කුරුල්ලෝ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොඳම කතා විනෝදයට
ඕං අසා ගන්නකො

කුරුලෙකු සිර කරලා
තබනු බෑ නොවැ කිසිදා..
ඌ ලොවේ සුව සොයා ඉගිල්ලුනේ
සැනසීමෙන් ඉඳලා මැරුනත්
කම් නැහැ කියල
ඒ මිහිර සුව විඳින්න සොඳුරු නැවුම්
ලොවට යන්න
සතුටින් පියාඹන්න රූ කියා නිදහසේ
සතුට පතා හිතා මතා – හොඳම කතා
කියමි ගොතා – හොඳට කතා විනෝදයට
ඕං අසා ගන්නකො

සිත සවියෙන් පුරවා සිටින අය ජය ලබනා
නැහැ ලොවේ කිසි දිනේ පැරදුනේ
ඇයි සෝකෙන් තැවිලා මොකටද
අයියෝ අඬලා
ඒ මිහිර සුව විඳින්න පැතූ පැතුම්
සඵල වෙන්න
සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ
සතුට පතා . . .

පද රචනය – හේමසිරි හල්පිට
සංගීතය – සරත් ද අල්විස්
ගායනය – ග්‍රේෂන් ආනන්ද
——————————————————————–
08.සිහින අහසේ වසන්තේ

සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රුංචු ගැහිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිගු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැඟුම්

සිහිලැල් පවනේ ගී හඬ විසිරී
මතකයෙ ඈත ඉමේ
ග ීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ ඔය හඬ වාගේ
සවනේ රැව්දේ

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනි වූ කතර ඉමේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ

පද රචනය – උපාලි ධනවලවිතාන
සංගීතය – සරත් දසනායක
ගායනය – ග්‍රේෂන් ආනන්ද
——————————————————————–
09.බිළිඳුනේ දරුවනේ

බිළිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා පෙවු කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
අම්මා පෙවූ කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙවු කිරවල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
බිලිඳුනේ දරුවනේ . . . .

පුර හද පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ
පුතුනේ කියා මට අමතන්න
එන්නම් සොයා
බිලිඳුනේ දරුවනේ . . .

පද රචනය – සෝමපාල ලීලානන්ද
සංගීතය – සෝමපාල රත්නායක
ගායනය – ග්‍රේෂන් ආනන්ද
(ග්‍රේෂන් සරසවිය සම්මාන දිනුවේ රජ දරුවෝ චිත්‍රපටයේ එන මේ ගීතයෙනි)
——————————————————————–
10.රනින් මාල

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ

ඔරු කඳ ලත වෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ…

ගායනය, සංගීතය – ග්‍රේෂන් ආනන්ද
ගී පද – කේ.ඩී.කේ. ධර්මවර්ධන
——————————————————————–
11.හිම කඳු යහනේ

හිම කඳු යහනේ
වළා සදැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ

මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී
අපේ සිහින උයනේ

දෙසිතක බැඳි – රැකවල් ගිලිහී යයි
තනි වූ සිත් අද – නොතනි වෙලා

ඒ හසරැල් විල – මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

කඳුලක් නැගි මොහොතක
ඔබ නෙතඟින්
ලංවෙමි සිටිය ද කොතැන ලොවේ

හිනැහෙමි එසෙඳහි
කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – සරත් දසනායක
ගායනය – ග්‍රේෂන් ආනන්ද සමඟ නිරංජලා සරෝජිනි
——————————————————————–
12.හිම රේණු වැටෙනා

හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ

මධුපානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
ගැ – මනමාලයන්ගේ චේතනා
නොකියාද පාලා සිනා

මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

පද රචනය – සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය – සරත් දසනායක
ගායනය – ග්‍රේෂන් ආනන්ද සමඟ ලතා වල්පොල
——————————————————————–

ග්‍රේෂන් ගේ සින්දු එකතුවක් මෙතැනින් ගන්න ….

පොස්ටුවේ ගීත ටික මෙතැනින්

ප. ලි ..
දක්ෂ වාදකයෙක්, ගායකයෙක්, හොඳ ගී තනු නිර්මාණ ශිල්පියෙක් වූ ග්‍රේෂන් ආනන්ද ගැන අපි කථා කරමු ….
ග්‍රේෂන් ඔහුගේ වටිනා කම දැන සිටියාද ? අපි ඔහුට වටිනා කමක් දුන්නාද ?

සින්දු ඇනෝ

http://sinduano.blogspot.co.uk/2015/10/blog-post_23.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල