විශේෂ, සංගීතය

දෙකකුල් අල්ලා හඬා වැටෙද්දී බඹසර බිලිගත් සලෙලුන්

Off

මෙන්ඩාගෙන් බේරෙන්න බැරිකමට පෝස්ට් එකක් ලියනවා. ලියන්න තියෙන කම්මැලිකම ගැන හිතුවම මට හිතා ගන්න බැහැ රවී මහත්තය එහෙම ඔය පරිවර්ථන එහෙම කරන්න කොච්චර කැපවීමක් කරනවද කියල. ලේසියට මගේ සිංදුවක් ගැනම ලියන්නම්.

මේ සිංදුව ලිව්වේ දිල්ලි නුවර වෛද්‍ය සිසුවියක් බස් රථයකදී දූශණය කිරීම පිලිබඳව එහෙ විශාල පෙලපාලි ආදිය පවත්වන කාලේ. මෙම සිද්ධිය සිදුවුනේ 2012 දෙසැම්බර් 16 දා. ජෝති සිං පාන්ඩේ නම් සිසුවිය යහළුවකු සමඟ බසයකට ගොඩවීමෙන් පසුව. මුලින් ඇයගේ නම ප්‍රසිද්ධ නොවුන නිසා ඇයව හැඳින්වූවේ ‘නිර්භය’ යන අන්වර්ථ නමකින්. මෙම සිද්ධියෙන් පස්සේ එයට සම්බන්ධ වූවන් එල්ලා මරණ ලෙස ඉල්ලා මුළු දිල්ලියේම පෙළපාලි පැවැත්වුනා.

මෙම ගීතයට මුල් වුනේ දූශකයන් එල්ලා මරණ ලෙස තිබිච්ච අදහස. ලඟදී ලංකාවේ සිදුවුන විත්‍යා ඝාතනයත් සේයා ඝාතනයත් සිදුවූ වේලාවේත් මෙම ‘එල්ලා මැරීම’ කියන ඉල්ලීම ආවා. මේ සිද්ධි වලදී එල්ලා මැරීමේ ඉල්ලීම ආවේ සමාජයේ කොටස් වලින්. දූශණයක් කියන්නේ ගැහැණු කෙනෙකුට වෙන්න පුළුවන් විශාලතම පීඩාවක්. සමහර අය මරණයට පත් වුනත් දූශණය වෙන්න කැමති නැහැ. පෙරදිග රටවල දූශණය වූ කෙනෙක්ට ඒ නිසා ඇතිවන සමාජ ප්‍රශ්ණ මේ තත්ත්වය තවත් උග්‍ර කරනවා. මොහොතක සතුට නිසා තවත් මනුශ්‍යයෙක් ජීවිත කාලයක් දුක් විඳිනවා කියන එක ටිකක් හරි තේරෙන කිසිම කෙනෙක් මේවගේ පහත් දෙයක් කරන්න යොමුවෙන්නේ නැහැ. ඒ වුනත් තමන්ගේ අවශ්‍යතාව ගැන විතරක්ම හිතන ආර්ත්මාර්ථකාමියෝ ඉන්නකන් මේවා සමාජයෙන් නැතිවෙන්නෙත් නැහැ.

තව දෙයක් තමයි මීට පෙර දශක ගණනාවක්ම දූශණය වූ තැනැත්තියට වඩා දූශකයන් ආරක්ශා කිරීමට පෙලෙඹෙන පොලිස් නිලධාරීන් සහ නීති ක්ශේත්‍රයේ අය සිටීම. මෙය නම් ටිකාක් විතර අඩුවීමක් තියෙනවා කියලා හිතෙනවා. ගාමිනී ෆොන්සේකා ‘උතුමාණෙනි’ කියලා චිත්‍රපටියක් කලා මේ වගේ සිද්දියක් සම්බන්ධව. ධනවත් සල්ලාලයෙක් සහ ඔහුගේ පිරිවර රූ රැජින තරඟයකින් දිනන දුප්පත් කෙල්ලෙක්ව දූශණය කරන සිද්දියක්. ඔහුගෙ මුදල් වලට පොලිසියත් වෛද්‍ය වරුත් ‘මිලදීගෙන’ බේරෙනවා. ඒයින් ඇතිවූ ලැජ්ජාවට එම තරුණිය දිවිනසා ගන්නවා.

ආයිමත් ගීතයේ අදහසට. බුද්ධ ඉගැන්වීම් වලට අනුව අපට මුහුණ පාන්න වෙන දේවලට හේතුව අපිම සංසාරයේ කරපු දේවල්. ඒ අනුව යමෙක් දූශණය වෙනවා වගේ දරුණු සිද්ධියකට මුහුණ පාන්නත් හේතුවක් තියෙන්න ඕන. ඒවගේ සිද්ධියකින් කරපු නරක කර්මය ගෙවිල යනවා යැයි සිතන්න පුළුවන්. ඒ වගේ සිද්ධියකට මූණ දෙන්න වෙන දෙමව්පියො , සහෝදරයන් වැනි අයත් තමන්ගේ පවුලේ කෙනෙක්ට ඒවගේ දෙයක් සිද්ධ වෙන්නේ ඒගොල්ලන් කරපු වෙනත් කර්මයක් පටිසන් දීමෙන් වෙන්න පුළුවන් . එසේ නමුත් දූශණය වෙන පුද්ගලයා හෝ ලඟින් ඉන්න අය කර්මය පටිසන් දීම ගැන නොසිතා දූශකයාව එල්ලා මරන්න, ගෙවල් ගිනි තියන්න, අර උතුමාණනි චිත්‍රපටියේ නම් දූශකයන්ව ඝාතනය කරන්න යොමුවීම එක පවක් ගෙවා තවත් කර්මයක් එකතු කර ගැනීමක් වෙන්න පුලුවන් නේද? අන්න ඒ සංකල්පය තමයි මේ ගීතයේ කියන්නේ.

ගී පදමාලාව

දෙකකුල් අල්ලා…., හඬා….වැටෙත්දී,
බඹසර බිලිගත්, සලෙලුන්ටත්
කහවණු වෙනුවෙන්, නීතිය කෙලෙසූ,
හිත්පිත් නැති නිල, දරුවන්ටත්
පාසැලෙ බුදුරුව, අබියස වැඩවූ,
මෙත් සිත බිඳිනට, ඉඩක් නොදී
පතනෙමි උන්හැම, නිරෝගි වන්නට
සුවපත් වන්නට , දුකින් මිදී..
වත නිති බැබළු…, මදහස දෙතොලේ,
යලිත් නො එන්නට, මැකී ගිහින්
සෙනෙහස කැටිකොට…, බත් කැවු අම්මා,
කුස්සිය හැරගොස්, වැරහැලි වී
දෙකකුල් අල්ලා…..

බවයක් පාසා…., හමුවෙමු කිව් ඔහු,
කාටත් නොකියා, යන්න ගිහින්
මේ පෙර කලදේ…, යැයි දෙසු හිමියන්,
වයිරය නොනිසියි…, කියා ඇතී

සංගීතය සහ ගයිඩ් ගායනය : විශාරද ජගත් වික්‍රමසිංහ
පද : ඉයන් ලින්තොට 

මේක චෙෆාකිගෙ පාටියේදී ප්ලේ කලා. හිටපු සමහර අයට මතක ඇති. එක අතකින් මම ලියපු සිංදුවලින් මම කැමතිම සිංදුවක්. එකම ප්‍රශ්ණේ තියෙන්නේ මේක ලිව්වෙ ගායිකාවකට. විශාරද ජගත් වික්‍රමසිංහ මේකට ගයිඩ් ටේප් එක හදනකොට සින්දුව සම්පූර්ණයෙන්ම කියලා.

ගයිඩ් ගායනය කරන්නේ සිංදුව ගායන කරන පුද්ගලයාට පහසුවෙන්න ගීතයේ කොටස් වල එහෙන් මෙහෙන් ගායනා කිරීමයි. ඒක නිසා සාමන්‍යයෙන් එවන් ගායනයක මුළු සිංදුවම කියන්නේ නැහැ. සිංදුව කියල තියෙන විදිහට මම කොච්චර කැමතිද කියනවනම් මම තීරණය කලා ඒක පිරිමි කෙනෙක් කියන විදිහට සංශෝධනය කරලා ජගත්ගෙ කටහඬින්ම කියන්න. එහෙම හිතලා තාම අවුරුදු දෙකයි නැත්නම් තුනයි. තාම බැරි වුණා. ඒක නිසා පද තාම තියෙන්නේ ගායිකාවට ගැලපෙන විදිහට.සිංදුව රස විඳින්න ඒකෙන් බාධාවක් නෙමෙයි කියලා හිතෙන නිසා මේක දානවා. වචන වලින් විතරක් මේ සිංදුව ජජ් කරන්න එපා.

ආදරයෙන් ඉල්ලා හිටිනවා කොහොම හරි මේ සිංදුව අහන්න කියලා.

http://lankanian.blogspot.co.uk/2015/11/blog-post_97.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල