කාලීන සංවාද, විශේෂ

ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (පළමු කොටස)

Off

“ඔව් සර්…”

“එහෙනං තව ටිකකින් එන්නකෝ ..”

ඒත් එක්කම මගේ මේසය දිහා බැලුව සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නවා වගේ මට දැනුනා. අතින් කට වගගත්තු සෞම්‍යා එලියට ගියේ ලස්සන ඇස්දෙකෙන් හිනාවෙන ගමන්.

ෆෑන් එකේ ටක ටක සද්දේ ආයෙත්.

මට පිටුපාලා යන සෞම්‍යා දිහා බලාගෙන හිටපු මම පියවි සිහිය ලැබුවේ එයා දොරත් වහලා ගියාට පස්සේ මම හිතන්නේ. මේසේ දිහා බලපු මට තරු විසි වුනා. මම හෙන බිසී වගේ පේන්න හිටියට ෆයිල් එක තියාගෙන ඉඳලා තියෙන්නේ ඔලුවෙන් හිටවලානෙ. ශේහ් වස විලි ලජ්ජාවයි.

***
ටයිපෝ කිහිපයක් පමණක් සදා උඩින් පළකර ඇති උධෘතය ඉවාන්ගේ ප්‍රතිලෝම කෙටිකතාවේ කොටසකි. දැන් මේ කතාවේ සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නේ ඇයි? ඇගේ ආයතන ප්‍රධානියාට විලිලැජ්ජා හිතෙන්නේ ඇයි?

වැඩ අධික බව බොරුවට පෙන්වීමට මේ කතාවේ ආයතන ප්‍රධානියා හදිසියේ අතට ගන්නා ලිපිගොනුව ඔහු තබාගෙන සිටින්නේ ඔලුවෙන් හිටවලාය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තියාගැනීම සම්මතය නොවේ. ඒ නිසා සෞම්‍යාට මේ දසුනේ විහිළු සහගතබවක් දැනේ. ඇයට හිනා යන්නට එන්නේත්, සිදුවී ඇති දෙය අවබෝධ වනවිට ආයතන ප්‍රධානියාට විලිලැජ්ජා හිතෙන්නේත් ඒ නිසාය.
බොහෝදෙනෙක් ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තබානොගෙන කෙලින් තබාගෙන කියවන්නේ එසේ කියවීම වඩා පහසු නිසාය. එසේ කියවීම වඩා පහසු වී ඇත්තේ කුඩා කල සිටම ලේඛණයක් මේ අයුරින් කියවීමට අප හුරුවී ඇති නිසාය.

අප බොහෝ දෙනෙකු කෙලින් තබාගෙන පොතක්, පත්තරයක් කියවූවත් එසේ නොකර සාමාන්‍යයෙන් ඔලුවෙන් හිටවා පත්තර බලන අයද සිටිති. සර්බියාවේ බෝජනා ඩැනිලොවික් එවැන්නියකි. ඇය ඔලුවෙන් හිටවා බලන්නේ පොත්, පත්තර පමණක් නොවේ. ඇගේ පරිගණක තිරයද උඩුයටිකුරු කළ එකකි. එමෙන්ම ඇගේ පරිගණකයේ යතුරු පුවරුවද තබා ඇත්තේ විරුද්ධ අතටය. උසයිස් නගර සභාවේ සේවය කරන ඇය වැඩ නිමකර නිවසට ගොස් උඩුයටිකුරු කර තබා ඇති රූපවාහිනිය නරඹන්නීය.

බෝජනාගේ මනස දකින ලෝකය අපදකින ලෝකයට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි. වෙනත් බොහෝ දෙනෙකු දකින ලෝකය බෝජනාට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි.

“අනෙත් අයට මෙය මහා පුදුම දෙයක් වගේ පෙනුනත් මටනම් මෙය ඉතාම සාමාන්‍ය දෙයක්. මා ඉපදුනේම මේ විදිහටයි. මේ තමයි මා ලෝකය දකින ආකාරය.” බෝජනා කියයි.

***

අපට සැබැවින්ම ලෝකය දැකිය හැකිද? මෙය මතුපිටින් පෙනෙනවාට වඩා සංකීර්ණ ප්‍රශ්නයකි.

අපේ ඇස් වල ඇති කාච මඟින් කැමරාවකින් කරන්නාක් මෙන් බාහිර වටපිටාවේ ‘ඡායාරූපයක්’ මොළයට ග්‍රහණය කරගත හැකි සංඥාවක් බවට හරවයි. මේ සංඥාව විශ්ලේෂණය කරන්නේ මොළය විසිනි. ඇස් වලින් ලබාගන්නා සංඥාවේ යම් බාහිර වස්තුවක් පිහිටි ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරු අඩංගු නොවේ. එහි ඇත්තේ වෙනස් වස්තු ලෙස අප විසින් හඳුනාගන්නා දේවල් වල පිහිටීම් පිලිබඳ සාපේක්ෂ තොරතුරු පමණි. උදාහරණයක් ලෙස පරිගණක තිරය ඇත්තේ යතුරු පුවරුවට වඩා දුරින් බව මිස කොතරම් සෙන්ටි මීටර් ගණනක් දුරින්ද යන තොරතුර මේ සංඥාවේ නැත.

දුර පිලිබඳ අදහසක් මොළයට අවශ්‍ය වන්නේ අපේ චලනයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාය. උදාහරණයක් ලෙස මගේ මේසය මත ඇති පෑන ග්‍රහණය කර ගැනීමට කුමන දිශාවට කෙතරම් දුරක් මා මගේ අත චලනය කල යුතුද? මේ සඳහා මගේ ඇසෙන් ලබා ගන්නා රූප සහ මගේ චලනයන් අතර තිබිය යුතු සම්බන්ධතාවය මොළය මඟින් නිවැරදිව ක්‍රමාංකනය කරගත යුතුය. කෝප්පයක් අල්ලන්නට පුරුදු වන කුඩා දරුවෙකු කරන්නේ මෙයයි. මේ ක්‍රමාංකනය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

අපේ ඇස පිටුපසට ඇසේ කාචයෙන් ප්‍රක්ෂේපණය කර සංඥාවක් බවට හරවන රූපය ඇත්තටම උඩුයටිකුරු වූ එකකි. එය ‘ඇති හැටියෙන්’ දකින්නේ මොළයයි.

බෝජනාගේ ඇස් වල කිසිදු ආබාධයක් නැත. ඇගේ ඇස් වලින් බාහිර පරිසරයේ උඩුයටිකුරු කළ පිළිබිඹුවක් මොළයට ලබාදේ. වෙනස ඇත්තේ ඇගේ මොළය මෙසේ ලබාගන්නා දත්ත සැකසුම් කරන ආකාරයේය. බොහෝදෙනෙකුගේ මොළයන් මෙවැනි උඩුයටිකුරු වූ පිළිබිඹු නැවත උඩයට හරවා ‘නිසි ලෙස’ ග්‍රහණය කරගත්තත් බෝජනාගේ මොළය එසේ කරන්නේ නැත.

කෙසේ වුවද, මෙසේ උඩුයටිකුරු ලෙස ලෝකය දැකීම කෙනෙකුට ප්‍රශ්නයක් නොවේ. එවැනි අයෙකු උපතේ සිටම දකින ලෝකය උඩුයටිකුරු වූ එකක් බැවින් එවැන්නෙකු කුඩා කල සිටම මේ උඩුයටිකුරු වූ ලෝකයේ ජීවත් වන්නට පුරුදු වේ. අවුලක් වුනොත් වෙන්නේ වෙනත් අයෙක් මේ ලෝකය කෙළින් සිටවන්නට හැදුවොත් පමණි.

යමෙක් ලියන්නට ඉගෙනගන්නේ තමන් දකින ආකාරයටය. මේ නිසා උඩුයටිකුරු වූ අකුරු දකින අයෙකු එසේම ලියන්නටද පෙළඹීමට ඉඩතිබේ. මෙවැන්නන් පිළිබඳව බොහෝ කලක සිට වාර්තා වී තිබේ.
කෙසේ වුවද, මේ අයුරින් උඩුයටිකුරු වූ ලෝකයක් දකින බොහෝ අයට තමන්ට රිසි ලෙස උඩුයටිකුරු කර ලියන්නට, කියවන්නට සමාජයෙන් ඉඩ නොලැබේ. වමත් හුරු දරුවන්ට දකුණත හුරු කරවන්නාවක් මෙනි.

අපේ මොළයේ ඇති අනුගතවීමේ ඇති හැකියාව පුදුම සහගතය. යමෙකුට විශේෂ කණ්ණාඩියක් පළඳවා ලෝකය උඩුයටිකුරු ලෙස එක දිගටම පෙනෙන්නට සැලැස්වුවහොත් සතියක් යන විට ඔහු හෝ ඇය මේ අළුත් තත්ත්වයට පුරුදු වේ.

බෝජනාගේ සැබෑ ගැටළුව ලෝකය උඩුයටිකුරු ලෙස පෙනීම නොවේ. ඇතැම් දේවල් එසේ නොපෙනීමයි.

මගේ ලිපි සාමාන්‍යයෙන් දිග වැඩි නිසාත්, මේ හා අදාල වෙනත් කරුණු රැසක් ඇති නිසාත් මේ ලිපිය කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත.

(Photo credit: http://www.nydailynews.com/news/world/woman-sees-upside-article-1.1297128)

http://economatta.blogspot.co.uk/2015/11/blog-post_13.html

 

දෙවන කොටස:  http://economatta.blogspot.co.uk/2015/11/blog-post_15.html

තෙවන කොටස : http://economatta.blogspot.co.uk/2015/11/blog-post_17.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල