විද්‍යා ප්‍රබන්ධ, විශේෂ

දමනය 3

1

පෙ.ලි.

මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ, ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි .

දමනය 1

දමනය 2

එදායින් පස්සේ ජෝෂුවා මට ඕන කරන විදිහට හසුරුවාගන්න මට කිසිම අපහසුවක් වුනේ නෑ . හැබැයි මට තිබ්බ එකම ප්‍රශ්නේ මේ යතුරු පුවරුව මගේ යටතේම තියාගන්නේ කොහොමද කියන එක. හැමදාම රෑට ජෝශුවාව නින්දට යවලා ආපහු පාන්දරම දුවගෙන ඇවිත් ජෝෂුවා ඇහැරෙන්න කලින් මෙතන වාඩිවෙන එක ටික දවසක් යනකොටම මට එපාවෙලා තිබ්බේ . ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ වුනේ මිසිස් හන්ටර් මම නැති එක ගැන පැමිණිලි කරලා තිබ්බ නිසා .

එදා ගෙදර ගියාම “මෙලීසා ඔයා රසායන විද්යාාව පංතිය මග අරින්නේ ඇයි” අම්මගේ ඒ ප්ර්ශ්නය මට එක අතකට සැනසීමක් වුනා , ඒ කියන්නේ මම ඉස්කෝලේ ගිහිං රසායන විද්යාාව පන්තියට විතරයි ගිහිං නැත්තේ . කොහොමත් මිස්ටර් ඩේවිඩ් වත් , මිස්ටර් ඉයන් වත් ළමයි ඉන්නවද නැද්ද කියන එකගන කවදාවත් සැලකිලිමත් වුනේ නෑ. එයාලට ඕනවුනේ ඇපෙන් බේරෙන්න වගේ කොහොම හරි මොනවා හරි ටිකක් කියවලා යන්න විතරයි.

“ මෙලීසා……………… මෙලීසා…………………. ඔයාට ඇහුනද මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ?”

“ඔ….ඔව් අම්මේ ම..ම….මං බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට හිටියා “

“ආ ඒත් ඔයා කවදාවත් මෙලෝඩිකාව ගෙනිච්චේ නෑනේ …”

“ ඒ….ඒ…එකනේ අම්මේ මට හැමදාම අමතක වුනා , මම…… මම බලං ඉඳලා ආපහු ආවා “

අම්මගේ මූණ හොඳටම නරක් වුනා , එයා මොකක්ද කියන්න හදද්දිම ,හොඳවෙලාවට තාත්තා ගෙදර ආපු නිසා ඒ කතාව එතනින් නැවතුනා , මොකද අම්මා කැමති නෑ තාත්තා ඉස්සරහ අපේ ඉස්කෝලේ වැඩ ගැන කතා කරන්න , වෙන මොකවත් නෙවෙයි තත්වය අසතුටුදායක වුනොත් බැනුම් අහන්න වෙන්නේ අම්මටම නිසා .ඒ ඇසිල්ලෙන් මම කාමරේට පැනගත්තා .

*******

පහුවදාත් මගෙත් එක්ක අම්මත් ආපු නිසා මට අර කාමරේ පැත්තටවත් යන්න බැරි වුනා . ඉතිං ඔක්කොම ඉවරයි , දැන් මටවෙන්නේ හිත හදාගන්න ,ජෝෂුවා ආපහු යතුරු පුවරුව අරගෙන මාව එයාට ඕන විදිහට පාලනය කරයි . එයා දැන් දන්නවා මම එයාට ආදරේ නොකරපු වග .ඒ වගේම ආපහු මාව විශ්වාස කරන එකක් නෑ මොහොතකටවත් . අර නිල්පාට කණ්නාඩිකුට්ටම ආපහු මට අහුවෙන්නවත් තියෙන එකක් නෑ. දැන් මොකද කරන්නේ .

ජෝෂුවා නිදාගත්තම ලේසියෙන් ඇහැරෙන්නේ නෑ, ඒ වෙලාවට ගිහිං කණ්නාඩිකුට්ටම හොරකම් කරන්න ඕන . ඒත් එත් මං කොහොමද දන්නේ එයා ඒක තියන තැන. මට ජෝෂුවගේ බිරිඳ වෙන්න වෙයි. ජෝශුවාගේ කකුල් මිරිකන්න , රෙදිසෝදන්න ,බල්ලා නාවන්න. මල්වලට වතුර දාන්න, ගේ අතුගාන්න, කෑම උයන්න උදේ පාන්දර තේ එක හදලා දෙන්න , මම කවදාවත් කරන්න කැමති නැති වැඩ ඔක්කොම මට කරන්න වෙයි. අයියෝ…..

රසායන විද්‍යාව පංතියේ මම හිටියද කියලා මතක්වුනේ ,කාබනික රසායනය පැවරුම එකතුකරන්න මිසිස් හන්ටර් මගේ ලඟට ඇවිත් හිටගත්තම .. ඒ වෙලාව කොයි තරං අමිහිරිද කියලාවත් මට මතක තිබ්බේ නෑ. ඒ තරම්ම මගේ හිතේ තිබුනේ මට මග අරුණු ඒ මගගු අවස්තාව ගැන.

*******

ඉස්කෝලෙන් පස්සේ මම පිස්සුවෙන් වගේ ජෝෂුවගේ ගෙවල් පැත්තට දුවන්න ගත්තා.
මගේ පිටිපස්සෙන් ආවේ ගිල්බර්ට් .. ඇත්තටම කිව්වොත් මට ගිල්බර්ට්ව මතක් වුනෙත් ඒ වෙලාවෙමයි .

“මෙලීසා… මෙලීසා ඔහොම නවතින්න .. ඔයාට මොකද මේ ..? අපි යමු ඇවිදින්න”

“කරුණාකරලා යනවා යන්න , මට පාඩුවේ ඉන්න දෙනවා ..මගේ පස්සෙන් එන්න එපා.” තමුසෙට ඇහුන නේද මම කියපු දේ ?

ගිබර්ට් නැවතුනා නෙවෙයි හිටපුතැනම ගල් ගැහුනා .

මම ටික දුරක් දුවද්දී මට හිතුනේ ….ඇයි මම ගිල්බර්ට්ට ඒවගේ කෑගැහුවේ , ඒ කියන්නේ ජෝෂුවා මාව පාලනයට අරගෙන .

“ඔහොම ඉන්න” කියාගෙන මම ආපහු හැරුනා , මට ඕන වුනේ ජෝෂුවාගේ ග්‍රහණයෙන් මිදිලා ගිල්බර්ට්ට තුරුළු වෙන්න ..ඒත් එයා නෑ. ඈත යන ගිල්බර්ට්ගේ නිල්පාට ජර්සිය මැද තියෙන කහපාට ඉරිතුන මට පේනවා

එතකොට නිල්පාට කණ්නාඩිකුට්ටම ? ,මම ආපහු හැරුනා , කමක් නෑ ,මායම් ඔක්කොම දාලා හරි ආපහු මම ජෝෂුවාගෙන් යතුරු පුවරුව ගන්නවා.
මම ජෝශුවාගේ මිදුලේ බටහිර කොනට වෙන්න තිබුණු සන්ඩයල් එක යට තිබුණු කුහරේ බැලුවේ නිකමට , මම දන්නවා නිල්පාට කණ්නාඩිකුට්ටම එතන නෑ කියලා හොඳටම .

“මොනවා …………………………”

මට කෑගහුනේ ඉබේටම. කණ්නාඩිකුට්ටම එතනමයි , “මේ මොන පුදුමයක්ද ?”

එතකොටම ඇහුනේ ඉදිරිපස දොර ඇරගෙන කව්දෝ එලියට බහින සද්දේ

“ආ මෙලීසා , ඔයා ආපු එක හොඳයි ජෝෂුවා කියවන්නෙම ඔයා ගැන මම හිතන්නේ එයාට ගොඩක් අමාරුයි , ඩොක්ට කියන්නේ සෑහෙන්න පරිස්සම් කරගන්න වෙයි කියලා”

මගේ කට ඇරුනේ මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව

“මම හිතන්නේ එයාට ඉන්ෆ්ලුවෙන්සාව , තදින්ම……………….. ගිහිං ජෝශුවාට කතා කරන්න”

එහෙම කියපු මිස්ට ඕබ්‍රයන් පාරට බැස්සා , ඔහු යන දිහා බලාගෙන හිටපු මම ඇතුලට දිව්වේ විදුලි වේගයෙන් ,නිල්පාට කණ්නාඩිකුට්ටම දාගත්තම පෙනුණු රිදීපාට ඊතල දිගේ මම වේගයෙන් දිවගියේ මග ඉඳන්ම …………කියමින් . ඇත්තටම මට ජෝෂුවා ගැන මතක් වුනේ නෑ, එයාට කොච්චර අමාරු වුනත් මට ඒ ගැන වගක්වත් නෑ .

යතුරු පුවරුවේ සියල්ලම ඒ ආකරයෙන්ම , මට හෙලුනේ සැනසුම් සුසුමක් වන්න ඇති.

එත් එක්කම හිතට ආවේ මහා කුරිරු සිතිවිල්ලක් , පාසලේ බැජ් එක අමුනලා තිබ්බ කටුව අතට ගත්ත මම ,යතුරුපුවරුවේ ජෝෂුවා වෙනුවෙන් තිබ්බ කුඩා කුහුඹු ප්‍රමාණයේ මිනිස් රූපය පසාරු කරගෙන යන්න ඇන්නේ වියරුවෙන් වගේ , දෙතුන් පාරක් එහෙම ඇනලා බැලුවම මට මහා විසාල සැනසීමක් දැනුනා . ඒත් එක්කම හිතට ආවේ මහා හිස් හැගීමක්, ඒත් ඒක පසු තැවීමක්ම නෙවෙන බව මම දැනගෙන හිටියා .

*******

ඉන් පස්සේ කවදාවත් ඒ ජෝශුවාට අයත් මිනිස් රුව හොල්ලන්නවත් බැරි බව මට තේරුනා . එත් ඊලඟ මොහොතේ වුනේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක් , ජෝශුවාගේ මිනිස් රූපය දීප්තිමත් විනිවිද පෙනෙන රතු වර්ණයකින් පිරිලා ගියා . ඒ තුලින් සිහින් ශබ්දයක් නිකුත් වෙන්න ගත්තම මම පුදුම වුනා .

“ඔයාට ඕන කරන හැම දේම මම කරලා දෙන්නම්” ,, ඒ ජෝශුවාගේ කටහඬ ,

“එත් කොහොමද එහෙම කරන්නේ ඔයා මැරිලා ඔයා මැරිලා …. දැන් මේක මගේ ,මේ හැමදේම පාලනය කරන්නේ මමයි….”

“ඒත් එක්වරක් හරි මේක පාලනය කල කෙනෙක් මේ යතුරු පුවරුවේ බලපෑමෙන් මැරුනොත් , එතන ඉඳලා එය යතුරු පුවරුවට අතරමැදියෙක් වෙනවා , දැන් ඔයාට ඕන දේවල් කරන්න වෙන්නේ මගේ හරහා .. හොඳයි ඔයාට මොනවද ඕන…”

“ඒ කියන්නේ මම මේ කරපු කිසිම දේකින් වැඩක් නැද්ද ? ඔයයි මාව මෙතනට ගෙනාවේ , ඔයයි මගේ ආදරේ බලෙන් ගන්න හැදුවේ , ඔයයි මට ගිල්බර්ට්ව නැති කලේ. ඒ පලිය ගන්නයි මට ඕන වුනේ …… දැන් මම නිසා මගේ අම්මයි තාත්තයි දෙන්නම දුකින් ඉන්නේ , කිසිම දෙයක් නොකර මෙතනට වෙලා ඉඳලා මං එයාලගේ සතුට නැති කළා “

“මට පුළුවනි ඊටවඩා සතුටක් ලබා දෙන්න , ඒ දෙන්නම ජීවිතේ කවදාවත් නැති තරං සදහටම සතුටින් තියන්න මට පුළුවනි.”

“ඒ කොහොමද ? “

“ඔය තැඹිලිපාට යෂ්ටියෙන් ඒ රූප දෙකේ ඔලුවට හෙමින් තට්ටු කරන්න හරියටම තුන් පාරක් , එයාලා මින් පස්සේ සදාකාලිකව සතුටෙන් ඉඳියි , එයාලගේ ලෝකය පොඩිවුන්ගේ ලෝකෙටත් වඩා සුන්දර වේවි .”

නිල් පාට කණ්නාඩිකුට්ටම ජර්සියේ ඇතුල් සාක්කුවට ඔබා ගත්ත මම ගෙදර දුවන්න පටන් ගත්තා. සන්ඩයල් එකේ යට පැත්තේ කවුළුවට කණ්නාඩිකුට්ටම දාපු මම වේගෙන් දිව්වේ ගෙදරට , රෑ වෙන්න කලින් ගෙදර යන එක කොහොමටත් හොඳයි .

*******

ගෙදරට කිට්ටු වෙනකොටම මට දැනුනේ ලොකු අමුත්තක් ,ගෙදර වටේම තියෙන විදුලි පහන් ඔක්කොම වගේ දැල්වෙමින් තිබුනා , ගේ ඇතුලෙන් ඇහුනේ සද්දෙට සංගීත රාවයක්, දොර ඇරගෙන ඇතුලට ගිය මට හිතෙන දේවල් විස්තර කරන්න අමාරුයි . අම්මා සෝෆාව උඩ නැගලා මෙරුවෙක් අල්ලන්න උත්සාහ කරමින් හිටියේ මහා හයියෙන් හිනාවෙවී, තාත්තා පුංචි සෙල්ලම් කාරයක් අරගෙන ගේ පුරා බ්රූම් බ්රූම් කියමින් පදිමින් හිටිය,මම ආවද නැද්ද කියලවත් ඔවුන්ට සිහියක් තිබ්බේ නෑ. දෙයියනේ දෙන්නටම පිස්සු හැදිලා, හොඳටම පිස්සු.

ජෝෂුවා මොක්කද උඹ මේ කලේ , සදාකාලික සතුට කියන්නේ පිස්සු හැදෙන එකද?

*******

පහුවදා උදේම මම යතුරු පුවරුව ඉස්සරහට ගියේ සෑහෙන තරං කේන්තියෙන් , එත් ජෝශුවාගේ මිනිස් රුවට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. හරියට කළු ගල් කැටයක් වගේ .

“උඹ මොකක්ද මගේ අම්මටයි තාත්තටයි කලේ, ඇයි ඒ දෙන්නට පිස්සු හැජුවේ…..” මට අඬන නිසා කතා කරගන්න බෑ…:”

“කතා කරපං මිනිහෝ උඹ සදාකාලික සතුට කියන්නේ පිස්සු හදන එකටද ?”

අර දීප්තිමත් රතු එලිය ආපහු විහිදෙන්න ගත්ත , මිනිස් රුව කතාව ඇරඹුවා .

“පිස්සු කියලා කියන්නේ ඇයි, ඒ දෙන්න දැන් හැමදාම සතුටෙන්, බාහිර කිසිම දෙයක් නිසා එයාලගේ සතුට වෙනස් වෙන්නේ නෑ. ඔයාට ඕන වුනේ ඒ දෙන්නව සතුටෙන් තියන්න , අමතකද?”

“මට ඕන වුනේ නෑ ඒ දෙන්නට පිස්සු හදන්න , හොඳ හිතින් ඒ දෙන්නව සනීප කරලා දීපං, ඒ දෙන්නට සැනසුම ලබා දීපං.”

“මට පුලුවනි සැනසීම ලබා දෙන්න, ඒත් ඔබ ඒකට මගෙන් ඉල්ලීමක් කරන්නොන, තර්ජනය කිරීමෙන් කිසිම දෙයක් නොලැබී යන්න පුළුවනි .”

“හොඳයි උඹ කියන ඕනෑම විදිහකට මම උඹෙන් ඉල්ලිම කරන්නම් ජෝෂුවා ,මගේ අම්මටයි තාත්තටයි සැනසීම ලබා දීපං ,මට සමාවෙලා “

ආපහු දෙපාරක් රතු පාටින් දිලිසුනු රූපය

“එහෙනං අර තැඹිලි පාට යෂ්ටියේ අනික් කෙළවරෙන් ඒ රූප දෙකේ ඔලුවට එක පාරක් විතරක් අනින්න “

කියපු සැනින් උපදෙස පිළිපැද්ද මම ගෙදර දුවගෙන ගියා …

*******

මගදී අකුණු ගගහ හැලුණු වරුසාව නිසා මට සෑහෙන වෙලාවක් පාර අයිනේ තියෙන මැටි බඩු සාප්පුවට වෙලා බොරුවට බඩු ගන්න ආපු කෙනෙක් වගේ කැරකෙමින්ඉන්න වුනා , ඒ මගේ හිත මට වඩා ඉදිරියට යද්දී ,
වැස්ස තුරල් වෙද්දීම මම ගෙදර ට දුවද්දී මම දැක්ක දෙයින් මගේ කකුල් ගල් ගැහුනා ..
ගෙදර ප්‍රධාන දොරෙන් එලියට පැමිණීමෙන් තිබුනේ නගරයේ ෂෙරිෆ්වරයා සමගින් වෛද්‍යවරයා .

“මම හිතන්නේ හදිසි හදවත් ආබාධයක්. ”

“ඒත් දෙන්නම එක සැරේ.. ”

“ඒක තමයි ප්‍රශ්නේ ෂෙරිෆ් ……ඒත් කිසිම සැක කටයුතු දෙයක් නෑ…”

ඒ එක්කම දෙදෙනාගේම ඇස යොමුවුණේ මගේ දිහාට …..ඒ මූණු වල අනුකම්පාව සටහන් වෙලා තිබ්බා මට දැනුනා

“සදාකාලික සැනසීම මම ලබා දෙන්නම්” අම්මගෙයි තාත්තගෙයි සුදු රෙදිවලින් වහපු සිරුරු දෙක නිවසින් එලියට ගනිද්දී ජෝශුවාගේ රූපයේ කටහඬ මගේ සවනතර දෝංකාර දෙන්න පටන් ගත්තා , නොදැනුවත්වම අතින් වැටුණු නිල් පැහැ කණ්නාඩිකුට්ටම මම පාගලා කුඩු කරලා දැම්මා .

http://iwanpaulooshaa.blogspot.co.uk/2015/09/3.html

Related Posts

1 Comment

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල