විද්‍යා ප්‍රබන්ධ

දමනය 4

1

පෙ.ලි. – මේ කතාව ලියෙවෙන්නේ බස්සී විසින් ලියූ දමනය කෙටි කතාව සහ ඉවාන් විසින් ලියූ දමනය 3 නම් දිගුවට තවත් එක් දිගුවක් ලෙස ජෝෂුවාගේ ඇසිනි. ඒ නිසා දමනය කතුවරිය වු බස්සිටත් මෙවැනි වු දිගුවක් ලියන්න අදහසක් දුන් ඉවාන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉදිරියේ මා නවකයකු නිසාවෙන් කතාවට යම් හානියක් සිදුවන්නේ නම් ඊට සමාව ඉල්ලන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.

 

දමනය 3

*******

මෙලීසා යතුරු පුවරුවේ පාලයන තමන් අතට අරගත්තට පස්සේ මට වුනේ එයාට ඕන ඕන විදිහට නැටවෙන ලී රූකඩයක් වෙන්න. හරියටම කියනව නම් අර ස්ටෙප්ස් කඳු කඳු මුදුනේ තියෙන හුදකලා පොප්ලර් ගහක් හුලඟ හමන හමන පැත්තට නැමි නැමි ඉන්නවා වගේ මෙලීසා කියන කියන දේ කරන්න.

හ්ම්…. ඒක මට කොහොමටවත්ම දරා ගන්න පුළුවන් දෙයක් වුනේ නෑ. ඊටත් අර ඕප දූප මල්ලක් වෙච්ච රිබේකා විලියම්ස් ලඟින් මාවත් වාඩි කරවලා මගේ රසායන විද්‍යා පොතේ අන්තිම පිටුවේ මගේම පොල් අකුරෙන් ” මෙලීසටත් එයාගේ ආදරවන්ත ගිල්බට්ටත් මම මුළු හදවතින්ම සුබ පතනවා ” කියලා ලියෙව්ව එකත්, ඊට පස්සේ රිබේකා ඒකත් මුළු ඉස්කෝලේ පුරාම කලින්ටත් වඩා ඉක්මනින් පතුරවලා මාව කට්ටිය ඉස්සරහ ලැජ්ජ කරපු හැටිත් මතක් වෙනකොට මගේ මූණ ආම්ලික මාධ්‍යකට දාපු ලිට්මස් කෑල්ලක් වගේ රතු පාට වෙන හැටි කණ්නාඩියකින් නොබැලුවත් මට දැනෙන පටන් ගත්තා.

කොහොම වුනත් ඒ කිසි දේකට මගේ හිතේ මෙලීසා ගැන තිබුනු ආදරේ මකලා දාන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒක ඒ තරමටම හදවතේ කර්ණිකා කෝෂිකා වලට උරාගෙනයි තිබුනේ.

*******

” හහ්.. හහ්.. හා… ජෝෂුවා… ඔයා මාව පාලනය කරලා කරපු දේවල් හැම එකකටම දැන් ඔයාට වන්දි ගෙවන්න වෙයි….”

මෙලීසා එයාගේ මූණට වැටුනු රන් වන් පාට කෙහෙරැල් දිගට වැවුණු රෝස පාට නියපොතු වල රෝල් කර කර කියද්දී මම හිටියේ තරහින් පුපුරන එයාගේ බීට් වයින් පාට ඇස් දෙක දිහා බලාගෙන.

” මේ අහන්න මෙලීසා… මට ඔයාට වරදක් කරන්න ඕනේ වුනේ නෑ.. මේ විදිහට ඔයා මට සැලකුවා වුනත් ඇත්තටම මම ඔයාට තාමත් ගොඩක් ආදරෙයි.. ”

” නවත්ත ගන්නවා ජෝෂුවා ඔය කතාව.. ආපහු ඔය දේවල් මට ඇහෙන්න කියන්න එපා. මට දැන් ඕවයින් වැඩක් නෑ. ”

” හ්ම්….. මගේ දැන් එකම හීනේ… මිස්ටය් හන්ටර්ගේ හිත දිනාගෙන මේ පාර රසායන විද්‍යා ව්‍යාපෘතියට හම්බෙන බ්‍රයන් වොට්සන් සම්මනේ ගන්නේ කොහොමද කියලා බලන එක. ”

” ම්…… කොහෙද මේ මිස්ටර් හන්ටර් ඉන්නේ… ”

“අහ්… මේ ඉන්නේ මෙගා මාර්ට් එකේ ගොල්ඩන් බාර් එකට වෙලා ෂැම්පේන් වීදුරුවක් බිබී, දුම් දාන ගෙඹිමස් ඩෙවල් එකක රස බල බල… ”

මෙලීසා ෆයිනස් ලීයෙන් හදපු කකුල් තුනේ උස ස්ටූල් එකේ තනි කකුලකින් යතුරු පුවරුවට බර වෙලා මිස්ට හන්ටර් දිහාවටම ඇස් යොමු කරගෙනයි හිටියේ.

” ඔන්න මම දැන් හැපල් හේගන් විද්‍යාලයේ හන්ටර් ඇලිවියේටර් මහතා මගේ මේ යතුරු පුවරුවේ ග්‍රහනයට හසු කර ගන්නවා… හහ්. හහ්.. හා….. ”

මෙලීසා පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දී මිස්ටර් හන්ටර්ව එයාට හිතෙන හිතෙන විදිහට පාලනය කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට එයාට තත්පර කාලෙන් දහයෙන් එකක තරම් කාලයක් වත් තිබුනේ නෑ එයා වාඩි වෙලා ඉන්න විදිහ ගැන ටිකක් හිතලා බලන්න.

ගෙවිලා ගියේ වේලිච්ච ඔලිව් කොළයක් ගහෙන් බිමට වැටෙන්න යන තරම් කාලයකටත් අඩු කාලයක්.

” දඩ බඩාස් ඩොහ් ඩෝ… ”

එකපාරට ඇහුනු මහ විසාල සද්දෙ නිසා වැහුනු ඇස් බාගෙට ඇරෙන්කොටයි මම දැක්කේ මෙලීසා දෙකට මැදින් කැඩුනු යතුරු පුවරුව උඩ වැටිලා ඉන්නවා.

“මෙලීසා…. ඔයා හොඳින් නේද … මම එක පාරටම මෙලීසා ගාවට දුවගෙන ගියේ ආලෝකේ වේගෙ හා සමාන වේගෙකින්.”

ඒ වෙනකොටත් යතුරු පුවරුවේ නිල් පාට ලොකු බොත්තමක් මෙලීසගේ නලල පසාරු කරගෙන ගිහින් ලේ විදිමිනුයි තිබුනේ.

මෙලීසාගේ සුදු පාට මූණ, රෝස පාට තොල්, රතු පාට පින්සලකින් ඕනවට එපාවට පාට කරලා වගේ ලේ වලින් නෑ විලා දුඹුරු පාට ඇස් පියවිලා තිබුනා.

වැටිලා හිටිය මෙලීසාව මම අත්දෙකට උස්සලා ගත්තේ දෙපාරක් හිතන්නේ නැතුවයි. ඊට පස්සේ ගේ ඉස්සරහ මිදුලේ නවත්තල තිබුන තාත්තගේ මොරිස් මයිනර් කාර් එකට මෙලීසාව දාගෙන පැයට කිලෝමීටර 80 කටත් වැඩි වේගෙකින් ලඟම තිබුනු හෙල්දි ලයිෆ් හොස්පිට්ල් එකට වාහනේ අරගෙන ගියේ උඩට ගත්ත හුස්ම පහලට දාන්නේ වත් නැතුවයි.
*******

” තැන්ක්ස් ජෝෂුවා… මට සමාවෙන්න මම ඔයාට හුඟක් වැරදි විදිහට සැලකුවේ.. ඒත් ඔයා මාව බේර ගත්තනේ…. ඔයා මට උදව් නොකරන්න මම මේ වෙනකොට මේ ලෝකේ නොහිටින්නත් ඉඩ තිබුනා. ”

” ඔයාට සිහිය ආව එක ගැන මට හුඟක් සතුටුයි.. ගෙවුනු දවස් දෙකේ ඔයා හෙලවෙන්නේ වත් නැතුව මේ ඇඳ උඩ ඉන්නවා මම බලාගෙන හිටියේ කොයි තරම අමාරුවෙන් ද කියලා මට විස්තර කරන්න බෑ මෙලීසා… ඒ දවස් දෙක මට කල්පයක් වගේ. ”

මෙලීසා එයාගේ නලල බැන්ඩේජ් කරලා තිබුනු තැන ඇඟිලි වලින් පිරිමැද්දේ මොකක්දෝ දෙයක් ගැන විමසිල්ලෙන් බව මම කාමරේ ජනේලෙන් එලීයේ තිබුනු පයින් ගහ දිහා බලනකොට ඇස් කොනින් දැක්කා.

” ජෝෂුවා.. මොනාද ඔයා ඔය අත්දෙකෙන් පිටිපස්සට කරගෙන හංගගෙන ඉන්නේ ? කෝ පෙන්නන්න මට ? ම්…… මට දෙන්න ගෙනාපු තැඹිලි පාටයි සුදු පාටයි ජුලියට් රෝස් මල් පොකුරක් වත්ද ? ” මෙලීසා පුංචි ළමයෙක් වගේ ඇහුවේ හරිම හුරතල් විදිහකට.

” මෙලීසා මට පොරොන්දු වෙන්න ඔයා දුක හිතන්නේ නෑ කියලා.. ”

” හ්ම් okay … කෝ බලමු ”

දෙකට කැඩුනු යතුරු පුවරුවේ කෑලි දෙකත් අටට කපපු පීට්සා එකක් වගේ පේන කණ්නාඩි කුට්ටමත් ජෝෂුවා මෙලීසගේ අත උඩ තියෙද්දී ඒ සුදු පාට අතේ රස්නේ ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා.

ඒ දුඹුරු පාට ඇස් වලින් ඇතුලට ගියේ දුකක්ද ? නැත්නම් සිද්ද වෙච්ච දේවල් ගැන කලකිරීමක්ද ? එහෙමත් නැත්නම් ?

ගතවුනේ විනාඩියක්ද, දෙකක්ද, පැයක්ද කියලා නොතේරුනේ මම මෙලීසගේ හිත කියවන්න උත්සාහ කරමින් හිටිය නිසයි.

සිවිලිමේ ඈත කෙළවරක් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටිය මෙලිසා එකපාරටම මගේ දිහාට හැරුනේ මොකක් හරි අහන්න කියලා මට දැනුනේ තරු කැට දෙකක් වගේ දිලිසෙමින් එයාගේ ඇස් වල තිබුනු කුතුහලයත් එක්ක.

” මිස්ටර් හන්ටර් ? ”

” හ්ම්… එයා ICU එකේ.. ”
***

http://littleflowerbuds.blogspot.co.uk/2015/09/90-4.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල