විද්‍යා හා තාක්ෂණ

විජේවීරගේ දොස්‌තර මස්‌සිනා දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයේ ගොදුරක් වූයේද ?

Off
අපගේ නීරෝගී බව වනාහී රටේ සමාජ සෞඛ්‍යය හා බැඳී පවතින්නකි – මාටින් ලූතර් කිං 
මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි.
යම් දරුණු ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දුන් පුද්ගලයකුට ඒ අවස්ථාව පිළිබඳ ඇත්තේ බියක්, සංත්‍රාසයක් හා අසරණ හැඟීමකි. ළමයකු නම් අවිචාරශීලී හා කලබලකාරී වීමට හැකියි. එකී ව්‍යසන අත්දැකීමේ ප්‍රතිඵලය අසීමිත පීඩනයක් අදාළ පුද්ගලයා මත පිහිටුවන අතර ඒ පිළිබඳ මතකාවර්ජනය යළි යළිත් ඒ සිදුවීමෙහි ඔහුව හෝ ඇයව පීඩාකාරී ලෙස ජීවත් කරවයි. මෙකී පීඩාකාරිත්වය තුළ ගොඩනැගෙන මානසික ව්‍යාකූලත්වය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ වගකීම් පසෙකට කරයි. මේ තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම චිකිත්සාමය කලමථය දක්වා නැත්නම් සමාජීය රැකියාමය හා වෙනත් අවශ්‍ය වගකීම් ඉටු නොකෙරෙන නැත්නම් ඒවායෙන් දුරස්ථ වන තත්ත්වය දක්වා වර්ධනය කෙරෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ මස්සිනා වූ  වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන වලට ලක් වූ වින්දිතයෙකි. ඔහුගේ ක්ලමථකාරී හැසිරීම් රටාව මාධ්‍ය විසින් වාර්ථා කල තිබුණි. වරක් අධිකරණය ඉදිරිපිටදී කැත්තක් රැගෙන කළහකාරි ලෙස හැසිරුණු  වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනි. ඉන්පසු   කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අණතුරුව වෛද්‍ය සුභාෂ් පිළිබඳව මානසික තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කිරීමෙන් පසුව ඔහුව   අංගොඩ මානසික රෝහලට යොමු කරන ලදි.
කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌ 
කාලයෙන් කාලයට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ගැන ආරංචි ලැබේ . එක්‌කෝ ඔහු කිසිවකුට පහර දුන්නේය. නැත්නම් කාගෙන් හෝ ගුටි කෑවේය. විටෙක කෙනකුට එරෙහිව උසාවි ගියේය. වසර 2012 මැයි 2 වැනිදා හෝ ආසන්න දවසක කොටුව පොලිසියට දිව ගිය ඔහු යෝර්ක්‌ වීධියේ බැංකුවක කළමනාකාරියක්‌ තමාට විරුද්ධව පරුෂ වචන පාවිච්චි කළ බවත් ඇගේ ආධාරයට පැමිණි බැංකු ආරක්‍ෂකයෙක්‌ තමන්ට පහර දුන් බවත් කියා සිටියේ ය. බැංකු කළමනාකාරිය අත්අඩංගුවට ගන්නා ලදුව රුපියල් 50000 ක ඇපයක්‌ මත නිදහස්‌ විය.
එම අවුරුද්දේම ජුනි මාසයේ මුල් සතියේ දවසක හෝ ආසන්න දවසක ඔහු තම රියෑදුරාට එරෙහිව කොළඹ උසාවියකදී නඩු කීවේය. තමාට අයත් මෝටර් සයිකලයක්‌ සහ ඩිජිටල් කැමරාවක්‌ විත්තිකාර රියෑදුරා බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටින බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.  ඉනුත් ඔබ්බෙහි පිහිටි ඉතිහාසයට ගමන් කරන විට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පිළිබඳ ප්‍රචණ්‌ඩ සිද්ධි කිහිපයක්‌ තිබේ. වසර 2000 දෙසැම්බර් මාසයේදී “දිවයිනේ” සහෝදර ඉංග්‍රීසි ප්‍රකාශනය වන “දි අයිලන්ඩ්” පත්‍රයේ පළ වූ පුවතක්‌ සම්බන්ධයෙන් කෝපයට පත් වූ ඔහු ජීප් රියක නැගී පිස්‌තෝලයක්‌ ද සහිතව උපාලි පුවත්පත් සමාගමට කඩා වැදීමට තැත් කළේය. එවිට ආයතනයේ යකඩ ගේට්‌ටු වහාම වසා දමන ලදී. දොස්‌තර ප්‍රනාන්දු තම රිය යකඩ ගේට්‌ටුවෙහි වේගයෙන් හප්පන ලද්දේය. ගේට්‌ටුව කැඩී බිම පතිත විය. දොස්‌තර ප්‍රනාන්දු වහා රිය හරවා ගෙන පලා ගියේය.
2001 පෙබරවාරි 15 වැනිදා සිට දින තුනක්‌ තිස්‌සේ පිළියන්දල සමුපකාර ශාලාවේදී ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පැවැත්විණි. 88, 89, 90 කාලයේදී ජ.වි.පෙ. සිදු කළ මනුෂ්‍ය සංහාර පිළිබඳ ඡායාරූප එම ප්‍රදර්ශනයට අයත් විය. 16 වැනිදා සවස බස්‌ දෙකක පිරවූ දාමරිකයන් සමග දොස්‌තර ප්‍රනාන්දු එහි ළඟා විය. ජ.වි.පෙ. විසින් මරන ලද අය ගැන ප්‍රදර්ශන පැවැත්වීමට පෙර යූ. එන්. පී. ය විසින් මරන ලද ජ.වි.පෙ. සාමාජිකයන්ගේ පින්තූර ප්‍රදර්ශනය කරන ලෙස ඔහු ප්‍රදර්ශනයේ සංවිධායකයා වූ පිළියන්දල ශ්‍රී.ල.නි.ප. සංවිධායක සහ නියෝජ්‍ය ඇමැති චන්දන කත්‍රිආරච්චිට කීවේය. පසු දින ප්‍රදර්ශනය පැවැත්වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය. පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුට පහර දුන්නේය. එහෙත් පසු දින චන්දන කත්‍රිආරච්චි හමු වී පෙර දින සිදුවූ වරදට සමාව ඉල්ලීය.
ඊට දින කිහිපයකට පෙර කොළඹ වරායේ 4 වැනි ගේට්‌ටුව ඉදිරියට ගිය ඔහු තමා පිටරටින් ගෙන්වූ රථයකට බදු ගැසීම ගැන විරෝධය පළ කළේය. එහිදී ඔහු මෙසේ ද කීවේය. “මම තමයි රන්ජන් විජේරත්නට වැඩේ දුන්නේ. මට ඒකට ලක්‍ෂ 80 ක්‌ ගෙව්වා…” එහෙත් පසු දින වරායේ හතර වැනි ගේට්‌ටුවට ගිය ඔහු පෙර දින හැසිරීම ගැන සමාව ඉල්ලා සිටියේය. වරායේ සිද්ධිය සහ පිළියන්දල සිද්ධිය අතර වාරයේදී කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැඟිල්ලට පැමිණ කළහ කළ ඔහුට තරුණයන් පිරිසක්‌ මිරිස්‌ කුඩු ගසා තිබිණි.(කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌)
වද බන්ධනයට ලක්වූ දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු
දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු මොරටුවේ විල්ලෝරවත්තේ පදිංචිකරුවෙකි. මොරටු මහ විදුහලේ උප විදුහල්පති වශයෙන් කලක් සේවය කල වික්ටර් ප්‍රනාන්දු ඔහුගේ පියා විය. ඔහුගේ එක් සොහොයුරෙකු වූයේ ලංකා ගරු සංගමයේ ප්‍රධාන ලේකම්වූ හේම නිහාල් ප්‍රනාන්දුය.  1969 ජවිපෙ සාමාජිකයෙකු වූ එච්. එන් 71 කැරැල්ලේදී අත්අඩංගුවට පත් විය​.
1965 දී චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරෙයි. විශ්වවිද්‍යාලයේදී සුභාෂ් චන්ද්‍රට  තරුණයෙක්‌ හමු වෙයි. ඔහු මහින්ද විජේසේකර ය. විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වූ මහින්ද විජේසේකර  ඔහුගේ මිතුරකු බවට පත් වන්නේය. 1971 පෙබරවාරි මාසයේදී රත්නපුර පොලිසිය මගින්ද විජේසේකර අත්අඩංගුවට ගත් අතර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ඔහුට ඇප දීමට පොලිසියට යයි. මෙහිදී සී. අයි. ඩී ය. ඔහුගේ පින්තූරයක්‌ ගනී.
1971 අප්‍රේල් මුල් සතියේදී පොලිස්‌පතිතුමාට සහ සී. අයි. ඩී. යට පෙත්සම් දෙකක්‌ ලැබෙයි. රත්නපුරේ ජ.වි.පෙ. නායකයා ලෙස දොස්‌තර සුභාෂ් චන්ද්‍ර කටයුතු කරන බව ඉන් කියෑවෙන්නේ ය. පොලිසිය වහාම ඔහු අත්අඩංගුවට ගනී. ජීප් රියට ඔහු පටවා ගන්නා පොලිසිය ඔහුට මඟ දිගේ දරුණු ලෙස පහර දෙන අතර රත්නපුරේ මුවගම පාලම අසලදී ජීප් රියෙන් එළියට ඇද දමා වෙඩි තැබීමට තීරණය කරයි. පාලමෙන් පල්ලට ඔහු පෙරළා දමන ලද නමුත් ඔහුට වෙඩි තැබීමට නියමිත වූ නිලධාරියා හදිසියේම අදහස වෙනස්‌ කර ගැනීම නිසා යළිත් ඔහු ජීප් රියට පටවා ගන්නා පොලිසිය ඔහු නිරුවත් කර කූඩුවට දමයි.
මෙකල චන්ද්‍ර ප්‍රනාන්දුගේ වයස අවුරුදු 25 කි. ඔහුට ලිංගික වධ දී මුත්‍රා පෙවීමට රත්නපුර පොලිසිය පියවර ගනී. ඔහුට දුන් වධවල සලකුණු අදටත් සිරුරෙහි ඇත. දිනපතා රාත්‍රි 10.00 සිට 2.00 දක්‌වා ඔහුට පහර දෙන රත්නපුර පොලිසියේ නිලධාරීහු රයිµලයෙන් ඔහුගේ කටට ඇන ඉදිරිපස දත් කඩා දමති. ඔහුගේ ඇඟිලි යකඩයකින් ද හිස්‌ කබල බැටන් පොල්ලකින් ද තලන ලදී, එහෙත් සවිමත් ප්‍රාණයක්‌ ඇති තරුණ දොස්‌තර මිය යන්නේ නැත.
දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. ඊළඟ දවසේදී ඔහුට වෙඩි තැබීමට රත්නපුර පොලිසිය කුමන්ත්‍රණය කරන මුත් නීල් වීරසිංහ ඔහු බේරා ගනී. 1973 වර්ෂයේ  චනද්‍රා ප්‍රනාන්දු යාපනයේ හිර ගෙදර රඳවා තබයි  මේ සියලු දුක්‌ කරදර මත හටගත් මානසික ප්‍රතිරෝධය නිසා සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පූර්ණකාලීන විප්ලවවාදියකු බවට පත් වෙයි.
1985 අගෝස්‌තුවේ දී කොටි සංවිධානය අනුරාධපුරයට පහර දෙන අතර කොළඹ සිටින දොස්‌තර ප්‍රනාන්දු එවකට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වූ ප්‍රේමදාස උඩුගම්පොල විසින් අත්අඩංගුවට ගනු ලබන්නේය. ඊට පෙර එනම් 1983 ජුලි කලබලයෙන් පසු ද එවකට සිටි සී. අයි. ඩී. ලොක්‌කා වූ ටිරල් ගුණතිලක විසින් ඔහු අත්අඩංගුවට ගෙන කිසිදු පොතක පැමිණිල්ලක්‌ නොලියා තබා හයමාසයක්‌ ගත් බැවින් 1985 අත්අඩංගුවට පත්වීම දොස්‌තර ප්‍රනාන්දුට එතරම් ගණන් ගත යුතු කාරණයක්‌ වන්නේ නැත. උඩුගම්පොල ඔහු දෙසතියකින් නිදහස්‌ කරන නමුත් පොලිසිය නිතර නිතර ඔහු අල්ලා ගන්නේය. සමහර විට දිනකට දෙවරක්‌ අත්අඩංගුවට පත්වන ඔහු නිදහස ලබයි. දිගුකාලීන සිර ජීවිතය නිසා ඔහු රෝගියකු බවට පත් වන්නේ ය.
රත්නපුර පොලිසිය පහර දීමෙන් ඔහුගේ උඩු තල්ලේ හටගන්නා වණ දෙකක්‌ වර්ධනය වීම නිසා 1988 දී සැත්කමක්‌ කර එය ඉවත් කරනු ලැබේ. එවිටත් ඔහු හිර ගෙදරය. 1989 දී ඔහු නිදහස ලබා ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි “වයිට්‌ හවුස්‌” නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. (කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌)
රෝහණ විජේවීර, දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු ගේ නැගෙනිය වූ චිත්‍රාංගනී විවහා කර ගැනීමට කැමති වූවද චිත්‍රාංගනී මුලදී එයට කැමති වී නැත​. ඉන් කුපිත වූ  චන්ද්‍ර සුභාෂ් තම නැගෙනියට හා තම මව​ට වෙඩි තබා මරා දමන බවට තර්ජනය කොට තිබේ. මෙම අසාමාන්‍ය හැසිරීම ගැන චිත්‍රාංගනී මෙසේ කියන්නීය​.
…….එයා අපේ ගෙදරින් ඇහැව්වට පස්‌සේ මට එක දවසක්‌ හම්බුවුණා. ඒ වෙනකොට මම අඬ අඞා තමයි හිටියේ… අම්මත් අඬනවා… අක්‌කා එනවා, එයත් අඩනවා… එච්.එන්. අයියාගේ බිරි`ද, සුසිලා අක්‌කා රෝහණට කැමැත්තක්‌ තිබුණේම නැහැ. මගේ ගැන යෝජනාව කරන්න කලින් ඉ`දලාම එයා එහෙමයි. රෝහණ අපේ මොරටුවේ ගෙදර එනවා කිව්වාම කෑමබීම එහෙම හදලා, “ඔය මිනිහා එනව නම් මම ඉන්නේ නැහැ” කියලා ගෙදරින් යන්න ගියා. එදා රෝහණ කෑම කාලා ආපු කට්‌ටියත් එක්‌කම ගියා… එදා ආවේ ගුරු සංගමේ කට්‌ටියක්‌.”  “මං දිගටම අඬනවා…. අම්මත් මේකට අකමැතියි… චන්ද්‍රා අයියා ඇවිල්ලා දිගටම මටයි, අම්මටයි, සැර දාලා යනවා. අන්තිමට චන්ද්‍රා අයියාට හොඳටම කේන්ති ගිහිල්ලා “මේ කසාදෙට කැමති වුණේ නැත්නම් උඹලා දෙන්නටම වෙඩි තියලා මරනවා…” කියලා අම්මටයි මටයි කෑ ගැහැව්වා. ඊට පස්‌සේ මම රෝහණව බ`දින්න කැමති වුණා. “සුදු අයියේ… මම කැමතියි…” කියලා චන්ද්‍රා අයියට මම කිව්වා.
හරියටම 1980 අවුරුද්දේ මාර්තු හත් වෙනිදා, චන්ද්‍රා අයියා අම්මවයි මාවයි එයාගේ කාර් එකේ දාගෙන ගම්පහ එයාගේ ඩිස්‌පෙන්සරියට එක්‌කගෙන ගියා. එතැනට රෝහණත් ආවා. මට අදත් මතකයි, රෝහණ මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි “මට ආරංචි වුණා ඔයා මට බයයි කියලා. ඇ`ඩුවා කියලා. ඒ මොකද .? ” කියලා. මං කිව්වා “ඔව් මං බය වුණා… ඇ`ඩුවා. දැන් බය නැහැ…” කියලා.  එයට ඇයගේ කැමැත්ත කියනවාද, ලැබීම කියනවාද, නැතිනම් බලහත්කාර ප්‍රයත්නයක කූටප්‍රාප්තිය කියනවාදැයි නොතේරේ. සිය සහෝදර දොස්‌තර චන්ද්‍රා ප්‍රනාන්දු විසින් ඇයගේ කැමැත්ත ලබා ගෙන තිබුණු ආකාරයෙන්ම එය ආදරය මරණ වරෙන්තුවක්‌ පෙන්වා උදුරා ගැනීමකට වැඩි යමක්‌ නොවීය. (චන්ද්‍ර අයියාට තියෙන බය නිසා විවාහයට කැමැතිවුනා-මනෝඡ් අබයදීර)
පසු සටහන ; වධ බන්ධනයට ලක් වීමත් හිසට සිදු කරන ලද පහර දීම් නිසාත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයෙන් මෙන්ම TBI (Traumatic Brain Injury) තත්වය නිසා හටගත් පෞරුෂ වෙනස් වීම් වලින් ද පෙලෙන බවට අනුමාන කිරීමේ සාධක තිබේ. වෛද්‍යවරයෙකු වී මිනිසුන් සුවපත් කිරීම පසෙක ලා  වරින් වර ක්ලමථ හැසිරීම් මගින් සමාජය කලඹන සුභාෂ් චන්ද්‍ර වද බන්ධනයේ වින්දිතයෙකු වූ අයුරු ශෝකනීය ය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල