අතීතකාමය, විශේෂ

පොහොසත් ඉන්දියාව හා දුප්පත් ඉන්දියාව

1

බඩු කර තියන්නා

තරාතිරම්වාදය ගැන ලිවූ කතාවක මගේ ඉන්දියානු වන්දනා ගමන ගැන සඳහන් කලෙමි. මගේ මව සමග යාමට පවුලේ වෙනත් අයට නොහැකි වීම නිසා ගිය ගමනකි මෙය. මම කෙලින්ම ලන්ඩනයේ සිට කටුනායක හරහා (ට්‍රාන්සිට්) චෙන්නායි නගරයට ගියෙමි. බ්‍රිතාන්‍යයේ සිටින බොහෝ ඉන්දියානුවන් ව්‍යාපාර කරන පොහොසත් අය වෙති. නැත්නම් වෛද්‍ය, ඉංජිනේරු, ඖෂධවේදී, හෙදි වැනි රැකියා කරන වෘත්තිකයන්ය. මගේද මිතුරන් කිහිප දෙනෙකු සිටින අතර ඉන්දියාව මධ්‍යම පන්තියේ දුප්පතුන්ද සෑහෙන ප්‍රමාණයක් සිටින ලංකාව වැනිම රටක් ලෙස සිතා සිටියෙමි. ලේය්ලන්ඩ් බස් සමාගම්, බැංකු, තෙල් කොම්පැනි හිමි ඉන්දීය ජාතික හින්දුජා වැනි සහෝදරවරු එංගලන්තයේ ධනවත්ම ව්‍යාපාරිකයන්ය. මම බොහෝ හින්දුන් අතර නිරීක්ෂණය කළ දෙයක් නම් මිනිසුන් දුප්පත් හෝ පොහොසත් වන්නේ, ආබාධිත වන්නේ පෙර කරුමයන්ට අනුව යයි දැඩි විශ්වාසයක් ඔවුන් අතර පවතින බවයි. මෙය හින්දුන් අතර පමණක් නොව පුදුම සහගත ලෙස ඉන්දීය මුස්ලිම් වරුන් අතරද තරමක් දුරට පවතින අදහසකි. දිළිඳු ජනතාව කෙරෙහි එතරම් අනුකම්පාවක් මා අඳුනන කිසිවෙකු කෙරෙන් නොදිටීමි. ඔවුන් සෑහෙන ලෙස සශ්‍රීක නිසා මෙසේ අනුකම්පා විරහිත ස්ථාවරයක් ගන්නා බව සිතුවෙමි.

ඉදින් මම අත් බෑගයක් සහ කිලෝ 20ට අඩු පහසුවෙන් ඇදගෙන යා හැකි මධ්‍යම ප්‍රමාණයේ පොඩි ගමන් මල්ලක් (සුට්කේසයක්) ද රැගෙන ගියෙමි. එහි තිබුනේ ඇඳුම් සහ කැමරා ආම්පන්න පමණි. දින විස්සක පමණ චාරිකාවක් නිසා හැකි පමණ බර අඩු කරගෙන අතවශ්‍යම ඇඳුම් හා අඩුම කුඩුම පමණක් ගැනීම මිට හේතුවයි. ආගමන විගමන දොරටුවෙන් පැමිණ ගුවන් තොටුපළෙන් එලියට යමින් මම ටැක්සි නැවතුම සෙව්වෙමි. සුට්කේස් එක රැගෙන යාමට බඩු ඔසවන්නන් කීප දෙනෙකු ඇසුවද මම ඒ විමසීම් නොතකා ඉදිරියට අදුනෙමි. කටුනායක ගුවන් තොටුපලේ මෙවැන්නන් ට මම පවුමක් දෙකක් දීමට මාරු කාසි රැගෙන යාමට පුරුදුව සිටියෙමි. සමහර වෙලාවට එය කරදරයක් ලෙසද සැලකුවෙමි. ඒ අප සූට්කේස් ගන්නේ තනිවම ඇද ගෙන යාමට හැකි වන පරිද්දෙන් නිසාය. දැන් කටුනායක ගුවන් තොටුපලේ මෙම සේවාව නතර කර ඇත.

අවුරුදු 14-15 වියැති පිරිමි ළමයෙකු මගේ පස්සෙන්ම ගමන් මල්ල කුලී රථයක් වෙත රැගෙන ගොස් දෙන්නට පෙරැත්ත කරමින් පැමිණියේය. අනිත් ගමන් මළු කර ගසන්නන් නතර වුවත් ඔහු නතර වූවේ නැත. ඔහු මට කරදරයක් වන තැන මම සැර කලෙමි. එවර ඔහු කලේ බිම දිගාවී ගෙන මෙන් දණ ගසමින් සූට්කේස් එක රැගෙන යාමට ඉල්ලීමයි. කිසිම මිනිසෙකු තවෙකෙකුට දණ ගැසීම හෝ බිම වැටී අයැදීම නොකළ යුතු යයි දැඩි සේ අදහන මම මෙතැනදී ඉමහත් අපහසුවට පත් වීමි. අහල පහල මිනිසුන්ට මෙය ගානක් නැත්තේ ඔවුන්ට මෙවැනි දර්ශන දැක පුරුදු නිසා විය යුතුය.

“මේ ගමන් මල්ල ඉතාම සැහැල්ලුයි. මට ගෙන යන්න පුළුවන්” යයි පැවසූ මම පැකිලෙමින් ම ඔහුට සූට්කේස් එක භාර දුන්නෙමි. මහත් ප්‍රීතියෙන් එය රැගෙන යන ඔහු මගෙන් කැඩුණු ඉංග්‍රීසියෙන් කොහේ සිට පැමිණෙන්නේද ආදිය විමසා කුලී රථ නවතන තැනට මා ගෙන ගියේය. පෝලිමේ තිබූ රථයක් නවතා ඔහු එහි මගේ ගමන් මලු දැමු පසු මම ඔහුට රුපියල් 60 ක් පමණ දුනිමි. එය පැන්ස 50 පමණය. මට පවුමක් දෙන්නට නොසිතුනේ මගේ බෑගය කොහෙත්ම බර එකක්ද නොවූ බැවිනි. ඔහු නැවතත් බිම පෙරලී ස්තූති කොට එතනින් ඉගිල ගියේය.

කුලී රථය හතර අතට කරකැවී කරකැවී ගොස් වටරවුමක නතර විය. රථ වාහන අධික වෙලාවක් වූ නිසා සැහෙන වෙලාවක් ඒ අසල රැඳුනු රථය ඉදිරියට ඇදුනි. එහි ඇති වට රවුමේ පාර මාරු වන පාලමක් වැනි කොටසක් විය. මහා පාරේ දෙපැත්තේ බලමින් සිටි මට පෙනුනේ අර සූට්කේස් එක රැගෙන ආ යව්වන ළමයාය. ඔහු පදික වේදිකාවේ පෙට්ටි ගොඩක් එකතු කර සෑදු තැනක වාඩිවී පුංචි ගැහැණු දරුවකුට රොටියක් කඩා කවමින් සිටියේය. ඔහු අසල ඇණ තියාගත් වැඩි වයසක් නැති ගැහැණියකුත් තවත් ළමයෙකුත් සිටියහ. මා බලන දෙස නිරීක්ෂණය කළ කුලී රථ රියැදුරා මදෙසට නොහැරීම “ඔහුගේ පවුල (his family)” කීවේය. “ඒ පොඩි කොල්ලා විවාහ වෙන්න විධිහක් නැහැ”. මම කීවෙමි. “නැහැ නැහැ ඔහුගේ මව සහ සහෝදර සහෝදරියෝ” රියදුරා පිළිතුරු දුනි. කොල්ලා රොටී කවමින් සිටියේ පුංචි ගැහැණු ළමයෙකුට වන අතර ඔහු ගේ මව යයි සිතිය හැකි කත පුංචි පිරිමි ළමයා සමග රොටී කෑලි කිසියම් ව්‍යංජනයකට ඔබමින් රොටී කෑවාය. මා පසු තැනක දුටු පරිදි ඒ පරිප්පුය.

බොහෝ දිළින්දන්ගේ දෛනික ආහාරය පරිප්පු සහ නාන් රොටිය බව පසුව දැනගතිමි. හදිසියේම මේ පිරිමි ළමයා බිම වැතිරෙමින් සූට්කේසය ගෙන යාමට ඉල්ලුවේ ඇයි දැයි මට වැටහිණි. එදා දවසම මුකුත් නොලබා සිටි ඔහුට මා එවෙලේ ගමන් මල්ල ගෙන යාමට දී සුළු මුදල නුදුන්නා නම්, ඔහුගේ මවත් කුඩා නැඟනිය හා මළණුවන් ද එදා දවස බොහෝ විට කුස ගින්නේ ගත කරනු ඇත. සිත කිසියම් සියුම් වේදනාවකින් කීරි ගැසී ගියේ ඒ වේලාවේය. ඉන්පසු ලැබුන අවස්ථා දෙක තුනකදීම මම හැම විටම සූට්කේසය ගෙන යාමට කාට හෝ ඉඩ දී කිසියම් සුළු මුදලක් අත තැබීමි.

දුම්රියේ ළමයා

අප චෙන්නායි සිට දුම්රියෙන් වෙනත් නගරයකට යමින් සිටියෙමු. දුම්රියේ තිබෙන වැසිකිලිය සෑම ප්‍රධාන දුමරියපළකදීම සෝදා පිරිසිදු කරන ලබයි. ඊළඟ ප්‍රධාන දුම්රියපල සැහෙන දුරක නම් වැසිකිලිය පිරිසිදු වන්නේ නැත. එක්තර වයසක මවක් (උපාසක අම්මා කෙනෙක්) වැසිකිලියට බැරි මරගාතේ ගියාය. දුම්රිය ඇදෙන්නේ වේගයෙනි. අර කාන්තාව වැසිකිලියේ හිඳ ගැනීම වෙනුවට එහි උඩ ඇන තියා ගන්නට තැත් කරන්නට ඇත. එහි ඇද වැටුණු ඇය භයවී දොර ඇරියාය. එලියට පැමිණ උදව්වක් ඉල්ලීමට කලින් ඇය ඇඳ සිටි ඇඳුමේම තෙත් කර ගත්තාය. ඇය සමග පැමිණි අය හැඬුම් මුහුණින් සිටි වයසක කත පිරිසිදු කර වෙනත් ඇඳුමක් ඇඳ ගැනීමට උදව් වීමට ඊළඟ මැදිරියේ වැසිකිලියකට රැගෙන ගියහ. මේ අල්ල පනල්ලේ මගේ මවටද වැසිකිලි යාමට අවශ්‍ය විනි. නමුත් කොරිඩෝරයේ හා වැසිකිලියේ හැම තැනම මූත්‍රා ය. කොරිඩෝරයේ අඩිය තබා එහාට යාමටද නොහැක. මොනවදෝ ලාභ සෙල්ලම් බඩුවක් වැනි දෙයක් විකුණන වයස දහයක පමණ ළමයෙක් පැමිණියේ මේ අතරය. ඔහු පසුපසින් තේ විකුණන වැඩිහිටියෙක්ද පැමිණියේය. මෙවැනි යමක් විකුණන මෙන්ම හිඟමනේද යන ළමුන් මේ දුම්රිය වල දැකිය හැකිය. තේ විකුණන තැනැත්තාගෙන් බාල්දියක් සොයා ගෙන එතන වතුර දමා සේදිය හැකි ක්‍රමයක් ගැන විමසුවෙමි. මදක් කල්පනා කර ඔහු ළමයාට යමක් කීය. ළමය හිස වැනුවේය. කියක් හෝ දෙන්නේ නම් ළමයා එතන ශුද්ධ කර දෙන බව කි තේ විකුණන්නා නික්ම ගියේය. මම ළමයාට මුදල් දෙන බව හා බාල්දියකින් බිම සේදීම හා මෝප් කරීම හැකි අයුරින් හස්ත මුද්‍රාවෙන් පෙන්වා දුනිමි. ඉන්පසු සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. තමන් හැඳගෙන සිටි කමිසය ගැලවූ ළමයා වැසිකිලියේ සින්ක් එකෙන් වතුර ගනිමින් බිම දමමින් තමන්ගේ කමිසයෙන් අර පොළොව සේදීමට පටන් ගත්තේය.

මේ අනපෙක්ෂිත සිදුවීමෙන් මා මෙන්ම මගේ මව හා එතැන සිටි කාන්තාවන් කීප දෙනෙකුද සසල වූ අතර කොලු පැටියා ට අනුකම්පාවෙන් ඔවුන් කතාබහ කරන්නට විය. මට මෙය නතර කරන්නට විධියක් නොවූ අතර නිහඬවම විනාඩි දහයක් පහලවක් පමණ බිම හා වැසිකිලිය පිරිසිදු කිරීමේ යෙදුනු ළමයා ඉන්පසු කමිසය සෝදා දොරටුවේ වනා එතන නිහඬව හිඳ ගත්තේය. මම ඔහුට පවුමක දෙකක වටිනාකමට ඉන්දියානු මුදලක් දුනිමි. ඔහුගේ දෑස ප්‍රීතියෙන් පිනා ගියේය. තේ කරුවා ආපසු එන විටත් ඔහු එතනම හිඳ සිටියා මිස තමන්ගේ අර පොඩි සෙල්ලම් බඩුව විකුන්නන්නට ගියේ නැත. “මිනිහට ස්වීප් එකක් ඇදිලා වගේ. ඊළඟ නැවතුමෙන් දැන් ගෙදර යනවලු. දවස් පහකට හරියන්න හම්බ කරලා.” තේ කරුවා ඉරිසියාවෙන් මෙන් කිවේය.

දරු දෙදෙනා

දිනක දුම්රියේ ගමනකින් පසු අප ගියේ බස් රථ වලය. සුප්‍රසිද්ධ තැනක අප නටබුන් බැලීමට ගමන් කරන මාර්ගයේ සුපුරුදු ලෙස යාචකයන් මග දෙපස රැඳී සිටියහ. මේ දරු දෙදෙනාද සිටියේ එතනය. මා මුලින් සිතුවේ ඔවුන් ඉදිරියෙන් ම සිටි ගැහැනියගේ දරුවන් කියාය. අපේ නඩයේ සැදැහැති වන්දනාකරුවන් බොහෝ යාචකයන්ට නොයෙකුත් දෑ දුන්හ. එතනට අසල සිටින ඉන්දියානුන් ද පැමිණ බලා සිටියහ. ළමයි දෙදෙනාට බිස්කට් දුන්නත් කොලු පැටියා මුදල්ම ඉල්ලුවේය. “ළමයා හවසට ගෙදර ගෙනියන්න කීයක් හරි ඉල්ලන්නේ” මම කියුවෙමි. එතැන් සිටි ඉන්දියානු ජාතිකයා මා කීදේ වැටහුනාක් මෙන් “ළමයට සල්ලි ඕනේ ” යයි ඉංග්‍රීසියෙන් කීවේය. මේ ගමනේදී යන්තමින් හෝ සිංහල කතා කරන ඉන්දියානුන් කීප විටක්ම අපට හමු වුනි. අඩුම ගනනේ සිද්ධාලේප, සබන් සබන් කියා ඉල්ලීමට ඔවුහු දැන සිටියහ. බොහෝ අය ඉංග්‍රීසියෙන් කතා කරති.


“ගෙදර මව් පියෝ සල්ලි අරන් එන්න කියනවා ඇති ” මම කීවෙමි. “නැහැ මේ ළමයි ජිවත් වෙන්නේ අතන. ” ඉන්දියානුවා අතහැර දමන ලද විශාල කොන්ක්‍රීට් කාණු හා බංකර වගයක් පෙන්වමින් කිවේය. එතැන් තවත් ළමයින් සිටින බව පෙනුනි. එතැන් සිට මා දැනගත් කතාව මෙසේය. මේ පුංචි ළඳරුවන් දෙදෙනා ගේ දෙමාපියන් ජිවත් වන්නේ හැතැප්ම 500 පමණ ඈතය. රාත්‍රියට නිවසට යාමක් නැත. තමන්ට ඔවුන්ට කෑම ඇඳීම දීමට නොහැකි යයි පවසමින්, රැකියාවක් කර දිවි රැක ගන්න යැයි කියා පියා විසින් දරුවන් ගෙදරින් එළවා ඇත. අයියාට නංගිව රැක ගැනීම භාර දී, පියා පොඩි වුන් දෙදෙනාම අනුකම්පා විරහිත දෙස දුම්රියකට නංවා ඇත. අනිත් අනාත වූ දුම්රිය දරුවන් විසින් මොවුන් දෙදෙනා මෙතනට ගෙනවිත් තිබේ. ඔවුන් සියල්ලෝම ජිවත් වන්නේ අත හැර දමා ඇති අර ලොකු සිමෙන්ති පයිප්ප අස්සේ බංකර වැනි කොන්ක්‍රීට් තාප්ප ඇති තැනකය.

ඔවුන් රැයේ නිදා ගන්නේ මවගේ පියාගේ උණුසුමේ තුරුළු වී නොවේ. ඔවුන්ට අනිත් වැඩිහිටි මිනිසුන් ගෙන් ප්‍රශ්න, අපයෝජන ආදිය නොවෙන්නේ දැයි මම ඇසුවෙමි. මේ ගැන මට ඉන්දියන් ජාතිකයා කිවේ අපූරු කතාවකි. ඔවුන් අතර සිටින වැඩිහිටි ළමුන් ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරති. ඒත් අමුතුම විධිහටය. ඔවුන්ට ළමුන් ගෙවල් වල වැඩට පැහැරගෙන යාම්, අපයෝජන ආදිය සම්පුර්ණයෙන් වැළැක්විය නොහැකි නිසා (පොලිස් ආරක්ෂාවක් කියා දෙයක් නැත) වැඩිහිටි ළමුන් සිය කැමැත්තෙන් ඒවාට යටත් වේ. ඒ වෙනුවට පොඩි ළමුන් හම්බ කරන මුදල් හා කෑම වලින් කොටසක් ඔවුන් වැඩිහිටි ළමුන්ට දෙති. මේ අප නිතර නොදකින නොලියැවෙන ඉන්දියාවයි.

ඉන්දියාවෙන් එන්නට සිටි අවසන් දවස් දෙකේ මා නැවතී සිටි හෝටලයෙන් එපිට තිබුනේ නගරයේ මහ පාරයි. මෙහි පදික වේදිකාවේ ඇතැම් තැන්වල නොයෙකුත් දිළිඳු නිවාස නැති පවුල් දැකිය හැකිය. එවන් එක පවුලක් පාර අයිනේ යන්තම් අටවා ගත් ඉටි රෙදි කඩමලු යට ජිවත් වෙනු දුටිමි. ඒවායේ දොරක් කියා දෙයක් නැත. යන්තමට අව්වට වැස්සට හසු නොවී සිටින්නට අටවා ගත්තකි. මහා වැස්සක දී වුව මෙවන් අයට කඩ පිලකට වත් එන්නට කඩ හිමියන් ඉඩ දෙන්නේ නැත. පුංචි දුවෙකුත් පුතෙකුත් සිටි ඔවුන් ගේ මේ පුංචි “පැල්පත” පිටිපස කුණු වතුර ගලන කාණුවකි. උදේ නැගිට ජනේලයෙන් බලන විට මා දුටුවේ පාර අයිනේ ගලා යන වැසි වතුරෙන් දුවගේ මුහුණ සෝදන මවයි. වැස්ස තුරල් වූ පසු දරුවන් දෙදෙනා වැරහැලි අන්දවා පාරේ සෙල්ලම් කිරීමට යොමු කල මව ඉටි රෙදි වැසූ පැල්පතට වී සිටියාය. ටික වෙලාවකින් කොහෙන්දෝ සොයාගත් කෑම ටිකක් ගත් පියා එතනට පැමිණියේය. හතර දෙනාම පැල්පතේ ගුලිවී උදේ ආහාරය ගත්හ. දෙමව්පියන්ට ගුලිවී පුංචි උන් දෙන්නා කෑම ගන්න ආකාරය බලා සිටියෙමි. දිළිඳු වුවත් නැතත් දරුවන්ට මවු පියන්ගේ උණුසුම තිබේනම් කොපමණ අගෙයිද?

මේවා ලිව්වේ මගේ දානපති කමක් ගැන කීමට නොවේ. අප යන සංචාර වල බොහෝ දෙනා නොදකින පැත්තක් ගැන ලියන්නටය. ඉන්දියාව සුන්දර රටකි. බොහෝ පියකරු දර්ශන හා බෞද්ධ නටබුන් දුටිමි. ඒ අතර බිහාරයේ දරුණු දුප්පත්කම ඉස්මතු වී පෙනෙයි. චීනය හා සසඳන කල ඈත පෙදෙස් වල ඉන්දියානු ගම තවමත් දුප්පත්ය. බුද්ධ ගයාවේ සිදුහත් කුමරු විශාඛාව ගෙන් පිඬු සිඟා වැඩි ගමේ ඇතැම් පවුල් තවමත් ප්‍රවේනි දාස ක්‍රමයේය.

මේ පින්තුරයේ සිටින ගැටවරයා එවැනි ප්‍රවේනි දාස පවුලක අයෙකි. වන්දනා ගමනේ යෙදෙනෙ බොහෝ ලාංකිකයන් බෙහෙත්, බිස්කට් මෙන්ම මුදල් ද මේ ළමයින්ට ත්‍යාග කරනු දුටිමි. එසේම ගමන අවසානය ලංවන විට මේ සැදැහැතියන් බුදු බැතිය පසෙක දමා නොයෙකුත් බඩු බාහිරාදිය පිස්සුවෙන් මෙන් මිලදී ගනු දුටිමි. මේ බස් තුනක පමණ සෙනග එක කුඩා ගමක සපත්තු කඩය හා තවත් මොනවදෝ කඩයක තිබු සියලු දේ මිලදී ගත්හ. චෙන්නායි වලද මෙය දුටිමි. මේ බෞද්ධ සිද්ධස්ථාන අසල ඇති බොහෝ ගම්වල ආර්ථිකයට වන්දනා කරුවන් ගේ පැමිණීම සහනයකි.

සිඝ්‍රයෙන් දියුණු වනවා යයි කියන ඉන්දියාවේ තවමත් අන්ත දරිද්‍රතාවය ලංකාව මෙන් කීප ගුණයකි යයි මට සිතේ. මේ ලබන දියුණුවේ පල ඉන්දීය වැසියන් සියල්ලන්ටම ලැබෙන්නට තව දශක ගණනක් ගත වෙනු ඇත.

 

කොළඹ ගමයා

Related Posts

1 Comment

  1. wimala BANDARA December 7, 2015 at 5:34 pm - 

    perum puragena mamath dambadiwa wandana karanna giya….
    ehema duppathkamak…….
    shraddhawa athurudanwa kammpanayata pathvuna.
    api dambadiwa yanne ayi.
    ..

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල