කාලීන සංවාද

සර්පයාගේ කොලම 4

Off

නොබෙල් හා ජිනීවා හිටපු ගමන් මහා සංගෙඩියක් සිද්ධ වුණි. ඇන්නෑවේ කියා නොබෙල් සම්මානය සිරි ලංකාවට ලැබිණි. ඒ මදිවාට මේ හත්ඉලව්ව ලැබිච්ච් ලේඛකයා ගැන සිරි ලංකාවේ බල්ලෙක්වත් දැනගෙන උන්නේ නැත. ඒ පොත කියවා තිබුනේ ලේඛනාරක්ෂකේ මහත්තැන් කෙනෙකුත් තවත් පාඨකයන් දහපාළොස් දෙනෙකුත් පමණි. ඔවුන්ද ඒ මදිවාට එහෙව් ලේඛකයෙක් ගැන දැන නොසිටියේය.

පොතට සම්මානෙ ලැබුණු ගමන් පොත ගැන පළ වන පත්තර ලිපි නිසා බැලූ විට මිස මේ ලේඛකයාගේ නම දන්නා කෙනෙක් හිටියේ නැත.

ඒ මදිවාට ලේඛකයා මේ ගැන දැනගත්තේ කාලෙකට පසුව ටවුමකට ආ විට අහම්බෙන් කඬේක එල්ලා තිබුණු පත්තරේකිනි. ලේඛකයා ගැන ඕනෑ නැත. ඒක පස්සටය. නොබෙල් හම්බ වෙච්ච ගමන් චූලවංස උන්නැහේ ස්විස්ටර්ලන්ත ඇම්බසිය ඉදිරිපිට ලෙමන්පෆ් උපවාසයක් පටන් ගත්තේය. දේශද්‍රෝහීන්ට සම්මාන දෙමින් ජාතික ඒකාග‍්‍රතාව විනාස කිරීමට උදව් දෙන නොබෙල් සම්මානය වර්ජනය කරනු කියා හේ මාධ්‍යයන්ට නිවේදනයන් නිකුත් කළේය. ඩයිනමයිට් සොයා ගැනීමේ හිමිකම් මුදලට එන පොලියෙන් පිරි නමන සාම ත්‍යාගයන් හෙලා දකිමු ලොකුවට ලෙමන්පෆ් පැකට් එකට පිටි පස්සෙන් ලියා තිබුනත් බිස්කට් කොම්පැනි එකෙන් සල්ලි අරන් දෝ වෙබ් සයිට්කාරයෝ කළේම බැනර් එක වෙනුවට ලෙමන්පෆ් එක රවුම් කොට දැක්වීමයි.

අන්තිමේ එක ?ක ඇල්ප‍්‍රඞ් නොබෙල් හීනෙන් චූලවංස හමුවන්නට ආවේය. ඒ නොබෙල් බව හඳුනා ගන්නට චූලවංසට සැහෙන වෙලා ගියේය. ඒත් එතුමා ස්වයං හැ`දින්වීමක් කළාටත් පස්සේය. ඉන් පස්සේ ජනාධිපතිටත් වඩා නොබෙල්ට පක්ෂපාතී වූ චූලවංසයන් ඩයිනමයිට් සිරි ලංකාවට ගෙන්වීමට කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කරන්නට හැකිදැයි මුට්ටිය දැම්මේ කඩුවෙල පැත්තේ ගල්වලවල් ටික හිතේ තියාගෙනය. ඒත් ඒක එතනින්ම ලොප් විණි. මන්ද ඩයිනමයිට් සොයා ගත්තාට තමා ඒ කර්මාන්තයට ඒ කාලේම ටටා බායි කිවූ බව නොබෙල් කී හෙයිනි.

ඒ ගමන මුගෙන් ඇති වැඬේ මොකක්දැයි සිතුණු බැවින් චූලවංස ආයිත් වයින් වී නොබෙල් විරෝධය පටන් ගත්තේය. ඩයිනමයිට් හිමිකම් මුදලින් දෙන සාම ත්‍යාග එපා කියා චූලවංස කෑගැහුවේ තවත් දෙගිඩියාවක් එක්කය. මන්ද පේටන්ට් එකයි රෝයල්ටි එකයි දෙක පැටලීගෙන යනවා වගේ දැනුනේ ගංජා මතයි වචන මිස කිසිවක් හරියට නොදත්කමයි එකට පැටලෙන පූරුවේ ජන්ම ගතියටය. ඒ අතරේ සාම ත්‍යාගයයි, සාහිත්‍ය ත්‍යාගයයි දෙකත් එකක් කියා චූලවංස හිතා සිටි බැවින් මේ හම්බ වී තිබෙන්නේ සාම ත්‍යාගය කියා පොට වැරදී තිබිණි. මෙයත් ජිනීවා යෝජනාවලියේම කෑල්ලක් යැයි ගංජා මතයි ලෙමන්පෆ්වලින් සංසි`දවිය නොහැකි බඩගින්නයි නිසා ඊළ`ගට චූලවංසට සිතුනේය.

නොබෙල් ඇසුවේ ‘ඩයිනමයිට්වලින් වෙච්ච විනාසෙ දැකලා මං කම්පා වුනා. ඉතින් ඒකයි මං සාම ත්‍යාගයකට ඒ සල්ලිවලින් එන පොලිය යොදන්න කිව්වෙ. ඒක වැරදිද?’ කියාය.

‘කිඹුල් කඳුළු’ චූලවංස කීවේය.

‘එතකොට මිරිසවැටිය.‘

‘ඒක හැදුවෙ එලාර රජතුමානෙ.’

‘පිස්සුද? දුටුගැමුණු.’

මහල්ලා සහ මුහුද මෝපසාං ලිවුව එකේ ඕක ඉතින් මොකක්දැයි නොබෙල්ට හිතුනේය.

‘හරි හරි මට වැරදුනා. ඉතින් මොකද, මිරිසවැටිය?’

‘ඒකත් මේ වගේ තමා’

‘ඒ කොහොමද?’

‘මිරිසවැටිය කියන්නේ වෙච්ච අමතක වීම නැත්තං වැරැුද්ද ගැන දුටුගැමුණු රජතුමාගේ හෘදය සාක්ෂිය.’

‘ඉතින්?’

‘ඉතින් මේක මගෙන් නොදැන වෙච්ච වරදට මගෙ හෘදය සාක්ෂිය.’

‘බම්බුව ඔව්වා කියනවා ෂොල්හයිම්ට. අපි වගේ කැප්පෙටිපොලලට ඕවා කියන්න එපා.’ චූලවංසට මලම පැන කීවේය.
පොතට විෂය වී ඇත්තේ මාතලේ පැත්තේ කතාවක් කියා කොහෙන්දෝ ඇහි`ද ගත් චූලෙ ආයිත් වයින් වුණේ සමූහ මිනී වල ගැන ලියලා තමයි එහෙනං මේ සම්මාන අරන් තියෙන්නේ කියාය.

ඒ ගැන මීඩියාවලට කට් එකක් දුන් ගමන් නන්දිමිත‍්‍ර යෝධයාත් වයින් වුනේය. කාබන් 14 පරීක්ෂණ පිළි ගත නොහැකි බවත් කාබන් 28 වත් මේ සඳහා අවැසි බවත් තරයේ කියා සිටියේය.

අන්තිමේ කොහොම හරි මේ බල්ලෙක්කත් නොදන්න ලේඛකයාගේ කහ ගැහි දූවිලි වැදී තිබූ පොත් ටික සුරුස් ගා විකිණිනි. පොත් කඩවල් වට කරගත් ජීවිතේටවත් පොතක් නොකියවූ පාඨකයන්ගෙන් උදම් වුණු පොත් කඩකාරයෝ ලේඛකයකුවත් ප‍්‍රකාශකයකුවත් සොයා ගත නොහැකි මේ පොත හුරේ කියා අච්චු ගසන්නට ගත්හ. ඒත් පොතට වාරණ නියෝග ඉල්ලා චූලවංස විතරක් නොව ඊළඟට බලූ පුකෙන් හරි රිංගා පාර්ලිමේන්තුවට යන්නට බලා සිටින ජාතික කට්ටියද අධිකරණයට ගියේය. ඒත් ලේඛකයෙක් සොයා ගන්නට නොවීය.

මේ අතරේ රන් පොත්කාරයා බල්ලා මාක් වී ගියේය. මන්ද ලස්ස පහ වගේද ඕයි නොබෙල් කීයක් නංද? පරම්පරා කීයක් ගොඩද? අපි ලේඛන කලාව වෙනුවෙන් කොයිතරං දුක් වි`දලා කියනවද? කැප කරලා තියනවද? ඉතින් කට්ටිය නොබෙල් ගන්න හිතාගෙන පොත් ලියන්නට ගත්තෝය. ප්‍රොපයිල් හදන්නට ගත්හ. නොබෙල් හම්බ වුනාම දෙන්න පොලියට සල්ලි අරන් ලියන්නට ගත්තෝය. පෝන් ඕෆ් කරගෙන ලියු ලිවිල්ලේ තරම කිවහොත් එක ලේඛක බල්ලෙක්ගෙන්වත් සම්මුඛ සාකච්ඡුාවක් ගන්නට වසර ගණනාවක් යන තෙක්ම පත්තර උන්දැලාට නොහැකි විණි. මේ අතරේ අර ලේඛකයා නොබෙල් තෑග්ගත් ගත්තා මිස ඒත් ඉතින් සිරි ලකට නම් ආවේ නැත. ඒ නිසා ඔහු එක්ස් පැටි‍්‍රයට් ලේඛකයෙක් බව හැමෝම සිතා ගත්හ.

කොහොම හරි මේ ලේඛකාවතාරයක්දැයි විචාරකයෝ සැක මතු කළහ. අන්තිමේ මෙන්න බොලේ නොබෙල් තෑග්ගට පොත් ලියන හැටි කියා පොත් පිංචක් මේ ලේඛකයාගේ නමින් වෙළඳපළට ආයේය. ආයිත් වාක්‍ය රචනාවක්වත් ලියා ගන්නට ඉස්කෝලේදීත් බැරිවුණු සියල්ලෝ පොත් කඩ වට කර ගත්තේ සුපර් ස්ටාර් කාලේ වාගේය.

වියරණ ඇදුරෙක් නොබෙල් සම්මානයට පාත‍්‍ර වූ කෘතියේ සිංහල මුල් කෘතියේ වියරණ වැරදි පෙන්වමින් පත්තර බදු ගත්තේය. ඉංග‍්‍රීසි පරිවර්තනයේ පිටපත් ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී තිබූ අතර පත්තරකාරයන්ට ඉංග‍්‍රිසි පරිවර්තනයේ මුලයි අගයි තිබූ විස්තරවලින් හා නොබෙල් සාහිත්‍ය කමිටුවේ නිර්දේශ පාඨයන්ගෙන් මේ ලේඛකයාගේ ප්‍රොපයිල් එක හදා ගන්නට සිදු විණි. ඒ අතරේ කවුරු දෝ ස්කයිප්වලින් සම්මුඛ සාකච්ඡාවක් ලේඛකයා සමග සිදු කොට පත්තරයක පළ කළේය.

කෙසේ වුව මේ ලේඛකයා පොත් තොගයක්ම ලියා තිබුණු අතර ඒවා බල්ලෙක්වත් කියවා තිබුණේ නැත. නොබෙල් තෑග්ග ගත්තත් ඔහු වයසින්ද, අපේ පොත් පැක්ටරි එක්ක බැලූවාමද ආධුනිකයෙක් විය. සර්පයා දවසක් කැලේ මැද්දෙන් බඩ ගාගෙන යද්දී මේ ලේඛකයා ගංජා හේනක් මැද සිටියදී සර්පයාට හමු විණි. සර්පයා ඔහුව හඳුනා ගත්තේම නැත.

සර්පයාට ඔහු නයි හාමි යන්න කියා කීවේය. සර්පයාද තමන්ට කරදරයක් නොවන බව දැන ඉල්ලන් කන්නේ නැතුව සුරස් ගා ඇදී ගියේය.
එහෙත් සර්පයා සුරුස් ගා ඇදී යන විටම සර්පයාට ඇහැරිණි. ඒ සමගම සර්පයාට මහත් දුකක් ඇති විය. මන්ද තමා සිහිනෙන් හමු වූ මේ මිනිසාව හඳුනා නොගත් බැවිනි.
කේ.කේ.සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල