අතීතකාමය, විශේෂ

සල් පිල —————— නිවාඩු දවසට නිවී කියවන්නට……

1

“ඔබෙරා ……… ගී…ඊඊඊඊඊඊ………………….ඊඊඊඊඊ……………මන කැලඹේදෝ ………………….“
පංසලට ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන් වෙන් වසයෙන් දැනගන්නවා …. පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා.
ආධාර පත්‍රයයි
……………………. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන්ගේ …………………………..
මුල්ගල තැබීමේ සිට කොත පලන්දා සුදු පිරියම් කොට විවෘත කරන දා දක්වා උත්සව 25කි….30කි…කඨින පිංකම….මිහිදු මහා පෙරහැර…වළාකුලු බැම්ම…. මකර තොරණ….දහම් පාසල් උත්සව … මෙකී නොකී උත්සව සිය ගණනක් සඳහා වසරකට ආධාර පත්‍ර සිය ගණනක් හැම ගෙදරකටම ලැබෙනවා.
“යකෝ හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ…. ආධාර පත්තරනම් එනවා… ඔව්වා කොහොම ගෙවන්නද? “
ගමෙන් පත් කරපු ආධාර එකතු කරන ### අක්කා විසි තිස් පාරක් අපේ ගෙදරට ආවත් ලැබෙන ආධාරයක්නම් නැති තැන ආයෙත් නොඑන්නට වගබලාගන්නවා.
සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන… ඉස්කෝලෙන් අපිට ලැබෙන දිවා ආහාර මුද්දරේ…තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය….නිකං හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්. ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්‍රපටියකුත් පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක් නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත් දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා.
“සූටියෝ“
ඒ සූටියා කියන්නේ මට…. ආච්චි සූටියා කිව්වත් ගමේ එවුන් කියන්නේ චූටියා … උක්කුං සහ..සමීර..මට කියන්නේ චූටි….
“උඹ යනවානම් ඔය පන්දමක් හදලා ගනිං“
“මේ හදනවා ආච්චී“
ඉතිං උන්දැ හැඩවෙනවා. බ්ලැක්නයිට් පවුඩර් ටින් එක අරං ඒකෙන් තලියක් අරං මූණේ අතුල්ලගන්නවා. කොන්ඩේ ඩිංග දිග ඇරලා දිග හවරියක් ඒකට තියලා ඔළුවේ උඩට කරලා ලොකුවට ගැටගහනවා. උන්දැගේ ට්‍රංකා පෙට්ටිය ඇරලා ඒකේ තියෙන ඉස්තරම්ම රෙද්දයි හැට්ටෙයි අරං ඇඟේ පටලවාගන්නවා.
අපි පිරිස රැස්කරනවා.
“ලොක්කා පලයං සමීරට කියලා වරෙන්“ ලොක්කා කියන්නේ අපේ අයියා.
“නන්දික පලයං උක්කුවාව එක්කන් වරෙන්“ නන්දික කියන්නේ අපේ මල්ලී.
මං ඉතිං පන්දම හදනවා. මං කලින් කතාවක පන්දම හදන හැටි විස්තර කරලා ඇති. ඉතිං ඒ පන්දම් පංසල් යන්න මදි. මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි. මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල් පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක් සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල් කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්.
දැන් ඉතිං යවපු පයින්ඩකාරයෝ දෙන්නා යාළුවෝ ටිකත් ඇහිඳගෙන අපේ ගෙදෙට්ට එනවා.
“ආ…උඹලත් ආවද? යමල්ලා… යමල්ලා….සූටියෝ පන්දමයි ගිනිපෙට්ටියයි ගනින්“
“ධනසිරියෝ උඹ යන්නැද්ද?“
“ආ… යං අපි එන්නම්“
ධනසිරි අයියගේ කාණ්ඩේ වෙනස්. සුමනේ අයියා… විජේ අයියා..මන්තිරි අයියා…චූටප්පයියා….අප්පයියා.
“ඔවුන් ඉතිං කට ගොන්නක් බීගෙන ගංජ සුරුට්ටුවකුත් ගහලනේ පංසල් එන්නේ… නොදකින් පවු කාරයෝ“
ආච්චී තමන්ටම කියාගන්නවා.ඉතිං පඩිපෙල දිගේ අපි උඩහට නගිනවා. මම තමයි පන්දම අල්ලන්නේ. පන්දම්කාරයා තමයි ඉස්සල්ලා යන්නේ. ඉතිං කූඩැල්ලොත් කොයි වෙලේත් කකුලේ එල්ලෙන්න බලන් ඉන්න නිසා ඒවත් බල බල තමයි අපි පඩිපෙල නගින්නේ.දැන් ඉතිං ආච්චී පාරට ගිහිල්ලා එයාගේ කාණ්ඩේ රැස් කරනවා. බංඩේ සීයලාගේ ආච්චී… එතනින් ගියාම හීම්මැණිකේ නැන්දා…උඩහකඩේ ආච්චී… උදළුවත්තේ ආච්චී… එනකන් අපි තැන් තැන්වල ටැක් ගැහී ගැහී හීතලේ අත්දෙක ඉස්කෝල කොට කලිසමේ සාක්කුවේ පතුලටම බස්සගෙන ඉන්නවා… සුදු ඇඳුම් ඇඳගෙන ආච්චිගේ යාළු කාණ්ඩේ ආවත් අපේ ආච්චී උන්දැගේ ඉස්තරම්ම මල් මල් චීත්තෙයි හැට්ටෙයි ඇඳන් ඉන්නේ.
“ඇයි බං පංසල් යද්දි ඔව්වා ඇඳන් යනවද?“
බංඩෙ සීයලාගේ ආච්චි පලවෙනි වෙඩිය තියාගෙනම පඩිපෙල දිගේ පහලට දොක්කනවා.
“අනේ කට වහං ඉඳින් බං සල් පිලටනේ යන්නේ“
ආච්චී වෙඩිල්ල නිෂ්ක්‍රීය කරලා දානවා.
දැන් ඉතිං මම පන්දම ඔය කවුරු හරි ආච්චි කෙනෙකුට දීලා නිදහස් වෙලා පිටිපස්සෙන් එන අපේ යාළු කාණ්ඩෙට එකතු වෙනවා. දැන් කාණ්ඩ දෙක මීටර් දහය…පහලව…විස්ස ..තිහ …හතලිහ පනහා .. පංසල කිට්ටුවෙනකොට මීටර් දෙසීය තුන්සීය විතර දුරස් වෙනවා. දැන්නම් ආච්චිට අපි ගැන ගානක්වත් නෑ… ආච්චිගේ එක එක විච්චූරණ කතා අහ අහ අනිත් ආච්චිලා කාණ්ඩේ තම පිරිවර වැඩි කරගනිමින් පංසල් යනවා … අපිත් අපේ කාණ්ඩෙ වැඩි කරගනිමින් සල්පිල් යනවා…යකඩ කටේ සැර එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ අපි පංසලට ලංවෙනවා කියන එක. පංසල තියෙන්නේ අපේ ඉස්කෝලෙට පල්ලැහින් වංගුවටත් පල්ලැහින් වමට හැරිලා ගියාම පොඩි කඳු ගැට්ටක් මුදුනේ. ඉතිං ඔය කන්දත් නැගලා පංසලට ලංවෙනකොට කේ.ඩී සුමනගේ කවි වලින් අපේ කන් බීරි වෙලා යනවා..
“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා… මුදලාලිටත් මේ පින් බලය අත්වේවා…“
“දයානන්ද මුදලාලිගේ නම කියවෙනවා
අද දිනයේ පලවෙනි ආධාරය දෙනවා
මවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවා
මෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා….“
දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි.. මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන් ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම දෙන්න.
ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩි වැඩී යනවා. මළුවේ නට නටා ඉන්න අපි ලොකු හාමුදුරුවෝ දැක්ක ගමන් ගල් ගැහෙනවා.
…ඉතිරි කොටස ලඟදීම….

(ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ බදුල්ලෙනුත් ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර… ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම් සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි.. යාංහෑල්ලට මෙතැනින් යන්න)

http://menakaya.blogspot.co.uk/2015/12/blog-post_19.html

Related Posts

1 Comment

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල