කෙටි කථා

සර්පයාගේ කොලම 5

Off

සංසාරාරණ්‍යය අතථ්‍ය වෙයි

සර්පයා හුන් වනයද, වනේ සතා සතුන්ද, ගහකොලද කෙමෙන් අතථ්‍යව යන්නට විය. ඒ වනේ සතා සතුන්ටවත්, ගහකොලකටවත් නොදැනෙනා ගානටය.

දැන් මුළු වනාන්තරයටම ඒ විනේ කැටිලාය. එක් අතකින් එහෙම්මම කියන්නටත් බැරිය. මේ පවත්නා කිසිවක් පවතින්නේ නැති කොට මේ සියල්ල කොහොමටත් අතථ්‍යය. දැන් මේ අමුතු ආකාරයකින් ඒකම වෙලා තියෙන එක ඇත්තය.

මේ අතථ්‍ය යථාර්ථය නම් පවතින්නේ නැතැයි කිසිසේත්ම කියන්නට නුපුලූවන. මන්ද කිව්වාට වැඩක් ඇත්තේම නැත. ඒ මන්ද අහන්නට, කියන්නට ඉන්නා හැමෝමත් එහෙම්ම අතථ්‍ය වෙලා ගෙහුංය. ඉස්සර තථ්‍ය යැයි සිතා සිටි කාලේත් ඉතින් ඒක කිව්වා කියා වැඩක් වුනේ නැති ගානය. දැන් නං කියන්නට ඉන්න වුනුත් එහෙම්මමය. මේ කියන සර්පයාත් දැන් අතථ්‍ය වෙලාය. මේ අතථ්‍ය එක තථ්‍ය වෙලාය.

ඒත් තාමත් සර්පයාට මේක අපථ්‍යය. පත්තියං වෙන්නේම නැත. දිරවා ගන්නටම බැරිය. දිරවන්නේම නැත. ඇමීබයිසිස් හැදුනු විට මෙන් ගිලපුවා එහෙම්මම යන්නේය. ඒ මදිවාට සර්පයාගේ සගයන් සියල්ලන්මත් සර්පයාත් දැන් වෙජිටබලූත් වෙලාය.

වෙජිටබල් කතාව වැඩක් නැත. මේ වර්චුවල් වෙච්ච එක ගැන බලමුය. මේක එක පැත්තකින් හයිපර් රියැලිටියැකි. ඒ කියන්නේ ප‍්‍රබන්ධ යථාර්ථයකි. ප‍්‍රබන්ධ යථාර්ථය ෂෝක්ය. රියල් යථාර්ථයට වඩා ෂෝක්ය. ඊටත් වඩා රියල්ය. වර්චුවල් රියැලිටි එක තථ්‍ය එකට වඩා තථ්‍ය සේමය.

ඉතින් ඔන්න මුලින්ම මේ සංගෙදිය සිද්ධ වුනේ කැලේ මල්වලටය. මල් වර්චුවල් වෙන්න කලින් ආටිපිෂල් වූයේය. වේගෙන වේගෙන ගොස් අන්තිමේ ඇත්ත එකයි බොරු එකයි හොයා ගන්න බැරි ගානට ගියේය. කැලේ අද්දර සල්පිල්වල මල් ඇත්තටම තියන ඒවාට වඩා ඇත්ත වාගේ විය. මුලින් මනුසතුන් කැලෙන් ගලවාගෙන ගොස් හිටවන්නට පටන් ගත් මල්වලත් මල් අන්තිමට කැලේ තියන ඒවාටත් වඩා ඇත්ත විය. කැලේ තියන වනමල්වලටත් වඩා නියම වනමල් විය. කැලේ මලූත් සල්පිලේ මල් වාගේ වෙන්න පෙරුම් පිරුවේය.

අන්තිමේ කැලේ ගස් ටික කපාගෙන කපාගෙන ආ මනු සත්තු ගස්වලටත් මේ ටිකම කළෝය. අන්තිමේ ගසුත් ඒ ගානටම ගියේය. සත්තුන්ටත් මේකම සිද්ධ විණි. අන්තිමේ සල්පිලේ සත්තු දැක්කාම කැලේ සත්තුන්ටත් ලැජ්ජා හිතෙන තරම් විය.

මේ ටිකම වනෙන් එහා සෙයිලමේ මිනිසුන්ටත් වෙමින් තිබෙන බව පේන්නට තිබුනේය. මිනිස්සුත් ආටිපිෂල් වී ඇත්තටම ඇත්ත මින්සුන්ට ලැජ්ජා හිතෙන ගානටම ගියේය.

ඊළඟට දේවල් සේරම වර්චුවල් වෙන්නට පටන් ගත්තේය. හයිපර් රියල් වන්නට පටන් ගත්තේය. අන්තිමේ සියල්ල ඇත්ත කෝකදැයි හොයා ගන්නට බැරි ගානටම ගියේය. ඇත්ත හොයා ගත්තත් කිසිවෙක් ඒ ඇත්තැයි පිළි ගනු නැත. ඇත්තත් වර්චුවල් වෙලාය. හොඳ නරක, ඇත්ත බොරුව සියල්ලම වර්චුවල් වෙලා නිසා දැන් ඇත්ත යනු වර්චුවල් එකය.

ඇත්ත වාගේ පෙනෙන එක ඇත්තට වඩා ෂෝක්ය. සුන්දරය. කරදර අඩුය. විශ්වාසවන්තය.

දැන් සංසාරාරණ්‍යයේ සියල්ලම වර්චුවල් වෙලාය. හයිපර් රියල් වෙලාය. සයිබර් වෙලාය.

දැන් වර්චුවල් විප්ලව මේ වනය කොනේ සිටිනා මනු සතුන් හරියට කරති. ඒවා හරි සනීපය. කරදර නැත. පූසන් වාගේම සිටින මේ වර්චුවල් පූසෝ ෂෝක්ය. බෙටි දාන්නේ නැත. දැම්මත් ඒ පෝග‍්‍රෑම් එකකටය. ඒ බෙටිත් වර්චුවල්ය. ඒවා ග`ද නැත. ග`ද වුනත් ග`දත් වර්චුවල්ය.

වර්චුවල් එකේ කරදර තියෙන්නේ කරදර නැත්තං වර්චුවල් වෙන්නේ නැති නිසා පමණය.
දැන් සංසාරාරණ්‍යයටම අයිතිකාරයෝ සිටිති. සංසාරාරණ්‍යයම වර්චුවල් නිසා අයිතිකාරයෝ කොච්චර සිටියත් කමකුත් නැත. මන්ද මේ අයිතිකාරයෝ කොහොමටත් වර්චුවල්ය.

ඉතින් මේ ලෝකේ සිටින සියල්ලෙක්ම, තිබෙන සියල්ලක්ම වර්චුවල් කොට සර්පයා ගැන කවර කතාවක්ද? සර්පයාත් දැන් ඉතින් වර්චුවල්ය. සර්පයාගේ විසත් වර්චුවල්ය. සියලූ සර්පයෝ වර්චුවල්ය.
තමන් වර්චුවල් නැතැයි යමෙක් කියත්ද සියලූ සපුනි සිහි බුද්ධියෙන් ගත යුතුය.
මන්ද වර්චුවල් නැතැයි නොකීවොත් චර්චුවල් වෙන්නේද නැත.

මුල් පිටපත නැත. කර්තෘත් මැරිලාය ගැහැණියත් නැත. ගැහැනියගේ සුදියත් නැත. ඒ සියල්ල වර්චුවල්ය. ‘එතකොට ඕයි ඔය කියන තමුසෙලා විතරක් ඉන්නෙ කොහොමදැයි’ කියා දවසක් තඩි කබරයෙක් සර්පයාට වලිගෙන් ගැසුවේය. ආයි දන්නැති බිබික්කං කතා කරන්නේ නැතැයි එදායින් පසු සර්පයා හිත් පොජ්ජේ මන්දො කොර ගත්තේය.
කෙසේ හෝ මේ වර්චුවල් සංසාරාරණ්‍යයට දැන් කොටස්කාරයෝද සිටිති. දඩයක්කාරයා, බෙරකාරයාගේ දුව මෙන්ම ගෝමරීද දැන් වර්චුවල් වෙලාය. ඒ කියන්නේ රියල් වෙලාය. මේක හරි හරුපයකි. වචන දෙක හා අර්ථ ගානටම ඒවාට අදාල දේවල්ද විචිකිච්චා වෙලා හෝන්දු මාන්දු වෙලා ගිහින්ය.

මේ වනාන්තරය ඇත්තට පවතිනවාද නැද්ද යන්න අරභයා දිනක් වනාන්තරයෙහි සියලූ සතුන් අතර මහත් කොලහලයක් ඇති විණි. මෙය වනාන්තරය දෙවනත් කරමින් නැගි සතා සතුන්ගේ වාද විවාදයන්ගෙන් බොහෝ කාලාන්තරයක් අහසෙහි ගිගුම් දුන්නේය. අවසානයේ සතා සතුන් නොකා නොබී මේ වාදයෙහිම පැටලී හුන්නේ දුර්වලව ගියාහු ඒ සමගම මහත් නියං සායක් වනාන්තරයට බල පවත්වන්නට වූයේය. සියලූ සතුන් කෑම් බීම් සොයා ගිය කල්හි ඉතිරි වූවෝ වනය දෙදරුම් දෙවමින් මේ වනය හා එහි සිටින තමන් තථ්‍ය බැව්, එනම් ඇත්තටම පවතිනා බැව්ම කීහ.

එහෙත් කා බී පැමිණි සතුන් මෙසේ කියන්නට වන්හ. ‘මේ වනාන්තරය ඇත්තටම පවතිතත් නැතත් නුඹලා නම් තථ්‍ය නොවේ. මන්ද නුඹලා නොකා නොබී සිටින්නේ නුඹලා අතථ්‍ය බැවිනි.’ කීහ. එකල්හි අනෙකුන් තමන් මහත් සා පිපාසාවෙන් සිටිතත් සටන පාවා නොදෙන බවත් මේ වනය ඇත්තටම පවතින්නාවූ බවක්ම කීහ. එකල්හි අනෙකුන් කියන්නේ ‘තොපගේ සා පිපාසාව අතථ්‍ය වන්නේය.’

මෙසේ කෙලවරක් නොමැති මේ වාදයෙන් පසු කැලේ සතුන් දෙදෙනෙකු දිය කඩිත්තක් ල`ග හමුවුවද මේ වාදය ඇති විය. සතුන් දෙදෙනෙක් රමණයට එළඹුනේ වුව මේ වාදය ඇති විය.

මෙසේ වනය වනයක්ම වී ගියේය. සංසාරාරණ්‍යය සංසාර වනයක් වීය.

සංසාරාරණ්‍යයට වෙන්දේසිකාරයෝ ආහ. උන් සංසාරාරණ්‍යයේ ගස් මුලින් සි`ද යකඩ ඇතුන් ලවා සමතලා කොට කට්ටි කළහ. සංසාරාරණ්‍යයට මිනින්දෝරුවෝ ආහ. උන් සංසාරාරණ්‍යයේ දිග පළල මනින්නට ගත්හ.

සංසාරාරණ්‍යයට පෙරකදෝරුවෝද නඩුකාරයෝද ආහ. පොලිස්කාරයෝද මිනීමරුවෝද ආහ. අන්තිමේ බැංකුකාරයෝද පිනෑන්ස්කාරයෝද ආහ. උන් පස්සෙන් කොන්ත‍්‍ර‍්‍රාත්කාරයෝ ආහ. සංසාරණ්‍යය ආකාසට්ට බුම්මට්ට කළ උන් සංසාරාරණ්‍යයෙන් එතෙර ඇතැයි සතා සතුන් මෙතුවක් සිතා සිටි නිර්වාණයද වෙන්දේසි කළහ.

‘නිර්වාණයෙන් පර්චස් දහයේ කැබලි තිහක් පහසු ගෙවීමේ ක‍්‍රමයට’ යැයි සංසාරාරණ්‍යය අද්දර වර්චුවල් ගස් දෙකක බැනරයක් එල්ලා තිබිණි.

එහෙත් ඒ බැනරය වර්චුවල් නොවීය.
කේ.කේ.සමන්.කුමාර
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල