අතීතකාමය, විශේෂ

සංගීතේ The music

Off

පහුගියදා ලංකාවට ආ ගායකයෙක්ව කෙල්ලක් විසින් ඉඹගැනීමත් ඒ වගේම “ඉඳා ඇඳගනිං“ කියා තව කවුද ගෑනුද පිරිමිද නොදත් කෙනෙක් ඒ ගායකයාට බොඩියක් විසිකිරීමත් ඒ හමුවේ අපේ රටේ බවුමික අකන්ඩතාවයට ඇතිවූ තැල්ම හා උලුක්කුවීමත් නිසා මට සංගීත සංදර්සන මතකෙට ආවේ.

මේවා කෙටියෙන් ‘සංගීත‘ නමින් හඳුන්වතත් එව්වායේ නියම නම ඒක නෙවෙයි. මං කුඩා කාලෙ අපේ ගමට කිට්ටුම ටවුම වන ‘මානාන‘ටවුමේ හෝ ‘කලවාන ඉස්කෝලෙ පිට්ටනියේ‘ මේවා පැවැත්වුනා මතකයි. මෙව්වා ඉතාමත් දරුණු ගණයේ දේවල් බවත් මේ සංගීතෙයක් බැලීමම ළමයෙක්ව ඉස්කෝලෙං දොට්ට දැමීමට තරං වරදක් බවත් මතයක් ගොඩනැගී තිබූ නිසා මට එහෙව් එකක් බලන්න යන්නට අවස්ථාවක් ලැබෙන්නට හෙනම කාලයක් ගතවුනා.

මේවයෙං එකක් පැවැත්වෙන බව මුලිංම දැනගන්න වෙන්නේ සෙනසුරාදාට පොලේ ගියහමයි. පොලගාව බස්සෙහෙකට වඩා උසට උණගස් දෙකක් හිටෝලා ඒ දෙක අතර ඇදලා ගැටගහපු රෙද්දක මේ දැන්නීම ඇඳලා තිවීමත් එහෙම නැත්තං විසාල රෙද්දක ඇඳපු බැනර් එකක් පාර හරහා ඇදලා තිවීමත් නිසා අපිට මේ ගැන දැනගන්න ලැබෙනවා.

 

මේක මැද්දෑවෙ තරු ඇඳලා, පාට ගාලා එකම බලියක් කරලයි තියෙන්නේ. සමහර ඒවගෙ මැදිං අර සංගීත සලකුණු, ගිටාර් එකක් අතිං ඇරං පිස්සෙක් වගේ කොන්ඩෙ වවාපු මිනිහෙක්ගෙ පිංතූර ආදියත් තියෙනව. මේකට හුලං බදල හිටෝපු උණගස් දෙකත් ගලෝගෙන යනවට මැද්දෑවෙං හිල් විදලත් තියනව. මේව අඳින්නෙ වාහනවල අංක තහඩු අඳින ප්‍රීති කුමාර කියන කෙනා. මෙතැන මහා සංගීත ප්‍රසංගය වෙනුවට මහා සංගීත මේලාව, මහා සංගීත සැණකෙළිය, ආදී වචන යෙදෙනවා. අවුරුදු කාලෙට නං ඕක මහා බක්මහ උදානය විදිහටත් ඇසල පෝයට ගහන තොරනෙ අන්තිමදාට තියෙනව නං ඇසල මේලා විදිහටත් නම වෙනස් වෙනවා. මේ ජනකාන්ත ගී තරු කියන ජාතියත් සුපිරි ගීත තාරකා, ජනප්‍රිය ගායක ගායිකාවන්, ඔබේ හදබැඳගත් ගායන ශිල්පීන් ආදී ලෙස වෙනස් වෙනවා. සමහර වෙලාවට කවුරුහරි ඩිංගක් වැඩියෙං සල්ලි දුන්නොත් එයා ප්‍රමුඛ කරලා අනුග්‍රහය පෙන්වනවා. එතකොටඅනුග්‍රහය:- ප්‍රසිද්ධ මැණික් වෙළඳ ව්‍යාපාරික සේන මුහන්දිරම් මැතිතුමා ඇතුළු මැණික් වෙළඳ ව්‍යාපාරිකයින් විදිහට වෙනස් වෙනවා.

මාසෙකට හමාරකට කලිං මේ දැන්නීම දැකපු ගමං අපේ ගමේ ජන ජීවිතේ එහෙම පිටිංම සංගීතෙට ඕනැ හැටියට හැදෙනවා. ටවුමෙදි මේක මුලිම්ම දැකපු අය කඩමණ්ඩියක් ගානෙ අනික් අයට මේ පනිවිඩේ කියනව. අපේ පුංචම්මගෙ කඩේ ගාවදි මේ ගැන කියන්නෙ සතියට දවස් දෙක තුනක්ම අරක්කු බොන්න මානානෙ යන තෝර ගෙදර පොඩිමාමා.

“ඕං මේපාර සංගීතප්පරසංගෙයක් තියෙනව කියන්නෙ බස් ඉස්ටෑන්නෙකේ“

“කවද්ද පොඩි අයියෙ“

“ලබන මාසෙ පහලොවද කොහෙද මයෙ හිතේ අන්න පොලගාව විසාල දැන්නීමක් එල්ලල තියෙන්නෙ. ගායක ගායිකාවො එක්කොම වගේ එනව මයෙ හිතේ. මයිත්තිරී මුදලාලිනෙ ගෙන්නනව කියන්නෙ.“

“කොහේ බෑන්ඩෙකද්ද ගේනව කියන්නෙ“

“ඒකනං මංද. මට ඒක බලාගන්න බැරිඋනා. මේ බස්සෙක ඇද්දුවනෙ. මං හෙටානිද්ද දිහාට බලං ඇහිල්ල කියන්නංකො“

සෙනග ටිකක් යහමින් වටවෙලා විස්තරේ අහනව දැක්ක ගමං අපේ ආච්චම්මත් රෙද්ද ලිහල ආයිමත් තදට ඇඳගෙන ගෙයි ඉස්තෝප්පුවෙං බැහැල කඩේ ගාවට එනව.

“මොකද්ද පොල්ලමෙයො වෙලා තියෙන්නෙ මයිත්තිරී මුදලාලිට මක්වෙලාද?“

“නෑ නැංදම්මෙ මයිත්තිරී මුදලාලි සංගීතප්පරසංගෙයක් ගෙන්නනවලු.“

“ඒ මොකද්ද පොල්ලමෙයො ඒ“

“ඒක මේ සිංදු කියන එකක්“

“සිංදු කියන එකක් කිව්වෙ කැටස්සෙකද්ද?“

“නෑ නෑ නැංදම්මෙ ඉස්ටේජ්ජෙකක් ගහල ගායක ගායිකාවො ගෙන්නල සිංදු කියෝනව.“

“ආ. ඒක මිසක්ක. ඉස්ටේජ්ජෙකක් ගහන්නෙ රැස්සීමකුත් තියෙනවද?“

“නෑ නෑ නැංදම්මෙ සිංදු කියනව ඉතරයි“

“ආ.. මේ අර මොන්ටිසෝරියෙ ලමයිංගෙ සෙල්ලං පෙන්නන එක වගේ එකද්ද කොහෙද“

“ඒ වගේ තමයි නැංදම්මෙ“

“ඔය අපේ ජෝකපාලලගෙ ගෙවල් ගාව මොන්ටිසෝරියෙ ලමයිංගෙ සෙල්ලං පෙන්නන උස්සවේ වෙන්නැති එහෙනං. අපේ ඩිමුටු පුතා එහෙම ගිය මොන්ටිසෝරියෙනෙ. මේ ගමන ටවුමෙ හුඟක් ඈයට පේන්න බස් ඉස්ටෑන්නෙකේම උස්සවේ තියනව ඇති.“

“මේක පොඩි එවුංගෙ එකක් නෙමෙයි නැංදම්මෙ අර රේඩිවේකෙයි කැසප්පීස් එව්වගෙ එහෙම සිංදු කියන ඇත්ත ගායක ගායිකාවුං සිංදු කියන එකක්. ඔය හිටපු ගමං ටීවියෙකෙත් පෙන්නන්නෙ.“

“ආ…. එහෙමත් එකද්ද. එහෙනං ලයිස්පීකර හිටං බඳියි. අර අයිස්කිරිං එකෙං සිංදු කියන එවුංනෙ ඔය කියන්නෙ. සමහරද්දවස්සොලට ඔය ටීවියෙකෙත් පෙන්නන්න දෙයක් නැති උනහම පෙන්නන්නෙ අර අයිස් කිරිං එක කටේ ගහං සිංදු කියනව“

මේ මැද්දට කඩාපාත්වෙන පුංචම්ම ආච්චම්මගෙ කට වහනව.

“කටවහං ඉන්නකො අම්මෙ. මෙතන ඕන්නැති එව්වට කට නොදා“

“උඹ කටවහගනිං. මං ඇහුවෙ පොල්ලමයගෙං. ඌ කියන්නැහ්නං නොකිය හිටී නැහ්නං කියයි. බොට වැඩහ්නෑනෙ.“

“අම්මට ඕන රෙද්දක් කරගන්නෙකයි ඇත්තෙ.“

ටවුමෙං කාලක් ගහල ඇවිත් ආච්චම්මගෙ කතාවෙං ඔල්මොරොංදං හැදිල බෝතලේක වෙරි දැනිච්ච තෝර පොඩිලමයා මේ ලද අවසරෙං මාරුවෙනව. මෙතෙක් වෙලා ගඟේ ඉන්න ආඳො ගැන ආතත් එක්ක කයිවාරු කියෝපු ගුණවර්දන මාමා කතාව මැද්දට පාත්වෙනව.

“ඉස්සර දවසක් ඔන්න ඔය කලවානෙ ඉස්කෝලෙ පිට්ටනියෙ තිවුන සංගීතප්පරසංගෙයක් ආං ඒක තමයි සංගීතප්පරසංගෙ බලන්න වටින එක. පුදුමා…..කාර සෙනගක්. මාමට මතක ඇති මයෙහිතේ.

ගුණවර්දන මාම අපෙ ආතව සාක්කියට කැඳෝනව. ඒ අතරෙ වටවෙච්ච සෙනගෙං දම්පිටියෙ අප්පු මාම හීං සැරේ මාරුවෙනව.

“මටනං ඒ හැටි මතකෙයක් නෑ ගුනොවර්දන.“

“වැඩි කාලෙයහ්නෑ. ඔය පේමදාස උන්නැහැ ජනාදිපති කාලෙ“

“එහෙනං ඔය අර මං නාවලකංදෙ හාමුදුරුවො එක්ක අනුරාජපුරේ පිරිත් පිංකමට ගිහිං හිටිය කාලෙ වෙන්නැති. එක දිගට මාසෙයක් හිටියනෙ එහෙ“

“ඒක මිසක්ක. නැත්තං මාමට කොහෙ අමතක වෙන්නද ඕව. ආ… ඔන්න ඉතිං ඔය සංගීතප්පරසංගෙ බලන්න නිවිතිගල, වටාපොත,පනගම, දෑල දිහාස්සොල හිටං මිනිස්සු ආව. සමහර මිනිස්සු දුර පලාත්තොල ඉන්න නෑයො හිට ගෙන්නුව“

මේ අතරෙ ඉතුරු අයත් එකා දෙන්න මාරුවෙනව. අන්තිමට කතාව පටං ගනිද්දි අසන්නො ඉන්නෙ ආතයි, කාගෙ හරි කටක් දිහා බලං ඉන්න පුරුදු වෙලා ඉන්න මායි විතරයි. කතාව දිගට ඇදිල යනව. ටික දුරක් යද්දි කතාව වෙනස්ම මූනුවරක් ගන්නව.

“……….එලියක් මොනවක් නෑනෙ. ඉස්ටේජ්ජෙකේ එලිය ඉතරයිනෙ. මොකෙක්කත් පේන්නෑ. ඒ ගමන මට ඩිංගක් එහායිං හිටිය හාදයෙක් සූටියෑ කෙල්ලට ඇහැක් ගැහුව. ඔන්න ඒ ගමන ඒකිත් අර හාදෙය එකක් හිනා උනා. මං දැනගත්ත මෙතන වෙන්න යන වැඩේ. ඒගමන“

“දූපිය කිව්වෙ ගෙට. අහං ඉන්නව මෙතන ලොකු ඈය කියෝන කතා“

පිටිපස්සෙං ඇහිච්ච හෙන සද්දෙට පිටිපස්ස බලද්දි පුංචම්ම මගෙ කොන්දට දෙන්න අත උස්සලත් ඉවරයි. ‘දිඩිස්‘ එකක් මගෙ කොන්දට වදිද්දි මං ගෙයි.

“අම්ම ඔය ගුනොවර්දන අයිය කියාපු ඒව මොනවක්කත් අපෙ අයියට එහෙම කියන්නෙපා.“

එදා රෑ උයන ගමං පුංචම්ම කුස්සියෙදි ආච්චම්මට කියනව.

“අනෙ මං කියන එකහ්නෑ ඔය මිනිහගෙ කෙබර. මූත් එතන ගිහිල්ල අහං ඉන්න හැටි බලහංකො“

ආච්චම්ම මටත් ඇඟිල්ල උරුක් කරනව.

“උඹත් මාම එක්ක ඕව කියනව එහෙම නෙමෙයි. කිව්වොත් උඹොව කංදෙකෙං උඩ එල්ලනව.“

“එතකොට පුංචියෙ මං නොකිය හිටියොත්“

“නොකිය හිටියොත් එල්ලන්නෑ.“

අපරාදෙ. මං හිතුවෙ කිරිටොපි දෙක තුනක් හම්බුවෙයි කියල. දලු දාන්න ගෝනියෙ පැත්තක් ඇල්ලුහම, දලු ලොරිය එනකං බලා ඉඳල ගෝනි ගත්තම, ලැට්ටෙකේ තියෙන කට කපාපු ගැලුං දෙකට දොලෙං වතුර දෙකක් ගෙනත් තිව්වහම ගාස්තුව විදිහට මට හම්බු වෙන්නෙ කිරි ටොපි. ගෝනිය ඇල්ලුවට එකයි, ගෝනි ගන්නවට එකයි, වතුර ගැලුං දෙකට දෙකයි.

“උඹ කට පියාගෙන හිටියොත් උඹොවත් මං සංගීතෙ බලන්න එක්කං යනව“

මගෙ ඔලුවට ඉහලිං අහස් කූරක් පත්තු වුනා වගේ ඒක. කිරිටොපි පැකැට්ටෙකක් තරම වටිනවා. මං දුවල ගිහිං පුංචිට වඳිනවා. එයා යමක් දෙද්දි වැංදෙ නැතොත් ඒක ආපහු ගන්නව. ඒ හිංද දෙනව කිව්ව සැනිං වැඳල වැඩේ ඉස්තීර කරගන්න ඕනැ.

සංගීත සංදර්සනේට සති දෙකක් තරම තියලා බස්වල ඇතුලේ පුට්බෝඩ්ඩෙක ගාව පිටිපස්සෙ වීදුරුවෙත් කොපි පොතේ කොලයක් තරං විසාල දැන්නීමක් ඇලවෙනවා. මතුගම දිහාවෙ තියෙන සංගීත සංදර්සන ගැනත් අපි දැනගන්නෙ ඒ විදිහෙං.

මේ මොනයම් විදිහෙං දැන්නීම් දැම්මත් බස්සෙහෙක නොයන, ටවුම පැත්තෙ පලාතෙ අවුරුද්දකට දවසක්කත් නොයන අපේ තාත්තා වගේ කොටසකුත් ගමේ ඉන්නවා. ඒ අයට තොරතුරු ලැබෙන්නෙ කඩේ ගාව කතාවෙන කෙනෙක්ගෙන් විතරයි. ඒ වගේ අයට මේ ගැන දැනගන්න වෙන්නෙ සංගීතෙට සතියක් තරම තියලයි.

මහා සද්දෙට අහස ගොරවන්නා වගේ ඇහෙන එක අස්සෙං යම්කිසි තාලයක් ගමං කරන බව ඇහෙන්නෙ පස්සෙයි. දෙසිය පනහෙ වත්තෙ කන්දෙ වැදිල අපේ ගේ තියෙන බොකලමට කඩාපාත්වෙන සද්දෙ අපිට ඇහෙන්නෙ බල්ලො පන්සීයක් විතර කාගන්නව වගෙයි.

“ගගා ගංගීග ගාග්ගීග එගගග ගග්ගගගා ගෙගග් ගෙගගගාගා……..“

ඒ සද්දෙ එන මොකක්හරි එක හන්දියට පහල වංගුව පහුකරනවත් එක්කම ඒ බිරුම මනුස්ස කටහඬක් බවට පත්වෙනවා. මමත් අඩි දෙකට කන්ද නැගල මහ පාරට දුවනවා. වෑං කබලක ගැටගහපු ලයිස්පීකර සැට්ටෙකක් කන්ද දිහා බලාගෙන බිරුසං දෙනව. ඒ දෝංකාරෙත් එක්ක අමුතුම බාසාවක් අපිට ඇහෙනව.

“බහා හංගීත රාට්රීය කරුණාරත්ත දිවුල්ගහේ, ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා, ඇටුලූ **කාන්ට ගායික් ගායිකාවන් කාසියක් ගී ගයින බහා හංගීත රාට්රීය අට්වැනිනා එනම් ලබල් ටිකුලාඩා මානාන බන්නැවටුම්පොල අටල පැවැට්ටේ අබ ටැමට ආර්..රාඩනා……

ආයිමත් සැරයක් සිමෙන්ති පොලවේ ඇදගෙනයන ටකරමකට බොරලු දමන්නා වගේ නාදයක් දෙන සිංදුවක් කියා එකක් දමාගෙන ඒ ලයිස්පීකරේ බැඳගත්තු වෑං එක පල්ලම බහිනවා. ඒ අතරෙ කඩවල්වල බිත්ති, බෝක්කු, පාලං ඇඳි දැක්ක ගමං නවතිනවා. වෑං එකේ පිටිපස්සෙ දොර ඇරං බහින දෙන්නෙක් බාල්දියක තියෙන පාප්ප කොස්සකිං අරං ඒ ඒ තැංවල ගාල ඊට උඩිං දැන්නීමක් අලවනව. අපේ පුංචිගෙ කඩේ අලවන්න හදපු දැන්නීම අලවන්න නොදී ආච්චම්මා බැනවදිනව. වෑන්නෙක ආයිමත් පිටත්වෙනව. අවට ගම්වලත් සැරිසරන ඒ වෑං එකේ බැඳපු පීකරේ අපේ ගම පැත්තට හැරිච්ච වෙලාවට ආයිමත් අර පනිවිඩේ අපිට ඇහෙනව.

මෙයිට අමතර වසයෙං අපේ ආච්චම්මත් කඩේ ගාවට එන මිනිස්සුන්ට මේ ගැන කියනව.

“බොලා යන්නැද්ද සංගීත සංදර්සනේ බලන්න“

“මොන සංදර්සනද නැංදෙ අපිට. යංතං එදාවේල හොයාගන්නව මිසක්ක“

“ආං ඒක හොඳා. ඕව කිසියාම්ම කිසි කෙනෙට්ට යන්න හොඳ තැං නෙමෙයි. පළමුවෙංම තෝර පොඩිලමය මෙතන ඇහිල්ල ඕක කියද්දි ගුනොවර්දන කිව්ව ඔව්වෑ ගිහිං කෙල්ලො කොල්ලො පැනල යනවලු. ළමයි නරක් වෙනවලු. ඔච්චර ලඟහිල්ලවත් අපේ ජෝකපාල දුවයි පුතයි දෙන්නෑං එක්කෙනක්වක් යවන්නැත්තෙ ඒකනෙ.“

“එහෙමත් එව්ව වෙනවද නැංදම්මෙ“

“නැත්තං ඔය අපේ පුතත් කිව්වෙ එහෙම වෙනව කියල. මැණිකෙනං කිව්ව උට කියන්නත් එපා කියල“

 

http://yanhella.blogspot.co.uk/2016/01/music.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල