ඉතිහාසය

උග්ගල් අලුත්නුවර ඓතිහාසික ද

Off

පෞරාණිකත්වය

උග්ගල් අලුත්නුවර ආරම්භය පිළිබඳව මත දෙකක් තියන ආකාරය පසුගිය ලිපි දෙක විමසා බලනවා. මෙයින් වැඩි දෙනකු නිර්මාණය වූ විදිහත්, වැඩි දෙනකු තවම නොදන්නා වූ අමුතුවිදිහත් ඒ ලිපිවල විස්තර වුනා. දැන් ඉතින් කොයික ද නිවැරදි කියන විමතියක් ඇතිවෙනවා නේද ?

වල්ලි දේවාලය ආසන්යේ එහි ඉදිරිපස සිට බලන්නකුට කරගම දේවාලය පෙනෙන අන්දම
වල්ලි දේවාලය ආසන්යේ එහි ඉදිරිපස සිට බලන්නකුට කරගම දේවාලය පෙනෙන අන්දම

පළමු ලිපිය අනුව මේ නම ව්‍යවහාර වන්නට වූයේ ක්‍රි.ව.1583 න් පසුවයි. දෙවන ලිපිය අනුව උග්ගල් අලුත්නුවර නම ඊට බොහොම ඈතට ඒ කියන්නෙ ක්‍රි. පූ. 2 සියවස එනම් අනුරාධපුර සමය දක්වාම ඈතින් ඈතට දිව යනවා.

උග්ගල් අලුත්නුවර නම ව්‍යවහාර වූයේ කවදා සිට ද

1944 දී පණ්ඩිත උපාධිය පිරිනමනු ලදුව 1966 ගුණසේන සමාගම විසින් ප්‍රකාශිත නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ලියන ලද ග්‍රන්ථය

දැට හමුවන සාහිත්‍යමය මූලාශ්‍ර විමසමින් “උග්ගල් අලුත්නුවර” යන නම ව්‍යවහාර වී ඇති අවස්ථා අනුව කාල නිර්ණයකර ගැනීමට උදව් ලැබේදැයි සොයා බැලිය හැකියි. එසේ හමුවුන සාහිත්‍යමය මුළාශ්‍ර පවසන විස්තර පහත දැක්වෙනවා.

නම්පොත

නම්පොත හෙවත් විහාර අස්න ලියවී ඇත්තේ හයවන පැරකුම් සමයේ බව බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහා නායක හිමිපාණන් පවසන වා¹. එසේ නම් ඒ ක්‍රි. ව. 1412 – 1467 අතර විය යුතුයි. මුලදී සති පිරිත් සජඣායනාවලදී කියවෙන විහාර අස්න ලෙස රචිත මෙය පසුව පන්සල් පාසලේ දෙවැනි පෙළ පොත ලෙස, නම්පොත නිමින් භාවිත වූ බව කියවේ. රචනා වුන කාලයේ දිවයින තුළ කීර්තිමත්ව පැවති ගම් සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ හඳුන්වා දෙමින් සරළ වදන් කියවීමට හැකියාව ලබාදීමේ ” අධ්‍යාපන වැඩපිළවෙලක්” පන්සල් කේන්ද්‍ර කරගත් පාසලේ ක්‍රියාත්මක වූ බව පෙනී යනවා. සිසුන් විය පත්වන විට මුලදීම තම රටේ වැදගත් ස්ථාන හඳුනා ගැනීමත් ඒවා පිළිබඳ භක්තිමත් ආකල්ප ජනනය කිරීමත් අධ්‍යාපන අරමුණක් ලෙස පැවති බව පෙනී යනවා. මේ වැදගත් යි සම්මතව තිබූ ස්ථාන අතර උග්ගල් අලුත්නුවර ද පැවතීමෙන් පෙනී යන්නේ ඒ අවදිය වන විටත් දිවයිනේ කීර්තිමත් ඓතිහාසික ස්ථානයක්ව තිබූ බවය.

සොරගුණු දේවාල තුඩපත

1944 දී පණ්ඩිත උපාධිය පිරිනමනු ලදුව 1966 ගුණසේන සමාගම විසින් ප්‍රකාශිත නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ලියන ලද ග්‍රන්ථය
1944 දී පණ්ඩිත උපාධිය පිරිනමනු ලදුව 1966 ගුණසේන සමාගම විසින් ප්‍රකාශිත නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ලියන ලද ග්‍රන්ථය

මේ තුඩපත² බෝගන්ධන සිද්ධත්ත ගනින්නාන්සේ අතින් ලියවුන මෙයින් උපුටාගත් කොටසක උග්ගල් අලුත්නුවර ගැන සටහන්වන කොටස මෙසේය. (මෙහි සඳහන් පන්සිය පණස්තුන යනු ශකවර්ෂ 1553 වෙයි. මහනුවර සමයේ වර්ෂ සඳහන් කිරීමේදී බොහෝ විට අවසන් සංඛ්‍යා තුන සඳහන් කළ ලිවීමේ සම්ප්‍රදායයක් විය. ඒ අනුව ව්‍යවහාර වසරට අනුව මේ ක්‍.රිව. 1621 වෙයි.)

උපුටාගැනීම “…………….෴ අඛඩඬ අච්ඡිද්‍ර අසත් පුර්ෂ දුෂ්ට දුර්ජන පරසමයක්කාරයින් ප්‍රලය කරවා ධූරීභූත කර වදාරා෴දෙවනුව මහත් වූ ජය එර්ඩියට පැමිණ නැවන් සීරුවාද පවත්වා එම උග්ගල් අලුත්නුවරට පැමිණ වැඩ වදාරා ෴ ශකවර්ෂ පනසිය පණස්තුනක් වූ පොනේ පුර බ්‍රහස්පතින්දා…………..”උපුටාගත් කොටස් නිමයි

බෝගන්ධන සන්නස

මේ සන්නස³ ලියවී ඇත්තේ ශකවර්ෂ 1590 බව එහිම සඳහන් වෙනවා. ඒ ව්‍යවහාර වර්ෂයට පරිවර්තනය කළ විට ක්‍රි.ව.1688 වේ.

උපුටාගැනීම “………….ස්වර්ග මස්තක පාතාල භුවනෙත්‍රයට නායක වූ ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේගේ හොරගුනු දේවාලෙ නිලම කරන නොයෙක් අය ද ගමේ ප්‍රධානී වූ සියලු අය මෙයට සාක්ෂී කියනවා යහපති෴උග්ගල් අලුත්නුවර දේවාලේ හොරගුනු දේවාලේ එදා හිටම බෑණා පරම්පරාවට අපි පැවත ආ නිසා පිරිත් නිලමේ ගණින් වහන්සේටම අයිතියි෴

සිද්ධිරස්තු සුභමස්තු ආරෝග්‍යාමස්තු ඉෂ්ටාර්ථ සිද්දීරස්තු෴”උපුටාගත් කොටස් නිමයි

කන්දකුමාර සිරිත

මෙහි∇ ද ” මෙ උග්ගල් නුවර යස ඉසුරූ ” (89 කවිය) සහ “අලුත්නම් මෙපුරවර” (86 කවිය)ලෙසින් උග්ගල් අලුත්නුවර ගැන කවි කීපයකම දැක්වෙන අතර එය ලිය වී ඇත්තේ ශකවර්ෂ 1630 හෙවත් ව්‍යහාර වසරවලින් ක්‍රි.ව. 1712 බව පෙනී යනවා.

පොරණ සිට නිරිඳුන්ගෙන් ලත් එනමකි මුළු තුන් පැතිර යාය ණ
අරණ ඉටුදන් එපිට මුළු තුන් විමන තුල එහි තේව කර එ ණ
බඳින මේ කවි ඔහුගේ මුනුබුරු නුවන පමනක් ලදින් දැන ගෙ ණ
සවන සකවර්ෂයෙන් එක්වා දහස් හසියෙකි තිසෙකි එපම ණ
විද්වතුන් පළ කරන අදහස් වළින් ලැබෙන ඉඟි

උග්ගල් අලුත්නුවර පිළිබඳව ඉදිරියෙදි අනුරාධපුර සමයෙනුත් ඔබ්බට විහිදී ගිය එකක් ලෙස ලියවෙනවා නම් එය ද පුදුමයක් නොවන බව සිතන්නට ඉඟි මෑත කාලයේ සිදුවන පුරාවිද්‍යා ගවේශන මගින් ලැබේදැයි සිතෙනවා. ඉතිහාසයේ හැටි එහෙම තමයි. පහත දැක්වෙන කොටස් උපුටාගත්තෙ දිවයින පත්තරේ ට ජානක ලියනාරච්චි මහතා ලියා ඇති ලිපියකින්∗. මහාචාර්ය රාජ්සෝම දේවයන් සමග කළ සංවාද සටහනක් වූ එහි ස්ථාන දෙකක මෙසේ වාර්තා වෙනවා.

උපුටාගැනීම “……..ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක්‌ ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?.
කූරගල ලෙන..

පිළිතුර – මා එසේ අදහසක්‌ ප්‍රකාශ කළ බව සැබෑවක්‌. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය ක`දුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ක`දුකරයේ බෑවුම් ප්‍රදෙAශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන ක`දුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක්‌ පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා…………………………………………………කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහි`දු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක්‌ ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස්‌ බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස්‌ උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස්‌ දෙන්නක්‌. පාරිශුද්ධත්වය හැ`දින්වීමටත් එහි පර්යාය පදයක්‌ ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක්‌ කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක්‌ ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහි`දු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්‌. අනෙක්‌ අතට එවැනි තත්ත්වයක්‌ හදිසියේ ඇති විය නොහැක්‌කක්‌ බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්‌. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි………….”උපුටාගත් කොටස් නිමයි

මේ විස්තර වමසීමේදී ඉස්මතුවන ඉතාම වැදගත් කරුණක් තිබෙනවා. උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි 1 ? පෝස්ටුවේ හෙවත් මේ ලිපියේ දැක්වෙන පුස්කොල ලේඛනයේ කියවෙන ආරම්භය පිළිබඳ පුවත් සැකයට බඳුන්වන බවයි එය සත්‍යයක් නම් “උග්ගල් අලුත්නුවර” යන්න 1583 න් පසුව ඇතිවුන ව්‍යවහාරයක් බව සිතන්නට වෙනවා. එසේ නොවී නම්පොත පවසන විස්තර සත්‍යය යි ගතහොත් මේ ව්‍යවහාරය ඇති වූයේ කෝට්ටේ සමයටත් පෙර බව පිළිගන්නට වෙනවා. ඒ සමගම උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි ? 2 යනුවෙන් නම් කළ ලිපියේ පවසන අලුත් මතය අනුව උග්ගල් අලුත්නුවර ප්‍රභවය ක්‍රි.පූ. 2 වන සියවස දක්වා ඈතට දිවයනවා. ඒත් සමගම මේ ගම්මානයට හා ස්ද්ධස්ථානයට කලින් ව්‍යවහාර වූ බව කියන “මැදගම” යන නම ඊටත් එහා අතීතයට දිවයන බව පිළිගන්නට සිදුවෙනවා. ඊට විශාල අනුබලයක් දෙන්නට ආචාර්ය රාජ් සෝමදේවයන් හා පැවති සංවාද සටහනේ තොරතුරු උදව්වෙනවා.

කෙසේ වුවද මේ හේතුන් නිසා “උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි” යන්නට තවමත් නිශ්චිත විසඳුමක් තිබේද යන ගැටළුවේ sugv තවමත් එන්ඩ එන්ඩම සිර වෙමින් සිටිනවා. ඒ තමයි ඉතිහාසයේ හැටි. ඉතිහාසය කියන්නෙ මූලාශ්‍ර මගින් සැබෑව සොයාගන්නට ගන්න උත්සාහයක් නේ. ඒකයි එහෙම වෙනව ඇත්තෙ.

පාදක සටහන්

¹.නම්පොත – Wikibooks

². ඌව ඉතිහාසය – නාවුල්ලේ ධම්මානන්ද හිමි- සී/ස ඇම්.ඩී. ගුණසේසන සහ සමාගම -1966

³ඌව ඉතිහාසය – නාවුල්ලේ ධම්මානන්ද හිමි- සී/ස ඇම්.ඩී. ගුණසේසන සහ සමාගම -1966

∇ දේව වර්ණනා කාව්‍ය -ප.එ.ප. දැරණියගල – ලංකාජාතික කෞතුකාගාර පුස්කොල ග්‍රන්ථ මාලා අංක ix

∗.මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි…

https://sugv.wordpress.com/2016/01/11

එම් පී පී ගුණසිංහ

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල