සඳැස් / නිසඳැස්

සේකර – සිංහල කවියේ සදාකාලිකයා

Off

ගහ කොළද මල් පියලි
තුරුපත්ද හිම පියලි
එකින් එක ගැට ගසා
කවි ලියත් අපි අදත්
කවියකට ලොබ බඳින
සහසකුත් දෙපාවුන්
අමතක නොකළ යුතු
සේකරගේ මතකයන්
අදයි ඒ දිනය
හතලිස් වසක්
නික්මෙයි
ඔහු නැතිව කවි ලොවේ
ඒත් අදටත්
ඔහු හිදී කවි ලොවේ

සේකර – සදාකාලිකවම සිංහල කවියා බැතියෙන් ස්මරණය කරමි…

සදුන් ප්‍රියංකර විතානගේ විසිනි
දෙපා
කටු ඇනුණු තැන
ගල් තැළුම්
පැළුණු විලූඹේ අගල්
කවි පොතක පිටු දෙකක් වන්
නොකිය වූ දෙපතුල්
මග වියදමත් අතේ නැති ව ම
දහස් වටිනා පයින් ඇවිදින
මගී ජනයිනි
ඔබේ මිරිවැඩි
අගී දෝ කෙතරම්
ජනෙල් බාපත මත
ඉසිඹුලන
පයෙහි රන්වන
මහපොළොව කිවිසුම් අරින
රොනින’වල
මල්රේණු වර්ෂාවය
අටෝරා සියයකට වැඩි
අවමගුල් ලකුණින් පිරි
පතුල් සිපගත්
දුරුත්තේ හිරි වැටුණු
මිහිමවගේ කොපුලත
දිය කඳුරුය හඬන
(මහගම සේකර කවියා රජයේ සෞන්දර්යායතනයේ අධිපති ව සිටිය දී වරක් ඔහු දකින්නට ගිය කොල්වින් සෙට්ටිනායක කලාකරුවා මුල්වරට ම දුටුවේ සේකරගේ දෙපය යි. පුටුවක හිඳ සිටි කවියා සිය දෙපා ඔසවා උස් ජනෙල් පඩිය මත තබාගෙන සිටියේ ය.)
ඉහත කවිය සහ සටහන මා උපුටා ගත්තේ රත්න ශ්‍රී විජේසිංහ කවියා 2014 දී පළ කරනු ලැබූ ‘සන්ධ්‍යා තීර්ථය’ නම් කවි කෘතියෙනි. මහගම සේකර යනු සිංහල කවියේ පුරාවෘත්තයක් බව කවුරුත් පාහේ දන්නා කාරණයකි. එමෙන් ම ඔහුගේ සිනමා භාවිතාව, ගී රචනා, ගද්‍ය රචනා, චිත්‍ර ආදී සියලූ කලාත්මක මැදිහත්වීම් ගැන නොඑක් වර නොඑක් දෙනා කියා ලියා ඇති හෙයින් මේ ලිපිය මතුයෙහි ඔහුගේ කෘතීන්හි නිබඳව දකින දැනෙන නිරායාස ගුණයටත් නිර්ව්‍යාජ ගුණයටත් උපස්ථම්භක වූයේ යැයි සිතෙන ඔහුගේ පුද්ගල නිර්ව්‍යාජත්වය කතා කරන්නට සිතීමි.
“කවිය යනු කවියාගේ ආධ්‍යාත්මය ම මිස අනෙකක් නොවේ” යැයි කියමින් සේකර විසින් ම ඒ අව්‍යාජත්වය වර නැගූ අවස්ථාවක් එයි. මේ ‘තුං මං හංදිය’ තිර පිටපත ලිවීමට රදාවානේ සේකරගේ ගෙදර ගොස් මුහුණ දුන් අද්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනාරච්චි කියූ සැටියි.
“තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
“මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ කටහඬය.
“අනේ තාත්තේ… අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ… අනේ”
“යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
“අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”
මෙවැනි අව්‍යාජත්වයක් ඔහුගේ දිවිය පුරා ඉතිර පැතිර තිබුණ අතර ඔහුගේ නිර්මාණ ප්‍රවාහය හරහා ද එහි සුසුවඳ දැනෙන බව නොරහසකි.
තුං මං හංදිය නවකතාව සේකරගේ ජීවිත කතාව වැන්න. එය සිනමාවට නගන්නට ඔහු නිෂ්පාදකවරුන් තුන් දෙනෙක් සොයා ගිය ද ඔවුන් නොකැමති වූහ. අවසානයේ දී “සත් සමුදුර” නිෂ්පාදනය කළ වෛද්‍ය ලීනස් දිසානායක එයට කැමති වුව ද “සත් සමුදුර” ආර්ථීක ලාභයක් ඉපයීමට අසමත් වූ නිසාවෙන් ඔහු එම අදහස අත්හැර ගත්තේ ය. ගම්පහ චිත්‍රා ස්ටුඩියෝ අධිපති චිත්‍රා බාලසූරිය සේකර සමග එක් වන්නේ එහි දී ය. අදටත් දිවමන්ව වෙසෙන චිත්‍රා, සේකර ගැන මිහිරි මතක ගොන්නක හිමිකරුවෙකි. “තුං මං හංදිය” මෙරට ලාබ නොඉපයූව ද චෙකොස්ලෝවැකියාවේ සිනමා උළෙලකට ඉදිරිපත් කිරීමෙන් මහත් මුදල් ප්‍රමාණයක් හිමිකරගත් බව චිත්‍රා පවසයි. සරමක් හැඳගත් සේකර කිසිදු ආඩම්බරයකින් තොරව තමා හමුවෙන්නට තම ස්ටූඩියෝව වෙත ආ හැටි අදද ඔහු සිහිපත් කරන්නේ මිතු බැතියෙනි. “පරසතු මල්” සිනමාපටයේ දී ද තමා සේකර හා වැඩ කළ අයුරුවත් ඔහුගේ දිවියේ පැතිර තිබූ නිර්ව්‍යාජ ගුණයත් ඔහු කියයි. සේකරගේ මළගම සිදු වූ පසුවත් ගම්පහ පෙදෙසේ ජනයා මේ මහා කවියා නොදැන උන් බව කී ඔහු සේකර තමන්ව ම පුම්බා ගන්නට කිසිදා වැඩ කටයුතු නොකළ අයෙක් බව අවසන් වශයෙන් කිව්වේ ය.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සංචාරයකට යන සේකරට එහි දී ද සිහිවන්නේ ගමෙහි සඳයි.
“…..දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හදුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලූ‍වට පායන හඳ”
මහගම සේකරයන් සමග සමීප ව ඇසුරු කළ ඔහුගේ තවත් සන් මිත්‍රයෙකි, කරුණාරත්න අමරසිංහයෝ. ලාංකේය හඬ නළුවේ, සාහිත්‍යයේ වෙසෙස් නමක් සනිටුහන් කළ අමරසිංහ මහතා සේකර පිළිබඳ සිය මතක අවදි කළේ ය. ඔහු ද නිතර පැවසුවේ සේකරගේ අව්‍යාජකම යි. අද්‍යතන නිර්මාණ ක්ෂේත්‍රයේ සිටින වගාඩම්බර කියන බොහෝ විවේචනය කළ අමරසිංහයන් නැවත නැවත මතු කරනු ලැබුවේ සේකරගේ නිර්ව්‍යාජ ගුණය යි.
“මම සේකරව ඉතා ම ළඟින් ඇසුරු කළා. ඔහුගේ ජීවිතයේ බොහෝ දේවල් මා සමඟ ඛෙදා ගෙන තියෙනවා. සේකරගෙ පළමු නවකතාව තුං මං හංදිය කියලනෙ බොහෝ දෙනෙක් දන්නෙ. නමුත්, සේකරගෙ පළමු නවකතාව ඒක නෙවෙයි. පළමු නවකතාව ඔහු ප්‍රකාශයට පත් කළේ නැහැ. එක්තරා ප්‍රේමයක් ගැන ලියා තිබුණු එම නවකතාව එක්තරා දවසක රාත්‍රියක ඔහු මටත් සුනන්ද මහේන්ද්‍රයන්ටත් ඇහෙන්නට කියෙවුවා. ඒ නවකතාව නම් කරල තිබුණෙ ගඟට දැමූ ඔරු කියලා.
අනෙක් කරුණ තමයි, ඒ කාලයේ මම ගුවන්විදුලියෙ “අද ලියැවෙන කවි” කියල වැඩසටහනක් කරමින් හිටියා. 70 දශකයෙදි. එක්තරා දවසක් ගුවන්විදුලියෙදි හමුවුණා. ඒ වන විට ඔහු ගුවන්විදුලියෙ සේවයෙන් අයින් වෙලා වුණත් ‘කල්පනා’ කියල වැඩසටහනක් කරන්න ඔහු ගුවන්විදුලියට එනවා. ඒ ආ වෙලාවක සේකර මාව හමුවෙලා කිව්වා රත්න ශ්‍රී විජේසිංහ ගැන. මෙහෙම දක්ෂ විදිහට ලියන කෙනෙක් ඉන්නවා. එයාව වැඩසටහනකට ගන්න කියලා. ඒ අනුව මම එක්තරා දවසක රත්න ශ්‍රීව ගුවන්විදුලියෙ මගෙ වැඩසටහනට ගෙන්වා ගත්තා. එහෙම අලූත් අය ගැන උනන්දුවක් තිබුණ කෙනෙක් තමයි සේකර කියන්නෙ. හුඟක් ඔය ලියන බොහෝ දෙනා තක්කඩි. මානව භක්තිය, මනුෂ්‍යත්වය අරක මේක සේරම තියන්නෙ ලියන අයගෙ පොත්වල විතරයි. ඒවා එයාලගෙ ජීවිතවල නැහැ. හැබැයි සේකර කියන්නෙ මානව දයාව, මනුෂ්‍යත්වය නිර්මාණවල වගේ ම ජීවිතයෙත් තිබුණ කෙනෙක්. අනෙක් අයගෙ සහ සේකරගෙ අතර තියන වෙනස තමයි ඒක……”
කරුණාරත්න අමරසිංහ මහතා පැවසූ පරිදි ම එක්තරා දවසක සේකර ගැන සිය මතක අවදි කළ රත්න ශ්‍රී විෙජ්සිංහයන් අප සමග පැවසූවේ තමා සේකර වෙත එකල නිතර කවි ලියා යැවූ බවත්, ආධුනිකයෙක් ලෙස නොසලකා තමා ගුරුහරුකම් දෙන්නට සේකර මහන්සි වූ බවත් ය. එපමණක් නොව තමා ලියා යවන නිර්මාණවල ගුණදොස් පෙන්වා ආපසු තමාට ලිපි එවන්නට තරම් මහගමසේකරයන් නිහතමාන වූ බව ඔහු පැවසුවේ කෘතඥතාව පෙරදැරිව ය.
1974.10.18
ගම්පහ
ඔබේ පද්‍ය පිළිබඳ අදහස් කීපයක් මේ සමඟ එවමි. වැඩිදුර විවේචනයක් කිරීමට වෙලාව මදි. වැඩකටයුතු රාශියක් මැද්දේ මෙපමණවත් ලියා එවුවේ. පද්‍ය රචනය කිරීමට වාසනා ශක්තිය ඔබට ඇති බව පෙනෙන නිසා ඔබ ධෛර්යමත් කරන අදහසින්.
පද්‍ය පන්ති හොඳයි කීම නිසා අහංකාර වෙන්න එපා. ඒවා නැවත නැවත සකස්කර වඩාත් හොඳ කිරීමට උත්සාහ ගන්න. “යෝජිත තේමා” නොව ඔබට හිතෙන, ඔබ විසින් විඳ ඇති තේමා කවියට නගන්න.
නූතන කවිය හා කවිය පිළිබඳ මගේ අදහස් කීමට මේ අවස්ථාවේ අවකාශ මදි.
පද්‍ය සංග්‍රහයක් නිකුත් කිරීමට දැන් ම අදහස් කරනවාට වඩා හොඳයි හොඳ ම කවි ලියා එකතු කර ගැනීම.
පසුවට ප්‍රකාශකයෙකු ඉබේ ම වාගේ ලැබේවි.
මෙයට
හිතවත්,
මහගමසේකර
උක්ත ලිපිය සේකරයන් විසින් එවක දුහුනු නිර්මාණකරුවෙක් වූ රත්න ශ්‍රී විජේසිංහයන් වෙත එවනු ලැබූවකි. සේකරගේ නිර්ව්‍යාජත්වය ගැන එය ම මනා නිදසුනක් නොවේ ද?
(Illustration by Saamantha Tennege)

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල