බ්ලොග් නවකතා, විශේෂ

රාජකීය අභිරහස 1

Off

ගිම්හානයේ හිරු රැස් ලන්ඩනයට තදින්ම දැනෙන්නට විය.. ලන්ඩනයේ බොහෝ දෙනා යුරෝපයේ වෙනත් රට වලට තම නිවාඩුව ගත කිරීමට නික්මෙමින් තිබුන නිසාම එරිකෝට උසාවියේ නඬු මෙන්ම අහම්බෙන් ලැබුන රහස් පරීක්ෂණ කටයුතු වලද අඩුවක් තිබින.. එය හැම නිවාඩුවකම සුපුරුදු දෙයක් වූ නිසා එරිකො ඔහුගේ නිවාඩුව ගැන සැළසුම් කරමින් සිටියේය..

” සිම්රන් මොකද මේ නිවාඬුවට කරන්නේ? විශ්වවිද්‍යාලෙත් වහලනේ..”

එරිකෝගේ නිවසේ ආලින්දයට වී පුවත් පතක් බලමි උන් ඈට මේ නිවාඩුව ගැන එතරම්ම උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නොවීය.. ඒ නිවාඩුව පටන් ගෙනත් ටික දවසක් ගෙවුන නමුත් ඈ සුපුරුදු ලෙසම එරිකෝගේ නිවසට විත් කාලය ගත කිරීමට පුරුදුව සිටි නිසාවෙනි.. ඇගේ ඉගෙනුමට සම්බණ්ද දේවත්, රහස් පරීක්ෂණයක් වත් නොමැති වූවත් ඈ සුපුරුදු පරිදිම උදෑසන සිට සවස් වන තුරු එරිකෝගේ නිවසේ කාලය ගත කිරීම ගැන එරිකෝගේද අකමැත්තක් නොවීය..

” දන්නේ නෑ එරිකෝ.. සමහරවිට මට ඉන්දියාවට යන්න වේවි..”

ඈ එතරම් උනන්දුවකින් තොරව පිළිතුරු දුන්නාය..

” ඉන්දියාවට.. ඒ මොකද?”

” සමීර්ගේ පවුලේ ගොඩක් අය ඉන්නේ ඉන්දියාවෙනේ.. ඉතින් මගේ තාත්තට ඕනලු විවාහයට කලින් ගිහින් ඔවුන්ව මුණගැහිලා එන්න..”

” ඉතින් ඒක හොද දෙයක්නේ.. සිම්රන්ටත් පුළුවන්නේ සමීර් එක්ක ටිකක් කාලය ගත කරන්න..”

පුවත් පතින් දෑස් ඉවතට ගත් සිම්රන්ගේ බැල්ම තියුණු එකක් විය.. ඒ කුමක් නිසාදැයි තේරුම් ගැනීමට එරිකෝට එතරම්ම අපහසු නොවුනත් ඔහු සැම විටකම ඇගේ සිත කියවීමෙන් ඈත් වීමට බොහෝ උත්සාහ ගත්තේය..

” වෙන්න පුළුවන්.. ඒත් අනේ මන්දා..”

ඈ හිදගෙන උන් පුටුවේ අනික් කෙලවර හිදගත් එරිකෝ ඈට ලං වූයේ හොද මිතුරන් ලෙස ඔවුන් ගෙවුන කාලයේදී ගොඩක් සමීපවූ බැවිනි..

” සිම්රන් සමීර්ට කැමති නැද්ද?”

” එහෙමමත් නෙමෙයි එරිකෝ.. මම හිතනවා මට තව කාලයක් ඕන කියලා..”

” ඒ කියන්නේ සිම්රන්ගේ හිතේ වෙන කවුරු හරි ඉන්නවා..”

ඇගේ මුහුණ වෙනස් වූයේ මොහොතකිනි.. එය තේරුම් ගිය නිසාම එරිකෝ නිහඬ වූයේ ඉන් එහා කතා කිරීම නුසුදුසුයැයි ඔහුට සිතුන බැවිනි.. ඈ ලගින් නැගිට යන්නට උත්සාහ කල එරිකෝ මොහොතකට නතර වූයේ ඇය ඔහුව නතර කරගත් හෙයිනි..

” ඔයත් එන්න අපි එක්ක ඉන්දියාවට යන්න.. අපිට එච්චරම වැඩකුත් නැහැනේ.. අනික මට මොනවාහරි දෙයක් කතා කරන්න හොද යාළුවෙකුත් ඉන්න ඕනනේ..”

ඇගේ දෑස් වල තිබුනේ දීප්තිමත් පෙනුමකි.. ඒ දෑස් වලටම එබී ඉන්නට ඇත්නැම් යැයි සිතෙන තරමට එරිකෝ ඒ දීප්තියට රහසින්ම ආසා කලේය..

” හරි මම එන්නම් යන්න ඔයත් එක්ක..”

” ඔය ඇත්තමද එරිකෝ?”

ඈ එරිකෝගේ උරහිසින් වැළඳ ගත්තේ ඈට දැනුන සතුට නිසාමය.. හුඟාක් කිට්ටු මිතුදමට එහාට ගිය හැඟීමක් ඔවුන් දෙදෙනාගේම සිත් වල රැදුන බවක් දැනුන නිසාම ඔවුන් ඔවුන්ගෙන් මිදුනේ තරමක ලැජ්ජාශීලි බවකිනි..

” මම එන්නම්.. හැබැයි සිම්රන්ට මං වෙනුවෙන් දෙයක් කරන්න වෙනවා..”

” කියන්න එරිකෝ..”

” අද මාත් එක්ක යමු.. මට ක්‍රිකට් මැච් එකක් තියෙනවා..”

” ක්‍රිකට්? ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා මම දැනන් හිටියේ නැහැනේ..”

” අපිට ඒ ගැන කතා කරන්න තරම් වෙලාවක් ආවෙත් නැහැනේ සිම්රන්..”

” හරි යමු.. කොහාටද යන්නේ?”

” ලෝඩ්ස් වලට..”

” යමු යමු.. මම ලෝඩ්ස් වලට ගිහිල්ලම නෑ..”

මොහොතකට කලින් තිබුන උදාසීන බව ඇගෙන් පහව ගොස් මුහුණට දීප්තියක් ඉක්මනින් වැටෙනු එරිකෝ බලාගෙන සිටියේ ඉමහත් සතුටිනි.. පහලමාලයේ වූ තමන්ගේ නිදන කාමරයට යාමට එරිකෝ සූදානම් වූයේ ක්‍රීඩා පිටියට යාමට අවශ්‍ය ඇදුම් ගෙන ඒම සදහාය.. එහෙත් නොසිතූ අයුරින් එවෙලෙහිම නාද වුන නිවසේ සීනුව ඔවුන්ව මොහොතකට නතර කරලීය..

” අද යන්න වෙන එකක් නෑ වගේ..”

සිම්රන්ගේ මුහුණේ මැවුනේ දුක්මුසු හැඟීමක් වුවද පැමිණි ආගන්තුකයා කවුදැයි නොබලා සිටීමට ඔවුනට නොහැකි විය.. එරිකෝ නිවසේ දොර අසලට යත්ම සිම්රන්ද ඔහුට පියවර කිහිපයක් පිටුපසින් ඔහුත් සමගම පැමිණීයාය..

” සුභ දවසක් මිස්ටර් එරිකෝ.. දෙන්නම ඉන්න වෙලාවේ එන්න ලැබුන එකත් හොදයි..”

එරිකෝගේ ආරාධනයෙන් නිවස තුලට පැමිනියේ ලන්ඩන් පොලීසියේ පොලිස් පරීක්ෂක වෝල්ටර්ය.. ‘කෝකෝ’ සමාජශාලාව තුල වූ අභිරහස විසදීමත් සමග එරිකෝ හා සිම්රන් සමග දැඩි මිත්‍රත්වකින් බැදුන වෝල්ටර් ඔහුට වුවමනා ඇතැම් අවස්ථාවල එරිකෝගේ සහාය පැතීමට පුරුදුව සිටියේය..

” මම හිතනවා දෙන්නා අද යොදාගත්ත වැඩක් නැතුව ඇති කියලා.. මොකද එහෙමනම් මට සිද්ද වෙනවා දෙන්නගෙම සැලසුම් අවුල් කරලා දාන්න..”

” නැහැ කියලමත් කියන්න බෑ වෝල්ටර්.. ඒත් ඔයා කියන විදිහට ඒක අපේ ගමනට වඩා සිත්ගන්න එකක් වේවි වගේ..”

එරිකෝ සමග නිදහසේ ගතකරන්නට තිබූ කාලය නොලැබී යාවියි සිතමින් සිම්රන් තුල පුංචි තරහවක් මතු වුවද වෝල්ටර්ගේ හදිසි පැමිණිම ඊට වඩා වැදගත් දෙයක් වන්නට පුළුවන් යැයි ඈ සිතීය..

” අද මගේ ක්ලබ් එකේ මැච් එකකට ප්‍රැක්ටිස් තියෙනවා.. වැඩක් නැති හන්දා අපි දෙන්නම එහේ යන්න හැදුවේ.. ටිකක් පරක්කු වුනාට කමක් නෑ.. වෝල්ටර් කාරණාව කියන්න..”

” පරක්කු නෙමෙයි එරිකෝ, මම හිතන්නේ මට ඔබේ කලය සම්පූර්ණයෙන්ම ගන්න වෙනවා..”

තම මිතුරාගේ නිවසේ ඔවුන්ට හුරුපුරුදු කාර්‍යාල කාමරය වෙත කෙලින්ම ගිය වෝල්ටර් එරිකෝගේ කාර්‍යාල මේසයෙහි වූ අසුනක් එරිකෝත් සිම්රනුත් නිතර වාඩි වන දිගු පුටුව දෙසට ඇද ගනිමින් හිද ගත්තේ ඔහු පැමිණී කාරණාව විස්තර කිරීමේ අරමුණිනි..

” එහෙනම් වෝල්ටර් හැම දෙයක්ම මුල ඉදන් පටන් ගන්න..”

” මේ සිද්දිය වෙලා දැනට සති තුනක් විතර වෙනවා.. ඔබ දන්නවා ඇති ශේක්ෂ්පියර් ජන්මභූමි භාරය ගැන.. මේක පාර්ලිමේන්තුවෙන් නීති ගත කරපු ආයතනයක්.. ඒ හන්දම බ්‍රිතාන්‍ය රජය මගින් මේක පාලනය වෙන බවත් ඔබ දන්නවා ඇති කියලා මම හිතනවා.. විලියම් ශේක්ෂ්පියර් කියන්නේ ඔහු ජීවතුන් අතර සිටි කාලයේ ඉදන්ම බ්‍රිතාන්‍ය රජ පවුලේ බොහෝ අගය කිරීමට ලක් වුන චරිතයක්.. ඒක අදටත් එහෙමයි..”

” මට මතකයි පහුගිය දවසක රැජිනගේ පෞද්ගලික එකතුවේ තියෙන ශේක්ෂ්පියර්ගේ සමරු සටහන් කිහිපයක් කෞතුකාගාරයට භාර දෙනවා කියලා පුවත්පතක පල වෙලා තිබුනා..”

එරිකෝ වෝල්ටර්ගේ කතාවට භාදා කරමින් පැවසීය.. එහෙත් තමන් කියන්නට ආ දෙය ගැන තරමක් හෝ එරිකෝ දැන සිටීම වෝල්ටර්ට පහසුවක් වූ නිසාම ඔහු එය භාදාවක් ලෙස නොසැලකීය..

” ඒකම තමයි එරිකෝ මම කියන්න හදන්නේ.. අවුරුදු ගානක් පුරාවට රජ මාලිගාවේ තිබුන ශේක්ෂ්පියර්ගේ අත්සන සහිත ලිපි කීපයක් වගේම කාව්‍ය නිර්මාණ කීපයක් එරිකෝ කියපු විදිහටම ලන්ඩන් කෞතුකාගාරයට භාර දෙන්නයි සැලසුම් කරලා තිබුනේ.. මාද්‍යට ඒ ආරංචිය ඒ විදිහට ගියා වුනත් පස්සේ මේ ශේක්ෂ්පියර් ජන්මභූමි භාරය විසින් කරපු විශේෂ ඉල්ලීමක් නිසා ඒ සමරු හැම එකක්ම ශේක්ෂිපයර්ගේ උපන් ගමේ පිහිටලා තියෙන ඔහුගේ නිවස හා සම්බන්ද කෞතුකාගාරයට යවන්න පස්සේ තීරණයක් ගත්තා..”

” හ්ම්ම්.. ඒ ගැනනම් කොහේවත් සදහනක් තිබුනේ නෑ..”

” ඔවු ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්ණය පටන් ගන්නේ මෙන්න මෙතනින්.. රජ පවුල පොරොන්දු වුන විදිහටම ඒ සමරු ලන්ඩන් කෞතුකාගාරයට යැවුනා.. පස්සේ තමයි තීරණය වෙනස් වුනේ ඒවා ඔහුගේ නිවසේ තියෙන කෞතුකාගාරයට යවන්න.. ඒත් දැන් එතන ලොකු අවුලක් බවට පත් වෙලා..”

” අවුලක්, ඒ මොකද?”

” ඒ හැම සමරුවක්ම අභිරහස් විදිහට අතුරුදහන් වෙලා..”

” මොකක් අතුරු දහන් වෙලා?”

” ඔවු එරිකෝ.. දැනට සති තුනක් වෙනවා..”

” සති තුනක්? ඒත් වෝල්ටර් කියනකම් අපි ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැනේ..”

” ඔවු එරිකෝ ඒක ඇත්ත.. අපි තාම මේක මාද්‍යට ආරංචි වෙන්න ඉඩ තිබ්බේ නැහැ.. මොකද මේක ඔවුන්ට අනිවාර්‍යෙන්ම ලොකු ප්‍රවෘතියක් වෙනවා.. එහෙම වුනොත් ගොඩක් අංශ වලට මේකෙන් ලොකු පහරක් එකතු වෙනවා..”

” හරි මට තේරෙනවා.. මට තව විස්තර කියන්න වෝල්ටර්..”

” ලන්ඩන් කෞතුකාගාරයේ මේ සමරු දවස් තුනක් තිබුනා.. ඔවුන් මේ සමරු තියන්න අංශයක් සූදානම් කරමින් ඉද්දී තමයි ඒවා මාරුකරලා යවන්න සැළසුම් කරේ.. ඒ සැළසුම් කරපු විදිහටම මේ නිර්මාණ වෝර්වික්ෂයර් ප්‍රාන්තයට යැවුනා.. නිර්මාණ එහාට ගියාට පහුවදා තමයි ලන්ඩන් කෞතුකාගාරයට පණිවිඩයක් ආවේ ඒ සමරු හැම එකක්ම අතුරුදහන් වෙලා කියලා..”

” එතකොට මේ සමරු ලන්ඩන් වලින් වෝර්වික්ෂයර් වලට කිසිම කරදරයක් නැතුව ගියා කියලා හොදටම විශ්වාසද වෝල්ටර්..”

” නැහැ එරිකෝ.. අන්න ඒකම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණය.. මේවා හොරකම් කලේ ලන්ඩන් වලදිද එහෙමත් නැත්නම් වෝර්වික්ෂයර් වලදිද කියන එක ලොකු ගැටළුවක්.. ඒ ගැන හරියටම තහවුරු කරන්න කවුරුවත් දන්නේ නෑ..”

” පොලිස් පරීක්ෂණ වල තත්වය කොහොමද?”

” වැදගත් කියලා හිතෙන කිසිම දෙයක් හොයාගන්න ලැබුනේ නැහැ එරිකෝ.. මේ බඩු අතුරුදහන් වුනේ කොහේද කියන එක ගැනවත් තාම අපි කාටවත් හොයා ගන්න බැරි වුනා..”

” කවුද මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ?”

” ලන්ඩන් පොලීසියයි බ්‍රිතාන්‍ය හමුදාවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකුයි..”

” වෝල්ටර් ඔබ දන්නවා කරුණු කාරනා දිහා දුර ඉදන් පරික්ෂා කරලා මට කිසිම දෙයක විසදුම් ඉදිරිපත් කරන්න අමාරුයි කියලා.. මේ වගේ විශේෂ තත්වයකදි මට කලින් වෙලාවල් වගේ මැදිහත්වීමක් කරන්න අමාරු බව ඔබට හොදින්ම තේරුම් යාවි කියලා මම හිතනවා..”

” ඒ ගැන කිසිම ප්‍රශ්ණයක් ඇති කර ගන්න එපා එරිකෝ.. ඔබට මේකට සම්බණ්ද වෙන්න පුළුවන් හැම පහසුකමක්ම මම සපුරලයි තියෙන්නේ.. ලන්ඩන් පොලීසියේ විශේෂ අවසරයක් ඔබට තියෙනවා.. ඒ නිසා එරිකොට පුරුදු විදිහටම පරීක්ෂණ කරන්න පුළුවන්.. හැබැයි කලින් අවස්ථාවලට වැඩිය ඉවසීම තිබුනොත් හොදයි කියලා මම හිතනවා..”

” හරි වෝල්ටර්.. එහෙනම් ඒක මගේ රාජකාරි වලට පහසුවක්.. කවදා ඉදන්ද මම මේකට නීත්‍යානුකූලව සම්බණ්ද වෙන්න ඕන..”

” පුළුවන් ඉක්මනට.. අපිට මේක මාද්‍යට යන්න තියෙන ඉඩකඩ නවත්තන්නත් ඕන.. ඒ වගේම පුළුවන් ඉක්මනට මේක විසදන්නත් ඕන..”

” හරි වෝල්ටර්.. එහෙනම් මම තව පැයකින් විතර ඔබව ලන්ඩන් කෞතුකාගාරයෙදි හමුවෙන්නම්..”

” හොදයි එරිකෝ.. මතක තියාගන්න මේක ගොඩක් රහස් වැඩක්..”

වෝල්ටර්ට සමුදුන් එරිකෝ යලි කාර්‍යාල කාමරයට පැමිනෙන තුරු සිම්රන් ඔවුන්ට සුපුරුදු කෝපි කෝප්පයක් පිළියෙල කලේ ඔවුන්ට කතා කිරීමට කරුණු ඉතිරිව තිබු බැවිනි..

” මට සමාවෙන්න සිම්රන්.. අපේ සැළසුම් අවළංගු කරන්න වෙනවා..”

” ඒකට කමක් නැහැ එරිකෝ.. මේක ඊට වැඩිය ගොඩක් වැදගත්..”

තම සුපුරුදු අසුන මත හිදගත් එරිකෝ සිම්රන් පිළියෙක කර දුන් කෝපි කෝප්පයේ රස විද ගනිමින් මොහොතක් වෝල්ටර් කී දේවල් ගැන කල්පනා කරන්නට විය..

” මේක කොතනින්ද පටන් ගන්න ඕන කියලා මට හිතාගන්න බැරුවයි ඉන්නේ සිම්රන්..”

” ඒකනම් ඇත්ත එරිකෝ.. මටත් ඒ ගැන හිතුනා.. මේ අතුරුදහන් වීම නිශ්චිත තැනකදි වුනානම් අපිට එතනින් පරීක්ෂණ පටන් ගන්න ලේසි.. ඒත් දැන් අපිට තැන් දෙකකම එක වගේ පරීක්ෂණ කරන්න වෙනවා..”

” ඒක ඇත්ත සිම්රන්.. ඒත් වෝල්ටර් ඔය කියපු තැන් දෙක ඇරෙන්න වෙන තැනකදී මේ සොරා ගැනීම වෙලා තියෙනවනම් අපි හිතනවට වැඩිය ලොකු ගැටළුවකට මුහුණ දෙන්නේ සිම්රන්..”

” හරි, අපි දැන් මොකද කරන්නේ?”

” අපි ඉස්සෙල්ලම ලන්ඩන් කෞතුකාගාරයට යමු.. එතනින් අපේ වැඩේ පටන් ගමු.. අඩුම තරමේ අපි මේ නැතිවුනේ මොනවගේ දේවල්ද කියලවත් දන්නේ නැහැනේ.. එක අතකට මාද්‍ය වල මේ ගැන ප්‍රචාරයක් ගියානම් හොදයි කියලත් හිතෙනවා..”

” ඒ ඇයි එරිකෝ?”

” නෑ එහෙම වුනානම් හැම කෙනෙක්ම වගේ මේ නැතිවුන දේවල් ගැන දැන ගන්නවා.. එහෙම වුනානම් මේවා හොරකම් කරපු අයට ඒ දේවල් විකුණන්න හරි රටින් පිට කරන්න හරි අමාරු වෙනවා.. අනික අපිට කාගෙන්හරි හෝඬුවාවක් ඉක්මනින්ම ලැබෙන්නත් තිබුනා.. දැන් ඒ හැම දෙයක්ම ඇහිරිලා..”

” ඒකත් ඇත්ත.. ඒත් ඔවුන් මේක රහසක් විදිහට තියාගන්න ගත්ත හේතුව අපිට වෙනස් කරන්න බැහැනේ දැන්..”

” ඔවු සිම්රන්.. අපිට මෙතනදි සිද්ද වෙනවා ඔවුන්ගේ හැටියට අපේ වැඩ ටික කරන්න.. අපි ඉක්මන් කරමු.. කිසිම හෝඩුවාවක් නැති පරීක්ෂනයකුයි අපි විසදන්න යන්නේ..”

එරිකෝ තම නිදන කාමරයට විත් කෞතුකාගරයට යන්නට සැරසෙද්දී සිම්රන් එරිකෝගේ කාමරයේ මේසය මත දමා තිබු ඇගේ කුඩා සටහන් පොතත් ඇගේ බෑගයට දමා ගනිමින් එරිකෝ එන තුරු රැදී සිටියේය.. ලන්ඩන් නගරයට එතරම් දුරකින් නොතිබුන එරිකෝගේ නිවසේ සිට ලන්ඩන් කෞතුකාගාරයට යන්නට විනාඩි විස්සක් පමණ ගත විය.. ගමන අතර තුර එතරම්ම කතාබහක් නොවූයේ හඹායන සිදුවීම් පෙලේ බොහෝ තොරතුරු අවිනිශ්චිත අපැහැදිළි එකක් වූ නිසාවෙන්ය..

කිසිවක් නොවූවාක් මෙන් කළබලයකින් තොරව පැවති ලන්ඩන් කෞතුකාගාරය වෙනදා මෙන්ම නිදහස්ය.. රථගාලේ නතර කර තිබුන එක් පොලිස් නිළ රථයක් හැරෙන්නට අනික් සියළු දෙයක්ම සාමාන්‍ය පරිද්දෙන් සිදුවෙමින් පැවතියේය.. කෞතුකාගාරයේ ආරක්ශක අංශය හා කතාබහ කල ඔවුන් කෙලින්ම පැමිණියේ කෞතුකාගාරයේ අධ්‍යක්ශක වරයා හමුවීමටය.. ඔවුන්ගේ මිත්‍රයාද ඔහු සමගම කාර්‍යාලයේ රැදී සීටීම එරිකෝට පහසුවක් විය..

” වෝල්ටර් දැන් දවසම කෞතුකාගරයේ ගෙවා දමනවා වගේයි..”

” මෙතන අපි නොදන්න ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවනේ එරිකෝ ඒ හන්දා දවස මෙතන ගෙවුනා කියලා පාඩු වෙන එකක් නෑ..”

” අහ් හා.. ඒක ඇත්ත.. ඒ වගේම අභිරහසුත් තියෙනවනේ මේ තැන් වල..”

” මිස්ටර් චාල්ස්, මේ ඉන්නේ මගේ මිත්‍රයෙක්.. එරිකෝ.. ඔහු මට මේ අතුරුදහන් වුන දේවල් හොයන්න සහාය වෙනවා..”

කෞතුකාගාරයේ අධ්‍යක්ශ වරයාට එරිකෝවත් සිම්රන්වත් හදුන්වා දුන් වෝල්ටර් ඔවුන් සමගම කාර්‍යාලයේ පසෙකින් වූ අසුන් වල හිද ගත්තේ ඔවුනට කතා කිරීමට බොහෝ දේ තිබුන බැවිනි..

” මිස්ටර් චාල්ස් ඔබට හොදටම විශ්වාසද වෝර්වික්ෂයර් යවන්න තිබුන හැම දෙයක්ම කිසිම කරදරයක් නැතුව ලන්ඩන් කෞතුකාගාරයෙන් පිටත් වුනා කියලා?”

” මම එහෙම හිතනවා මිස්ටර් එරිකෝ..”

” ඇයි ඔබ විශ්වාස කරනවා කිවුවේ ඒක ස්තීරවම කියන්න අමාරුද?”

” මෙහමයි මිස්ටර් එරිකෝ, ලන්ඩන් කෞතුකාගාරයට මේ දේවල් ලැබුනේ සති තුනකට කලින්.. අපි කෞතුකාගාරයේ සාහිත්‍යමය වටිනාකමක් තියෙන දේවල් අතරට මේ සමරු ටිකත් එකතු කරන්න කල්ප්නා කලා.. ඒක එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඔබ දන්නවනේ.. මේ ශේක්ෂ්පියර්ගේ නිර්මාණ වලට ඉඩක් සකස් කරමින් ඉද්දී තමයි කෞතුකාගාරයේ තීරණය වෙනස් වුනේ.. එතකන් ඒ හැම එකක්ම තිබුනේ පහත මාලයේ තියෙන ගබඩාවේ.. ඒ දේවල් ලැබුන වෙලේ අපි ඒවා පරීක්ෂාකරලා බලලා ආයෙම ගබඩාවෙම තියෙන්න ඇරියා.. ඊට පස්සේ තීරණය වෙනස් වුනාම අපි ඒ දේවල් ඒ විදිහටම ආයෙම වෝර්වික්ෂයර් යවන්න සූදානම් කලා..”

” ඒ කියන්නේ වෝර්වික්ෂයර් යවන්න කලින් ඔබ ඒ දේවල් ආයෙම පරීක්ෂා කරලා බැළුවේ නැද්ද?”

” නැහැ.. එදා මම හිටියේ සම්මන්ත්‍රණයක.. මේ හැම දෙයක්ම කලබලයෙන් වගේ සිද්ද වුන නිසා මම මගේ සහායකයට කිවුවා ඒවා පිටත් කරන්න සූදානම් කරන්න කියලා..”

” එහෙනම් ඔහු ඒවා පරීක්ෂා කරන්න ඇති කියලා මම හිතනවා..”

” ඔවු, මගේ සහායකයා රිචර්ඩ් කියන්නෙනම් ඒ විදිහට..”

” එහෙනම් අපිට ඔහු එක්ක ටිකක් කතා කරන්නත් වෙනවා.. මම හිතනවා ඔහු අද ඇති කියල..”

” ඔවු ඉන්නවා.. මේ වෙද්දී රිචර්ඩ් ගබඩාවේ ඇති.. ඔබට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්..”

” ඔහු ගබඩාවෙනම් ඉන්නේ ඒක මට තවත් පහසුයි.. වෝල්ටර්, ඔබත් එන්න මාත් එක්ක යන්න..”

කාර්‍යාලයෙන් පිටත් වුන ඔවුන් නරඹන්නන් අතරින් ඇවිද ගොස් ආරක්ෂකයින්ගේ අවසරද ඇතිව පහළ මාලයට පිවිසියෝය.. ප්‍රදර්ශණයට තබා නොතිබුන දුහුවිල්ලෙන් වැසීගිය බොහෝ නිර්මාණ අතරින් ඇවිද ගිය ඔවුන්ට කෙලවරක වූ මේසයක් මත ලිපි ලේඛන පරීක්ෂා කරමින් වුන් සහායකයාව හමුවීය..

” මිස්ටර් රිචර්ඩ්, අපිට ඔබත් එක්ක ටිකක් කතා කරන්න ඕන.. වෝල්ටර්ව ඔබ හදුනනවානේ.. මම රහස් පරීක්ෂක එරිකෝ.. මේ මගේ සහායිකාව..”

” ශේක්ෂ්පියර්ගේ අතුරුදහන් වුන දේවල් ගැන දෙන ගන්න වෙන්න ඇති ඔබලා එන්න ඇත්තේ?”

” හරියටම හරි රිචර්ඩ්.. අපේ ගමන ගැන ඔබ තේරුම් ගත්ත එක මේ කතාබහට පහසුවක්..”

” මම හිතන්නේ මම කියන්න ඕන හැම දේම කලින්ම කියලයි තියෙන්නේ..”

” ඔවු වෙන්න පුළුවන්.. ඒත් ඔබට මගහැරුණ දෙයක් එහෙම තියෙන්න බැරි නැහැනේ..”

” හරි, එහෙනම් ඔබලාට විශේෂයෙන් මොනවද දැන ගන්න ඕන..”

” ශේක්ෂ්පියර්ට අයත් දේවල් වෝර්වික්ෂයර් වලට යවද්දී ඒවා කෞතුකාගාරයට ගෙනාව විදිහටම තිබ්බද කියලා ඔබ පරීක්ෂා කරලා බැළුවද?”

” ඇත්තටම ඒ තරම්ම පරීක්ෂා කරලා බලන්න දෙයක් තිබුනේ නෑ.. මොකද අපි ඒවා ප්‍රදර්ශණයට තියන්නවත් එළියට නොගත්ත නිසා.. ඒ නිසා ඒවා තිබුන විදිහටම වෝර්වික්ෂයර් යවන්න සූදානම් කලා..”

” රිචර්ඩ්ට හිතෙන්නේ නැද්ද ඒක ලොකු වැරැද්ද කියලා.. මොකද, ඒ වෙනකොටත් ඒ හැම එකක්ම අතුරුදහන් වෙලානම් තිබුනේ ලොකු අපරාධයක් ලන්ඩන් වලදිම විසදගන්න තිබුන අවස්ථාව නැති වුනා නේද?”

” මම හිතන්නේ නැහැ එහෙම දෙයක් ලන්ඩන් කෞතුකාගාරයෙදි වුනා කියලා.. ඒ මොකද ඒ දේවල් මෙහේ තිබුනේ දවස් දෙකක් විතරයි.. අපි ඒවා මෙහේ තියෙනවා කියලා කිසිම ප්‍රසිද්ධියක් කලෙත් නැහැ.. අනික මෙතන හැම දොරටුවකම ආරක්ෂක කැමරා සවි කරලා තියෙනවා.. කවුරු හරි ඒ දේවල් හොරෙන් අරන් යනවනම් ඒක හොයා ගන්න එක ලේසියි..”

” ඇත්ත, එහෙම හොයා ගන්න තිබුනා මේවා ප්‍රමාණයෙන් විශාල දේවල් උනානම්.. රිචර්ඩ් අපි කතා කරන්නේ මේ ඉතිහාසගත් වටිනාකමක් තියෙන ලියවිලි කිහිපයක් ගැන.. ඒවා කෙනෙක්ට හොරෙන් පිටතට ගෙනි යන එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි නේද?”

” ඒක ඇත්ත.. ඒත් ඒ හැම එකක්ම දවස් දෙක පුරාවටම තිබුනේ මේ කාමරය ඇතුලේ.. මෙතනට ඇතුළු වෙන්න පිට වෙන්න තියෙන්නේ එක දොරක් විතරයි.. එතන හැමදේම කැමරාවට සටහන් වෙනවා.. අධ්‍යක්ෂතුමයි මමයි ඇරෙන්න මෙතනට වෙන කවුරුවත් ආවේ නැහැ කියන එක ඔබට ඒවයේ සටහන් වුන දේවල් බැළුවම තේරේවි..”

” ඒ කියන්නේ අපිට ඔබලා දෙන්නවත් සැකකාරයන්ගේ ලැයිස්තුවට දාන්න පුළුවන් කියන එක..”

” ඒක ඔබලාගේ කැමැත්තක්..”

” හරි අපි යමු වෝල්ටර්.. තව කරන්න හුඟක් දේවල් තියෙනවා..”

පහල මාලයේ ගබඩා කාමරයෙන් නික්මුන ඔවුන් කෞතුකාගාරයෙන් නික්මී එහි රථගාල දෙසට පිය මැන්නේ ප්‍රශ්ණාර්ථයෙන් පිරි මුහුණෙනි..

” එරිකෝ හඹා යන්න තරම් පුළුවන් දෙයක් තියෙනවද?”

” නැහැ වෝල්ටර්.. කිසිම දෙයක් නැහැ..”

එරිකෝගේ මුහුණින් පෙනුනේ බැරෑරුම් පෙනුමකි.. හරි හැටි එල්ලයක් නොමැතිව මාවතක ගමන් කිරීම කොතරම්ම අපහසුදැයි තේරුම් ගැනීමට ඔවුන් තිදෙනාම සමත්වීය..

” වෝල්ටර් මම සිම්රන් එක්ක වෝර්වික්ෂයර් යනවා.. ඔබට එන්න පුළුවන්ද?”

” රාජකාරි එක්ක ඒ තරම් දුර ගමනක් එන්න මට පුළුවන් කමක් නැහැ එරිකෝ.. මගේ නියෝජීතයෝ දෙන්නෙක් දැනටමත් එහේ ගිහින් ඉන්නේ.. මං ඔවුන්ට දන්නවන්නම් එරිකෝට ඕන හැම සහයෝගයක්ම දෙන්න කියලා..”

” හරි වෝල්ටර් එහෙනම් අපිට ඒ උදවුව කරන්න.. අපි හෙට උදේම වෝර්වික්ෂයර් යන්න පිටත් වෙනවා..”

අතට අතදී සුභ පතා වෝල්ටර්ගෙන් සමුගත් ඔවුන් එරිකෝගේ නිවස වෙත එද්දී සවස් වී තිබුනේය..

” සිම්රන් පුරුදු විදිහටම කෝපි එකක් තිබුනොත් හොදයි..”

” හරි මන් හදාගෙන එන්නම්..”

ඇය මුළුතැන්ගෙය වෙත යද්දී කාර්‍යාල කාමරයේ තම අසුනට බර වුන එරිකෝ අන්තර්ජාලය ඔස්සේ අතුරුදහන් වූ ඳේ ගැන තොරතුරු සොයන්නට විය.. විනාඩි කිහිපයකින් කෝපි කෝප්පයද රැගන පැමිණි සිම්රන්ට පුටුව පිටුපසට දිගා වී දෑස් පියාගෙන සිටි එරිකෝව දැක ගන්නට හැකි විය..

” ඇයි එරිකෝ, මොකක් හරි ප්‍රශ්ණයක්ද?”

” නැහැ සිම්රන්.. හෙට උදේම වෝර්වික්ෂයර් යන්න තිබුනනම් හොදයි.. එතකොට වැඩිය පරක්කු නොකරම අපිට එහේ තොරතුරු හොයලා බලන්න පුළුවන්..”

” ඉතින් මොකද්ද ප්‍රශ්ණේ?”

” ප්‍රශ්ණයක් නැහැ.. මම මේ හිටියේ සිම්රන්ට මාත් එක්ක යන්න එන්න පහසුද කියලා දැන ගන්න විතරයි..”

” ඇයි බැරි? අපි යමු.. එරිකෝ දන්නවනේ මම මේ වගේ දේවල් වලට කොච්චර උනන්දුද කියලා..”

එරිකෝගේ මුවගට සිනහවක් නැඟුනේය.. කෝපි කෝප්පයේ රස විදගනිමින් කතාවට වැටුන ඔවුන් ඊළගට කුමක් කරනේදැයි සාකච්චා කරන්නට වීය..

මතු සම්බණ්දයි…

http://dineshumagiliya.blogspot.co.uk/2016/01/1.html

 

දෙවන කොටස 

තුන්වන කොටස 

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල