විශේෂ, සඳැස් / නිසඳැස්

අපේ ගෙදර ආ මහගම සේකර

Off

කලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය . අපේ තාත්තාට ට්‍රේනින් කොලිජියේ යාලුවෙක් මේ බන්දේසිය තෑගී කරදදී කියා තිබුනේ චිත්‍රය ඇන්දේ ඔහු හඳුනන ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන මහගම සේකර බවයි . මහගම සේකර බන්දේසිවල චිත්‍ර ඇන්දා කියා විශ්වාස කරන්නට බැරි වුනත් අපේ ගෙදර වහරට එකතු වූ ‘මහගම සේකර’ යන නමට නොදන්නා වටිනාකමක් ලැබී තිබිණි .මෙකී හේතුව නිසාම ඒ වීදුරු බන්දේසිය පසුකලෙක ඉස්තෝප්පු බිත්තියේ චිත්‍රයක් මෙන් එල්ලා තිබුනේය.

ලා කොළ පාට පසුබිමක සුදු පාටින් නටන නළඟනක් එහි සිටියාය. පසෙකින් ඇදෙන රතුපාට මල්වැල මා සිතා සිටියේ නළඟන ගිල දැමීමට සැරසෙන මකර රුවක් සේය. මල්වැල අගිස්සෙන් පැන මතුවූ අතු දෙක කට අරින්නා සේ නැට්ටුක්කාරියගේ හිස පැත්තට යොමු වී තිබිණි . මම විටින් විට බන්දෙසියට ලං නොවී වුනත් සොයා බැලුවේ මේ මකරා බවලතාගේ ඔලුවට අවදානම් ලෙස ලං වී ඇත්දැයි කියලාය.

මහගම සේකර කියන විට මුලින්ම මගේ කල්පනාවට ආවේ අපේ අයියාට ටිකක් වැඩිමල් කොලු ගැටයෙක්ගේ රුවකි . ඒ වුනත් ඔහු අපේ තාත්තාටත් වඩා අවුරුදු කීපයක් වැඩිමල් රටම පිළිගත් අයෙක් බව මා දැන ගත්තේ සේකර මලාටත් පසුවය.

ඔහුගේ මරණයත් සමග මහගම සේකරගේ කවි ගීත ගැන උනන්දුව ඇවිලෙද්දී අර වීදුරු බන්දේසිය දෙස මම බැලුවේ දිනෙන් දින වැඩිවන ආදරයකිනි .
++++++

මම අම්මා හා තාත්තා බැලීමට ගමේ ගිය මෑත කාලයේ දිනෙක අර බන්දේසිය එල්ලා තිබු බිත්තිය දෙසම බලාගෙන ගෙට ඇතුල් වුනෙමි. එහෙත් බිත්තිය හිස් වී තිබුණ අතර අම්මා කුස්සියේ කුමක්දෝ කරමින් සිටින හඬ ඇසිණි .
මළහිරුගේ අවසන් රැස් දහර සපුගස් මණ්ඩියට හොරෙන් අපේ සාලයට පෙරී ඇවිත් තිබුනෙන් වේවැල් හාන්සි පුටුවේ අමුත්තෙක් වාඩී වී සිටින බව මට පෙනිණි. ඔහුගේ සාක්කුවේ තිබුන අලුත්ම පාකර් පෑනටද හිරු රැස් කැරැල්ලක් පතිත වී තිබුනේය. ඔහුගේ අතේ තිබ්බ ත්‍රී රෝස් සිගරැට් පැකට්ටුව නිසා මගේ කුතුහලය තවත් වැඩි විය .

‘මම සේකර’ ඔහු සිනාසුනේය . ‘එනවා කියල ආරංචි වුන නිසා මම පොඩ්ඩක් කතා කරලා යන්න හිටිය’ . ඔහු නිරෝගී දසන්පෙල දක්වා ලෙන්ගතුව සිනාසුනේය. මා සිතා සිටියාට වඩා ඔහු තරුණය. කඩවසම්ය.

‘වෙන්ඩ බෑ’ . මම මටම කියා ගත්තෙමි .
සේකර කියන්නේ පාකර් පෑන් එපා කියපු දුප්පත් කලකාරයෙක්නේ. අනික සංවේදී මිනිහෙක්නේ . හොඳට බොන්න ඇති. මීට වඩා දිරා ගිහින් ඉන්න එපැයි .

මගේ සිත කියෙව්වාක් මෙන් ඔහු මා ඇමතීය .

‘මම ආවේ පණිවිඩයක් කියල යන්න’ .
මොකක්ද ? මම ගරුසරු ඇතිව අසීමි .
‘අලුත් සේකරලා හොයාගන්න කියල සමාජෙට කියන්න’ .

‘ඒ වුනාට ඔබ තරම් අව්‍යාජව ලියපු. බෞද්ධ දර්ශනයෙන් පදම් වෙච්ච ගැමි කමෙන් මටසිලිටි වෙච්ච විශ්ව සාහිත්‍යයෙන් පෝෂනයවෙච්ච කලාකරුවෙක් ඊට පස්සේ බිහි වුන් නෑනේ’.

ඔහු මහා හඬින් හිනා වුනේය.

‘හිටියා බ්‍රෑන්ඩ් වුන් නෑ . එක්කෝ උන් විසින් විනාශ වුනා නැත්නම් සමාජේ ඒ මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩුවක් ලොකුවට අරන් නොසලකා ඇරියා’.

‘ඒත් ඔබට ඉතිහාසේ තියෙන්න ඕනි ප්‍රතිරුපේ?’ .

‘ඒකට හානියක් වෙන එකක් නෑ පුතා . මම අවංකව මිනිස්සුන්ට ආදරේ කළා . රස අඳුනා ගත්තා .හිතට එන දේ ලිව්වා. මටම තේරෙන විදිහට ඒවායින් බොහොමයක් සෞන්දර්ය අගයෙන් ඉහළයි’ .

‘ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න’ .

‘සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි’.

එහෙනම් ?

‘බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා’.

මේ කතාව මොන තරම් බරපතලේට මට දනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ කියා මම හඬ නගා අම්මා ඇමතීමි .

අම්මේ !

චීත්තයෙන් අත්ල පිසලමින් අම්මා කුස්සියේ සිට දිව ආවාය.

‘ අම්මේ මේ ‘ මම සේකර වාඩි වී සිටි තැන අම්මාට පෙන්වීමි.

මොකක්ද පුතා ?

අම්මා විපිලිසරව එසේ අසන විට මොහොතකට කලින් සිටි පුටුවේ සේකර නැති බව මට පෙනිණි .

අම්මා පුදුමයෙන් මා දෙස බලද්දී මම ඇයගෙන් මෙසේ ඇසුවෙමි .

‘අම්මේ ඔතැන බිත්තියේ එල්ලලා තිබ්බ පරණ වීදුරු බන්දේසිය කොහෙද’ ?

‘ආ ඒක මේ ගෙයි සමර ගාන්න ආපු වෙලාවෙ කවුදෝ ගලවලා අයින් කරලා . හොයලා දෙන්නද ආයේ එල්ලන්න?’ .

‘ එපා අම්මේ. අලුත් පින්තුරයක් එල්ලන්න කියල තමයි සේකරත් කිව්වේ’

 

http://thilakasitha.blogspot.co.uk/2016/01/blog-post_14.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල