කෙටි කථා, විශේෂ

මගේ නොවන මගේම පුතුට

Off

හුඟාක් ඉස්සර -මගේම කැදැල්ලක් ගැන හීන පිපෙන්නත් ඉස්සර – පුංචි දඟකාරයෙක් මගේ හීන වල හිටිය.ඉන් පස්සේ මං බලං උන්නෙ සුදු නෙළුමක් ගත් ඇත් පැටවෙක් මගේ හීන වලට එබෙන කල්.

දෑස රිදෙන කල් මඟ බලන් උන්න.ඒත් ඒ හීන මාලිගය මසක් පාසා බිඳ වැටෙන විට මටත් හොරා මගේ ඇහෙන් බිමට පැනපු කඳුළු වල ආර්ද්‍රතාවය දන්නේ හිස තබන කොට්ටය විතරමයි.
දවසින් දවස ගෙවුන.මාසෙන් මාසෙ -වසරින් වසර අවසානයේ සිවු වසරක්ම..මගේ හීන වල කවදාවත් මල් පිපෙන්නෑ..මං තනිවම පසක් කර ගත්ත.පංසලෙන් පංසල-දේවාලයෙන් දේවාලය-කාලය දුරටම ඉගිල්ලිලා ගියා.මගේම සිතිවිලි මගේ හුස්ම හිර කරන්න ගත්ත.
නෙත් විල ඉතිරුනා.සිත් සයුර කැලඹුනා.සතුට හුඟක් ඈතට ගහගෙන ගියා.මංම තනා ගත්ත බලකොටුවක මගේ හිතිවිලි හිරකරගෙන හැමෝගෙන්ම ඈත් වුනා….

මගේ හිත අඳුන ගත්තු මගේ පසකින් උන් හේමලයා නපුරු දිව වල් වලින් මා රැක ගන්නා ගමන්ම මේ සියළු නාටකත් නිහඩවම දරා ගත්තා. කෙතරම් ඈතින් උන්නත් අදෘෂ්‍යමාන ආශිර්වාදයක්,යාන්තමින් වැටෙන නමක් නැති උණුසුමක් වෙමින් ඔහු නරකින් හා නපුරින් මා රැක ගත්තා.
ඔවු …….ඉන් මට රැකවරණයක් ලැබුනා තමයි.ඒත් සතුටක් නම් ලැබුන්නෑ…සතුට සදහටම මාව අතහැරල ගිහින්.මං හිතුවේ එහෙම

තාම නැද්ද වෙනසක්….?…?

දරුවෙක්???

බබෙක්???

සමහරු ඇහුවේ කුතුහලයෙන්…සමහරුන්ට උවමනා වුනා ඇත්තටම මට උදවු කරන්න.

සමහරු ඇහුවේ මං රිදවන්නමයි.

අන්න ඒ අය වෙනුවෙන් මං සතුටක් මවා පෑ යුතුව තිබුන..

“ඇයි එකෙක් …මට ඉන්නවා 350ක්“මං මවාගත්ත ආඩම්බරේකින් කිවුවෙ මුළු ඉස්කෝලෙම දරුවො ගැන හිතමින්.

ඔවුන් ඒ අඩුව පිරිමැහුවා තමයි.පුංචි පැටවු සාරිපොටේ එතෙනකොට ,පංතියේදි මං වටකර ගන්නකොට ,පුංචි පුංචි නෝක්කාඩු පැමිනිලි මං ඉස්සරහ දිග අරින කොට හිතට උනුසුමක් නොදැනුනාම නෙවෙයි.ඒත් ඒ තරමක් දුරට. තව දුරටත් ලොකුම ලොකු රික්තකයක් ශේෂව පැවතුනා.

අන්න ඒ අතරෙයි උඹ මගේ ලෝකයට ආවේ.උඹ මගේ හිතේ තිබුන මොකක්දෝ අඩුවක් පිරෙව්වා වගේ හැඟීමක් කාලයත් එක්ක මගේ හිතට දැනුනා.

ඒකට හේතුව උඹේ පිස්සු දඟකාර වැඩද නැත්තං කියන විකාර කතාද කියල මට පැහැදිලි අදහසක් නෑ..ඒත් උඹ ඒ රික්තකය ශූන්‍ය කලා…. අපැහැදිලි යමක් පැහැදිලි කලා… මං ආයෙමත් හදවතින්ම හිනාවෙන්න ගත්ත.
“එකම එක අඩුවක් ඇතිව මුත් පරිපූර්ණ ජීවිතයක් – මගේත් තවත් අයගේත් යහපත උදෙසා කැපකල හැකි ජීවිතයක්- තවමත් මට ඉතිරිව ඇති බව උඹ මට මතක් කරල දුන්න.

සත්තමයි මං ආයෙමත් ජීවත් වෙන්න ගත්ත…

මං උඹ දිහා ඈත ඉඳන් බලන් උන්න.උඹේ සැහැල්ලුව මාත් සැහැල්ලු කලා….ඕනම දෙයක් මවා පෑ නොසැලකිලිමත් කම මැද්දෙ ප්‍රභල කැපවීමකින් එය ජය ගන්න හැටි මං දැක්ක….

අපව තිගැස්සෙන දඟකාර කම් මැද උඹ විෂය ධාරනය කර ගන්න සීග්‍ර තාවයෙන් මං පුදුම වුනා…

-ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත- යන කියමන නර්මාලාපයක් පමණක් බවට පත් කල උඹේ හැකියා කළඹ මං මවිතයට පත් කලා..ඒත් ඒ එකකින් වත් උඹ ප්‍රයෝජන නොගැනීම මගේ හිතට එක් කලේ වේදනාවක්.

කට කොනකට නගින සරල හිනාවකින් උඹ ලෝකයෙන්ම වසන් කරන උඹේ අධිසංවේදී සිතත් මං දැක්ක

බොහෝ අය ඛේද ජනක බව හඟිමින් ලොවෙන් වසන් කරන යම් සිදුවීම් උඹ සරලව බාර ගන්නා අයුරු දැක මං උඹට ඊර්ෂයාත් කලා

ඇත්තමයි උඹ මේ ලෝකෙට දෙවියො දුන්න තෑග්ගක්…

මට දැනුනේ එහෙමයි…
උඹලගෙ පුංචි ලෝකය සුනාමියකට අහුවෙලා තියන සමයක උඹෙන් විතරක් උඩුගං බලා පීනීමක් බලාපොරොත්තු වෙන්න බෑ…

හුඟ දෙනෙක් උඹෙන් දැක්ක මදාවි කං, නීති රීති කඩා බිඳ දැමීම් , විලාසිතා මමත් දැක්ක.අනිත් අය කලා වගේම මේ සමාජ සුනාමියට එදිරිව උඹව උඩුගං බලා පීනවන්න පොලඹවන්න මාත් උත්සහා කලා.ඒත් සුනාමියක් තල් කොල වැටකින් නවත්තන්න පුළුවන්ද?

උඹත් ඒ දිහාටම ඇදිල ගියා.ඒත් එක්තරා විදියකින් රැඳුනා.

ඒක මගේ හිතලුවක්ද- උඹට ඇති ආදරය නිසාම හිතේ මැවුන හිතළුවක් විතරක්මද -කියලා මට වැටහීමක් නෑ..
ඒත් උඹ සමබර වුනා.උඹේම අනන්‍යතාවයක් උඹ හදාගත්ත.

සමහර විට උඹේ හැම පුංචි වෙනසක්ම මං ලොකු වරදක් විදියට දකින්න ඇති. උඹට උඹ නොවියං කියල බලපෑම් කරන්නත් ඇති.

සමහර විට මං උඹට වාතයක් වෙන තරමටම…
ඒත් ඒ උඹ ගැන අහිතකින් නෙමෙයි.ඒ පුංචි වෙනස උඹේ වටිනාකම අඩු කරාවි කියල මං බය වුනා..

“මං හැමදාම කියනව වගේ උඹ හරිම වටින පුංචි ආත්මයක්…මහ කැලෑවක් මැද්දෙ පිපුන නමක් නැති ලස්සන සුවඳ මලක්…

උඹට මේ කැලෑව මැද්දෙම පරවෙලා යන්න දෙන්න බෑ…උඹේ ඔය අනේකවිද කුසලතා වලින් ලෝකය වඩාත් ලස්සන තැනක් කරන්න කල හැකි දේ බොහොමයි.

මට ඕන වුනා උඹේ මනෝලෝකයට කටකලියාවක් දාන්න….එක අරමුනකින් තව එකකට පැනපු උඹේ හිත එක තැනක නතර කරන්න…

ඒ තමයි ඕනාම පාසල් දරුවෙකුගේ හීනය -“ සරසවිය“

“සරසවිය“ සියළු ප්‍රශ්න වලට විසඳුම වත් ,ජීවිතයට යන්නට ඇති එකම පාරවත් නොවන බව උඹට නොකීවට මං හොඳාකාරවම දන්නව.

ඒත් ලක්ෂ්මියට අමතක වුන උඹල – අපි වගේ අයට “සරසවිය “කියන්නේ ජීවිතයට “ෂෝට් කට්“ එකක් බව මං තාමත් විස්වාස කරනව…

උඹ නොබෝදිනකින්ම ජීවිතය හොයා ගෙන ලෝකයට පිය මනින බව මං දන්නව.එදාට උඹ ජීවිතයෙන් පැරදුනා කියන්නේ අපි අන්තිම අසාර්ථකයි කියන දේ තමයි.

උඹ වගේ වටිනා මැණිකක් ඔප මට්ටම් නොකර රබහ කෑලි ගොඩටම විසි කරලා දානවා කියන්නේ උපනූපන් ජාති අපට ශාප වෙන අපරාදයක්.

උඹ මගේ පුතා නෙමෙයි…ඒ නිසා උඹේ ජීවිතය තුල මට තියෙන්නේ අංශු මාත්‍රික ඉඩක් විතරයි.ගුරුවරයෙකුට උඹලගෙ වයසෙ දරුවෙකුට බලපෑම් කරන්න ඇති හැකියාවත් බොහොම පොඩ්ඩයි..
ඒත් මට උඹ විශේෂයි..ඒ උඹ මගේ පුතා නිසා..කවදාවත් මට නොසිටි ….ඒත් සදාකාලයට මගේ මතකයේ ජීවත් වනු ඇති මගේ පුතා උඹ නිසා…

http://wkwijeratna.blogspot.co.uk/2016/01/blog-post_22.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල