කාලීන සංවාද

මගේ වකුගඩුව නරක් වුවහොත් මම නම් වකුගඩුවක් බද්ධ කර නො ගනිමි

1

රසික ලියූ වකුගඩුවක කතාව කියවූ පසු මට වකුගඩු ආශ්‍රිත කතා දෙකක් මතක් වුණා.

මගේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බද්ධ කර ගත්තා. ඔහු දිළිඳු ගැමි කලාකාරයෙක්. වානිජ චිත්‍ර‍ ශිල්පය තමයි කළේ. ඒ වෙනකොට ඩිජිටල් ප්‍රින්ටිං ඇවිත් ඔහුගේ රැකියාව අහිමි වෙමින් තිබුණා.

ඔහු වෙනුවෙන් වකුගඩු බද්ධයක් කරන්නට මුදල් සොයා ගන්නට ඔහුගේ මිතුරන් බොහෝ දේ කළා. ඔහුගේ අක්කා තමයි වකුගඩුව පරිත්‍යාග කළේ.

වකුගඩු බද්ධය කළේ මගේ බිරිඳ වැඩ කළ රෝහලේ. ඇය ඔහු බලන්නට ගිය විට ඔහු සතුටින් හිටියා. වකුගඩු බද්ධයෙන් පසුවත් ප්‍ර‍තිකාර සඳහා විශාල මුදලක් වැය කළ යුතුයි.

පස්සේ කාලෙක ආරංචි වුණෘ, මගේ මිතුරා ගෙල වැලලාගෙන මිය ගිය බව. ඔහුට ඒ ගැන කතාවක් ඇති. ඒත්, මම නම් හිතන්නේ ඔහුට මැරෙන්න අයිතියක් තිබුණේ නැහැ. මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ තමන් ජීවත් වෙනවා ද, ජීවිතය අවසන් කර ගන්නවා ද යන්න තීරණය කිරීමේ අයිතියක් මිනිසුන්ට තිබෙනවා කියායි.

ඒත්, මගේ මිත්‍ර‍යාට ඒ අයිතිය නැතැයි කියා මා කියන්නේ ඔහු තවත් අයෙකුගේ ජීවිතය ඔහු වෙත පවරා ගත් නිසායි.

දෙවෙනි කතාව මගේ තවත් මිත්‍ර‍යකු ගැන. ඔහු වැඩිහිටියෙක්. ප්‍ර‍සිද්ධ කෙනෙක්. මම නම සඳහන් කරන්නේ නැහැ.

ඔහුගේ පුතා කුඩා කාලයේ සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳ තිබෙනවා. තුරුණු වියට එළඹෙද්දී ඔහුට වකුගඩු බද්ධ කිරීමක් කරන්නට සිදු වුණා. පුතාට වකුගඩුව දන් දුන්නේ පියායි.

පුතා පසු කලෙක වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනවා. ඒත්, හදිසියේ පැපොල රෝගය වැළඳීම නිසා පුතා මිය යනවා.

පුතාගේ දේශපාලන අදහස් ක්‍රියාවට නගන්නට මේ වියපත් තාත්තා පුතා ආදරය කළ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධව දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ දෙනවා.

තුන්වන කතාව වකුගඩුවක් දන් දුන් පෙම්වතෙකු ගැන කවියක තිබුණ එකක්. මේක නම් මං කියෙව්වේ ෆේස්බුක් එකෙන්. කවුරු ලිව්වා ද කියා මට මතක නැහැ. පෙම්වතියට වකුගඩුවක් බද්ධ කරනවා. ඇය සුව වෙමින් ඉන්නවා. ඒත්, පෙම්වතා ඇය බලන්නට එන්නේ නැහැ. ඇය හිතන්නේ පෙම්වතා ඇය මගහැර යන්නට ඇති ය කියායි. එහෙත්, ඒ වන විට පෙම්වතා ඒ රෝහලේ ම වෙනත් වාට්ටුවක ප්‍ර‍තිකාර ලබනවා. ඇයට වකුගඩුව දන් දුන්නේ ඔහු බව පෙම්වතිය දන්නේ නැහැ.

වකුගඩු දන් දෙන පුද්ගලයන් කරන්නේ විස්මිත පරිත්‍යාගයක්. මුදලට විකිණුවත්, එය මුදලින් මිළ කළ හැකි දෙයක් නොවෙයි.

එහෙත්, මා සම්බන්ධයෙන් නම් මම හිතන්නේ මරණය මා ළඟට ආවොත් තවත් අයෙකුට බරක් නො වී නිහඬව එය වැළඳ ගැනීම තමයි මා කළ යුත්තේ. අප කාටත් කවදා හෝ යන්නට සිදු වෙනවා වගේ ම අප වැඩි දෙනෙක් රෝගීන් ලෙස ජීවත් වීමෙන් සමාජයට කරන වැඩකුත් නැහැ. ඒ මගේ අදහසයි. එහෙත්, මට අනෙක් අයට කිසිවක් කියන්නට බැහැ.

වකුගඩු වැනි ශරීර අවයව තමන්ට බද්ධ කර ගැනීම ඉතා කල්පනාකාරීව කළ යුතු දෙයක්.

රජරට ගොවීන්ට වැළඳෙන වකුගඩු රෝගය නම් අතිශය කණගාටුදායක තත්වයක්. මේ අවුරුදු අටකට විතර ඉහත කාලයේ මම, ෂමිල රත්නසූරිය, සම්පත් බාලසූරිය, ලක්ප්‍රිය නානායක්කාර, දුෂ්‍යන්ත කුමාර, චමින්ද ආරියරත්න ඇතුළු පිරිසක් පදවියේ ගිහින් පදවියේ එච්.ඩී. පෙරේරා හා එස්.කේ. සේරසිංහ සහෝදරයින් සමග එක්ව කළ වාර්තා චිත්‍රපටයක් නිර්මානය කළා.

මේ චිත්‍රපටයේ කතා කරන මිනිස්සු වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. කොටස් තුන ම බලන්න. හරිම දුක්ඛිතයි.

 

http://www.w3lanka.com/2016/01/blog-post_21.html

Related Posts

1 Comment

  1. ඔමායා January 25, 2016 at 10:25 am - 

    ස්තූතී මෙහි කෙටියෙන් කියා ඇති බොහෝ කරුනු හිත ඇතුලෙන් ප්‍රශ්න වෙනවා

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල