නව ව්‍යවස්ථාව, විශේෂ

ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා

2

ව්‍යවස්ථා සංශෝධනයට මගේ යෝජනා 1

බ්ලොග් කරුවන් ඔවුන්ගේ සමූහ යෝජනා ඉදිරිපත් කිරීමකදී සලකා බැලීම ගැන කොලඹ ගමයා බ්ලොග් අඩවියේ ගෙන ආ අදහසට සහය පිණිස මගේ යෝජනා වල පළමුවෙනි කොටස පහත දක්වමි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ‘දමිළ ප්‍රශ්ණය’ ගැන පමණක් සලකා බැලිය යුතු එකක් නොවේ. වෙනත් සමාජීය අරමුණු පිලිබඳව යෝජනා ගැන සිතා බැලීමටත් දේශපාලකයින් සහ සමාජ පෙලඹවීම කළ යුතුයැයි මම සිතමි. එබැවින් මගේ යෝජනා වලින් එවන් අංශ ගැන වැඩිපුර සැලකිල්ලක් දැක්වීමට බලාපොරොත්තු වෙමි.

1. ප්‍රාදේශීය සභා සහ නගර සභාවලින් දේශපාලන කලමණාකරණය ඉවත් කිරීම

සියළුම පළාත් පාලන ආයතන වල කටයුතු සුපරීක්ශණයට දේශපාලකයන් නොමැති කොමිසමක් පත්කළ යුතුය. දියුණු රටවල මෙන් නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට කළමණාකරණ සුදුසුකම් හෝ පරිපාලන සේවයෙන් ප්‍රධාන විධායක නිලධාරියෙකු පත්කිරීම. නගර සභා සහ ප්‍රාදේශීය සභා වල සේවය තාක්ශණය භාවිතයෙන් කාර්යක්ශමව සහ මහජනයාට පහසුවන අයුරින් සහ ඉක්මනින් සපයා දීම මොහුගේ ප්‍රධාන වගකීම වේ. මෙම තැනැත්තා දේශපාලකයෙකු නොවන බැවින් කාර්‍යාල කාලය ප්‍රදේශයේ කළයුතු කාර්‍යයන් වලට වැය කල හැකිවේ. සෑම සභාවක්ම ප්‍රදේශයේ සියළුම අදාල ප්‍රදේශ ආවරණය වන පරිදි අවුරුදු 10 ක සැලැස්මක් සකසා ප්‍රසිද්ධ කල යුතුය. එහි එක් එක් ප්‍රදේශවලට ජල සැපයුම, පාරවල් අලුත්වැඩියාව, කසල එකතු කිරීම, ආදී සේවාවන් හඳුන්වාදෙන කාලය ඒ සඳහා යන වියදම ආදිය පෙර ඇස්තමේන්තු කර තිබීමෙන් ඒ පලාත්වල මහජනයා සභාවෙන් වෙන සේවාවන් ලැබෙන් දින ගැන දැනුවත් වේ

තවද මෙම සභා වල පරිපාලනය දේශපාලක බලපෑමකින් තොරව සිදුවිය යුතුය. සින්ටෙක් වැනි රජයේ පරිගණක ආයතනයක් හරහා නගර සභා සහ ප්‍රාදේශීය සභා පරිපාලන මෘදුකාංග සාදා මෙම සභා වල සියලු කටයුතු සහ වියදම් මහජනයාට පොදු වෙබ් අඩවියක් හරහා ඕනෑම කෙනෙකුට දැකගන්නට සැලැස්වීම කළ යුතුය. සභාවේ සියළුම වැඩ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියේ මිල ගණන් කැඳවා ටෙන්ඩරය දුන් සමාගම, මුදල අනික් ටෙන්ඩර් මිල ගණන් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ විය යුතුය. සභාවට අයත් සියළුම ඉඩම් සහ අනිකුත් වත්කම් ගැන විස්තරද එහි අඩංගු විය යුතුය. එම ඉඩම් ක්‍රීඩාපිටි ආදිය තණකොල කපා සහ පිරිසිඳුව තබා ගැනීමට කොන්ත්‍රාත් කරුවන් පත්කර එම විස්තර, මිල ගණන්, ඔවුන්ගෙන් බලාපොරොත්තුවන සේවාව සහ විය යුතු දිනය ආදිය වෙබ් අඩවියෙන් දැන ගත හැකි විය යුතුය. ඉඩ කඩම් වැනි වත්කම් කුලියට දීම සහ බදු දීම හෝ විකිණීම ආදිය කරන්නේනම් ඒ පිලිබඳව ශාක්ශ්‍යතා වාර්ථා ආදිය ප්‍රසිද්ධ කර, එබ් අඩවිය හරහා විනිවිද පෙනෙන ආකාරයෙන් සිදුකල යුතුය.

මෙම ක්‍රමයෙන් දේශපාලකයින් නඩත්තු කිරීමට නගර සභා සහ ප්‍රදේශීය සභා වලට ලැබෙන ප්‍රතිපාදන සහ එකතු කරන බදු මුදල් යොදා ගැනීම අවශ්‍ය නොවේ. පාර්ලිමේන්තුවටත්, පලාත් සභා වලටත් දේශපාලන පක්ෂ අනුව තේරෙන දේශපාලකයින් සිටින නිසා ප්‍රාදේශීය සභා, නගර සභා වලටත් දේශපාලන පක්ෂ අනුව දේශපාලකයින් තෝරා ගැනීම නවතා කලින් තිබුණ ආකාරයේ හිටපු විදුහල්පතීන්, සමාජ සේවකයින් වැනි නියෝජිතයින් කිහිප දෙනෙක් පමණක් තෝරා ගැනීම. පැමිණීමේ දීමනාවක් පමණක් ගෙවන්නේ නම් මුදල් වියදම් කර ප්‍රචාර කර මුදල් හොරකම් කරමින්, සභාවල වියදමින් විදේශ සංචාර වල යෙදෙමින්, දේශපාලන බලයෙන් අන් අයට අනදර කරමින්, සහ මහජන මුදලින් සමාජ තත්ත්වය, වාහන පර්මිට් පතන්නන් ඉදිරිපත් නොවනු ඇත.
2. මහජන නියෝජිතයන් සම්භන්ධ කරුණු සිවිල් වැසියන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවකට පැවරීම

දැනට පවතින මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඉදිරියට එන මන්ත්‍රීවරුන්ට අදාල නොවිය යුතුය. ඒ වෙනුවට ආර්ථික දුෂ්කරතා වලට මුහුණපාන වයස අවුරුදු 65 ට වැඩි හිටපු මහජන නියෝජිතයන්ට පමණක් විශ්‍රාම වැටුපක් අයදුම් කල හැකි වනසේ වෙනස් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. මහජන නියෝජිතයන්ට කරන ගෙවීම් පහසුකම් ආදිය වෙනස් කරගැනීම් අනුමත කිරීම ඔවුන් විසින්ම කර ගැනීම කිසිසේත් සුදුසු ක්‍රමයක් නොවේ. මේ සඳහා සිවිල් සමාජයේ මේවා පිලිබඳ දැණුමැති නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කළ යුතුය. එසේ වැඩි කිරීමේ යෝජනා ලැබුණු පසු මහජන අදහස් විමසා ඉන් පසුව ඒ පිලිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට ඔවුනට බලය දිය යුතුය. ඔවුන්ගේ නිර්දේශයක් නොමැතිව පහසුකම් අනුමත නොවිය යුතුය. වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මහජන නියෝජිතයන්ට විරුද්ධව නඩු පැවරීම, ඉදිරිපත්වූ වත්කම් ප්‍රකාශ ඔවුන්ගේ ආදායම ගැන සැසඳීම, විශමාචාර ක්‍රියා සම්භන්ධයෙන් චෝදනා ලබන අයට විරුද්ධව පරීක්ශණ කර චෝදනා ඉදිරිපත් කිරීමේ බලයත් සිවිල් පුරවැසියන්ගෙන් සමන්විත මෙවන් ස්වාධීන කමිටුවකට පැවරිය යුතුය. මෙවන් ක්‍රමයකින් දේශපාලන හේතුමත නඩු නොපැවරීම සහ එසේ කරන්නේ යැයි රජයකට චෝදනා එල්ල වීම නැවතිය හැක. මෙම ක්‍රමයෙන් මහජන නියෝජිතයින්ගේ විනය බොහෝ සෙයින් ඉහල යනු ඇත.
3. දුප්පත්කම නැතිකිරීමේ සහනාධාර සහ අනිකුත් ව්‍යාපෘති ස්වාධීන කිරීම

අද පවතින සමුර්ධි ව්‍යාපරය අමාත්‍යාශයක් හරහා නොව ස්වාධීන කොමිසමක් හරහා ක්‍රියාත්මක කල යුතුය. එවිට දේශපාලන හිතවත් කම් මත නොසුදුසු අයට සහනාධාර ලැබීමත් එම ඇඟිලි ගැසීම් අනුව සුදුසු අයට නොලැබීමත් යන දෙකම වීම ඇණ හිටිනු ඇත. මීට අමතරව මෙය සහනාධාර බෙදන ව්‍යාපාරයකට වඩා දුප්පත් කම අඩුකරන හෝ නැතිකරන ව්‍යාපාරයක් විය යුතුය. කොමිසමක් යටතේ නිශ්චිත අරමුණු සහ ලඟා විය යුතු කඩයිම් මෙම ව්‍යාපාරයට තිබිය යුතුය. රාජ්‍ය පරිපාලන, විදේශ රැකියා, උසස් අධ්‍යාපන වැනි අනික් රාජ්‍ය ආයතන සමඟ ක්‍රියා කරමින් මෙම කොමිසමට බොහෝ දේවල් කල හැක. සමුර්ධි පවුල් වල අයට උසස් අධ්‍යාපන සහ කාර්මික අධ්‍යාපනය සඳහා වෙන ආයතන හෝ දැනට පවතින ආයතන වලට තෝරාගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම ආදිය මඟින් එම පවුල් දුප්පත් කමින් මුදවා ගැනීම, රජයේ රැකියා ලබා දීමේදී සමුර්ධි පවුල් වලට කෝටා එකක් ලබා දීම, රජය හරහා ලැබෙන විදේශ රැකියා සඳහා සමුර්ධිලාභීන් වැඩි කොටසක් තෝරාගැනීම, කාර්මික අධ්‍යාපන ලැබූ සමුර්ධි පවුල් වල තරුණයන්ට කුඩා ව්‍යාපර පටන් ගැනීමට ණය දීම වැනි දේවල් කිරීමෙන් සමුර්ධි ලාභීන් ප්‍රමාණය කෙමෙන් අඩුකල යුතුය. එසේ අඩුකල යුතුවන්නේ මෙම පවුල් දුප්පත් කමින් කෙමෙන් නිදහස් කර ගැනීමෙනි.

තවද බොහෝ සමුර්ධි වංචා සිතුවන්නේ ග්‍රාම සේවක වරුන් සහ සමුර්ධි නියාමක වරුන් දැනුවත්වය. මගජන මුදල් එසේ අපරිහරණය කරන නිලධාරීන් පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහකළ යුතුය. මහජන මුදල් වංචා කරණ ලද අයකු ඉදිරියටත් එවන් තනතුරක තබා ගැනීම කිසිසේත් නොකළ යුතුය. තවද වංචාකාරී ලෙස මහජන මුදල් ලබා ගන්නන්ට එසේ ලබා ගත් මුදල මෙන් තුන් ගුණයක දඩයක් නියම කිරීමටත්, එම මුදල් අයකර ගැනීමට දේපල රාජ සන්තක කිරීමටත්, අවුරුදු 20 කාලයකට කිසිම සහනාධාරයක් සඳා ඉල්ලුම් කිරීම තහනම් කිරීමත් අනිවාර්‍යයෙන් කළ යුතුය.

 

http://lankanian.blogspot.co.uk/2016/01/1_25.html

ප්‍රදීප් මංගල25 January 2016 at 10:48
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම හොදින් සකස්කල පමණින් සමාජය යහපත් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයට තිබුනද සාමාන්‍ය ජනතාව ක්‍රියාකරන ආකාරය අනුව ඒවා බලාත්මක වන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ සෑබෑ වෙනසක් සිදුවන බව පවසමින් හෝ එයින් හානියක් වන බව පවසමින් තමන්ගේ බලය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාව ඇත්තේ රටේ ජනතාව තමන්ගේ කැමැත්තෙන් තොරාගනු ලබන මහජන නියෝජිතයින්ට සහ දේශපාලන පක්ෂ වලටය.
2. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම තරමේ වන දේවල් නොවේය. මම සිතන පරිදි සාමාන්‍ය ජනතාවට වඩාත් ඵලදායි වන්නේ තමන්ගේ සහ තම සහෘදයන්ගේ සුරක්ෂිතභාවය පිලිබදව සමාජය විසින් ගනු ලබන තිරණයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එවැනි යම් සුරක්ෂිත භාවයක් ලැබේයැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එහි මුලික අර්ථයම වනුයේ පවතින පාලන ක්‍රමය ශක්තිමත්ව පවත්වාගෙන යාමය. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහස් ගැනීම සදහා අවස්ථාවක් ලබා දුන්නද එය බොහෝවිට මුලා කිරීමක් පමණය. අවසානයේ ජනතාවට වැඩකට නැති, දේශපාලකයන්ගේ බලය ආරක්ෂාවන ව්‍යවස්ථාවක් ඉදිරිපත්වනු ඇත. දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩකට ඇති එකක් බව මෙයින් නොකියමි.

3. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දේශපාලකයින් මෙන්ම ඉන් පිටත සිටින දේශපාලන ක්‍රියාදරයන් බොහෝමයක් තමන්ගේ අනුමැතිය සහ කරුණු ඉදිරිපත් කරනුයේ ජනතාවගෙන් වැඩි කොටසක් තමන්ගේ කණ්ඩායමට අත්කර ගැනීමේ අරමුණින්ය. ඔවුන්ට ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හෝ සාමකාමි සමාජයක් වෙනුවෙන් වන අවශ්‍යතාවයට වැඩියෙන් ඇත්තේ තමන්ගේ ගොඩ හා පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයය. සිවිල් බුද්ධිමතුන්ට හා පුජකයින්ටද ඇත්තේ එවැනිම අපේක්ෂාවක් පමණි. ඉහත පැන නැගෙන ගැටලුත් සමග මාධ්‍ය විසින් තමන්ගේ ලාභය සදහා මෙවායේ පාර්ශවිය කරුණු ඉදිරියේදි සමාජ කතිකාවකට ගෙන එනු ඇත.එය හුදෙක් ජනතාවගේ යහපත උදෙසා නොව තමන්ගේ ලාභය, ජනප්‍රියත්වය හා පැවැත්ම මතම පමණක් රදා පවතිනු ඇත.

4. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කලද නොකලද යෝජනාවන් ඉදිරිපත් කිරීම සහ ඒ පිලිබදව කතිතාවක් ඇති කිරීම නරකම නැත. එයින් ජනතාවගෙන් යම් කොටසක් හෝ නව දැක්මක් හෝ වෙනසක් පිලිබදව අපේක්ෂාවක් ඇති කරගන්නවා ඇත. එවැනි අපේක්ෂාවන් ජනවාරි 8න් පසු දියවි ගිය අයුරින් දියවි යෑමට ඇති ඉඩ ඉතාමත් වැඩිවුවද මේ සම්බන්ධයෙන්වන ඔබගේ යෝජනාව අගය කරමි. ඒ අනුව යෝජනා ඉදිරිපත් කිරිමට වෙනම පිටුවක් සකස්කරනවානම් හොදය.

 

පරිපාලන (elected and appointed) තනතුරු වල සියළු දෙනා වත්කම් ප්‍ර‍කාශයට පත් කළ යුත් බවත්, ඕනෑම පුරවැසියකුට / සංවිධානයකට එම තොරතුරු බලාගැනීමට හැකියාව සහ වගවිමකින් යුතුව එම තොරතුරු අභියෝගයකට ලක් කිරීමට අයිතියද නව ව්‍යවස්තාවට ඇතුල් විය යුතුයි.

ඇණයා Nut Man25 January 2016 at 19:11
අපි හැමෝම කැමතී බදු මග හැරීමටත් සහන ලබා ගැනීමටත්, අපේ වගේ විචාරයක් නැති බනනා රිපබ්ලික් වලදී අපට අපව සාධාරණීකරනය කරන්නත් පුළුවන්. අද කාලයේ කෙනෙකු තමාගේ වත්කම් පොදු ඩොමෙයින් එකක එළි කිරීම කරදර බොහොමයක් කැන්දා ගැනිමක්, රජයක් විසින් පුරවැසියන්ගේ වත්කම් තොරතුරු හෙළිදරව් කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වෙන්න ඇති කියා මම අනුමාන කරනවා, ඒත් සියළු පුරවැසියන්ගේ / ආයතන / ව්‍යාපාර වල වත්කම් සහ බදු ගෙවීම් තොරතුරු පබ්ලික් ඩොමෙයින් එකක පල කිරීමකින් තොරව අප රටට වැටිල ඉන්න අගාධයෙන් ගොඩ යන්න බැරිවෙයි, ඒ නිසා සියළු පුරවැසියන් / ආයතන වල වත්කම් හෙළිකිරීම ව්‍යවස්තාවෙන්ම නියමකරන්න වෙයි.

ඇණයා Nut ManJanuary 26, 2016 at 5:27 PM
දේශපාලකයෝ අඩුකරන්න ඔප්ෂන් 2ක් යෝජනා කරමි;

1. පුංචි බලවත් මධ්‍යම රජයක් (පලාතකින් නියෝජිතයෝ 5ක්)+ අංග සම්පූර්ණ පලාත් සභා ( ජන අනුපාත අනුව නියෝජනය වෙන)+ පත්කරන ලද විධායක නිළධාරියකු මෙහෙයවන නිර්දේශපාලනික ගම් සභා(ගමකින් පත්කරන්නා ඕනෑම අවශ්තාවක ඒම ගමේ 75% ඡන්දයෙන් එළවා දැමිය හැක).

2. සෙනේට් එකක් + සර්ව සම්පූර්ණ මධ්‍යම රජයක් (දැන් තියන එකට වඩා තරමක් අන්ජබජල්) + පත්කරන ලද විධායක නිළධාරියකු මෙහෙයවන නිර්දේශපාලනික ගම් සභා (ගමකින් පත්කරන්නා ඕනෑම අවශ්තාවක ඒම ගමේ 75% ඡන්දයෙන් එළවා දැමිය හැක).

ගමක ජනවර්ග /කුල/ ආගම් කීපයක ජනයා එක්ව වාසයකරයි නම්, එම ගමට යෙදවූ බදු මුදල් වලින් ලබන ප්‍ර‍තිලාභ ජන අනුපාතයන්ට සමානපාතව යෙදවී ඇති බවට ගම් සභාවේ විධායක නිළධාරී තැන වගවිය යුතුය.

මුල් ගල් / විවෘත කිරීම් වැනි දේශපාලනික උත්සව නැත, ආගමික චාරිත්‍ර‍ අවශ්‍ය නම් ප්‍ර‍තිලාභීන් ඒ සඳහා මුදල් යෙදවිය යුතුයි.

මහජන නියෝජිතයන් සඳහා මූලික අධ්‍යාපන සුදුසුකම් සීමාවක් අවශ්‍ය නැත, නමුත් වසර 5 වැඩි කාලයක නොකැලැල් ස්වෙච්ඡා සේවා ඉතිහාසයක් (නායකත්ව) තිබීම අත්‍යවශයයි සිතමි, පිළිගත් වෘත්තීය සභාවක විධායක තනතුරක් දරාතිබීම ඒ හා සමාන සුදුසු කමක් ලෙස සැලකිය හැකි යයි සිතමි. වසර 15ක් තුල යම් දූෂණයකට / අපරාධයකට වරදකරු වී තිබීම අපේක්ෂකත්වයට නොසුදුසු කමකි.

 

Related Posts

2 Comments

  1. ප්‍රදීප් මංගල January 28, 2016 at 8:46 am - 

    රජය සතු බලතල වලින් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත පැවරීම

    1. මේ යටතේ රජය විසින් කල යුතු මාර්ග දෙපස නඩත්තු කටයුතු, කැලි කසල හා අපද්‍රව්‍ය එකතු කිරීම, ග්‍රාමිය මට්ටමේ සිදුකරන කුඩා සංවර්ධන ව්‍යාපෘති (උදා – කුඩා ඇලවල් සකස් කිරීම, මාර්ග පිලිසකර කිරීම, ….) සහ ග්‍රාමියව සිදුකරනු ලබන සමාජ සේවා කටයුතු රජයේ ආයතන පද්දතියේ (උදා – ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ප්‍රාදේශිය සභා, අමාත්‍යාංශ හා දෙපර්තමේන්තු) අධික්ෂණය යටතේ සිදුකිරීමට හැකිවන පරිදි ග්‍රාමියව සංවර්ධන කමිටු හෝ සමිති සකස් කිරීම. වාර්ෂිකව අදාල සංවර්ධන කමිටුව මගින් සිදුකිරීමට බලාපොරොත්තුවන කාර්යයන් පිලිබදව එම ග්‍රාමීය ඒකකයේ ලියාපදිංචි පුද්ගලයින්ගේ වැඩි බහුතරයකගේ අනුමැතිය ලබා ගත යුතුය. මෙම කමිටුවට තම ඒකකයේ වියදම් වලින් කොටසක් කළමනාකරණය කර ගැනීම සදහා එම ඒකකයේ ජිවත්වන පුද්ගලයින්ගෙන් බදු මුදලක් හෝ ඒ බදු මුදල වෙනුවට යම් ශ්‍රමයක් හෝ ද්‍රව්‍යයක් ලබාගත හැකිවන පරිදි නීතී සකස් කිරීම. මෙම කමිටුවේ සාමාජිකයින් සදහා විශේෂ දිමනාවක් ලබා දීම අවශ්‍ය නැත. එහෙත් ඔවුන් සිදුකරන කාර්යයන් වෙනුවෙන් (උදා- යම් සංවර්ධන කටයුතක් අධික්ෂනය කිරිම, ව්‍යාපෘතියක් අධික්ෂණය කිරීම, ….) යම් දීමනාවක් ලබාදිය හැකිය.

    2. ප්‍රාදේශිය සභා බල ප්‍රාදේශයක් කලාප කිහිපයකට වෙන්කර එම එක් එක් කලාපයකට එක් සාමාජිකයකු මෙම කමිටුවල නියෝජිතයින්ගෙන් එම කලාපයේ ජනතාවගේ චන්දයෙන් පත් කරවා ගැනීම. මෙයට අමතරව ප්‍රාදේශිය සභාව සදහා සමානුපාතික ක්‍රමය යටතේද නියෝජිතයින් ප්‍රමාණයක් පත් කරවා ගැනීම කල යුතුය. (දැනට යෝජිත පළාත් පාලන මැතිවරණ ක්‍රමයද මෙයට ආසන්න වන අතර එහිදි කලාපයක් සදහා එම කලාපයේ ඕනෑම අයෙකුට ඉදිරිපත්විය හැකිය – මා ඉදිරිපත්කර ඇති යෝජනාව අනුව පලාත් පාලන ආයතනයක නියෝජිතයකු විය හැක්කේ ස්වේච්ජා සමිතියක නිලධාරියකුට පමණි.)

    3. සැම මැතිවරණ බල ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි එම බල ප්‍රදේශයේ ඇති සියලුම සංවර්ධන සමිතිවල නිලධාරින්ගේ චන්දයෙන් මැතිවරණ බල ප‍්‍රදේශය සදහා සංවර්ධන කමිටුවක් සකස් කිරීම. එම සංවර්ධන කමිටුව සහ මැතිවරණ බල ප‍්‍රදේශයේ පාලාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් එම ප‍්‍රදේශයේ මන්ත්‍රි ප්‍රතිපාදන වියදම් කිරිමේ සැලැස්මක් සකස් කිරිම. (මේ මගින් සෘජුවම මන්ත්‍රිවරුන් තමන්ට අවශ්‍ය සමිතිවලට පමණක් මන්ත්‍රි ප්‍රතිපාදන වලින් වියදම් කිරීම සීමා කිරීම) සහ අනෙකුත් සංවර්ධන කටයුතු කිරීමේදි මෙම කමිටුවෙහි නිරික්ෂණ ලබා ගැනීම.

    4. සෑම මැතිවරණ බල ප‍්‍රදේශයකටම අවම වශයෙන් එක් අයකු වන පරිදි, පාර්ලිමේන්තුවට ග්‍රාමීය සංවර්ධන කමිටුවල නියෝජිතයින්ගෙ චන්දයෙන් නියෝජිතයකු පත්කරවා ගැනීම. මෙම නියෝජිතයින් සදහා පාර්ලිමේන්තු සැසියකට සහභාගිවීම වෙනුවෙන් වන දීමනාවක් පමණක් ගෙවනු ලබන අතර මොවුන්ට අමාත්‍ය තනතුරු හෝ පාර්ලිමේන්තුවේ තනතුරු දැරීමට නොහැකිය. මොවුන්ට ආණ්ඩුවට හෝ අමාත්‍යවරයෙකුට එරෙහි විශ්වාසභංග යෝජනා සදහා චන්දය ලබාදිය නොහැකිය. විශේෂ පනත්, අයවැය සහ මුදල් පනත් සදහා චන්දය ප්‍රකාශ කිරීමේදි මැතිවරණ බල ප‍්‍රදේශයේ සියලුම නියෝජිතයින්ගෙන් වැඩි කැමැත්ත අනුවද, අනෙක් පනත් සදහා චන්දය ප්‍රකාශ කිරීමේදි මැතිවරණ බල ප‍්‍රදේශ කමිටුවේ බහුතරයගේ කැමැත්තද අනුව චන්දය ප්‍රකාශ කල යුතුය.

    මතු සම්බන්ධයි……

  2. ප්‍රදීප් මංගල January 28, 2016 at 11:30 am - 

    නීතීය

    දැනට රටතුල විවිධ ජාතින් අනුව සිවිල් නීතීය ක්‍රියාත්මකවන ආකාරය වෙනස්ය. ඒ අනුව උඩරැටියකුට සම්බන්ධයෙන් විවාහය සදහා වන නීතීය අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස්ය. දෙමළ පුද්ගලයකුට (යාපනේ ) දේපල සම්බන්ධව වන නීතීය සිංහලයකු සම්බන්ධයෙන් වන නීතීයට වඩා වෙනස්ය. මුස්ලිම් වරයෙකු සම්බන්ධව විවාහයේදි වෙනත් ආකාරයක නීතීයක් ක්‍රියාත්මකය.
    එබැවින් මේ සියල්ල පිලිබදව සලකා සියලුම පුද්ගලයින්ට උපරිම වශයෙන් සමානවන පරිදි එක් සිවිල් නීතීයක් සකස් කිරීම සුදුසු බව යෝජනා කරමි. (උදා – මුස්ලිම් ජාතිකයකුට විවාහයන් එකකට වැඩි සංඛ්‍යාවක් කරගත හැකිනම් අනෙක් ජාතින්ටද එම අවස්ථාව ලබා දිය යුතුය, යාපනයේ වැසියකු දේපල විකිණිමේදි තමන්ගේ ඥතියකුට ප්‍රමුඛතාවය දිය යුතුනම්, අනෙක් ජාතින්ද තමන්ගේ දේපල විකිණිමේදි ඥතියකුට ප්‍රමුඛතාවය දිය යුතුය.(මම මේ නීතී ක්‍රමය පිලිබදව හොදින් නොදන්නා අතර යම් වෙනසක් ඇතිබව පමණක් දනිමි, එහෙත් රජය මගින් ජාති ආගම් අනුව මෙවැනි වෙනස් සැලකිම් ගැටුම් ඇතිවීමට එක් හේතුවක් විය හැකිය)

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල