කෙටි කථා

කිරි අම්මා..

Off

හැමදාමත් හවස්වරුව ගතවෙන ගතවෙන පාළු ස්වභාවය ඈට ඉහිලුම් නොදෙන තරම් වැඩි වෙලා තිබුණා. ඉස්සර පොඩි දරුවො දෙන්නත් එක්ක ගෙවන හවස්යාමයේ සොඳුරු මතක, රිදුම්දෙන හදවත පාරවමින් මහ කළු ගලක් වගේ පපුව ඇතුළට කිඳා බහිනවා ඈට දැණුනා. දරුවෝ මතක් වෙද්දී පපුව රිදෙන්නේ දරු දුකට වෙන්නැති. ඕවා තේරුම්-බේරුම් කරල වෙන් කරගන්න තරම් මානසික මට්ටමක් ඈට තිබුණේ නෑ.

ඉස්සර වගේ අතපය වාරු නොවුණත් උදව්වට ඉන්න විමලාගේ පිහිටෙන් හැමදේම කර ගන්න සුදුමැණිකෙට පුළුවන් වුණා. සුදු මහත්තයා මේ ලෝකේ හැරගිය දවසේ ඉඳල ගෙයි තිබුණු පාළු ගතිය මකන්න පුංචි මහත්තයාටවත් රෝසි මැණිකෙටවත් බැරි වුණේ ඇයි ද කියන්න සුදුමැණිකෙට තේරුමක් තිබුණේ නෑ. විමලාවතී කියන හැටියට නම් ඒ හිතේ පාළුව ලු. ඇත්ත…… සුදු මහත්තයා නිසා ඇති වෙච්චි හිතේ පාළුව දරුවන්ට මකන්න බෑ.

වලව්වේ සුදු මහත්තයට පෙම් බැන්ඳේ, කවදා ඉඳන්ද කියලා අවබෝධයක් ඈට තිබුණේ නෑ. ඒත් දන්න දා ඉඳල ඒක එහෙම තමයි. මතක ඇති කාලෙක ඉඳල සුදූ කෙල්ල, වලව්වේ සුදු මහත්තයට ලෙන්ගතු වුණා. ඉස්සර වලව්වේ වැඩ කරල අම්මායි අප්පච්චියි දෙන්න එක්ක හම්බකරල ගේන හැමදේම සුදූට. පවුලේ එකම දැරිවි වෙච්චි ඈ, හැදුනේ වැඩුනේ වලව්වේ සුදු මහත්තය එක්කමයි. එකම පන්තියේ හිටිය මේ දෙන්න, හවසට වලව්වේ අඹ ගහ යට සීතල ගල් පොත්තේ වාඩි වෙලා පාඩම් වැඩ කරනවා. අම්මගේ අතින් රහට හැදෙන කෝපි කෝප්පය දෙන්නගෙම මහන්සිය නිවලා දැම්මා. නිවාඩු දවසට සෙල්ලම් කරන්නත් මේ දෙන්නට තහංචියක් තිබුණේ නෑ.

*********

“විමලාවතියෝ….. කෝපි කෝප්පයක් බොමුද ?”

පරණ මතකයන් එක්ක තනිවුණු සුදු මැණිකේ කෝපි කෝප්පයත් අරගෙන අඹ ගහ යට ගල් තලාවට ගියා. ඉස්සර වගේම ගල් තලාව තාම හීතලයි. ඒත් අනිත් හැමදේම……………………….
*******************

වලව්වෙ හාමු මහත්තයාත් ලොකු නෝනාත් දෙන්නම ජීවත්ව ඉන්න කාලෙදී, යෝජනා කරල තිබුණු විදිහටමමැණිකෙ කෙනෙක්වලව්වට කැන්දන් ආව සුදු මහත්තයා කෙමෙන් තැන්පත් ගති ඇති නිවුණු මනුස්සයෙක් වුණා. අම්මත් අප්පච්චිත් හේනෙදී අලියා ගහල මේ ලෝකේ හැරගියාන් පස්සේ වලව්වේ පදිංචියට ආව සුදු කෙල්ල කුස්සි අම්මාගේ කාමරේ පදිංචි වුණා. ඒ වෙද්දි වලව්වේ උයනගෙයි රාජකාරි ඔක්කොම වගේ ඉටු වුණේ සුදූගේ අතින්. සුදු මහත්තයා සැපෙන් සනීපෙන් ඉන්නවා පෙනුණු සුදූ කෙල්ලත් සැනසීමෙන් ජීවත් වුණා. සුදු මහත්තයා එක්ක ආව,යසෝ මැණිකේ සුදු මහත්තයට අපූරුවට ගැලපෙන රන් රූපයක් තිබුණු උත්තමාවියක් වුණා. හැමදාමත් සුදූ ගැනත් වලව්ව ගැනත් හොයල බැලුවා. කොයියම්ම වෙලාවකවත් කිසිම අඩුපාඩුවක් ඇති නොවෙන විදිහට වලව්ව බලාකියාගත්ත ඈ, හැමෝටම කරුණාවන්ත වුණා.

**********

“සුදු මැණිකෙ දන්නවද පහළ වත්තේ මැගියට දරුවෙක් හම්බුවෙලා. පස්වෙනියද කොහෙද, දෙන්න මැණිකේ කෝප්පේ….”

“ආ….” හිනා වෙවී බලන් ඉන්න විමලාවතී දිහාට ඈ කෝප්පේ දික් කලා.

ඔලොක්කුවට හිනාවෙමින් විමලාවතී කීව කාරණේ, ඈ උඩු යටිකුරු කරලා බැලුවා. විමලාවතීට වගේ හිනාවෙන්න කාරණයක් හෙව්වා….ම්හු… නෑනේ. විමලට පිස්සුද කොහෙද. ඒත් එකපාරම හෙනයක් කෙටුවා වගේ සුදු මැණිකෙගේ හිතේ පරණ මතක දෝංකාර දෙන්න පටන් ගත්තා. දෙයියනේ යසෝ මැණිකේ…
***********

නොහිතූ විදිහට තමුන්ගේ පළමු දරුවා බිහිකරන මොහොතේ මේ ලෝකෙන් සමුගන්න යසෝ මැණිකෙට සිදුවුණා. දරුවා ගැන හොයලා බලන්න සුදූ කෙල්ල හිටියා. තමන්ගේ වයසටත් වඩා හපනෙක් වුණු පුංචි මහත්තයාට වලව්වේ හැමෝම වගේම ගමේ උදවියත් ඇඟෑළුම්කම් පෑවා. ටික දවසකින් සුදූගේ මුළු ලෝකයම වුණේ ඒ පුංචි දරුවා..

අම්මා මේ ලෝකේ නැති වුණත් තමාගේ හැමදේම අම්මා කෙනෙක් වගේ හොයල බලලා තමන්ට ආදරෙන් සලකන සුදූව පුංචි මහත්තයා විසින් සුදුඅම්මා බවට පත් කළා. යසෝ මැණිකෙගේ වියෝවත් එක්ක කෙමෙන් කෙමෙන් ලෝකෙන් වහං වෙන්න හදන සුදු මහත්තයා ගැන ඈ විස්සෝප වුණා. හැමදාමත් වගේ ඈ සුදු මහත්තයගේ ළඟින්ම උන්නා.

***********

නෑ නෑ යසෝ මැණිකේ මැරුන්නෑනේ, ඔය පුංචි මහත්තයා එක්ක හොඳට සෙල්ලම් කලේ… ආ…. නෑනේ….. ඒ මං නේ. එතකොට මැරුනේ කවුද, සුදු මහත්තයද, නෑ….. යසෝ මැණිකේ තමයි අපිව දාලා ගියේ…. එතකොට වලව්වේ ලොකු මහත්තයයි නෝනයි…. එයාල තමයි මැරුණේ…. එහෙනං අපේ ගෙදර ඇයි සුදු කොඩි දැම්මේ….. අම්මයි අප්පච්චියිද මැරුණේ, ඊයේ හවස හැමෝම හිටියේ….ඒත් දැන් කවුරුත් නෑනේ……

“සුදු මැණිකේ ගෙට යන්කෝ දැන්, අව්ව සැරයි…..”

“කවුද මැරුණේ විමලෝ ???”

“කවුරුත් නෑ සුදු හාමිනේ… දැන් යංකෝ ගෙට.”
උදේ පාන්දර කෝපි ඉල්ලුවා…….. දැන් අහනවා කවුද මැරුණේ කියලා. සුදු මැණිකෙව වෙදෙක්ටවත් පෙන්නන්න වෙයිද මන්දා……..

*********

ටික කාලෙකින්සුදු මහත්තයා වලව්වට තවත් පුංචි දෝණි කෙනෙක් එක්ක ආවා. පුංචි මහත්තයාට හරිම සතුටුයි. එදා පුංචි මහත්තයාගේ මූණේ තිබුණු හිනාව සුදු මැණිකෙට කවදාවත් අමතක වෙන් නෑ.
රෝස කැලෙන් පුංචි දුවෙක්… සුදු මැණිකෙට හිතුනා.

***********

“විමලා, රෝසි මැණිකේ කෝ?”

“මං දන්නෑ ඔව්වා…… හැමදාම එකම දේ අහන්නේ ඇයි මැණිකේ…….”

***********

අනුන්ගේ දරුවෝ ගැන මොකට හොයනවද මන්දා……. මේ මනුස්සයාගේ මුළු ජීවිතේම වලව්වට යට වුණා……..තමුන්ගෙම දරුවෙක්…….. කසාදයක්……. ඒ මුකුත් නෑ……………

වලව්වේ ඇත්තන්ට කරන්න බැරිවුණුඅනිමිස ලෝචන පූජාව,හවස්යාමේ නින්දට වැටුණු සුදු මැණිකේ දිහා බලාගෙන විමලාවතී පැවැත්තුවා. ඒ පිං බලෙන් නිවන් දකින්න බැරි වුනත් අඩුමතරමේ හිතට සැනසීමක්වත් ලැබෙනවා කියලා ඈ දැනං උන්නා.

දවල් දවස තිස්සෙම දරුවෝ ගැන කියවන සුදු මැණිකේ රෑ තිස්සේම නින්දක් නෑ. හවස් ජාමෙ නම් හොඳට නිදා ගන්නවා… ඒ මදැයි. හීනෙනුත් රෝසි මැණිකෙයි පුංචි මහත්තයයි පේනවා ඇති. ඒකයි ඇහැරෙන්නේ නැත්තේ…….

හීන් හිනාවක් විමලාවතීගේ මූණේ ඇඳුනා.

ගොම්මන් වැටෙන වෙලාවේ වලව්ව පැත්තට සේන්දු වුණු වෑන් රථයක් සුදු මැණිකෙව කලබල කළා.

“මොකක්ද විමලෝ අර මේ පැත්තට එනවා පේන්නේ..?”

“අනේ මන්ද මැණිකේ, වෑන්නෙකක්ද කොහේදෝ…..ඒත් කවුද මේ හවස් ජාමේ……”

වෑන් එක මිදුලේ අඹ ගහ යට නවත්තද්දිම වගේ එළිය ආවේ හුරුබුහුටි කොලු පැංචෙක්. පුංචි දරුවෝ දෙතුන්දෙනා එක්කම වැඩිහිටි ඈයෝ හතර දෙනෙකුත් වාහනෙන් බිමට බැස්සා. හුරුපුරුදු මූණක් හොයමින් විමලාවතී ලත වෙද්දී සුදු මැණිකෙගේ ඇස් වලින් කඳුළු බිංදු දෙකක් එළියට පැන්නා.

“සුදු අම්මේ……”

“අනේ මගේ පුංචි මහත්තයා…… රෝසි මැණිකේ…….”

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා….

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරිකර නැත පොවලා

කිරි අම්මාවරු දනට වඩිනවා….

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මවවීලා….
කිරි අම්මාවරු දනට වඩිනවා….

ප.ලි. – කාලෙකට පස්සේ මේ සින්දුව අහද්දී හිතය නැගුණු අදහසක් තමයි මේ අකුරු කලේ. ඇත්තටම මේ වගේ ජීවිත මේ ලංකාවේ ඇති කියලා මට හිතෙනවා…….

http://namunukulineha.blogspot.co.uk/2016/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල