කෙටි කථා

සර්පයාගේ කොලම 7

Off

ෆැරන්හයිට් 451

පෙරදිග අහසද අපරදිග අහසද ලෝහිත රත් වනින් බබලන්නට වන. ඒ දෙපසින් මහත් වූ ග‍්‍රීස්මයක් කඩා වැදුනේය. උතුරුදිගින්ද දකුණු දිගින්ද හිම දියවී මහා ජල ක`දන් ගලා සිසිලසක් හමා ආ සැණින්ම අතුරුදන්ව ගියේය.

හිම මිදෙන උෂ්ණත්වය වන පැරන්හයිට් අංශක 32 හා පැරන්හයිට් අංශක 451 එනම් කඩදාසි ගිනි ගන්නා උෂ්ණත්වය එකිනෙක තරඟ කරන්නට වන.
ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ පුස්තකාලයද, මායා ඉන්කා පුස්තකාලයද, අභයගිරිය පුස්තකාලයද, යාපනය පුස්තකාලයද එක විට ගිනි ගනිමින් තිබිණි. මාරිනෙට්ටි තමා යන කුලී රථවල කවුළුවලින් එළියට දමා ප‍්‍රදර්ශණය කරමින් ගිය ‘අපි පුස්තකාල ගිනිබත් කරමු’ යන සටන් පාඨය රැගත් පුවරුව ගින්නට දැම්මේය. අනතුරුව අහසට දෑත් නගා දෙවියන් යැද්දේය. මාෂල් ඩුෂාම්ප් ඩාවින්සිගේ මොනාලීසා සිතුවම ඉදිරියේ දෑත් ලෙහි ගසා ගනිමින් හඬා වැටෙමින් හුන්නේය.

සර්පයා තමා ලිවූ පොත් පිල්ලූව නම් කෙටිකතාව මුද්‍රණයෙන් පැහැරී තිබුණු කඩදාසි කැබලි සොය සොයා වියරුවෙන් හ`ඩා වැටෙමින් වනය සරමින් හුන්නේය.

රේ බ‍්‍රැඞ්බරි සිය අනාගතවාදී දිස්තෝපියානු නවකතාව පැරන්හයිට් 451 තුළින් දුටු ලෝකය මිහිමතට පැමිණ තිබිණි. රුඩෝල්ෆ් ආන්හයිම් කී සිතන සිත් නැවතූ, ලියන අත් නැවතූ වාහිනීි බිත්තියක් බවට මුළු අහසම පත්ව තිබිණි. සියලූ සත්වයෝ බකන් නිලා, බඩ උලා ඒ වෙත දෑස් දල්වා සිටියාහුය.
පොත් තහනම් විෂයයක් බවට පත්ව ඇත. ඒ ගිනි තබා විනාශ කරන්නටද ඒ කියවන්නන් අත් අඩංගුවට ගන්නටද හමුදා සේනාංක පෙළ ගැසී සිටියාහු. ලියන්නට දන්නා අවසාන මිනිසාගේ දේහය උත්තර ධ‍්‍රවයෙහි වළ දමා දෙදිනක් ගෙවී තිබිණි. කියවන්නට දන්නා අවසාන මිනිසාගේ අවසන් කටයුතු වැඩි කල් නොගොස්ම සිදු කරන්නට ජනමාධ්‍ය පෙළ ගැසී හුන්හ. ඒ වෙනුවෙන් ගිණිකෙළි නිෂ්පාදකයන් සංචිතයන් රැස් කරමින් හුන් බැවින් මගුලකටවත් රතිඤ්ඤයක් සොයා ගත නොහිණි.

සර්පයා තමාද තමාගේ පරපුරද විසින් මරා දමන ලද පරමාදර්ශයන්ගේ සොහොන් කොත් ඉදිරියේ මල්පහන් පුදමින්, මළවුන් යදිමින් වනය පීරන්නට විය.

වන විනාශයට ඉලෙක්ට්‍රොනික පොත් යෝජනා කළ, කඩදාසිය වෙනුවට ඩිජිටල් පැපිරසය යෝජනා කළ පරිසරවේදියෝද මවිතයට පත්ව පොත්ද ගස්ද දෙකම අතුරුදන්ව යාමේ අග මුල සොයා ගත නොහී හුන්හ. සයිබර් සාහිත්‍යකාරයෝ ආ ගිය අතක් සොයා ගත නොහිණි. අන්තිම කඩදාසි පොතට බොහෝ කලකට පෙර සයිබර් පොත් අවසන්ව තිබුනේ ඒ සයිබර් පොත් සංහාර සේනාංකයක් විසින් ජයග‍්‍රාහීව කල් තබාම නිම කොට තිබුණු හෙයිනි. අනාගතවාදියෝද මේ සිදුවූයේ කවරේදෝහෝයි සිතා ගත නොහී ලෙහි අත් ගසා ගත්තේ පැරණි දේවවාදීන් සිහිපත් කරවමිනි.

හොඳම නැගී එන මිනීමරුවා තේරීමේ රියලිටි වැඩසටහනින් පෙරට ආ මිනීමරුවා අතින් මැරුම් කන්නට මිනිසුන් පෙළ ගැසී උන්හ. හො`දම නැගී එන ස්ත‍්‍රී දූෂකයා රියලිටි වැඩසටහන විකාශනය වෙමින් තිබුණු අතර ඔහු ලවා දූෂණය වන්නට තරුණියෝද, විවාහක ස්ත‍්‍රීන්ද මව්වරුන් සම ලිංගිකයන් මෙන්ම ගණිකාවන් පවා රොද බැඳ උන්හ.

හොඳම නැගී එන බාලාපචාරියා වැඩසටහනට පසු වැඩිම අතවරයට ගොදුරුවූ දරුවා රියලිටි වැඩසටහනට දරුවන් පුහුණු කරන්නට පංති ගෙන යනවාට වඩා දෙයක් අම්මලාට නොවුණු තරමි. පොලීසිවලට වෙනත් පැමිණිලි ලියා ගන්නට අවස්ථාවක් නොවූ තරම්ය. රියලිටි වැඩ සටහන්වලට ලියාපදිංචිය සඳහා පොලිස් පැමිණිලි මෙන්ම ළමා රක්ෂණ ආයතනයන්හි කරන ලද පැමිණිලිද අනිවාර්ය විය.

රාජ්‍ය සාහිත්‍ය උළෙල රජය විසින්ම තහනමට ලක් කර තිබිණි. එයට විරෝධය පෑ ලේඛකයන් සහ පාඨකයන් ඝාතනය කිරීමෙන් ඇරඹි මේ පොත් සංහාරය නොබෝ කලකින්ම නීතියක් බවට පත් විණි. අවසානයේ ලේඛකයන් කෙටි පණිවුඩ මාර්ගයෙන් සාහිත්‍යකරණයෙහි යෙදීම රහස් පොලීසිය විසින් රජයට දැනුම් දීමෙන් අනතුරුව කෙටි පණිවුඩ අකුරු මාර්ගයෙන් යැවීම තහනමට ලක් විණි. මේ වන විට ලෝකයේ කිසිවක් උදෙසා කිසිදු අකුරක් භාවිතයට නොගන්නා අතර අකුරු තහනම් මාධ්‍යයක් ලෙස සලකනු ලැබේ. සෙල්ලිපි සියල්ලම පවා විනාශ කර දමනු ලැබිණි.

අධ්‍යාපන කටයුත,ු සන්නිවේදනය ඇතුළු සියල්ල රූපමාර්ගයෙන් සිදු කරනු ලැබිණි. ඒ අතරින්ද රූපාක්ෂර තහනම් විය. ඉලක්කම් පමණක් ඉතිරි කරමින් සිදුවූ මේ සංහාරය සංවාද තලයටද ගමන් කරමින් තිබිණි. වාහිනිය දෙස බලා සිටින වාහෙලා හැර සංවාදයේ යෙදෙන කිසිවෙක් හසු වුවහොත් ඔවුන් අභාෂ්‍යතාවට ලක් කරන්නට වෙනම හමුදා වෛද්‍ය සේනාංකයක් සැදී පැහැදී හුන්හ.

ෂෙන්තිප්පේ ජනමාධ්‍යවේදිනියක් වන්නට සිහින මැවුවාය.

‘ලේඛකයෙක්? ලේඛකයො කියන්නෙ හි`ගන්නො.’

සොක‍්‍රටීස්ගේ මස්සිනා ෂෙන්තිප්පේට කීවේය. ෂෙන්තිප්පේ පොළොව හාරන බිංකුන්ඩන්ගේ ලෝකය අයියාත් සමගම හැර දමා ඇතෑන්සයට ආවේ ඇ`දුම් කඩ මාලූ දෙක තුනක්ද රැගෙනය.

එහෙත් ඈ කුඩා කල සැපෝ සමග බැඳුණු පෙම ඇයට දිගින් දිගටම වධ දෙන්නට විය. ලෙස්බෝසයේ නිදහස් දිවිය ඇයට මැවී පෙනුණේය.
පහු පහු වෙනකොට කොහු කොහු විය. බතේ ගල් හැපෙන්නට විය. එපා වාහෙට හොදි බෙදන්නට පටන් ගැණිනි. අත ඇරෙන දීගේ සෙවනැල්ලත් ඇදව ගියේය.

ෂෙන්තිප්පේ ඉඳුල් වතුර කොරහ සොක‍්‍රටීස්ගේ හිසේ හැලූවාය.

බෙරකාරයාගේ දුව පැමිණ පලි ගසන්නට විය.

‘පොත්……..? පොතුයි, ලේඛකයොයි…. අකුරුයි……..ආයි නං සංසාරෙ කවදාවත් දකින්නවත් එපා.’

සර්පයා සිය දියණියත් කැටුව පොත් වනපොත් කරන වනගත ‘පොත් මිනිස්සුන්’ සොයා ගියේය.

‘මේ ළමයට ආයි ඔය එකේක එවුන් ලියපු එකේක පොත් එවන්නෙපා ….ඔය බම්බු පොත් කියෙව්වයි කියලා ජීවිතේට වෙන කිසි දෙයක් නෑ. ළමයා ඉස්සරහා ඉරලා දාන්න බැරි නිසා මම නිකන් ඉන්නෙ.’

ලේඛක බිරි`දක් සර්පයාට කීවාය.

‘මං උසාවියට කියනවා උඹ අර පොත ලියලා තියනවයි කියලා. උඹ අර පොත පරිවර්තනේ කරපු එකා කියලා. උඹත් එක්ක ළමයෙක් තියන්න බෑ.’
‘පේ වෙච්ච ලේඛකයින්ට සමාජෙ කැමති නෑ සර්පයො….. කැමතී…. පිස්සු නටනවා….. නං බීලා ගෑනුත් එක්ක විකාර වෙන වුන්ට. ඒත් පේ වෙච්ච ලේඛකයින්ට සමාජෙ කැමති නෑ. ඈතින් ඉන්නවට කැමතියි. තමන් අතරෙ ඉන්නවට කැමති නෑ. සමාජෙන් ඒ අකමැත්ත කැරැල්ලක් වෙලා එන්නෙ ගෙදරින්මයි සර්පයො.’

මිතුරෙක් සර්පයා අස් වසමින් කීවේය. අහස මෙන්ම සර්ප සිතද ෆැරන්හයිට් අංශක 541ට රත්වී තිබිණි.

ෂෙන්තිප්පේ පැමිණ සර්පයා සන්තකව වූ පොත් කන්දක් කොට ගොඩ ගසා එයට ගිනි ලෑවේය. සර්පයාගේ වල්ගෙන් අල්ලා ඒ ගිනි ගොඩටම දැම්මේය. සිය සිරුර පැලහී යන පුලූටු ග`ද අතරින් දැවෙන කඩදාසි පුසුඹ ඉව අල්ලමින් සර්ප දිව ගිනි දළු අතරින් එකෙල මෙකෙල වුනේය
කේ.කේ.සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල