විශේෂ, සංචාරක හා ඡායාරුප

කළු කොටියාගෙන් මාදෙයියාවට…

Off

කරන්නට හරි හමන් වැඩක් නැතුව ඉපිසියට වෙලා හිටපු දවස් ටිකේ කලෙත් අනිත් බ්ලොග් වලට කමෙන්ට් කොටපු එක. එහෙම නැත්නම් මුණු පොතේ ලැගගෙන ඉඳපු එක. පස්සෙන් පහු දැඩි තීරණයක් ගත්තා හැමදාම නෙට් යද්දී ඉබේම ඕපන් වෙන මුණු පොතේ ලින්ක් එක අහක් කරලා දානවා කියලා. ඒත් කොහෙද, සැරින් සැරේ ගිහින් එබිලා බලලා එන්න හිතෙනවා.
කරුමෙට කකුල් හතරයි කියන්නැහේ එක පාරටම අම්මබානක බිසී වෙන්නත් සිද්ධ වෙච්ච නිසා බාගයක් තියලා තිබ්බ මේ පෝස්ට් එකේ ඉතුරු ටික ලියන එක එන්න එන්නම කල් දාන්න සිද්ධ උනා. ආපහු ඉඩවරක් ලැබෙන විනාඩි දහයෙන් පහළවෙන් තමයි පෝස්ට් එක ටිකෙන් ටික ලියලා එකලාසයක් කර ගන්න සිද්ධ වෙන්නේ. වෙලාව තිබුනත් හැම තිස්සෙම මගේ මෙසේ ගාව කැරකෙන සහ මාව මුණ ගැහෙන්න එන එව්වෝ එන්නේ මම ඉන්න තැනට පිටිපස්සෙන් නිසා මගේ මොනිටරේට රබර් ඇස් වදිනවා වැඩියි. ඒ නිසා නිදහස් වෙලාවක් තිබුනත් කවුරුවත් මගේ මොනිටරේ අහලක නැති වෙලාවට තමයි මට මොනවා හරි ලියන්න සිද්ධ වෙන්නේ. හරි දැන් ඉතින් කතාවට යමු.

ඔන්න ඉතින් මම කලින් හිතාගෙන හිටපු විදිහටම සහ කලින් කළු කොටියා ගැන කියපු පෝස්ට් එකේ කියපු විදිහටම 2014 අගෝස්තු මාසේ තිබ්බ මහ මැතිවරණ නිවාඩුවට ගමේ ගියා, කලින් වතාවේ වගේම වයිෆ්ට ඡන්දේ තිබුනේ කොළඹ. මට ගමේ. ඒ නිසා මම ගියේ තනියම. ඒ දවස් වල ළඟ තිබ්බ වාහනෙත් විකුණලා නිසා බස් වල, ටැක්සි වල තමයි ගමන බිමන. එදා හවස් වරුවේ බස් වල යන්න බැරි මට්ටමට සෙනග වැඩි බවක් තේරිච්ච නිසා බජට් ටැක්සි එකක යන්න හිතාගෙන හිටියත් ඒ ගැටළුවට හොඳ විසඳුමක් ලැබුණා. අපේ කමියා ගාල්ලේ යනවා කියපු නිසා මමත් ඌ එක්ක එල්ලිලා ගමේ යන්න කියල පිටත් උනා. හයිවේ එකට දාල ටික දුර යද්දී තමයි මතක් උනේ දොඩම්ගොඩින් එළියට බැහැල කමිය මාව හැලුවට පස්සේ ඉතුරු ටික යන්න වෙන්නේ බස් එකේ නේද කියලා. කොළඹින් බස් එකේ සෙනග වැඩියි වගේම ඒ හරියෙදිත් බස් වල සෙනගනේ. ඒ නිසා ගමේ යාළුවෙකුට වහාම මාව අරගෙන යන්න එන්න කියලා පණිවිඩේ දුන්නා. ඒත් කමි මට කිව්වේ කමක් නැහැ මාව ගෙදරටම දාල එන්නම් කියලා. ඒ ගමන දුර වැඩියි. මාව දාන්න ගියොත් කමියට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නගින ජාමේ. ආගිය කතා කතා කර කර ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපි දෙන්නා දොඩම්ගොඩ එක්සිට් එකෙන් එළියටත් ආවා. මාව එතනින් හලපු කමියා ආපහු හයිවේ එකට එන්ටර් වෙලා ගාල්ලේ යන්න පිටත් උනා. ඒ වෙද්දී මාව එක්ක යන්න ආපු ත්‍රිවිල් මිත්‍රයත් ඇවිත් උන්නේ.

ඔන්න අපි දෙන්න දැන් ගම්පියස බලා පිටත් වෙනවා. ගෙදර කිව්වට ගෙදර යන්න කලින් යන්න තියෙන ගමන් කීපයක් ගිහින්ම ගෙදර යන්නයි මම හිතාගෙන හිටියේ. මම එදා ගමේ එන බව ආරංචිය අහපු මගේ රථාචාරියෝ දෙන්න මම එනකල් මග බලාගෙන ඉන්නවා කියන පණිවිඩේ මම කොළඹින් පිටත් වෙන්න කලින්ම මට දැනුම් දීලයි තිබුනේ. මගේ ප්‍රමාදය නිසා දෙන්නත් එක්ක ලත්පඳුර හන්දියේ බාර් එකට ගිහින් පොඩ්ඩක් අනුමත වෙලා තිබුනා. මම යන්නත් කලින් දෙන්නගෙන් එකෙකුට ටිකක් වැඩිවෙලා බස් එකක නැගලා ගෙදර ගිහින් තිබුනා. අනිකා තමයි උගේ වාහනෙත් පාක් කරන්න අරගෙන ගිහින් තිබුනේ. ගෙදර ගිහින් තිබුනේ අජිත්, මම එනකල් බලාගෙන හිටියේ චානක. චානක එක්ක පොඩි චැටක් දාගෙන ඉඳලා වාහනේ හදන්න තියෙන ඒවා හොයල බලලා ඌවත් වාහනේ එක්කම පිටත් කරලා, හන්දියේ ඉන්න යාළු මිත්‍රයෝ එහෙමත් මුණ ගැහිලා ගෙදර යනකොට ටිකක් රෑ උනා. ඒ අතරේ වෙච්ච දේවල් කියන්න දෙයක් නැහැනේ. ඔව් ඔව් එහෙම තමයි උනේ. ගමේ ගියාම ගමේ යාළුවො ආස්සරය කරන්නත් එපැයි.

පහුවෙනිදා පස්ස පැත්තට අව්ව වැටෙනකල් හිතේ හැටියට නිදා ගත්තා. ගමේ ගිහින් මගේ පරණ ඇඳේ හිතේ හැටියට නිදා ගන්න එකෙන් දැනෙන්නේ පුදුම සනීපයක්. කොළඹ ඉන්නවා වගේ නෙමෙයි හොඳ සනීපෙට නින්ද යනවා. කොළඹදී නින්ද කැඩිලා මගදී ඇහැරුනොත් එහෙම ආපහු නින්ද යනවා බොරු. එහෙදි එහෙම නැහැ, මළා වගේ තමා පුදුම වෙනසක් තියෙන්නේ.
එදා දවසෙම වගේ හිටියේ ගෙදර, හවස් අතේ පොඩ්ඩක් පාර දිහාට ගියත් වැඩිය කළුවර වැටෙන්න කලියෙන් ගෙදර ආවා. ඒ එන්න කලින් ගමේ යාළුවෙක්ව කතා කර ගත්තා පහුවෙනිදා සෝමේ මාමලාගේ දිහා යන්න, උගේ බයිසි මොටෝ එකෙන්. ගමනක් යන්න තියෙනවා කියල බැලුවේ නැහැ පහුවෙනිදා උදේත් මම ඇහැරුනේ අටත් පහුවෙලා. මුලින්ම කලේ මිත්තරයට කෝල් එකක් දීපු එක, මගේ කෝල් එකට තමයි දෙයියනේ කියල ඌත් ඇහැරුනේ.

උදේට හීල් බත් පිඟානක් ඇදලා ඇරලා කලිසමකුයි, ටී කමිසෙකුයි දාගෙන බලාගෙන හිටියා යාළුවා ඒ කියන්නේ එරංගය එනකල්. වැඩිවෙලාවක් බලන් ඉන්න උනේ නැහැ විනාඩි දහයකින් පහළොහකින් වගේ ඌ අපේ ගෙදරට ආවා. දෙන්නත් එක්ක ගමන යන්න පිටත් වෙද්දී වෙලාව උදේ 09:00 ට වගේ ඇති. බයික් එකේ නැගගත්තු අපි දෙන්න බදුරලිය හන්දිය දිහාට යද්දී අතරමගදී හන්දිය පැත්තේ ඉඳල උදේ රැයින්ම වැඩ අල්ලන්න බලාගෙන (ඔව් ඔව් අපිත් ඇතුළුවම තමයි) ඌරු මස් වගයකුත් අරගෙන මගේ යාළු මිත්‍රයෝ දෙන්නෙක් වෙච්ච රුවනයි, නිලන්තයයි ගෙවල් පැත්ත බලා ඇදෙනවා. උන් දෙන්න අපිව දැකල බයික් එක නතර කලා.

“කොහෙද බං යන්නේ” කියල අහපු රුවනට එරංගය කිව්වේ “මෙන්න මුගේ වැඩකට ගරාජ් එකකට යනවා බං” කියලා. මේ එදා දවසේ මතක තියෙන විදිහට ඌ කියපු පළවෙනි බොරුව.
මටත් කම්මැලියි බං, දැන් උඹල නැතුව දැන් මේ වැඩේ පටන් ගන්න වෙන්නෙත් නැහැනේ. එහෙම කිව්ව රුවනා බයික් එක හරව ගත්තා. බයික් එකේ පිටිපස්සේ මස් ටික කවරෙක දාගෙන එල්ලගෙන හිටපු නිලන්තය උඩබිම බලනවා. උඹව බදුරලිය හන්දියට ගෙනිහින් දාන්නම්, බස් එකේ නැගලා ගෙදර ගිහින් අපි එද්දී මස් ටික හදල තියපන් කියන උපදෙසත් දීලා අපි තුන් දෙනා ගමන පිටත් වෙන්නයි ලෑස්තිය.

හන්දියේ ඉන්දිකයගේ කඩෙන් “පැයකින් දෙන පොරොන්දුව” පිට උගේ කසිකබල් හෙල්මට් එකත් ඉල්ල ගත්තා. ඒ දවසේ දෙවෙනි බොරුව. ඒකෙ අමුණන ගැජට් එක කැඩිලා, බයික් එක හැප්පුනොත් මට කලින් හෙල්මට් එක විසි වෙනවා. ඒ තියා බයික් එක ටිකක් හයියෙන් යද්දී වදින හුලන් පාරටත් ඒක විසික්ක වෙන්න හදනවා.
කලවාන පාර දිගේ ගිහින් අත්වැල්තොට හන්දියෙන් දෙනිහේන කියන ගමට හැරෙන පාරෙ තමයි අපි යන්න ඕනේ. අත්වැල්තොට කඩේකින් සිගරැට් 20 පැකට් එකක් ගත්තා සෝමේ මාමට. බුලත් විට හෙව්වට හම්බ උනේ නැහැ. අපි හන්දියට යද්දී පොලිසියේ කීප දෙනෙක් සහ සිවිල් මිනිස්සු කීප දෙනෙක් බොහොම අපහසුවෙන් බිත්ති වල ඇලිල උන්නු ඡන්ද අපේක්ෂකයින්ගේ මුණු ගලවනවා.

ඒකත් බලා කියාගෙන මමයි එරංගයි ගමන පටන් ගත්තත් රුවන එතැනදී මුණ ගැහිච්ච කාත් එක්කද කදයක් දාගෙන හිටියා. අපි ඩබල් දාගෙන ගියපු නිසා තමයි ඉක්මණට පිටත් උනේ. කිලෝ මීටර තුනක් හතරක් ගියත් රෝසා පේන්න නැති නිසා මගදී හම්බ වෙච්ච ඕනේ දෙයක් ගන්න තියෙන වර්ගයේ ගමේ කඩයක් ගාව අපි දෙන්න නතර උනා. විනාඩි පහක් දහයක් වගේ යද්දී ඌ ආවේ තොපි දෙන්න මාව මරන්න අරගෙන යනවද, “මේ කැලේ මැද්දේ කොහෙන්ද ගැරාජ්” කියාගෙන. යන දිහාව වැඩක් නැහැනේ යමං කියලා ඌව තවත් ටිකක් බයිට් කරලා තුන් දෙනාගෙන හෙල්මට් ගලවලා කඩේ හිටපු මුදලාලි මල්ලිට බාර දීලා ගමන පිටත් උනා.
හෙල්මට් ගැලෙව්වේ නැත්නම් අපි වලවල් වල වැටෙනකොට, ගල් ගෙඩි උඩින් යනකොට උඩ විසික්කා වෙන හෙල්මට් එක ඔළුවේ වැදිලා ඔළු කටුව තැලෙන එක ෂුවර්. දැන් ඔන්න ගමන ටිකක් පහසුයි, ඒත් ඉතින් අශ්වයෙක් පිටේ යනකොට වගේ උඩ විසි වේවි යද්දී මට හිතුනේ මේ ගමනට වඩා ත්‍රිවිල් එකක නැගලා යන එක ටිකක් හරි හොඳයි කියලා. ඇයි ඉතිං බයික් එකක් තරම් හයියෙන් යන්න බැරි නිසා මේ තරම් උඩ විසි වෙන්නේ නැති වෙන්න හිමීටනේ යන්නේ. අනික අපි දෙන්නගේ බරට පාත්වෙලා තිබ්බ බයික් එකේ යට තියෙන මොනවද මන්ද උපාංග හත් අට වතාවක්ම පාරේ තියෙන ගල්ගෙඩි වල වැදුනත් එක්ක.
වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ, අපිට ඉස්සරහින් හොන්ඩා CRV එකකුයි, තව ෆෝ වීල් වෑන් එකකුයි ඉබි ගමනින් ඉස්සරහට යනවා. ඒ හැම වාහනයක් ඉස්සරහම පයින් යන මනුස්සයෙක් වාහනේ යට වදිනවද නැද්ද කියල බලබල තමයි යන්නේ. කවුදෝ මන්දා දුරින් ආපු සෙට් එකක් වාහන වලින් ඇළක නාන්න යනවා වගේ. ඉබි ගමනින් යන උන්දැලා ඉඩ තියෙන තැනකදී අපිට යන්න ඉඩ දුන්නා.

සෑහෙන කට්ටක් කාල සෝමේ මාමලාගේ ගෙදරට ගොඩවෙලා බලද්දී සෝමේ මාමා ගෙදර නැහැ. නැන්දා අපිට කිව්වේ ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ල සෝමේ මාමව එක්කගෙන ගියාලු ඡන්ද මධ්‍යස්තානේ හදන තැනට. ඒ අවට ඡන්ද 50 ක් විතර තියෙනවලු. ඉස්සර ඡන්ද මධ්‍යස්තානේ දාන්නේ ගමේ තිබුන ඉස්කෝලෙලු. දැන් ඉස්කෝලෙ නැහැ, ඒක ගරා වැටිලා බිමට සමතලා වෙලා. ඒ හරියේ ළමයින්ට යන්න වෙන්නේ බදුරලිය පැත්තේ තියෙන ඉස්කෝල වලටලු. දවස ගානේ යන්න බැරි නිසා සමහරු ඒ කිට්ටුව ගෙවල් කුළියට අරගෙන ළමයි ඉස්කෝලේ යවනවලු.
දැන් අපේ මිෂන් එක සෝමේ මාමව හොයන එක. ආපහු හති දාගෙන කන්ද නැගලා සෝමේ මාමගේ ගෙදර ඉඳන් පාරට ඇවිත් බයික් දෙකේ නැගලා තව ටිකක් කැලේ පැත්තට යද්දී සෝමේ මාම ඉස්සරහට එනවා. මාදෙයියාව බලන්න යන්න ආපු බව කිව්වම සෝමේ මාමගේ උත්තරේ උනේ “දැන් යන්න වෙලා මදිනේ” කියලා. එතකොට වෙලාව 11:00 ට වගේ තියෙන්න ඇති. මම මිනිහගෙන් ඇහුවේ පාරේ ඉඳල කිලෝමීටර එකක් එකහමාරක් වගේ දුරක් නම් තියෙන්නේ වෙලා මදි වෙන්නේ කොහොමද කියලා.

සෝමේ මාමවත් බයික් එකේ දාගෙන ආපහු ඇවිත් රෝසාව යවල පිහියකුයි කූඩළු කෝටුවයි ගෙන්න ගත්තා. කූඩළු කෝටුව හදා ගන්නේ මෙහෙමයි. ලුනු දුම්කොළ එකට කොටලා අඩි දෙකක් විතර දිග කොටුවක අගිස්සක පොට්ටනියක් වගේ වෙන්න රෙදි කෑල්ලකින් ගැට ගහ ගන්නවා. කූඩැල්ලෝ ඇඟේ එල්ලුනාම අර පොට්ටනිය පොඩ්ඩක් උන්ගේ ඇඟේ ගාපු ගමන් උන්ව වැටෙනවා. සෝමේ මාමලාගේ ගෙදරට කලින් තමයි මාදෙයියාවට හැරෙන්න තියෙන්නේ. කැලෑව මැද්දෙන් තියෙන පොඩි අඩි පාරක් දිගේ යන්න තියෙන්නේ. බයික් දෙකේ තරමක් දුර යන්න පුළුවන් වගේ පෙනිච්ච නිසා දිගටම ගියා. පාර අයිනේ තිබ්බ කෝටු වලට වැටකෙයියා කටු වලට හුරගෙන ඕනෙනම් මීටර 200 ක් යන්න ඇති. එතනින් එහාට යන්න බැහැ. දැන් අඩිපාර උනාට ඉස්සර මේ පාරවල් වල ලී මුදලාලිලාගේ කාර් පවා ගියා කියල සෝමේ මාම කිව්වේ. ඒ මැතිනිගේ කාලේ සිංහරාජේ ගස් කපලා තුනී ලෑලි හදන්න ගන්න ගෙනියන්න ක්‍රියා කරපු කාලේ.
මේ දොළ පාර දිගේ තමයි අපි ගියේ. දොළක් කිව්වට ඇත්තටම මේක මගුර ගඟේ ආරම්භය. මේකත් ගිහින් මාදෙයියාවට වැටෙනවා.

බයික් දෙක මග නතර කරලා පයින් ගමන පටන් ගත්තා. ගමන පටන් අරගෙන ටික වෙලාවකින් යෝජනා උනේ ගඟ දිගේ බැහැලා යමු කියලා. එහෙම ටිකක් දුර ගියාට පස්සේ ගමන අමාරු නිසා මම යෝජනා කළා ආපහු ගොඩින් යමු කියලා. මමයි සෝමේ මාමයි එරංගයි ආපහු ඉවුරට ගොඩ උනා. ඒ වෙද්දී මට හොඳට තේරුම් ගිහින් තිබ්බේ මගේ ඇඳුම් පැළඳුම වල තියෙන නොගැළපෙන ගතිය. ඒ කිව්වේ කලිසමේ නිෂ්පාදන දෝෂයක් නිසා කකුල ගොඩක් උස්සලා ගලකට එහෙම නගින්න අමාරුයි, දාගෙන ගියපු සෙරෙප්පු දෙකේ වතුර ටිකක් ගෑවිච්ච ගමන් කකුල සෙරෙප්පු දෙකෙන් ලිස්සනවා. රුවනා තනියම ගඟ දිගේ ඇවිත් සෑහෙන දුරකට පස්සේ තමයි ආපහු ගොඩට ආවේ. ඒ අතරමගදී ඌව ගඟට වැටිලා. ෆෝන් එකට වතුර ගිහින්. ඌ අපිව දැක්ක ගමන් එරංගයට කනුකුනු ගාන්න ගත්තා “තෝ එක්ක ගමනක් ගියොත් මගේ ෆෝන් එකට කෙළවෙනවා” කියලා. ඊට කලින් සතියේ ඉරිදා උන් දෙන්නත් එක්ක එරංගගේ නෑ ගෙදරක බොන්න ගිහින් ආපහු එද්දී පොඩි ඒ දණ්ඩක් වගේ පටු පාලමකින් එන්න තියෙන තැනකදී රුවනව බයික් එකත් එක්කම ඇළට වැටිලා. එදත් ෆෝන් එකකට කෙළ උනාලු.
මේ තියෙන්නේ ගමන පටන් ගත්තු මුළ හරියේදී දැකපු කොකුම් ගහක්, ඒක කවුරු හරි ටිකක් පලුදු කරලා තිබුනා. කොකුම් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා අරගෙන යන්නේ සබන් වගේ දේවල් හදන්න කියල තමයි මම අහල තියෙන්නේ.


ටික දුරක් ගියාම කොළරොඩු ගොඩක් අස්සේ ඉඳල මතු වෙච්ච කුණකටුවෙක් දැකලා සෝමේ මාමයි එරංගයි, රෝසයි තුන් දෙනාම බයවෙලා මට කතා කළා. ඒ වෙද්දී මාව මහන්සියට හැක්වෙලා ඉවරයි. මම ආවේ ටිකක් පහුවෙලා. කෝටුවක් අරගෙන ඌව අපි යන පාරෙන් එහාට අරගෙන දැම්මා. ෆොටෝ එකක් ගහ ගන්න උනේ නැහැ මහන්සියටම අමතක වෙච්ච නිසා. ඒ මදිවට මගේ ඇඳුම් ඔක්කොම සම්පුර්ණයෙන්ම දාඩියෙන් පෙඟිලා. ෆොටෝ ගහන්න තිබ්බ එකම උපකරණය වෙච්ච ෆෝන් එක අන්ලොක් කරගන්න බැහැ ඇඟිලි තෙත් ගැහිලා තියෙන නිසාද කොහෙද ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැති නිසා.

කොහොමින් කොහොම හරි දණගාගෙන බඩගාගෙන මාදෙයියාවට යද්දී වෙලාව දවල් 01:00 ත් පහු උනා. එතනට ගියාට පස්සේ තමයි මම කල්පනා කලේ සෝමේ මාමගේ කිලෝමීටරේ කොච්චරක් දුරයිද කියන එක ගැන. අඩු ගානේ කිලෝමීටර හයක හතක වත් දුරක් වගේ තමයි මට දැනුනේ. මාදෙයියාව ගාවදි ෆොටෝ දෙක තුනක් අල්ල ගන්න පුළුවන් උනා. සෝමේ මාමලා කියපු තරම් මාදෙයියාව විශාල නැහැ. නමුත් ගැඹුරු බවනම් හොඳට පේනවා. වලේ හැම තැනම වගේ සුළි කැරකෙනවා. තුන් පැත්තකින් වලට වැටෙන දොළ පාරවල් තුනක් තනි සහ ලොකු දොළ පාරක් වෙලා පහලට ගලාගෙන යනවා. සුළි වැඩි වෙන්න හේතුව ඒක. වලේ වපසරිය ඕනෙනම් අක්කර කාලත් හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. එකපාරට උඩට මතුවෙලා නොපෙනී ගියපු ලොකු මාළුවෙක් දැකපු අපිට සෝමේ මාම කලින් වතාවක කියපු “අපි තරම් ලොකු මාළු” ඔය වලේ ඉන්නවා කියල කියපු කතාවනම් ඇත්තක් වෙන්න පුළුවන් කියල හිතුනා.
මේ මාදෙයියාව, දොළවල් දෙකක් වැටෙනවා පේනවා, අනිත් එක වම් පැත්තෙන් වැටෙන්නේ. ඇඟට පණ තිබුනනම් පොඩ්ඩක් පහළට බැහැල ඒකත් අහුවෙන්න ෆොටෝ එකක් ගන්න තිබුනා.


මෙතනින් තමයි උඩ ෆොටෝ එකේ නොපෙනෙන දොළ ගලාගෙන එන්නේ.


මාදෙයියාවට උඩින් තියෙන ගල් තලාවේ ටික දොහකට කළින් කවුරුහරි වාඩියක් ගහගෙන නතරවෙලා තිබුනා. බොහෝ දුරට වල්ලපට්ට කාරයෝ වෙන්න ඇති.

වල්ලපට්ටා වලට මේ තරම් ලොකු ඉල්ලුමක් එන්න හේතුව විදිහට පොදුවේ අපි දන්නේ මිළ අධික සුවඳ විලවුන් වර්ගයක් හදන්න ඒවා පාවිච්චි කරන බවක්. නමුත් ළඟදි මේ ගැන අහන්න ලැබිච්ච අමුතු මාදිලියේ කතාවකුත් මෙතන ලියන්න හිතුනා. අපේ රටෙන් පිටතට වල්ලපට්ට වැඩිපුර යවන්නේ අරාබිකරයේ රටවල් වලටලු. අර ප්‍රසිද්ධ කාරණයට අමතරව වල්ලපට්ටා පාවිච්චි කරනවලු අරාබියේ ඉන්න සල්ලි කාරයෝ තමනුගේ බිරින්දෑ වරුන්ට දුම් අල්ලන්න. බලන්න මොන තරම් ආදරයක්ද කියල තියෙන්නේ. ඔය දුම් වැදුනම වැඩිපුර පාවිච්චිය එක්ක හරි ස්වාභාවිකවම හරි ලිහිල් වෙලා තියෙන උන්දලාගේ ඇකිලෙන්න ඕනේ තැන් ඇකිලෙනවලු. හෝ ගාලා අපේ රටේ තියෙන වල්ලපට්ට ගස් වලට කෙළවෙන්න හේතුව වෙන්නේ අරාබි ගෑණුන්ගේ අහවල් එකට දුම් අල්ලන්නය කියල අහපු ගමන් මට හිනාත් ගියා. මේ කතාව අපේ ලොකු මාමට කියල තිබුනේ මුස්ලිම් මනුස්සයෙක්, ඒකෙ ඇත්ත නැත්ත ගැන මට සහතිකයක් නැහැ. නමුත් මේ වගේ දේවල් වලට ඔය මිනිස්සු දක්වන උනන්දුව එක්ක මේක ඇත්තක් වෙන්නත් ඉඩ තියෙනවා. හරි හරි, දැන් ඉතින් ඔය අහල තියෙන ඉතුරු වෙච්ච වල්ල පට්ට ගස් ටික කපල ගෙදර ගෙනියන්න හදනවා එහෙම නෙමෙයි.

එතන අපි පැය බාගයක් හරි ඊට වඩා ටිකක් වෙලා ඉන්න ඇති. මට දාඩිය දාපු දැමිල්ලේ හැටියට මාව ඩීහයිඩ්‍රෙඩ් නොවී බේරුනේ ගඟේ වතුර නොකඩවා බීපු හින්ද වෙන්න ඕනේ.
ආපහු ගමන පටන් ගත්තට මට අනිත් තුන්දෙනා යන වේගෙන් යන්න බැරි මට්ටමට මට මහන්සියි. සෝමේ මාමත් බැරි බැරි ගාතෙන් තමයි ආපහු ආවේ. ආපහු ගඟ දිගේ යන්න බැහැ කියල හිතිච්ච අපි හම්බ වෙච්ච අඩි පාරක් දිගේ ගමන පටන් ගත්තා. ටික දුරක් ගියාම අඩි පාර කන්දක් දිගේ ගිහින් වාඩියක් තියෙන ඉසව්වකට ආවා. හැර ගහපු කිතුල් ගස් කීපයක් තිබුනත් ඒවා පරණ ඒවා බවක් තමයි පේන්න තිබුනේ. වාඩියට වෙලා පොඩි විවේකයක් එහෙම අරගෙන ආපහු ගමන පටන් අරගෙන ටික දුරක් යද්දී මමයි සෝමේ මාමයි ගොඩක් පහු වෙලා. අරුන් දෙන්න සෑහෙන ඉස්සරහට ගිහින් තිබ්බා.
හීං පොද වැස්සක් පටන් අරගෙන තිබ්බ නිසා පය ඉක්මන් කරන්න හැදුවත් කකුල් දෙකයි ශරිරෙයි ඒකට ඉඩ දුන්නෙම නැහැ. පොද වැස්ස මහා වැස්සක් බවට පත්වෙලා අපි හොඳටම තෙත බරියං උනත් ෆෝන්, පර්ස් වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නෙමෙයි ඒක. බයික් නතර කරපු තැනදී යාළුවො දෙන්න ඉන්නවා, රුවනා අතේ පැළ පොල් ගෙඩියක්. මගදී දැකල අරගෙන ආවලු සෝමේ මාමට දෙන්න.

ගෙදර ගිහින් බත් ටිකක් කාල යමු කියල සෝමේ මාම කිව්වත් අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලේ මහන්සි වැඩි කමටමයි. රුවනා ගිහින් සෝමේ මාමව ගෙදරට ගිහින් දාල එනකල් අපි දෙන්න ටික ටික ඉස්සරහට ගියා. හෙල්මට් තියල ආපු කඩේ හරියට එද්දී වැස්ස පොඩ්ඩක් අඩුවෙලා, ඒත් කඩේ ගාවට යන්න කලින් මම දැක්ක එතන පොලිසියෙන් ඉන්නවා කියලා. මුලින්ම කලේ එරංගට ඉන්න කියලා කඩේට ගිහින් හෙල්මට් ටික අරගෙන එන එක. ඒ ඇවිත් කඩේ ගාව නතර කරලා තිබහ වැඩි කමට බීම බෝතලයක් බීලා පොඩි සිලි කවර කීපයක් ඉල්ලා ගත්තේ ෆෝන් සහ පර්ස් තව දුරටත් තෙමෙන එකෙන් බේර ගන්න…

තුන්දෙනා එක්ක ගෙවල් තියෙන ඉසව්වට යද්දී හවස තුනහමාර පහුවෙලා. අපේ පැත්තට වැහි පොදක් වැටිලා නැහැ, හෙණ ගහන්න අව්ව පායලා. එරංගගේ අයියලාගේ ගෙදර එදා කවුරුවත් නැහැ, එහෙට ගිහින් උගේ සරමක් ඇඳගෙන තෙත ඇඳුම් වේලෙන්න දාල රුවනව යැව්වා දවසේ ඉතුරු හරිය කරන්න ඕනේ අඩුම කුඩුම ගේන්න. දවල්ට කෑවේ නැති උනත් එදා ගෙදර යද්දී රෑ දහය පහුවෙලා තිබුන කියලනම් හොඳටම ෂුවර්..

http://widiyabandara.blogspot.co.uk/2016/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල