ඉතිහාසය, විශේෂ

අභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම…

Off

පණ්ඩුකාභය රජු ගේ නගර නිර්මාණ සැළසුම ට අනුව ජෛන තවුසන් ගේ ආරාම නගරය ට උතුරු දෙසින් ඉදිකෙරුණි. ඛල්ලාටනාග රජු පහ කිරීම ට කුමන්ත‍්‍රණය කළ කුමාර වරුන් ති දෙනෙක්, කුමන්ත‍්‍රණය හෙළි වීමෙන් පසු, ගිරි නම් ජෛන පූජකයෙකු ගේ ආරාමයේ වූ දර සෑය ට පැන දිවි නසා ගත් බව ද, එහි පසුව ‘අග්නි ප‍්‍රවේශ චේතිය’ නමින් ස්ථූපයක් ඉදි කෙරුණු බව ද පැවසේ. වළගම්බා රජු මෙම ජෛන ආරාමය බිඳ, ක‍්‍රි. පූ. 89 දී පිරිවෙන් 12 කින් යුත් අභයගිරි විහාරය කරවී ය.

රජු ගේ සහ නිඝණ්ඨයා ගේ නම් එක් වීමෙන් මෙම ස්ථානය අභයගිරි නම් වී යැයි මහාවංශයේ වන සඳහන, අභයගිරියට අපහාස මුඛයෙන් කළ සඳහනක් ලෙස සැළකිය හැක. මෙම කාලයේ බොහෝ ආරාම වල නම් අවසන් වන්නේ ‘ගිරි’ යනුවෙනි. වෙස්සගිරි, දක්ෂිණ මේඝගිරි, චේතියගිරි, බෝ උපුල්වන් කසුප් ගිරි යනු ඒ සඳහා උදාහරණ වේ. එහෙයින් අභය රජු කරවූ ආරාමය අභයගිරි වන්නට ඇතැයි යන ටී. ජී. කුළතුංග මහතා දක්වන අදහස වඩා පිළිගතහැකි මතය කි.

උතර, අබය උතර, අබයතුරා, අබාගිරි, අබගිරි මහ වෙහෙර, අබහයිගිරි ආදී වශයෙන් සෙල් ලිපි වල සහ සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙම විහාරාරාම සංකීර්ණය ය. ඇතුල් නුවර ට උතුරින් පිහිටි හෙයින් මෙම ආරාම සංකීර්ණය උත්තර නම් වන්නට ඇත. අභයගිරිය ත්, මහාවිහාරය ත් අතර ගැටුම අභයගිරියේ උත්පත්තියේ සිට ම ඇති වූව කි. මහාවිහාරය ට මෙය ඉතා දරුණු වූයේ මහසෙන් රජ දවස ය. ආරම්භයේ දී ආවාස දොළසකින් යුක්ත වූ අභයගිරිය, වළගම්බා රජුගේ ත්, අනුප‍්‍රාප්තිකයන්ගේ ත් අනුග‍්‍රහය නිසා නොබෝ කලකින් ම ආයතනික හා සාමාජික වශයෙන් ද, විදේශ සම්බන්ධතා සහ ජනප‍්‍රියතාව අතින් ද දියුණු විය. මේ වන විට අභයගිරි විහාරය තුළ සංඝාරාම විසි හතක් විය.

තොළුවිල, මිහින්තලය, පූර්වාරාමය, කිරිබත් වෙහෙර, විජයාරාමය, පන්කුළිය අශෝකාරාමය සහ දක්ඛිණ විහාරය ද අභයගිරිය යටතේ පැවති ආයතන විය. ක‍්‍රි. ව. 412 දී අනුරාධපුරයේ විසූ ෆාහියන් භික්ෂුව එකල අභයගිරියේ භික්ෂූණ් වහන්සේ පන් දහසක් පමණ විසූ බව සඳහන් කර තිබේ. එතුමා ට අනුව මහාවිහාරයේ සිටි භික්ෂූණ් වහන්සේ ගණන තුන් දහස කි. ඇතුල් නුවර දළදා මාළිගයේ සිට අභයගිරිය වෙත ගිය වාර්ෂික පෙරහැරක් ද එතුමා විසින් විස්තර කර තිබේ. දන්ත ධාතුවේ භාරකාරත්වය ද අභයගිරිය සතුව පැවතුණි.

දළදා මැදුරේ සිට අභයගිරිය දක්වා ගමන් කළ පෙරහැරෙන් පසු අභයගිරියේ දී තෙ මසක් පුරා දළදා ප‍්‍රදර්ශනය කරවූ බව සඳහන් වේ. දන්ත ධාතුව සේ ම, දඹදිව බෝධි මණ්ඩ විහාරයේ පැවිදි ව සිටි තෙර නමක් කේෂ ධාතු රැගෙන ආ පසු, එය ද අභයගිරි විහාරය භාරය ට පත් කෙරුණි. එම භික්ෂුව ට පසුව සිලාකාල නමින් රජවීම ට ද මෙය හේතු වන්න ට ඇත. එම රජ දවස කසී රටෙන් පූර්ණ නම් වෙළෙඳා ධර්ම ධාතුව වැඩමවූ බව ද සඳහන් වේ. බුදුන් ගේ ධර්ම කාය වෙනුවෙන් පූජා පැවැත්වීම සහ ධර්ම ධාතු නිධන් කොට චෛත්‍ය තැනවීම ආරම්භ වන්නට ඇත්තේ මෙයින් පසුව ය. ඉදිකටු සෑයේ සහ විජයාරාමයේ මෙසේ නිධන් කරන ලද ධර්ම ග‍්‍රන්ථය ක පිටපත් හමු වී තිබේ.

එසේ ම අභයගිරි ස්ථූපය ද කසුප් නම් රජෙක් ධර්ම ධාතු තැන්පත් කර එකසිය විසි රියන් කොට බැඳවූ බව සඳහන් වේ. මහා විහාර දෙක අතර හය වන සියවසේ පැවති ගැටුමෙන් මහාවිහාරය ට ජය අත් විය. ඉන්පසු රජ පැමිණි රජවරුන් මෙම ආයතන දෙක ම පිළිබඳව මැදහත් ව සිටීම නිසා අට වන සියවසේ සිට දහ වන සියවස දක්වා ප්‍රකට ගැටුමක් ඇති නොවී ය. හත් වන සහ අට වන සියවස් වන විට අභයගිරිය, උත්තර මූල, කපාරා මූල, මහනෙත් පා මූල සහ වහදු මූල නම් වූ පීඨ හතරක් සහිත උසස් අධ්‍යාපන ආයතනයක තත්ත්වය ට පත් ව තිබුණි. නව වන සියවසේ දී අභයගිරිය මඟින් ඉන්දුනීසියාව සහ ජාවා දිවයින් හි බෞද්ධ ධර්මය පැතිරවූ බව ට සාධක ඇත.

මෙම රාජ්‍ය වල අභයගිරි නමින් විහාරාරාම තැනවුණු බව, එම රට වල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වල දී හමු වූ අභිලේඛන වලින් හෙළි වී තිබේ. ජාවා රටෙන් හමු වූ එවැනි එක් සෙල් ලිපියක ‘අභයගිරි සිංහල භික්ෂූණ් ගේ ආරාමය’ යැයි සඳහන් වේ. චීන මූලාශ‍්‍ර වලට අනුව, චීනයේ මෙහෙණි උපසම්පදාව පිහිටුවන ලද්දේ අභයගිරියේ ලංකාරාමයේ සිට වැඩමවූ තිසාරා තෙරණිය ප‍්‍රමුඛ තෙරණි වරුන් විසින් බව කියැවේ. පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වන කච්ඡායනා වර්ණනාව ලියූ මහ විජිතාවි තෙරුන් බුරුමයේ විජයපුර අසළ පිහිටි අභයගිරි විහාරයේ විසූ තෙර නම කි. පෙර දවස ලක්දිව පැවති මූලායතන අට කි.

උත්තර මූල, ගලතුරු මූල, මහනෙත් පා මූල, වහදු මූල, දකුණු මූල, සෙනෙවිරත් පා මූල, විල්ගම් මූල සහ කපාරා මූල යනු ඒ ආයතන වේ. අනුරාධපුර යුගයේ මෙයින් හතරක ම මධ්‍යස්ථාන පිහිටියේ අභයගිරි විහාරය තුළ ය. මෙයින් පැරණිතම පිරිවෙණ වන්නේ කපාරා මූලය යි. එය දාඨෝපතිස්ස රජු (659 – 667) විසින් ආරම්භ කරවන ලදි. සංඝ නන්දි තෙරුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක් අනුව මෙම ආයතනය කුට්ටම් පොකුණ ට උතුරින් පිහිටි පිරිවෙණ බව හඳුනාගෙන තිබේ. (මෙහි ඇති එක් සංස්කෘත සෙල් ලිපියක නිවැරදි දින වකවාණු සහිතව ක‍්‍රි. ව. 995 ජූලි මස 14 දින සිදු වූ චන්ද්‍රග‍්‍රහණයක් පිළිබඳව සඳහන් වේ.)

පස් වන අග්බෝ රජු (718 – 721) මහා නේත‍්‍ර පාදික නම් විහාරය කරවූ බව සඳහන් වේ. බෙල් මහතා පවසන්නේ නියම්ගම් පාය, මයුරපාද, අභයසුන්දරාරාම යන නම් වලින් හැඳින්වෙන්නේ ද මහනෙත්පා මූලය ම බව ය. මානවම්ම රජු (684 – 718) ඇසක් අන්ධ වූ සිය වැඩුමල් සොහොයුරා පැවිදි කොට, උත්තර මූල විහාරය ඉදි කරවා, එහි අධිපති කම පවරා, දළදාවේ භාරකාරත්වය ද එයට පැවරී ය. මේ හේතුවෙන්, උත්තර මූලය අනෙකුත් මූලායතනයන් හට ප‍්‍රධාන විය. දෙ වන මහින්ද (777 – 797) රජු කපාරා මූලයෙහි ද, උත්තර මූලයෙහි ද ආවාස ඉදි කරවී ය. වහදු මූලය ඇරඹුනේ ද මානවම්ම රජු විසිනි.

උසස් තාක්ෂණික ඥාණයකින් කෙරුණු කාර්මික නිර්මාණ රැසක් අභයගිරිය ආශ‍්‍රිතව හමුවී තිබේ. පට්ටලයක ලියවා ඔප දැමූ පළිඟු, කිරිගරුඬ කරඬු, පළිඟු මුද්‍රා සහ කානේලියන්, අඹතේස්ත, අගස්ති ආදී පාෂාණයන් ගෙන් කපා ඔප දමන ලද පබළු, සියුම් කැටයමින් යුත් රන් ආභරණ, ශක්තිමත්ව තනා දීප්තිමත්ව ඔප දමන ලද මෝස්තර සහිත විවිධ මැටි බඳුන් ආදිය මෙවැනි නිර්මාණ අතර වේ. අඩක් නිම කරන ලද කරඬු සහ පබළු ද හමුවීමෙන් මේවා මෙහිදී ම කරන ලද නිර්මාණයන් බව පැහැදිළි වේ. විවිධ වර්ණ ගන්වන ලද වීදුරු නිර්මාණය ද මෙකල දැන සිටි බව පෙනේ. අභයගිරි භූමියේ කැණීම් වලින් සොයාගන්නා ලද උදුන් සහ කෝව සහිත තාවකාලික සහ ස්ථාවර කම්හල් කිහිපය කි. ගොඩනැගිලි පවුරු අසළින්, පොළොව මතු පිටින් ම වාගේ හමු වන තාවකාලික කම්හල් වලින් පෙනෙන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී එයට අවශ්‍ය වන ඇණ ආදී ලෝහ නිර්මාණ එහිදී ම තනා ගන්නට ඇති බව ය. රන්කරුවෙකු ට අයත් කම්මලක් ද අභයගිරියේ උත්තර මූලයේ රන් පොකුණ අසළින් හමු වී තිබේ. උදුන් සහ කෝව ට අමතර වල ඒ අසළ ම පිහිටි පොකුණෙන් රන් කහවණු ද, රන් ඵලක පහක් ද සොයාගෙන තිබේ.

එසේම හමු වී ඇති ලෝකඩ බුදු පිළිම මෙහිදී ම නිපදවාගන්නට ඇති බව ට සාධක තිබේ. යාපනයේ සේතු කාසි සහ පෘතුගීසි කාසි හැරුණු කොට, ලංකාවේ ප‍්‍රථම කාසිය වන හස් එබූ කහාපණය පටන් ඇතා සහ ස්වස්තිකය, ශ‍්‍රී ලක්ෂ්මි කාසි, ගව සිංහ කාසි ආදී සියළුම දේශීය කාසි වර්ග ද පැරණි දකුණු ඉන්දීය, රෝම, ඉන්දු – රෝම කාසි ද අභයගිරියෙන් හමුවී තිබේ. මෙහි රන් කහවණු නිපදවීම ද සිදු කෙරී ඇති බව ට ස්වර්ණ ඵලක පිණ්ඩ හමුවූ රන්කරුවාගේ කම්හල සහ ක‍්‍රි. ව. නව වන සියවස ට අයත් කාසි අච්චු මඟින් පැහැදිළි වේ. අභයගිරි භූමියෙන් හමු ව ඇති සෙල් ලිපි ගණන හැටක ට අධික ය. මේවා ක‍්‍රි. පූ. පළමු වන සියවසේ සිට ක‍්‍රි. ව. එකොළොස් වන සියවස දක්වා කාලය ට අයත් වන අතර පැරණි සිංහලෙන් සහ සංස්කෘතයෙන් ලියවී තිබේ. මේ අතර වන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු දමිළ ගෘහපතීන් ගේ සෙල් ලිපියේ අභයගිරියේ ද්‍රවිඩ භික්ෂූණ් වහන්සේ සහ ද්‍රවිඩ දායකයින් පිළිබඳව සඳහන් වේ. අභයගිරි විහාරයෙන් ලියැවුණු ග‍්‍රන්ථ පිළිබඳ විස්තර අපට දැනගත හැක්කේ සෙල්ලිපි, පැරණි පොතපතේ එන සඳහන් සහ විදේශයන් හි ඇති අභයගිරි පුස්තක වල පිටපත් ආශ‍්‍රයෙනි.

ඒ අනුව, මහාවංශය ට සමරූපී උත්තර විහාර වංශය, මහාවංශ අට්ඨ කථා වලට ද ගුරු වූ උත්තර විහාර වංශ අට්ඨ කථා, මහා බුද්ධරක්ඛිත හිමි විසින් රචිත පැරණිම ලෝක ඉතිහාසය ලෙස සැළකිය හැකි රාජවංශ පුස්තකය, විසුද්ධි මග්ගය ට ගුරු කොට ගත්තේයැ යි සැළකෙන උපතිස්ස හිමි ගේ කෘතියක් වන විමුක්ති මග්ගය (මෙහි දැනට ඉතිරිව ඇත්තේ සංඝපාල තෙරුන් විසින් කෙරුණු චීන පරිවර්තනයක් පමණි), පාලි ජාතකට්ඨ කථා, සම්පිණ්ඩ මහ නිදානය (තවමත් අමුද්‍රිත මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි ඇති සමහර කථා ජනප‍්‍රවාදය වෙත මුසු වී ඇති අතර, සද්ධර්මාලංකාරයේ ද අඩංගු වේ.), නමස්කාර වර්ණනා (බුත්සරණ සහ පූජාවලිය වැනි භක්තිවාදී ග‍්‍රන්ථය කි.), මැදුම් සඟි අටුවාව, සහස්ස වත්ථුව, චතුස්ශතකය, ආනන්ද හිමියන් ගේ සද්ධම්මෝපායනය ආදී කෘතීන් මෙන් ම, අභයගිරියේ සිට පළමු වන කාශ්‍යප රජු වෙත සීගිරිය ට යවන ලෙස ලියැවුණු, ලංකාවේ ප‍්‍රථම දූත කාව්‍යය විය හැකි ශ‍්‍රමණ දූතය වැනි සාහිත්‍ය ද, උත්තර මූලයේ මුගලන් හිමියන් විසින් ලියැවුණු පාළි මොග්ගල්ලාන ව්‍යාකරණය වැනි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද, අභයගිරියේ කෘතීන් වේ. චෝළ අධිරාජ්‍යයේ ආක‍්‍රමණයේ දී අනුරාධපුරයේ බොහෝ ආයතන සේම අභයගිරිය ද ව්‍යසනය ට පත් විය.

පළමුවන විජයබා රජු රට එක්සත් කළ පසු බොහෝ නායක හිමි වරුන් අගනුවර සමඟම පොළොන්නරුව ට විතැන් වූ අතර කාළිංග මාඝ ගේ ආක‍්‍රමණයේ දී එම විහාරාශ‍්‍රිත අධ්‍යාපන ආයතන වනගත වී විනාශ වී ගියේ ය. එහෙත් අභයගිරිය මඟින් ඇති කරන ලද අධ්‍යාපනික සම්ප‍්‍රදාය විනාශ නොවී ය. මහා පරාක‍්‍රමබාහු රජ ඇවෑමෙන්, දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස වේෙළෙක්කාර හමුදාව නිළ කරන ලද්දේ එවක රාජගුරු තනතුර දැරූ, උත්තර මූල නායක නායක හිමි වූ මුගලන් තෙරුනි විසිනි. අනුරුද්ධ ශතකය ලියූ අනුරුද්ධ හිමියෝ උත්තර මූල යතිවරයෙකි. කුරුණෑගල සිව්වන පරාක‍්‍රමබාහු (1302 – 1326) රජ දවස විසූ තොටගමුවේ විජයබා පිරිවෙන් පති කායසත්ති හිමියෝ ද, කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියෝ ද උත්තර මූලය ට අයත් වූහ. කෝට්ටේ යුගයේ දී ලියැවුණු කුවේණි අස්න ද උතුරු මූල තෙර නමකගේ කෘතිය කි. දඹදෙණි යුගය ට අයත් පූජාවලියේ කතුවර බුද්ධපුත‍්‍ර හිමි මහනෙත් පා මූල භික්ෂූණ් වහන්සේ නම කි. සිව්වන පරාක‍්‍රමබාහු රජු, පසුව මහනෙත් පා මූලයේ මධයස්ථානයක් බවට පත් වූ වීදාගම ඝණානන්ද පිරිවෙණ කරවා, සොළී රටෙන් මෙරට පැමිණි ශ‍්‍රී රාජගුරු හිමියන් ට පූජා කළේ ය.

කෝට්ටේ යුගයේ දී එහි අධිපති වූ රන්මත්ගොඩ හිමියන් ද, උන්වහන්සේ ගේ අනුප‍්‍රාප්තික වීදාගම මෛත‍්‍රය හිමියන් ද මෙම මූලායතනයේ සුප‍්‍රකට පඬිවරු වෙති. පිරිත් දේශනා වල බලයක් ඇතැයි වන විශ්වාසය, විහාරාරාම තෙර නමක ට පෞද්ගලිකව පිදීම හා ඒ ඇසුරින් බිහි වූ භික්ෂු පරම්පරානුගතව විහාර අයිතිය පවත්වා ගැනීම, අතීත බුදුවරුන් ඇදහීම, සර්වඥ ධාතු පවතින තුරු බුදුන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කිරීම, බෝධිසත්ත්ව සංකල්පය, ඒ හා සම්බන්ධ වන ජාතක කථා සාහිත්‍යය හා පිළිම අභිෂේකය, රජවරුන් බෝසත් වරුන් බවට පත්වීමේ සංකල්පය, බුදුන් මහා පුරුෂ ලක්ෂණ සහිත අසමසම පුද්ගලයෙකැයි යන අදහස, ධර්ම ධාතු හා ධර්ම ග‍්‍රන්ථ වන්දනය සහ භක්තිවාදී ග‍්‍රන්ථ රචනය අභයගිරියෙන් බිහි වූ මහායානික ආභාසයේ ප‍්‍රතිඵලයන් ලෙස දැකිය හැක. බුදුන් ලක්දිව වැඩමවූ බව මුල් වරට සඳහන් වන්නේ ද මහායානික සූත‍්‍රයක් වන ලංකාවතාර සූත‍්‍රයේ ය. පැරණි ත‍්‍රිපිටකයේ නොවූ, පිරිත් සූත‍්‍ර එක් කොට සතර බණවර හෙවත් පිරුවාණා පොත් වහන්සේ සංග‍්‍රහ කෙරුණේ මහායාන ආභාසයෙනි. බුදුන් ගේ දර්ශනය ඇතුළත් කොට ආනන්ද හිමියන් විසින් රැුස් කෙරුණු සූත‍්‍ර, සජ්ජායනයෙන් අහිතකර බලවේග දුරු වෙතැයි ද, ශාන්තිය සැළසේයැ යි ද යන පසුකාලීන සංකල්පයේ ආරම්භය මෙහි මුල යි. තෝනිගල සෙල්ලිපියේ ද සඳහන් වන අරියවංශ වෘත්තිය ද මෙහි ප‍්‍රතිඵලය කි. ලක්දිව ප‍්‍රථම පිරිත් උත්සවය පැවතුණේ උපතිස්ස (366 – 410) රජ දවස ය.

මූලාශ‍්‍ර

මහාචාර්ය කුලතුංග , ටී. ජී. – අභයගිරි විහාරය සුමංගල හිමි, පිටිපන – අභයගිරි සංස්කෘතිය Geiger, Wilhelm – Concise Mahavamsa Mittons, G. E. – Lost Cities of Ceylon – 1917 Ricalton, James – The City of the Sacred Bo-Tree. (Anuradhapura.) – 1891

http://drackey.blogspot.co.uk/2016/01/blog-post_29.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල