විවිධාංග

ලබුතෙමේ ගස් නැග්ගේය

Off

මට මතකයි ඉස්සර අපි විහිලුවට කියනවා, රජතෙමේ කියන වචනය යොදා වාක්‍යයක් හදන්න කිව්වම එක ළමයෙක් ලිව්වලු, ‘රජ තෙමේ නම් කුඩයක් ඉහලාගන්න’ කියලා. නමුත් ලබුතෙමේ කිව්වම මොකෑ කොරන්නේ. එව්වත් ඉතින් තෙමෙන්න නොදී රැකගන්න වෙනවා. එහෙම නේද? හැබැයි මේ ලබු අර ඔව් ඔව් අන්න ඒ ලබු නෙවෙයි. වෙන එකක්. දන්නව නේද අපේ ‘ගෑස් ලෑබ්ස්’ හෑ…..දන්නෙ නෑ. ඇයි අප්පේ අර ඉදිච්චි ගස්ලබු පින්තූරේ දාගෙන ඉන්න අපේ ගෑස් ලෑබ්ස් දන්නෙ නැද්ද? ආ………න්න හරි. ඒ ගොබිලා තමයි.

මේකා මේ ලඟදි දවසක උදේ මට තෙලබණුවෙන් ඇමතුමක් දුන්නා.

‘මාමේ, මාමා මේ අපේ හිටපු හමුදා මාමා නේද?’

‘ඔව්වොව්, කවුද බෑණෝ උඹ’

‘මාමේ, මාමා දැන් ගෙදරද ඉන්නේ?’

‘ඔව්වොව්, මං මේ දෙපරැන්දට හුළං වදින්න, මිදුලේ හක්කොලන් කොර කොර ඉන්නේ, ඇයි බෑණෝ ඇහුවේ’

‘මාමේ, මාමා ඇඳුම් ඇඳගෙනද ඉන්නේ?’

‘ඇයි යකෝ තෝ හිතුවද මම ප්‍රාග් ඓතිහාසික මානවයෙක් කියලා ඇඳුම් නැතුව ඉන්න?’

‘මාමගේ ගෙදර ගස්ලබු තියනවැයි?’

‘තොට මොකටද බොල අපේ ගෙදර ලබ්බවල්? මට තිබුනම මදිද?’

‘හරි හරි, මාමේ මං මේ කතාකොරන්නේ ගෑස් ලෑබ්ස්’

‘මක්කිව්වා?’

‘ගෑස් ලෑබ්ස්, ගෑස් ලෑබ්ස්, අර පැපොල් අඩවිය ලියන්නේ……’

‘හප්පද බොල, එහෙනං උඹද මේ? දැන් මොකෑ වෙලා තියන සංගෙදිය? බොට කවුරුහරි තර්ජනයක් කොලාද, අර වතුර පල්විස් ට බීන් මහත්තයා තර්ජොනය කොලා වගේ?’ ‘වහාම කියපං ත්‍රිවිධ හමුදාව සහ අමතරව කළු ඩිෆෙන්ඩර් එකකුත් එවන්නං. එව්වා කොහෙද අපිත් එක්ක, හුහ්, අපෙ එකෙකුට පාට් දාන්න ඔය ප්‍රේමචන්ද්‍රලා හිතුවා (තුයන්න තුයන්න) මදි.’

‘නෑ නෑ මාමේ, මාත් මේ හේනක් කුඹුරක් කොටාගෙන, පැල් ගැහෙන්නයි යන්නේ’

‘ඉතිං පැල් බැරිනං ගල් ගැහියංකො මට මොකෑ?’

‘නෑ නෑ මාමේ මං මේ කම්පනා කොලේ, ඔය වගේ වෙලාවක මාමත් ළඟ හිටියානං මට ලොකු හයියක්නේ. හදිස්සියක්, අසක්කුවක්, මරාලයක් උනොත්, මට පිටපොට ගහගෙන මාමගේ කරටවත් ගොඩවෙලා, බේරෙන්න පුළුවන්නේ. අනේ මාමේ, ඒ හින්දා බෑ නොකියා වරෙන්කො මගේ තාන්තුවාවට’

ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. මක්කොරන්ටද, මං හා කිව්වා. අම්මපා තැපැල් කන්තෝරුව තියෙන්නේ මුගේ ගෙදරද කොහෙද, ඊට පහුවදාම ආවේ නැතැයි සුට්ටන් කාඩ් එකක්. මේ තියෙන්නේ. මේ කටන්තරේ පටන්ගන්න තැන තියෙන්නේ, මේ කාඩ් එකේ පිට පැත්තේ පින්තූරේ.

හා……දැන් ඉතිං දතකට මැදගෙන පිටපොට ගහහෙන ලැහැත්ති වෙයන්කෝ මේ මගුලේ යන්ට. හෑ………’සැලියුට්’ උස්සව සාලාව? ඒ මොකද්ද බොල ඒ? එතෙන්ට යන්ඩ ඕනේ සැලියුට් ගහගෙනද? එහෙනං මගේ පරණ ගොමස්කඩ යුනිපොං එව්වා හඩු ගඳ යන්න අපුල්ලලා මැදලා ඇන්න තමා යන්ඩ වෙන්නේ. හා……..මේක මේ හමුදා මගුලක් නෙවෙයිනේ. ඒ නිසා ඔන්න ඔහේ තියන ඇඳුමක් ඇඳගෙන යන්ඩ හිතාගත්තා.

කවුද දන්නෑ වෙන එන්නේ. බලනකොට කැමරාවා තමයි මේ මගුලේ අදියක්ස ජනරාල්.

ගෑස් ලෑබ්ස් සහ කැමරාවා එක පන්තියේ ඉගෙනගත්ත අතීසාර මිත්තරයෝ. ඒ නිසා කැමරාවා හිතලා තියනවා, තමන්ගේ පන්ති මිත්තරයාව අමාරුවේ දාන්න. ඌ තමයි ලබුතුමාව අන්දලා තියෙන්නේ කසාදයක් බඳිමු කියලා. ලබුතුමාගේ පප්පා, කැමරාවාගේ පන්ති භාර ගුරුතුමා. දවසක් ඒ ගුරුතුමා, කැමරාවාගේ විශිෂ්ට හැසිරීම් අගය කරමින්, කැමරාවා කණ ආදරෙන් අතගාලා, පන්තියෙන් එළියට දාලා තියනවා. අන්න ඒ හින්දා, ඒකට දෙන ප්‍රති ප්‍රහාරයක් හැටියට තමා, ගුරුවරයාගේ පුතාට මේ මගුල සැට් කොරලා දීලා තියෙන්නේ. පේනවා නේද, හිමිජ්ජා වගේ හිටියට කැමරාවා කොච්චර භයානෙක ද කියලා.

කැමරාවාගේ උපදෙස් පරිදි, ගෑස් ලෑබ්ස් විසින් බොගාලා දෙතුන්සීයකට විතර ආරාධනා කොරලා තිබුණා. නමුත්, එදාට බැංකුව අතුපතු ගාන්ඩ තියනවා කියලා මධුවා එන්ඩ බෑ කිව්වා, අලුතෙන් හදන ගොඩනැගිල්ලක අත්තිවාරමේ වේයෝ මර්දනය කොරන්ඩ තියනවා කියලා, ගොඩනැගිලි උයන තුමා බෑ කිව්වා, දවස් පහක සති අන්තයක් සැට් කොරගෙන අවලමේ යන්ඩ තියනවා කියලා, ඉවානයා බෑ කිව්වා. මාතලනී අනුමත කොලේ නෑ කියලා මාතලනා බෑ කිව්වා. ඔන්න අන්තිමට අපි අපි කීප දෙනෙක් කොහොම හරි ආවා. මම හිතන්නේ වැඩිම දුර ඉඳලා ආවේ මම. (කි.මී.1.5 යි)

අටමා හිතුවේ, මේ මගුල තියෙන්නේ, දකුණු අප්‍රිකාව දිහාවේ කියලා. මූට මම කිව්වා, කෝච්චියෙන් ඇවිත් බැහැපිය පොතුහැර ඉට්ටේසමෙන්, මං තෝව ඇන්න යන්ඩ එන්නං කියලා. මේකා අහනවා, පොතුහැර තියෙන්නේ අනුරාදපුරේට මෙහා නේද, මොකෑ එච්චර දුර යන්නේ කියලා. අම්මපා මේකා කෝච්චි ඉට්ටේසමක් කියලා දන්නේ, රාගම විතරයි මගෙහිතේ. ඔන්න ඉතින් කොහොම කොහොම හරි අපි ටිකදෙනෙක් එකතුවුනා කියමුකෝ. මගුල් ගෙදර වැඩ යන්ඩ ඇරලා අපි ටිකක් එළිමහනේ ඉඳගෙන, හිටියා. අටමා කියනවා මට නිකං ඔරෙන්ජම් බාර්ලි සුවඳක් එනවා කියලා. බලනකොට ඊට මීටර් 500 ක් විතර එහා විවුර්ත කරපු බාර්ලි බෝතලේක සුවඳ මූට දැනිලා තියෙන්නේ. කොහොමද මුගේ ඉව? ඔන්න ඉතින් අපි ඔරෙන්ජම් බාරලි වල රස බැලුවා. ඒ බාරලි බෝතලේ අර, නොම්මර 69 ද මොකක්ද.


කැමරාවා කිව්වා තව ටිකකින් තොපේ මූණු රබර් මූණු වෙන්ඩ කලින් දැම්මම ජෝඩුවත් එක්ක පොටෝ එකක් කෙලපල්ලා කියලා. ඔය තියෙන්නේ ඒක. අම්මපා ඊට පැය දෙකකට විතර පස්සේ ඔය පොටෝ එක ගන්ඩ ගියානම්, මූණු වලට ජැක් ගහන්ඩ වෙනවා, කෙලින් තියාගැනීම සඳහා.

මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ මෙන්න මෙහෙමයි. වමේ සිට දකුණට, ලේ බොන්නා, අහසෙන් පාත්වෙන්නා, කැමරාවා, ගෑස් ලෑබ්ස්, ලබ්බේ අනික් පළුව, මනෝ ගහගෙන ඉන්න එකා, අට්ට තටං, ගරු මම තුමා.

මගුල් ගෙදර තිබුණු තරු පහේ කෑම බීම ගැන ලියන්න ඉතිං, වෙනම ලිපි දෙකක් විතර ලියන්න වෙනවා. ඒතරම් ඉස්තරම් විදිහට, සියල්ල සංවිධානය කර තිබුණා. මගුල් ගෙදර ඉවරවෙලා මේ බොගාලා සැට් එක පටවාගෙන ගිහිං, පොතුහැර ඉට්ටේසමේ හලලා ආවා, කෝච්චියෙන් බැරිනං ඩක්කුවක හරි නැගලා ගෙදර පලයව් කියලා. අද වෙනතුරු උන්ගෙන් ආරංචියක් නැහැ.

අකලංක – ජීවනී
ඔබ දෙපළට සුබ අනාගතයක්!

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල