කෙටි කථා

වැරැද්ද? (කෙටිකතාව)

Off

“දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න.”
ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට විහිදෙන අමුතු දිලිසුමකි.
“ඔක්කොමත් හරි. මට අමාරුම කාර් එක පිටිපස්සට පදවන එක.” ටාෂි තඹ පැහැ කෙස්ස දෙපසට පද්දමින් යටිතොල පිට පෙරළන්නීය. “සමාන්තරව ඉරි පැහැදිලිව ඇඳ තියෙද්දිත් මග වරද්දාගන්න එක මෝඩයි නේද?”
“මම හිතන්නේ මට ඔයාට ඒ ගැන උගන්වන්න පුළුවන් වේවි.” අනුප් වහවහා පරිගණක තිරය හරහා දෙනෙත් ඉහළ පහළ දුවවමින් කීය.

“බොහෝවිට අද හවස?”
* * * * *
ක්‍රිස්තු වර්ෂ දෙදහස් එකේදී නෙදර්ලන්තය විවාහ නීතිය හරහා තැබූ ඉදිරි පියවර ඔස්සේ වසර කිහිපයක ඇවෑමෙන් බෙල්ජියම, ප්‍රංශය මතු නොව එංගලන්තයද පසු ගමන් යන්නට වූයේ සමාජ විප්ලවයක පුරෝගාමීන් ලෙස ඔල්වරසන් හඬ මැදිනි. බර වාහන රියැදුරුවරියන්, නාවුක ඉංජිනේරුවරියන් සහ ඉදිකිරීම් ශිල්පිනියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම ඉහළ යන්නට වූ අතර ඊට සමගාමීව රූපලාවන්‍යාගාරවල, සූපවේදී පුහුණු පාසැල්වල, පෙහෙකම්හල්වල පුරුෂ නියෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට විය.
සියල්ලෝම අළුත් තත්වය ගැන වඩාත් තුටුපහටු වන්නට වූයේ, ලිංගිකත්වය මත පදනම්ව වැටුප් විෂමතා හඳුන්වාදුන් ආයතන ප්‍රධානීන් තවදුරටත් එහි නොවූ බැවිනි. ගැහැණු වඩවඩා කාර්යබහුල වූ අතර, කාන්තාමූලික ගෘහයන්හි පිරිමි, ස්වකැමැත්තෙන්ම බිම අමදින්නටත්, නැපි මාරු කරන්නටත්, අහර පිසින්නටත් රැකියාව අතහැර දමන්නට තීරණය කර තිබිණි.
අනතුර පැන නැංගේ ඉනුත් පසුවය.
අධිකතර වෙහෙස හේතුවෙන් බොහෝ ගැහැණු මානසික ආතතියට සහ විෂාදයට ලක්වීම එක්වරම එහි දක්නට ලැබිණි. මානසික වියවුල් අතර අතරමං වූ බොහෝ පුරුෂයන් අධිමාත්‍රාවලින් නිදිපෙති පානය කරන්නට යෙදුණු අතර ළදරුවා තුරුළු කරගත් වනම බැල්කනියෙන් පහළට පිනූ පියවරු ගැන දිනපතාම පුවත් පලවෙන්නට විය.
ඒ ඉතිහාසයයි. පෙළ පොත්වලින් මකා දමන්නට යෙදුණු ඉතිහාසයයි.
* * * * *
“මම හිතන්නේ මම ඒක හොඳින් කළා.” උළැඟිතා පරීක්ෂණය අවසානයේ ටාෂි හිස දෙපසට වනමින් පවසන අතර, වැඩිපුර කිරම හැන්දක් සිය අතුරුපස දීසියට වත්කර ගත්තාය.
අනුප් සිතිවිල්ලෙනි. ඈ නිසැකවම උසස් විදුහලේ ගැහැණු අංශයට තෝරා ගැනෙනු ඇත. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මයෙන් පසු විද්‍යාලයෙන් පිටවූ පාර්වතී නෑනා ඔහුට සිහිවිය. එය හරියටම දළඹු කෝෂයක් ඉරාගෙන අලංකාර සමනලයෙක් පහළ වෙන්නා වගෙයි. තමන් පිරිමි අංශයට සුදුසුකම් ලබන බව ඔහුට සහතිකය. ඇරත්, සිතියම් කියවීමට පාසලෙන්ම දක්ෂයා තමා නොවැ!
* * * * *

දෙමාපියන් වෙන්නට කැමැති පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇණවුම් මත ජාන තාක්ෂණයෙන් කළල නිපදවීමේ අභියෝගය ජයගෙන සියවසක් සපිරෙමින් තිබුණි. දෙමාපියන් සතු ප්‍රබල ලක්ෂණ පමණක් ඉස්මතු වන පරිද්දෙන්ද, අහිතකර නිලීන ජාන ඉවත්කිරීමෙන්ද, ලිංග භේදයෙන් තොරවද නිර්මාණය වූ එම කලලවලට ලැබුණේ බලාපොරොත්තු වූවාටත් වඩා අධික ඉල්ලුමකි.
සන්නිවේදනය, අවකාශ භාවිතය, දෘෂ්ටිය, තර්කණය සහ විශ්ලේෂණ ප්‍රවීණතාවය යනාදී විෂය පථයන් තිස් අටක් ආවරණය කෙරෙන පාසැල් අධ්‍යාපනයෙන් පසු අවුරුදු දහ හතර සපුරන ළමෝ තරඟ විභාගයට වාඩි වෙති. එහිදී එක් එක් විෂයයන්ට දක්වන ප්‍රවීණතාවය සංකීර්ණ ඇල්ගොරිතම කිහිපයක් අනුසාරයෙන් විශ්ලේෂණය කරන ලදුව, උසස් විද්‍යාලයේ ගැහැණු සහ පිරිමි අංශ වෙත සිසුහු යොමු කෙරෙති. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය සියලුම පුරවැසියන් සතු සමාජ වගකීමක් ලෙසින් හඳුන්වනු ලබන අතර උසස් විද්‍යාලයේ අධ්‍යයන සමාසිකයන් හයෙන් පහක්ම වෙන්වූයේ තමා විසින් උපයාගත් ලිංගිකත්වය හා බැඳුණු වගකීම් අවධාරණය කිරීම වෙනුවෙනි.

* * * * *
“පිරිමියාගේ ජෛවීය විද්‍යාත්මක කාර්යභාරය”

ප්‍රක්ෂේපණ තිරය මත විසල් නිල් අකුරෙන් ලියැවී තිබුණි. දේශන ශාලාව තුළින් සිහින් ඩ්‍රම් වාදනයක් අතරින් පතර නැගුණ අතර ආචාර්යවරයාගේ නොරිස්සුම් බැල්ම හමුවේ එය තත්පර කිහිපයකට යටපත්වන්නට යෙදුණි. අනුප් සිය නිදිමත බේරෙන දෙනෙත ඩෙස් පේළි අතර එහා මෙහා ඇවිද්දවන්නට වූයේ හඬ නොනැගෙන සේ ඈනුමක් යවමිනි.
ටාෂි ඉදිරිපස ඩෙස් පේළියේ වාඩිගෙනය.
ඉතා උනන්දුවෙන් සිය දෙනෙත තිරය මත අලවාගෙනය.
ආචාර්යවරයාගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා සිය රෙකෝඩරය තුළට උරා ගනිමින්…
අහා!
ඔහු තවදුරටත් ටාෂි නොවේ,
ටෙරන්ස් ය.
අඩක් විවර වූ දොරෙන් හමා ආ සුළං රැල්ලක් ටෙරන්ස්ගේ තඹ පැහැති කෙටි කෙස්ස අවුල් කරන්නට විය. අනුප්ගේ දෙඇස තුළ සටහන් වූයේ සුපුරුදු දිලිසීමයි. මනා සේ සැලසුම් කරන ලද දෙසුම, ඔහුගේ සවන් තුළට නොබැසම, හිස දෙපසින් ගලා යන්නට විය. ටෙරන්ස් මද තිගැස්මක් සහිතව හැරී බලන්නේ, සිය පිරුණු දෙකම්මුල් රත්පැහැයට හැරෙත්ම එක් ඇසක් පියා ඉඟිකර ඉවත හැරුණේය.

* * * * *
මානව පරිණාමයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ඒ ආශ්චර්යවත් විද්‍යාත්මක සොයාගැනීමට වසර සියයක් සපිරීම නිමිතිකොට ගෙන ‘Project-XY’හි විද්‍යාඥයන්ගේ වාර්ෂික මහා සමුළුව උත්සවශ්‍රියෙන් බැබළෙමින් තිබිණි. “ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්!” සියල්ලෝ තම තමන්ගේ බීම වීදුරු ඉහළ නගා සව්දිය පිරූහ.
උසස් විදුහලේ පිරිමි අංශයේ පාළු විද්‍යාගාරයක් පිටුපස අනුප් සහ ටෙරන්ස් අතොරක් නැතිව සිපගනිමින් උන්හ!

 

යශෝධා  සම්මානි ප්‍රේමරත්න

http://bassigenawathana.blogspot.co.uk/2016/02/blog-post_8.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල