නව ව්‍යවස්ථාව, විශේෂ

දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය

1

‍රටේ ප්‍රමාණය, වාර්ගික වැදගත්කම, හා නව ලෝක හා විද්‍යාත්මක ප්‍රවණතා සැලකිල්ලට ගෙන, අනිසි ලෙස බලය එක පුදගලයකු හෝ ව්‍යුවහයකට පමණක් සංකේන්ද්‍රණය වීම අවම කරන, පුද්ගලයා මත නොව පද්ධති මත රඳා පවතින, අභිමතය අවම කරන, පුරවැසියා ශකත්මත් කරන, පරිසරය අත්‍යන්තයෙන්ම ආරක්ෂා කරන, වංචා දූෂනයන් කිරීමට ඇති ඉඩ අවම කරන හා ඉබේම අධෛර්යමත් කරන, නීතිය මෙන්ම සාධාරණත්වය ඉස්මතු වන නව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් උදෙසා, හා දැනට පවතින වාර්ගික ස්වභාවයේ ගැටළුවලටද විසදුමක් ලෙස, ශ්‍රී ලංකාව තුළ සිදු කළ යුතු යැයි මා අපේක්ෂා කරන පුළුල් සමාජ-දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් මින් ඉදිරිපත් කෙරේ.
පුරවැසියා, පුරවැසි හිමිකම් හා වගකීම්
1. ශ්‍රී ලංකාව තුළ (මෙම නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලබන මොහොත වන විට) පුරවැසිබව ලැබූ අය ශ්‍රී ලාංකික පුරවැසියන් (citizen) ලෙස සැලකිය යුතුය. රාජ්‍යයේ පරමාධිපත්‍යය (sovereignty) පුරවැසියා සතු විය යුතු අතර එය අන්සතු කළ නොහැකිය (inalienable).
a. තවද, මව හෝ පියා දැනටමත් පුරවැසියකු නම්, ලොව කොහේ ඉපදුනත් ඔවුන්ගේ ළමුන්ද ස්වාභාවිකවම පුරවැසියන් ලෙස සැලකිය යුත්තේය. (citizenship by birth)
b. තවද, පුරවැසියකු විසින් පුරවැසියකු නොවන කෙනෙකු විවාහ කරගත් විට, එම විවාහය එතැන් සිට ඉදිරි වසර 15ක් ඉදිරියට පැවතියේ නම් හා එම වසර 15 තුළදී අවම වශයෙන් වසර දහයක් ඔවුන් ශ්‍රී ලංකාව තුළ ස්ථිරව වාසය කළේ නම්, එම අයටද පුරවැසිභාවය ලබාගත හැකිය. තවද, ඒ තැනැත්තා පුරවැසියකු නොවන කාලය තුළ එම විවාහය නිසාම එම තැනැත්තාව ස්ථිර නේවාසිකයකු (permanent resident -PR) ලෙස සැලකිය යුතුය. (citizenship by marriage)
c. තවද, අධ්‍යාපන, විද්‍යා හෝ එවැනි ‍ක්ෂේත්‍රයක ලෝක ප්‍රකට විශිෂ්ඨයකුට “සම්මානනීය පුරවැසි” (honorary citizenship) බව පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් පසු ජනාධිපති විසින් ප්‍රදානය කළ හැක්කේය. (honorary citizenship)
2. පුරවැසි කම් කිසිදු නීත්‍යානුකූල ක්‍රමයකින් අහෝසි කළ නොහැකි අතර, සම්මානනීය පුරවැසියන් නොවන අනෙක් සියලු පුරවැසියන්ට තම පුරවැසිකම් අතහැරීමද කළ නොහැකිය.
3. මැතිවරණයකදී, ඡන්දය ප්‍රකාශ කිරීම සෑම පුරවැසියකුගේ වගකීම විය යුතු අතර, සාධාරණ හේතුවක් නොමැතිව ඉන් වැළැකී සිටි විට, ඔවුනට දඩුවම් කිරීම හා/හෝ වරප්‍රසාද අඩු කිරීම කළ යුතුය.
පරිසරය හා භූමිය
4. මුළු භූමියම කොටස් දෙකකට බෙදිය යුතුය.
a. මිනිස් වාසයට හා වානිජ ක්‍රියාකාරකම්වලට උචිත හා අවසරලත් භූමි. (“ජනාවාස භූමි” (habitable lands) ලෙස මින් ඉදිරියට මෙම භූමි හඳුන්වමු.)
b. මිනිස් වාසයට හා වානිජ ක්‍රියාකාරකම්වලට උනුචිත හා තහනම් කළ වනාන්තර, අභය භූමි, සංරක්ෂිත ආදී ව‍ශයෙන් විවිධ සංවේදී කාරණා මත සංරක්ෂණය කළ යුතු භූමි. (“සංරක්ෂිත භූමි” (protected lands)ලෙස මින් ඉදිරියට මේවා හඳුන්වමු.)
5. සංරක්ෂිත භූමි සංරක්ෂණය හා පුනර්ජනනය (protection and regeneration) කඩිනමින් විද්වත් තීරණ මත නිර්දේශපාලනිකව කළ යුතුය.
a. විද්‍යාත්මක සාධක පදනම් කරගෙන විවිධ නිශ්චිත හේතු මත සංරක්ෂණය කළ යුතු දැනට පවතින හා අලුතින් හඳුනාගත යුතු සංරක්ෂිත භූමි සියල්ල නම් කර ප්‍රකාශ කළ යුතුය.
b. මෙම භූමි හැකි පමණ “එක යායට” අඛණ්ඩව (contiguous) පවතින ආකාරයට (විශේෂයෙන් කැලෑ) නව මායිම් සෑදිය යුතුය.
c. ඉහත ලකුණු කළ සංරක්ෂිත කළාප වටේට “ආරක්ෂිත කළාප” (buffer zone) ඇති කළ යුතුය. එක් එක් ආරක්ෂිත කළාප පටියේ පළල ඉන් වට කෙරෙන හෙවත් ආරක්ෂා කෙරෙන සංරක්ෂිත භූමියේ ස්වභාවය, වැදගත්කම හා ප්‍රමාණය මත විද්‍යාත්මක පදනමක් මත තීරණය කළ යුතුය.තවද, මෙතෙක් කලක්, මිනිසුන් සංරක්ෂිත භූමි ප්‍රයෝජනයට ගත්තේ කුමන කාර්යන් සඳහාද (උපයෝගිතාව – utility) යන්න ගැන සොයා බලා, එම අවශ්‍යතා මෙම ආරක්ෂිත කළාප මගින් එම මිනිසුන්ට ලබාගත හැකි පරිදි මෙම ආරක්ෂිත කළාප බිහි කළ යුතුය.
d. ඉහත සංරක්ෂිත භූමි හා ආරක්ෂිත භූමි මායිම් ඉතා නිවැරදිවම GPS තාක්ෂණය ඔස්සේ මැනගත යුතු අතර, එම දත්ත අන්තර්ක්‍රියාකාරි (interactive) ඉලෙක්ට්‍රෝනික දත්ත පද්ධතියක් ලෙස (GIS) පවත්වාගෙන යා යුතුය. (පිටුව 26හි විස්තර කෙරෙන ‍ස්වාධීන මැතිවරණ හා භූමි නිර්ණය කොමිසම් සභාව විසින් මෙම පද්ධතිය පවත්වාගෙන යා යුතුය.)
e. LIDAR (Light Detection and Ranging) තාක්ෂණය (හා වෙනත් විද්‍යාත්මක ක්‍රම) මගින් ඉහත සංරක්ෂිත හා ආරක්ෂිත කළාප ආවර්තිකව හා අඛණ්ඩව (periodically and continuously) හෝ තදර්ථව (ad hoc) නිරීක්ෂණය හා සටහන් කළ යුතු අතර එම තොරතුරු ගබඩා කර ඒ මගින් එළඹෙන නිරීක්ෂණ (කැලෑ කැපීම් හඳුනාගැනීම් ආදිය ගැන) මත අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුය.
f. සංරක්ෂිත කළාප මධ්‍යම රජය හා පළාත් සභාව යන මට්ටම් දෙකෙහිම සමගාමි (concurrent) අධීක්ෂණයටද, ආරක්ෂීත කළාප පළාත් සභාව හා ප්‍රාදේශික සභාව යන මට්ටම් දෙකෙහිම සමගාමි අධීක්ෂණයටද ලක් විය යුතුය.
ජනාවාස භූමිය හා ව්‍යුහය
6. ජනාවාස, සංරක්ෂිත, හා ආරක්ෂිත ආදී සියල්ලම අයත්වන සමස්ථ භූමියම පළාත් (province) පහකට බෙදිය යුතුය. එම පළාත් පහ නම් (දළ වශයෙන් යම් පළාතකට අයත් ප්‍රදේශ වරහන් තුළ දක්වා ඇත): උතුරු(දැනට පවතින උතුරු පළාතම), බස්නාහිර (දැනට ඇති බස්නාහිර පළාත හා වයඹ පළාත), දකුණු (දැනට ඇති දකුණු පළාත හා සපරගමු පළාත), නැගෙනහිර (දැනට ඇති නැගෙනහිර පළාත හා ඌව පළාත), හා මධ්‍යමපළාත (දැනට ඇති මධ්‍යම පළාත හා උතුරු මැද පළාත).
7. එක් එක් පළාතක් තුළ පවතින ජනාවාස හා ආරක්ෂිත භූමිය පමණක් ඊට කුඩා “ප්‍රාදේශික” (local) නමින් හැඳින්විය යුතු ප්‍රදේශ ගණනාවකට බෙදිය යුතුය. ‍පළාත් සියල්ලේම ඇති ප්‍රාදේශික ගණන 80ක් පමණ විය යුතුය. ප්‍රදේශිකයකට සංරක්ෂිත භූමි ඇතුලත් නොවිය යුතුය. (දළ වශයෙන් එක් පළාතකට මේ නයින් ප්‍රාදේශික 16ක් පමණ අයත් වේ.)
8. එක් එක් ප්‍රාදේශිකයක් තුළ පවතින ජනාවාස භූමි පමණක් ඊටත් කුඩා “කොට්ඨාශ” (division) නමින් හැඳින්විය යුතු ප්‍රදේශ ගණනාවකට බෙදිය යුතුය. කොට්ඨාශයක භූමි ප්‍රමාණය හා එනයින් එම මායිම් වසර දහයකට වරක්, ජනසංඛ්‍යාව මත මැතිවරණ හා භූමි නිර්ණය කොමිසම මගින් නිර්ණය කළ යුත්තේය. ඕනෑම ප්‍රාදේශිකයක තිබිය හැකි උපරිම හා අවම කොට්ඨාශ ගණනද නිශ්චය කළ යුතුය.
9. මේ නව භූමි ව්‍යුහය සමග දිස්ත්‍රික්කය අහෝසි වන්නේය. එහෙත්, ගම (village) යන්න ‍දැනට පවතින ආකාරයටම නොනිල බෙදීමක් සාම්ප්‍රදායික භාවිතාවක් ලෙස පවත්වාගෙන යා හැකිය.තවද, ඉහත සියලු භූමි බෙදීම්ද GPS තාක්ෂණය ඔස්සේ නිවැරදිව කළ යුතු අතර, එම දත්ත පෙර සඳහන් කළ පරිදිම GIS පද්ධතියක ආකාරයෙන් මැතිවරණ හා භූමි නිර්ණය කොමිසම විසින් පවත්වාගෙන යා යුතුය.
බලය බෙදීම හා රාජ්‍ය බල ව්‍යුහය
10. රාජ්‍යයේ උපරිම බල ව්‍යුහය “රාජ්‍ය සභාව” (State Assembly -SA) නම් ආයතනයයි. ඊට පහළින්, ස්වාධීන අධිකරණ පද්ධතියද, පාර්ලිමේන්තුවද, ජනාධිපති ධූරයද, ස්වාධීන කොමිසම් සභාද, පළාත් සභාද (Provincial Assembly – PA), “ප්‍රාදේශික සභා” (Local Council – LC) පවතී. ‍මෙම සියලු ආයතන ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත (constitutional) ආයතන විය යුතුය.
ප්‍රාදේශික සභා
11. සෑම ප්‍රාදේශිකයක් සඳහාම එක් ප්‍රාදේශික සභාවක් බැගින් පිහිටු විය යුතුය. පුරවැසියාට සමීපතම දේශපාන ආයතනය මෙය වේ.තවද, දේශපාලන බලතල විමධ්‍යගත (devolution of power) කිරීමේදී පරිධියට බෙදනු ලබන (devolved power) සියලු බලතල මූලිකව පැ‍වරෙන්නේද මෙම ආයතනයටයි.තවද, දැනට පවතින පළාත් පාලන ආයතන සියල්ල (මහා නගර සභා, නගර සභා, හා ප්‍රාදේශිය සභා) මේ සමඟ අහෝසි විය යුතුය.තවද, දැනට පවතින පළාත් පාලන ආයතන වලට වඩා බෙහෙවින් විශාල භූමි ප්‍රමාණයක්ද, ජනතා නියෝජිත මන්ත්‍රී සංඛ්‍යාවක්ද, පුළුල් බලතල ප්‍රමාණයක්ද මීට ලැබේ.
12. ප්‍රාදේශික සභාවලට පහත විධායක බලතල (executive powers) අනන්‍යව (uniquely) ලැබේ.
a. කෘෂිකර්ම, වැවිලි, පශු සම්පත්, සුළු වාරි කටයුතු, වතු, ධීවර
b. අධ්‍යාපන (පාසල්, ධර්ම, කාර්මික, වෘත්තීය), පුස්තකාල සේවා, කෞතුකාගාර
c. ක්‍රීඩා, ‍පොදු විනෝදාස්වාදය
d. සෞඛ්‍යය, පෝෂණය, සනීපාරක්ෂක කටයුතු, දේශීය වෛද්‍ය සේවය, පශු වෛද්‍ය සේවය
e. නිවාස, සුළු යටිතල පහසුකම්, ප්‍රවේශ මාර්ග (B වර්ගයේ සිට පහළට ඇති මාර්ග), ජල ප්‍රවාහණ, ආදායනාගාර හා සුසාන භූමි
f. පරිසර ආරක්ෂණය හා කසල කළමණාකරණය
g. සංස්කෘතික හා ආගමික කටයුතු
h. නීතිමය පුද්ගලභාවයක් නොමැති වානිජ ආයතන, අභ්‍යන්තර වෙළඳ කටයුතු හා වෙළඳපොලවල්
i. ප්‍රජා පොලිස් සේවා, අභ්‍යන්තර නීතිය හා සාමය ආරක්ෂාව
j. ඉඩම් බලතල (මින් ඒ ඒ ප්‍රාදේශික තුළ මධ්‍යම රජයට දැනට අයත් ඉඩම් සඳහා බදු අයකිරීම් හා අයිතිය කියාපෑම් ආදිය කළ නොහැකිය)
k. එම ප්‍රදේශය තුළ උසාවි දඩ ගැසීම්, ඉඩම් හා ගොඩනැගිලි මත අය කරන බදු, මුද්දර බදු ආදිය
l. තම ප්‍රාදේශික තුළ (මධ්‍යම රජයෙන්) කෙරෙන ඕනෑම ආකාරයේ සංවර්ධන කටයුත්තකදී ඒවායේ සැලසුම් සෑදීමේ හා ප්‍රමුඛතා සෑදීමේ බලතල
13. ඉහත අනන්‍ය බලතලවලට අමතරව, මධ්‍යම රජය හා සමගාමිව (concurrent) ක්‍රියාකළ යුතු පහත විධායක බලතලද ඇත.
a. මහා වාරි, ජල කළමණාකරණය
b. ආහාර සුරක්ෂිතතාව, සමුපකාර සේවා
c. විශාල යටිතල පහසුකම්, ප්‍රවාහන සේවා
d. හදිසි ආපදා කළමණාකරණය
e. ළමා හා කාන්තා කටයුතු
f. විශේෂ අවශ්‍යතා ඇති අය (differently-enabled or disabled) පිළිබඳ කටයුතු
g. සමාජ සුභසාධනය
14. මහජන ඡන්දයකදී (පිටුව 15 හි විස්තර කෙරෙන පරිදි) මෙම ආයතනයට නියෝජිතයන් පත් කර ගත යුතු අතර ඔවුන් “ප්‍රාදේශික මන්ත්‍රී” (Local Member – LM) යන නාමයෙන් හැඳින්විය යුතුය.
15. මෙම සභාවේ ප්‍රධානියා “ප්‍රාදේශික (සභා) සභාපති” (Local Chairman) ලෙස හැඳින්විය යුතුය. ඔහු විසින් උපසභාපති කෙනෙකු පත් කර ගත යුතුය. මොවුන් දෙදෙනාම සභාවට තනි තනිවත් සාමූහිකවත් වග කිව යුතුය.තවද, ඕනෑම මොහොතක, සභාපතිට ඔහුගේ උපසභාපතිව ඉවත් කළ හැකිය.
16. සභාවේ සියලු මන්ත්‍රින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තනි සභාවක් ලෙස කටයුතු කළ යුතුය. සියලු මන්ත්‍රින්ට එකම ආකාරයේ වරප්‍රසාද හිමි විය යුතුය.
17. සභාවේ බලතල මූලිකව සභාපති විසින් මෙහෙයවන අතර, සියලුම මන්‍ත්‍රින්ට එම මෙහෙයවීම් අධීක්ෂණය කිරීමට හා වාර්ථා ඉල්ලාගැනීමට අයිතිය තිබිය යුතුය.

මධ්‍යම රජයේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශ පිහිටුවා ඇති ලෙසම, ප්‍රාදේශික සභා විධායක බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශික සභා මට්ටමේ උපදේශක කමිටු (8කට අඩු ගණනක්) (advisory committees) පිහිටුවිය යුතු අතර, එම සෑම කමිටුවකම මූලිකත්වය සභාපති හෝ උපසභාපතිගෙන් කෙනෙකු විය යුතු අතර, සභාවේ තවත් මන්ත්‍රීන් දෙදෙනකු බැගින්ද (හැකි පමණ සියලු මන්ත්‍රීන්ට කමිටුවල සාමාජිකත්වයන් හිමිවන පරිදි) පත් කළ යුතුය. මෙම කමිටුවල අධීක්ෂණය යටතේ සභාපති විසින් ඒ ඒ විෂයන්ට අයත් කටයුතු මෙහෙය විය යුතුය.
18. අත්‍යවශ‍්‍යයෙන්ම සතියකට වරක් සභාව පැවැත්විය යුතුය. සභාපති හෝ ඔහු නොමැති විටක උපසභාපති හෝ ඔවුන් දෙදෙනාම නොසිටි විටක වෙනත් මන්ත්‍රී කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විය යුතුය.තවද, සභාපතිට හෝ බහුතර මන්ත්‍රී ගණනකගේ ලිඛිත කැමැත්තට ඕනෑම අවස්ථාවක සියලු මන්ත්‍රිනට පැය 24 ක පූර්ව නිල දැනුම් දීමකට පසුව සභාවක් කැඳවිය හැකිය.තවද, ගණ පූරණය (quorum) මුළු සභා මන්ත්‍රී ගණනින් 40% ක් විය යුතුය. ගණ පූරණය නොමැති විටක එදිනම හෝ එම සතිය තුළ වෙනත් වෙළාවකට එම සභාවේ මුලසුන විසින් කල් දැමිය යුතු අතර ඒ බැව් මන්ත්‍රීනට එදිනම ‍නිල වශයෙන් දැනුම් දීමට ඔහු බැඳී සිටී.
19. ඉහත ආකාරයට සභා රැස්වීම් තුනක් එක මසක් තුළදී හෝ රැස්වීම් පහක් කාර්තුවකදී (මාස තුනක්) පැවැත්වීමට නොහැකි වූ විට, සභාපති හා උපසභාපති ඉබේම ඉවත් වූවා සේ සැලකිය යුතු අතර, එය ඔවුනට ඉදිරි වසර පහක් යන තුරු නැවත එම තනතුරු දෙකින් ඕනෑම එකකට නැවත පත්වීමට නුසුදුසුකමක් වන්නේය. අලුතින් සභාපති (හා උපසභාපති) පත් කරගත යුතුය.
20. ඉහත 19 වැනි වගන්තිය අනුව අලුතින් පත්වන සභාපති හා උපසභාපතිද ඒ ආකාරයටම සභාව නොපැවැත් වූවිට, සභාව ඉබේම විසුරුවා හැරියා සේ සැලකිය යුත්තේය. (පිටුව 15හි විස්තර කෙරෙන පරිදි) ඉතිරි කාලය සඳහා මන්ත්‍රීන් අලුතින් පත් කර ගැනීමට අතුරු මැතිවරණයක් (by-election) එම ප්‍රාදේශිකය වෙනුවෙන් පැවැත්විය යුතුය.
21. සභාපති විසින් වාර්ෂික අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර, එම අයවැය තුළ පසුගිය වසරේ නියම සවිස්තරාත්මක ආදායම් වියදම් පෙන්වා දීමක්ද, ඉදිරි වසර තුළ කිරීමට යන වැඩපිළිවෙලවල හා ඊට පුරෝකථනය කරන ආදායම් වියදම් පෙන්වා දීමක්ද තිබිය යුතුය. එම අය වැය සරල බහුතරයකින් සම්මත විය යුතුය.තවද, සභාපති කෙනෙකුගේ මංගල අයවැය ප්‍රතික්ෂේප වුවත්, ඊට සභාවේ අවම වශයෙන් මන්ත්‍රින් තුනෙන් එකකගේ අනුමැතිය ඇති විටක, එය සම්මත වූවා සේ සැලකිය යුතුය.තවද, අනෙක් අවස්ථාවලදී, ප්‍රතික්ෂේපිත අයවැය වෙනුවට නව අයවැයක් දින 15ක් තුළ නැවත සභාවට ඉදිරිපත් කළ යුතුය.තවද, දෙවනවරද එම අයවැය ප්‍රතික්ෂේප වූ විට, සභාපති හා උපසභාපති ඉබේම ඉවත්වූවා සේ සැලකිය යුතු අතර, නව සභාපති හා උපසභාපති වරුන් පත් කරගත යුත්තේය. අලුතින් පත්වන අය නව අයවැයක් දින20ක් ඇතුලත ඉදිරිපත් කර සම්මත කර ගත යුතුය.තවද, එම අලුත් සභාපතිටද ඔහුගේ මංගල අයවැයට තුනෙන් එකක අනුමැතියක් ලබා ගත නොහැකි වූ විටක, සභාව ඉබේම විසුරුවා හැරියා සේ සැලකිය යුතු අතර, එය ඉක්මයාමට ඉතිරි කාලය සඳහා අතරු මැතිවරණයක් පවත්වා නව මන්ත්‍රින් පත් කර ගත යුතුය.
22. සියලුම සභා කටයුතු ‍එම ප්‍රාදේශිකයේ පදිංචි පුරවැසියන්ට හා නිල ජනමාධ්‍යයට කිසිදු බාධාවහිරයකින් තොරව විවෘත විය යුතු අතර ඒවා ඕනෑම ජනමාධ්‍යයක් ඔස්සේ විසුරුවා හැරීමටද හැකියාවක් ඇත.
23. මහා අමාත්‍යගේ නිර්දේශ මත ආණ්ඩුකාරවරයාට ප්‍රාදේශික සභාවක බරපතල දූෂණ වංචා හෝ වෙනත් හේතු මත සභාවක් කරගෙන යෑමට නුසුදුසු තත්වයක පවතින විට, එම සභාව විසුරුවා හැර නීති ප්‍රකාරව අතුරු මැතිවරණයක් පැවැත් වීම හෝ අතුරු මැතිවරණ ‍පැවැත්වීමට නොහැකි අවස්ථාවක මහා අමාත්‍යගේ ‍විශේෂ කොමසාරිස්වරුන් යටතේ එම ප්‍රාදේශික සභා පාලනය කිරීමටද බලය ඇත. (ආණ්ඩුකාරවයා හා මහා අමාත්‍ය ගැන විසතර පසුව ඇත.)
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිකය
24. මෙම ප්‍රාදේශිකය ඍජුවම මධ්‍යම රජයේ අධීක්ෂණයට යටත් වේ. පෙර පරිදිම ප්‍රාදේශික මන්ත්‍රීවරුන් පත් කර ගත්තද, එය එම පළාත් පරිපාලනයට ඍජුවම යටත් නොවේ. ශ්‍රී ලංකාවේ අගනුවර (the Captal) වශයෙන් මෙම ප්‍රාදේශිකය නම් කළ යුතු අතර, මධ්‍යම රජයේ ආයතන මූලස්ථාන (ජනපති හා අගමැති කාර්යාල, අමාත්‍යංශ ප්‍රධාන කාර්යාල, ප්‍රධාන අධිකරණ සංකීර්ණය, ස්වාධීන කොමිසම් සභා මූලස්ථාන, වැදගත් රාජ්‍ය ආයතනවල මූලස්ථාන ආදිය) මෙම ප්‍රාදේශිකය තුළ පිහිටු වීමට කටයුතු කළ යුතුය.

වෙනත් ප්‍රාදේශික උදෙසා මහා අමාත්‍යවරයා දැරූ බලතල, මෙම ප්‍රාදේශිකය කෙරෙහි ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්වදේශිය කටයුතු හා පරිපාලන අමාත්‍යවරයා විසිනි.
පළාත් සභා
25. පළාත් සභාවක් යනු පුරවැසියා විසින් ‍ඍජුවම ඡන්දයකින් පත් කරගනු ලබන දේශපාලනික ආයතනයක් නොවේ. එය සැදෙනුයේ එම පළාතට අයත් සියලුම ප්‍රාදේශික සභාවල සභාපතිවරුන්ගෙනි. (මෙහි සභිකයන්ට විශේෂ මන්ත්‍රී නාමයක් ලබා දිය යුතු නැත.)
26. එම සභාව විසින් තම පළාතෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඕනෑම කෙනෙකු “මහා අමාත්‍ය” (Chief Minister – CM) ලෙස පත්කරගත යුතුය.එම මහා අමාත්‍යවරයා පළාත් සභාවේ සාමාන්‍ය ඡන්ද හිමි සාමාජිකයකු සේම ප්‍රධානියා ලෙසද සැලකිය යුතුය. ඉන්පසු එම මහා අමාත්‍යවරයා විසින් ඹහුගේ අභිමතය පරිදි එම පළාත නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු නියෝජ්‍ය මහා අමාත්‍ය ලෙසද නම් කළ යුතුය. මහා අමාත්‍ය හා නියෝජ්‍ය මහා අමාත්‍ය යන දෙදෙනාම සභාවට තනි තනිවත් සාමූහිකවත් වගකිව යුතුය.මහා අමාත්‍යවරයා මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලයට නිළ බලයෙන් පත්විය යුතුය. එමනිසා ඔහුට කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද ලැබේ. නියෝජ්‍ය මහා අමාත්‍යවරයා මධ්‍යම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ මට්ටමේ සැලකිය යුතුය.
27. අවම වශයෙන් මසකට එක් වරක් හෝ මෙම සභාව පැවැත්විය යුතුය.තවද, මහා අමාත්‍යට හෝ ආණ්ඩුකාරවරයාට සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ ලිඛිත කැමැත්තකට අනුව ඕනෑම අවස්ථාවක පැය 48 ක පූර්ව නිල දැනුම් දීමකට පසු සභාවක් කැඳවිය හැකිය.තවද, සභාවේ මුළු මන්ත්‍රී ගණනින් 50%ක සංඛ්‍යාවක් සභාවේ ගණ පූරණය ලෙස සැලකිය යුතුය.තවද, මාස හයක් තුළ සභාව තෙවරක් හෝ ඊට වැඩි ගණනක් පවත්වා නැති විටක, මහා අමාත්‍ය හා නියෝජ්‍ය මහා අමාත්‍ය ඉබේම ඉවත් වූවා සේ සැලකිය යුතු අතර, සභාව විසින් නව අමාත්‍යවරුන් පත් කරගත යුතුය.එම ඉවත්වන දෙපල ඉදිරි වසර පහක කාලයකට නැවත මහා අමාත්‍ය හෝ නියෝජ්‍ය මහා අමාත්‍ය පදවි දැරීමට නුසුදුකමද ඇති කර ගන්නේය.
28. නිසි අවසර නොමැතිව, සභාවට පිට පිට තෙවරක් හෝ වසරක් තුළ පස් වතාවක් සහභාගි නොවන සභාපතිවරයකුගේ සභාපති කම (හා ඔහුගේ උපසභාපතිද) ඉබේම අහෝසි වූවා සේ සැලකිය යුතුය.
29. ඉහත 28 වගන්ති ප්‍රකාරව ඉවත් වූ සභාපති හා උපසභාපති වෙනු‍වට නව යුවලක් එම සභාව විසින් නොපමාව පත් කරගත යුතුය. එම අලුතින් පත් වූ සභාපතිද, පෙර සභාපති සේම සභාවට සහභා‍ගී නොවූයේ නම්, එම සභාපති අයත් ප්‍රාදේශික සභාව ඉබේම විසුරුවා හැරියා සේ සැලකිය යුතු අතර, නව අතරු මැතිවරණයක් පැවැත්විය යුතුය.
30. යම් පළාතක මහා අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය මහා අමාත්‍යවරයා එම සභාවේ සරල බහුතරයක් මගින් ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකිය. මහා අමාත්‍යවරයා ඉවත් කළ විටක ඉබේම නියෝජ්‍ය මහා අමාත්‍ය ධූරයද අහෝසි වේ.තවද, මහා අමාත්‍යට ඕනෑම මොහොතක තම නියෝජ්‍ය අමාත්‍ය ඉවත් කළ හැකිය.
31. මහා අමාත්‍යවරයා “මහා අමාත්‍ය ලේකම්” (Secretary to the Chief Minister) විසින් මෙහෙයවනු ලබන වෙනම කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන යයි. ඔහුට අයත් වගකීම් වනුයේ:
a. තම පළාතට අයත් ප්‍රාදේශික සභාවල යහ පැවැත්ම හා සාමූහිකත්වය පවත්වාගෙන යෑම හා ප්‍රාදේශික සභාවල දූෂණ හා වංචා ගැන විමර්ශනය කිරීම, හා අවශ්‍ය නම් එවැනි සභාවලට විශේෂ කොමසාරිස්වරුන් පත් කර ප්‍රාදේශික සභාවල කටයුතුවලට මැදිහත් වීම
b. පරිධියට බෙදූ බලතල (විමධ්‍යගත බලතල) වෙනුවෙන් ප්‍රාදේශිකවලට වඩා ප්‍රබල නියෝජනයක් හා හඬක් ප්‍රාදේශික වෙනුවෙන් ඇති කිරීම
c. පාර්ලිමේන්තුව තුළ විමධ්‍යගත බලතල සම්බන්ධයෙන් ‍හා ප්‍රාදේශික සභා වෙනුවෙන් නියෝජනයක ලබා දීම
d. පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය විසින් පොදු නීති සෑදීමේදී හා ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියේදී, ඊට සක්‍රියව සහභාගි වීම
e. සමගාමි බලතල සම්බන්ධයෙන් මධ්‍යම රජය සමග කටයුතු කිරීම
f. අතුරු මැතිවරණයක් පැවැත්වීමට බැරි අවස්ථාවක, විසුරුවා හරිනු ලැබූ ප්‍රාදේශික සභා විශේෂ කොමසාරිස්වරුන් ලවා ඊළඟ මැතිවරණය තෙක් පරිපාලනය කිරීම
32. පළාත් සභා රැස්වීම්වලට, එම පළාත නියෝජනය කරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටද සහභාගී වීම හා විවාද කිරීමට හා අදහස් දැක්වීමට අයිතිය ඇත. ඡන්දය ප්‍රකාශ කිරීම හැර ‍අනෙක් සියලු වරප්‍රසාද සෙසු සභාපතින්ට මෙන් සභාව තුළ ඔවුනට හිමි විය යුතුය.
33. පළාතක ආණ්ඩුකාරවරයාටද (Governor) සභා රැස්වීමට සහභාගී වීමට හා අදහස් දැක්වීමට බලය ඇත. ඔහුටද සභාව තුළ අනෙක් සභාපතින්ට හිමි වරප්‍රසාද සියල්ල හිමි අතර ඡන්ද බලය පමණක් නැත.
පාර්ලිමේන්තුව
34. සමස්ථ රටේම පොදු නීති (common law) සාදන තනි ව්‍යවස්ථාදායකය (legislature) පාර්ලිමේන්තුව (Parliament – PT) වන අතර, ඉන් සම්මත කරගනු ලබන නීති ප්‍රකාරව රෙගුලාසි (regulations or secondary laws)සෑදීමේ බලය වෙනත් ආයතන වෙත පැවරීමට හැකිය. අවම වශයෙන් සතියකට වරක් රැස්විය යුතුය.
35. මැතිවරණයකින් මෙයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (Member of Parliament – MP) පත් කෙරේ. මුළු මන්ත්‍රින් ගණන 212කි.
36. ව්‍යවස්ථා සංශෝධන හා නව ව්‍යවස්ථා හඳුන්වාදීම හැර මුළු රටටම ‍බලපාන පොදු නීති මෙම සභාව විසින් සෑදීමට හා සංශෝධන කිරීමට මෙම සභාවට අනන්‍ය බලය ඇත.
37. රටේම මූල්‍ය බලය පවතින්නේද පාර්ලිමේන්තුව සතුවය. ඒකාබද්ධ අරමුදල (Consolidated Fund) පාර්ලිමේන්තුවේ ඍජු අධීක්ෂණය යටතේ පවතී. තවද, එහි ප්‍රධාන විධායක පරිපාලනය මුදල් අමාත්‍යංශය විය යුතු අතර එහි උපායමාර්ගික පරිපාලනය සඳහා අග්‍රාමාත්‍යය, විපක්ෂ නායක, මුදල් අමාත්‍යය, කථානායක, හා මහා අමාත්‍යවරුන් පස් දෙනාගෙන් සැඳුම්ලත් කමිටුවක් විසින් කළ යුතුය. රජයේ සියලු මුදල් හර හෝ බැර කිරීම් අනිවාර්යෙන්ම මෙම අරමුදල හරහා පමණක් විය යුතුය. තවද, රජයේ සියලු මූල්‍ය ගණුදෙනු පිළිගත් බැංකු පද්ධතිය හරහා පමණක් විය යුතුය. (සේවක පඩ් ගෙවීම් ආදිය පවා)
තවද, රටේ ජාතික ප්‍රතිපත්ති (national policies) සෑදීමට බලතලද ඇත්තේ පාර්ලිමේන්තුවටය.රටේ හදිසි නීතිය (emergency law) පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුවේ අවසර ලබාගත යුතුය.තවද, අග්‍රාමාත්‍යය ප්‍රමුඛ අමාත්‍යවරුන්ද පත් කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන් වන නිසා මධ්‍යම රජයේ ප්‍රධාන විධායක බලතලද මේ අනුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක වන බව හැඟිය හැකිය.
38. පාර්ලිමේන්තුවක් පත් වන්නේ අවුරුදු හතරක් සඳහාය. (මේ අනුව පාදේශික සභා හා පළාත් සභා, සහ ජනාධිපති ධූරයද ඉබේම අවුරුදු හතරක කාලයකට පත් කෙරෙන බව මැතිවරණය ගැන ඇති කොටස් කියවීමෙන් පසුව පැහැදිලි වේවි.)
39. පාර්ලිමේන්තුවක් විසුරුවිය හැක්කේ සභාවේ සරල බහුතරයක කැමැත්ත මත කථානායකට පමණකි.
40. පාර්ලිමේන්තු මන්ත්‍රින්ට තමන් පත් වූ පක්ෂයෙන් වෙනත් පක්ෂයකට යෑමේදී මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි‍ වේ.තවද, තම පක්ෂයෙන් සිදු කෙරෙනු සාධාරණ විනය පරීක්ෂණයකට අනුව පක්ෂ සාමාජිකත්වය තහනම් කළ මොහොතකද මන්ත්‍රී ධූරය අහෝසි විය යුතුය. මෙම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම අභියෝගයකට ලක් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ කඩිනම් නඩු විභාගයක් (දින 15ක් ඇතුලත) ලබා ගැනීමේ අයිතියද මෙම මන්ත්‍රීන්ට ඇත.
41. පාර්ලිමේන්තු සැසි සියල්ල පුරවැසියාට හා දේශීය ජන මාධ්‍යවලට කිසිදු බාධාවහිරයකින් තොරව බැලීමට හා ජනමාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට අවසර ලබා දිය යුත්තේය.
42. පාර්ලිමේන්තු (හා වෙනත් ඕනෑම) මන්ත්‍රී කෙනෙකුට මන්ත්‍රී ධූර දැරීම නිසා විශ්‍රාම වැටුප් ලබා නොදිය යුත්තේය. දැනට ලබා දෙන අධික වරප්‍රසාද අඩු කළ යුතුය.
43. නියෝජ්‍ය ජනාධිපති, නියෝජ්‍ය කථානායක, සභානායක, විරුද්ධ පක්ෂ නායක, අග්‍රාමාත්‍යය, කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ හා වෙනත් පරිපාලන ලේකම්වරුන් හා ශ්‍රී ලංකා රජයේ තානාපති හා ‍විදේශ රාජතාන්ත්‍රික නිළධාරින්, රාජ්‍ය ආයතන ප්‍රධානින්, හා මහාධිකරණයට පහළින් (පහළ අධිකරණ) විනිසුරුවන් අපක්ෂපාති කරුණු විමසීමකින් පසු විශ්වාස භංග යෝජනා (no-confidence motion) මගින් සරල බහුතරයකින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත.
44. පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කළ යුතුය. රාජ්‍යයේ සියලු බලතල/විෂයන් ආවරණය වන පරිදි අවශ්‍ය තරම් කාරකා සභා ඇති කළ යුතුය. එම කාරක සභාවල ප්‍රධානිත්වය හැමවිටම විරුද්ධපක්ෂයට ලබා දිය යුතුය. ඕනෑම මට්ටමක රාජ්‍ය නිළධාරියකු අවශ්‍ය නම් කාරක සභාවලට කැඳවිය හැකි අතර, එම කැඳවීම් අධිකරණ නියෝගයකින් කැඳවීමකට සමාන විය යුතුය.
45. පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් අණපනත් යටතේ රෙගුලාසි පැනවීමට බලය පැවරනු ලැබූ ආයතන හා නිළයන් විසින් එසේ රෙගුලාසි පනවන විට, ඊට පෙර එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින්(resolution) අනුමත කරගත යුතුය.
46. පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන විට, එම කෙටුම්පත් (bills) පුරවැසියන්ගේ හා බුද්ධිමතුන්ගේ සංවාදයට ලක් කළ යුතුය. ඒ සඳහා අවම වශයෙන් දින 14ක කාලයක් සඳහා මහජනයා අතර සංවාදය (ජනමාධ්‍ය ඔස්සේ හා විවිධ විද්වත් සභා තුළ) සඳහා විවෘත කළ යුතුය. එවැනි සංවාදයන්ට සංවේදී වීම රජයේ වගකීමකි.

ඉහත පොදු හා විද්වත් මතයන්ද අන්තර්ග්‍රහණය කර එම කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එහිදී අවම වශයෙන් ඒ ගැන මන්ත්‍රීන් අතර වාද විවාද හා සංශෝධන සිදු කිරීමට සතියක කාලයක් විවෘතව තැබිය යුතුය.

ඉහත ආකාරයට මහජන හා විද්වත් මතයන්ට සංවේදී නො‍වී ගෙන එනු ලබන පනත් (පහත වගන්ති 60.k අනුව) ජනාධිපතිගේ නිරීක්ෂණයන් ඉදිරිපත් කර ජනාධිපතිගේ අත්සන නොදී සිටීමට ජනාධිපතිට අභිමතය ඇත.

හදිසියේ නීති සම්මත කරගැනීමේ ක්‍රමය සපුරා තහනම්ය.
47. නව නීති පනත් සෑදීමේදී හැකි පමණ පහත සඳහන් කාරණා ගැන රෙගුලාසි මගින් පමණක් ඒවා නියම කිරීමට හැකි වන අයුරින් ඒවා සෑදිය යුතුය. සියලු රෙගුලාසිද පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුය.
a. දඩ මුදල් (fines) – කාලානුරූපිව මෙම අගයන් නිතර වෙනස් විය යුතුය. අදාල විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම රෙගුලාසි පැනවිය යුතුය. එම දඩ, රෙගුලාසි මගින් සංශෝධනය කරන විට, අවශ්‍යයෙන්ම එම සංශෝධිත අගයන් දැනට තිබෙන වටිනාකමට වඩා අඩු කළ නොහැකිය. සෑම දෙවසරකට සැරයක් පාර්ලිමේන්තුවේ මේ සඳහාම පිහිටුවා ගත් යම් කාරක සභාවක් රැස්ව මෙම දඩ මුදල් සංශෝධනය කළ යුතු ප්‍රමාණයන් නිශ්චය කළ යුතුය.
b. පටිපාටි කරුණු (procedural aspects) – නව තාක්ෂණ හා විධික්‍රම යොදමින් කාර්යක්ෂමව එම කාර්යන් සිදුකිරීමට හැකි වන අයුරින් කාලීනව ඒවා සංශෝධනය කළ යුතුය. අදාල විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම රෙගුලාසි පැනවිය යුතුය. මෙයද ඉහත පාර්ලිමේන්තු කාරක සභාව මගින් දෙවසරකට සැරයක් විමර්ශනය කළ යුතුය.
c. විශේෂයෙන් විමධ්‍යගත විෂයන් සම්බන්ධව ගෙන එනු ලබන නීති පනත්වල යම් යම් වගන්ති ක්‍රියාත්මක විය යුත්තේ හෝ හැක්කේ, ඒ ඒ ප්‍රාදේශිකවලට ඊටම සුවිශේෂි ආකාරවලින් නම්, එවැනි වගන්ති සම්බන්ධයෙන් පවතින කාරණා එම ප්‍රා‍දේශික සභාවලට රෙගුලාසි පැනවීය හැකි පරිදි විය ඉදිරිපත් විය යුතුය.
අග්‍රාමාත්‍යවරයා
, කැබිනට් මණ්ඩලය හා අමාත්‍යවරුන්
48. පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබාගත හැකි තැතැත්තා අග්‍රාමාත්‍යය වශයෙන් ජනාධිපති විසින් පත් කළ යුත්තේය. ඔහු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රින් අතුරින් කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කළ යුතුය. අග්‍රාමාත්‍යය ඇතුළු සියලු අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට සාමූහිකවත් තනි තනිවත් වග කිව යුතුය. අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යයටද වගකිව යුතුය.
49. අග්‍රාමාත්‍යය ප්‍රමුඛ අමාත්‍යවරුන් මධ්‍යගත විධායක බලතල ක්‍රියාත්මක කළ යුතුය. එම අනන්‍ය මධ්‍යගත විධායක බලතල නම්:
a. විදේශ කටයුතු
b. ස්වදේශීය කටයුතු හා රාජ්‍ය පරිපාලන
c. රාජ්‍ය ආරක්ෂාව, බුද්ධි සේවා, හා විශේෂිත පොලිස් කටයුතු (ත්‍රස්ත විමර්ශන, මත්ද්‍රව්‍ය වැටලීම්, පුපුරණ හා විකිරණශීලි ද්‍රව්‍ය විමර්ශන ආදී)
d. නාවික කටයුතු හා සේවා, ගුවන් කටයුතු හා සේවා, සිවිල් ගුවන් සේවා
e. රාජ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම්, රාජ්‍ය මූල්‍ය හා බදු, රේගු කටයුතු
f. මහා මාර්ග (A ශ්‍රේණියේ හා අධිවේගි) හා දුම්රිය සේවා
g. උසස් අධ්‍යාපන හා පර්යේෂණ
h. විදුලි සන්නිවේදන, ජන මාධ්‍ය, හා සංඛ්‍යා ලේඛන හා රාජ්‍ය දත්ත
i. මහා පරිමාණ ආපදා කළමනාකරණය හා හදිසි ආපදා කළමණාකරණ සැලසුම් හා සම්බන්ධීකරණය
j. පුරා විද්‍යා, ජාතික උරුම හා බුද්ධ ශාසන ආරක්ෂාව හා පෝෂණය
k. බල ශක්ති හා ඛනිජ සම්පත්
l. ව්‍යවස්ථාව මුළු රටපුරාම බලාත්මක කිරීම හා මානව හිමිකම් බලාත්මක කිරීමට
m. නීති ප්‍රතිසංස්කරණ
n. සමාජ ආරක්ෂණය
o. කම්කරු කටයුතු හා වෘත්තික සේවා
p. විදේශයන් සමඟ කරන වෙළඳ කටයුතු
50. අනන්‍ය මධ්‍යගත බලතලවලට අමතරව, ඉහත 13 වගන්තියේ සඳහන් සමගාමි බලතලද මොවුන් විසින් ක්‍රියාත්මක කළ යුතුය.
51. අමාත්‍යංශ ගණන මෙන්ම නිශ්චිතව ව්‍යවස්ථාපිත අමාත්‍යංශ ඇති කළ යුතුය. අග්‍රාමාත්‍යය කිසිදු අමාත්‍යංශයක් රඳවා නොගත යුතුය. එක් අමාත්‍යංශයකට එක් කැබිනට් අමාත්‍යවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරුයකු පමණක් පත් කළ යුතුය. එම අමාත්‍යංශ නම්:
a. විදේශ කටයුතු අමාත්‍යංශය (MOF)
b. ස්වදේශිය කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය (MOH)
c. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය (ජාතික පොලිසිය ඇතුළත්ය) (MOD)
d. රාජ්‍ය මූල්‍ය, ප්‍රතිපත්ති, හා සැලසුම් අමාත්‍යංශය (MOP)
e. උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යංශය (MOR)
f. ජනමාධ්‍ය, විදුලි සන්දේශ, රාජ්‍ය තොරතුරු අමාත්‍යංශය (රජයේ හා කැබිනට් මණ්ඩලයේ නිල ප්‍රකාශක විය යුත්තේද මෙම අමාත්‍යංශය දරන අමාත්‍යවරයාය) (MOI)
g. ජාතික උරුමය හා බුද්ධ ශාසන ආරක්ෂක අමාත්‍යංශය (MOB)
h. නාවුක කටයුතු හා ගුවන් කටයුතු අමාත්‍යංශය (MON)
i. මහා මාර්ග, සිවිල් ගුවන් සේවා, දුම්රිය සේවා, හා ප්‍රවාහන අමාත්‍යංශය (MOT)
j. යටිතල පහසුකම් හා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය (රජයට අයත් වෙනත් අමාත්‍යංශ විෂයන් යටතට නොවැටෙන රාජ්‍ය ව්‍යාපාර) (MOB)
k. පරිසර, බල ශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍යංශය (MOE)
l. ආර්ථික කටයුතු, යටිතල පහසුකම්, හා සමුපකාර සේවා අමාත්‍යංශය (MOC)
m. සමාජ ආරක්ෂණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය (MOS)
n. කම්කරු අමාත්‍යංශය (MOL)
52. අග්‍රාමාත්‍යවරයා (PM) සතුව පහත බලතල හා සුවිශේෂතා ඇත.
a. ආරක්ෂක සේනාවල සේනාධිනායකයා (Commander-in-chief) හා ආරක්ෂක මණ්ඩලය (Security Council) මෙහෙය වීම
b. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා
c. ආණ්ඩුවේ ප්‍රධානියා (Head of Government)
d. අභ්‍යවකාශ හා ඒ සම්බන්ධ පර්යේණ කටයුතු
e. මහා පරිමාණ ආපදා, හා ආපදා කළමණාකරණය හා සම්බන්ධීකරණය
අග්‍රාමාත්‍යය ය‍ටතේ පුළුල් බලතල හා පහසුකම් සහිත ආපදා කළමණාකරණ ආයතනයක් (Emergency Rensponse & Management Agency – ERMA) ඇති කළ යුතුය. ප්‍රාදේශක, පළාත් හා ජාතික මට්ටමේ සංවිධාන හා සැලසුම් ඒ ඒ මට්ටමේ දේශපාලන හා අනෙකුත් අධිකාරි සමග සම්බන්ධීකරණයෙන් යුතුව අති කළ යුතුය. ඍජුවම අග්‍රාමාත්‍යවරයාට පමණක් වගකිව යුතුය.

හදිසි ආපදා තත්වයක් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශිත අවස්ථාවක, මෙම ආයතනයේ බලතල ජාතික හා ප්‍රජා පොලිස් ආයතනවල බලතලද, ආරක්ෂක සේවාද (හමුදා) අභිබවා යා යුතුය. පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට වුවද බලතල පැවතිය යුතුය. පොලිස් හා හමුදා සේවාවන් අවශ්‍යතා සඳහා අනුයුක්ත කරගැනීමටද බලය පවතී. රාජ්‍ය නිළධාරින්ට අණදීම්ද කළ හැකිය.

රසායනික, පුපුරණ ද්‍රව්‍ය, න්‍යෂ්ඨික, ජීව රසායනික ආදී හේතුන්ගෙන් ඇති විය හැකි විපත්, දරුණු ස්වාභාවික විපත් (සුනාමි, නාය යෑම්, ගං වතුර, සුළි සුළං, භූමි කම්පා, ආදි) සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් මෙම ආයතනය කටයුතු කළ යුතුය. තවද, නිරෝධායන කටයුතුද (quarantine) මෙමගින් කළ යුතුය.

මේ සඳහා අවශ්‍ය භෞතික සම්පත් (රළු භාවිතාවන්ට සුදුසු රථවාහන, විශාල ට්‍රක් හා ලොරි, හෙලිකොප්ටර් හා ගුවන් යානා, බෝට්ටු, විද්‍යාගාර පහසුකම්, හා වෙනත් පහසුකම්) හා මානව සම්පත් (විශේෂඥයන් හා හමුදා විශේෂ ඒකකවලින් හෝ වෙනම එලෙස පුහුණු කළ මෙහෙයුම් කණ්ඩායම්, සාමාන්‍ය සේවකයන් ආදී) ලබා දිය යුතුය. නව තාක්ෂණය උපරිම ලෙස භාවිතා කළ යුතුය.

තවද, දැනට පවතින කාළගුණ දෙපාර්තමේන්තුව, භූ කම්පන හා පතල් කාර්යංශ, හා වෙනත් ආපදා තත්ව (ගංවතුර ආදී) පෙරකීම් හා අධීක්ෂණය කරන ආයතන සියල්ලම මෙම ආයතනයට අන්තර්ග්‍රහණය කළ යුතුය. ‍එවිට, මෙම ආයතනයේ ව්‍යුහය පහත ආකාරයට වේ.
i. කාලගුණ කටයුතු පර්යේෂණ, පෙරයීම් හා අධීක්ෂණය, හා ජල ගැලීම්, හා සුළි සුළං
ii. භූකම්පන, සුනාමි හා පතල් පර්යේෂණ හා අධීක්ෂණය
iii. න්‍යෂ්ඨික, රසායනික හා පුපුරණ ද්‍රව්‍ය ආපදා කළමණාකරණ
iv. ජීව රසායන ආපදා කළමණාකරණය හා නිරෝධායනය
v. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම්, හා නීති කටයුතු

ඉහත අංශ වෙනුවෙන් එම අංශ ප්‍රධානින් ලෙස අධ්‍යක්ෂකවරයකු බැගින්ද පත් කළ යුතුය. අවශ්‍ය පමණ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කළ යුතුය. මොවුන් එම විෂයන් සම්බන්ධ විශේෂඥයන් විය යුතු අතර පූර්ණකාලීක පත්වීම් ලෙස ඒවා පත් කළ යුතුය.

තවද, ආයතනයේම ප්‍රධානියා ලෙස ක්‍රියාදාමය කටයුතුවලට දක්ෂ අධ්‍යක්ෂක ජනරාල්වරයකු (ආපදා කළමණාකරණය ගැන විශේෂඥ පුහුණුවලත් ආරක්ෂක සේවා (හමුදා) නිළධාරියකු) පූර්ණ කාලීනව පත් කළ යුතුය. පළාත් පහට එවැනිම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයකු බැගින්ද පත් කළ යුතුය. මොවුන් විසින් විශේෂ පුහුණු ලත් මෙහෙයුම් කණ්ඩායම් මෙහෙය විය යුතුය. ඊට අමතරව ආයතයේ වෙනත් පරිපාලන කටයුතුද අධීක්ෂණය කළ යුතුය.

f. රටේ යුධ වාතාවරණයකදී, සියලු අමාත්‍යවරු සතු බලතල තමන් යටතට පත්වීම
g. සමහර ව්‍යවස්ථාපිතව නිශ්චිත කාරණාවලදී ජනාධිපතිට උපදෙස් ලබා දීම
h. පාර්ලිමේන්තු කටයුතු
i. නීති ප්‍රතිසංස්කරණ කටයුතු
j. හදිසි නීති ක්‍රියාත්මක කිරීම (පාර්ලිමේන්තුවේ නිර්දේශයන්ට අනුව)
k. ව්‍යවස්ථාව හා මානව හිමිකම් රටපුරාම බලාත්මක කිරීම
l. විද්‍යුත් රාජ්‍ය ක්‍රියාවලිය රටපුරා ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය
m. ව්‍යවස්ථාවෙන් විමධ්‍යගත හා වෙනත් ආයතන වෙත වෙන් කර නොමැති හා ඉහත අමාත්‍යංශ වෙත නිශ්චිතව පවරා නොමැති විෂය කරුණු
n. අග්‍රාමාත්‍යය ආරක්ෂක සේවාව පවත්වාගෙන යෑම.අග්‍රාමාත්‍යය හා එම සේවාවන්හි ආරක්ෂාව පමණක් නොව, විදෙස් රාජ්‍යය නායකයන් හා තාන්ත්‍රිකයන්ව රට තුළ ආරක්ෂා කිරීමේ වගකීමද පවතී.
53. අග්‍රාමාත්‍යයට පවරා ඇති විෂය කාරණා සඳහා එක් නියෝජ්‍ය අමාත්‍ය කෙනෙකු පත් කළ යුත්තේය.තවද, අග්‍රාමාත්‍යයගේ අභිමතය පරිදි අවශ්‍ය නම් විශේෂ කටයුතු අමාත්‍යවරයකුද (Minister without Portfolio) පත් කළ හැකි අතර ඔහුට අග්‍රාමාත්‍යයට අයත් විෂය කාරණා කිහිපයක් අග්‍රාමාත්‍යයගේ අභිමතය පරිදි පවරා දිය හැකිය. තවද, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව එම අමාත්‍යවරයාට මධ්‍යම රජයේ සිදු කෙරෙමින් පවතින විශේෂිත ව්‍යාපෘති (ad hoc) පවරා දිය හැකිය. මෙම අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයකු වේ.
54. කැබිනට් මණ්ඩලය සාමූහිකත්වයෙන් බැඳී සිටී. කැබිනට් මණ්ඩලයේ කටයුතු රහසිගත නොවිය යුතුය. පළාත් මහා අමාත්‍යවරුන්ද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් විය යුතුය.තවද, මෙමගින් රටටම බලපාන පරදි නීති සාදනු ලබන එකම ස්ථානය පාර්ලිමේන්තුව බැවින්, එහිදී විමධ්‍යගත බලතල සම්බන්ධයෙන් සෑදෙන නීති කැබිනට් අනුමැතිය ලබන විට, යටත් පිරිසෙන් මහා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගේ කැමැත්ත ලැබිය යුතුය.තවද, එසේ සිව් දෙනෙකුගේ කැමැත්ත නොලැබ කැබිනට් මණ්ඩලයෙන් පාරලිමේන්තුවට ගෙන එනු ලබන පණත් හෝ විමධ්‍යගත බලතල සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා වශයෙන් ගෙන එනු ලබන නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුය.තවද, සමගාමි බලතල හා මධ්‍යගත බලතල සම්බන්ධයෙන් එසේ මහා අමාත්‍යවරුන්ගේ අනිවාර්ය අනුමැතියක් අවශ්‍ය නොවේ. එහෙත්, මහා අමාත්‍යවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට උත්සහ කිරීම සුදුසුය.
55. පාර්ලිමේන්තුවේ මුළු සාමාජිකයන් සංඛ්‍යාවෙන්ම සරල බහුතරයක කැමැත්ත මත ඕනෑම අමාත්‍යවරයකු විශ්වාස භංග යෝජනාවක් මගින් ඉවත් කළ හැකිය. එසේ ඉවත් කළ අයකු ඉදිරි වසර පහක් යනතුරු අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර දැරීමට නුසුදුසු වන්නේය.
ජනාධිපති
56. රාජ්‍යයේ ප්‍රධානියා (Head of State) ජනාධිපතිය (President – PR). විධායකයේ නාම මාත්‍රික ප්‍රධානියාද වේ.
57. ඔහුව ජනතාව විසින් ඍජු ඡන්දයකින් පත් නොකෙරෙන අතර, පසුව සවිස්තර කෙරෙන පරිදි, රාජ්‍ය සභාව විසින් පත් කරගත යුතුය. නිර්පාක්ෂික ස්වාධීන පුද්ගලයකු ලෙස ක්‍රියා කළ යුතුය. ඔහුව ඉවත් කළ හැක්කේද රාජ්‍ය සභාව විසින් පමණි.
58. පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව, ඔහු විසින් එක් උපජනාධිපති කෙනෙකුද, සෑම පළාතක් වෙනුවෙන්ම එක් ආණ්ඩුකාරවරයෙකු බැගින්ද පත් කළ යුත්තේය. ජනාධිපතිගේ අභිමතය පරිදි ඔවුන්ව ඉවත් කිරීමේ බලයද ඔහුට ඇත.
59. ජනාධිපති හා උපජනාධිපති අතරින් කෙනෙකු අවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ විය යුතු අතර, අනෙකා අත්‍යවශ්‍යයෙන්ම දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු විය යුතුය.
60. ජනාධිපති සතුව පහත බලතල හා සුවිශේෂිතා ඇත.
a. අග්‍රාමාත්‍යය උපදෙස් මත යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම
b. විදෙස් දූත පිරිස් පිළි ගැනීම හා අග්‍රාමාත්‍යය උපදෙස් පිට විදේශ දූත පිරිස් පත් කිරීම
c. නීතියෙන් වැරදිකරුවන් ලෙස ඔප්පු වූවන්ට ජනාධිපති පොදු සමාව (presidential pardon) ලබාදීම පහත කොන්දේසි මත
i. මරණීය දණ්ඩනය නියම වූවන්ට එම දඩුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා ලිහිල් කිරීම පමණක් කළ හැකිය. ඊට අග්‍රාමාත්‍යය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද අවශ්‍ය කෙරේ.
ii. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ‍අයට එම දඬුවම වසර 25 දක්වා ලිහිල් කිරීම පමණක්. ඊට අග්‍රාමාත්‍යය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද අවශ්‍ය කෙරේ.
iii. වසර 25කට වඩා වැඩි සිර දඬුවම් නියම වූ අයව නිදොස් නොකොට නිදහස් කිරීම හෝ ඊට වඩා අඩු දඬුවම් ලිහිල් කිරීමක් අග්‍රාමාත්‍යයගේ අනුමැතිය සමග කළ හැකිය.
iv. වසර 25කට වඩා අඩු සිර දඬුවම් නියමු වූ අයව නිදොස් කොට හෝ නොකොට නිදහස් කිරීම හෝ ඊට වඩා අඩු දඩුවමක් නියම කිරීම අග්‍රාමාත්‍යයගේද අනුමැතිය සමග කළ හැකිය.
d. අග්‍රාමාත්‍යය උපදෙස් පිට ජාතික හා ජාත්‍යන්තර සමුළුවල අග්‍රාමාත්‍යයව නියෝජනය කිරීම
e. මැතිවරණයක් ප්‍රකාශ කළ මොහොතේ සිට අග්‍රාමාත්‍යය හා අමාත්‍යවරුන්ගේ බලතලද, මහා අමාත්‍යවරුන්ගේ හා ප්‍රාදේශික සභාපතිවරුන්ගේ බලතලද යන සියලු විධායක බලතල, මැතිවරණය නිමවී ඒ ඒ පදවිවලද අළුතින් පත්වන තුරුම ජනාධිපති සතුවන අතර, එම භාරකාර රජයේ (trustee government) ප්‍රධානියා ලෙස ජනාධිපති අපක්ෂපාතීව හා නීතිගරුකව කටයුතු කළ යුතුය.
f. අග්‍රාමාත්‍යය හා/හෝ අමාත්‍යවරුන්ගේ උපදෙස් පිට උසස් රාජ්‍ය නිළධාරින් පත් කිරීම. මෙහිදී, ඒ ඒ නිළධාරින්ගේ සුදුසුකම් පරික්ෂාවද ජනාධිපති කාර්යාලය මගින් ස්වාධීනව කළ යුතු අතර, සුදුසුකම් නැති අය පත් නොකිරීමට ජනාධිපතිට බලය තිබිය යුතුය.
g. ස්වාධීන කොමිසම් සභාවලට රාජ්‍ය සභාවේ උපදෙස් පිට කොමසාරිස්වරුන් පත් කිරීම. මෙහිදීද, ඉහත ආකාරයෙන්ම ජනාධිපති කාර්යාලය විසින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර, නුසුදුසු නම් පත් කිරීම් ප්‍රති‍ක්ෂේප කළ යුතුය.
h. සමස්ථ සංරක්ෂිත භූමිවල භාරකරු වේ.
i. විවිධ පුන්‍ය සමිති හා කලාව, විද්‍යාව ආදි වේදයන් දියුණු කිරීමේ අටියෙන් සාදනු ලබන ආයතනවලට charter මගින් නීතිමය පුද්ගලභාවය පිරි නැමීමේ බලය (දැනට මෙය පාර්ලිමේන්තුව සතුවන අතර, එය ඉන් ඉවත් කර ජනාධිපති යටතට පැවරිය යුතුය.)
j. යම් යම් විශේෂිත සිද්ධි සෙවීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් (Special Presidential Inquiry Commission) පත් කිරීම.තවද, මෙම ජනාධිපති විමර්ශන කොමිසම් අවම වශයෙන් ත්‍රිපුද්ගල කමිටු විය යුතු අතර, ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් එම කමිටු සමන්විත විය යුතුය. අත්‍යවශ්‍යයෙන්ම එම කමිටුවේ ප්‍රධානිත්වය විශ්‍රාමික ඉහළ උසාවි විනිසුරුවරයකු විසින් දැරිය යුතු අතර, තත් කාරණය පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකුද එහි සාමාජිකයකුව සිටිය යුතුය.තවද, එම කොමිසම විසින් ලබා දෙන නිර්දේශ මහාධිකරණයකින් ලබා දෙන නිර්දේශ මෙන්ම බලාත්මක වන අතර, ඊට විරුද්ධව ඊට සම්බන්ධ පාර්ශවයන්ට අභියාචනාධිකරණයට අභියාචනා කිරීමටද හැකියාව ඇත.
k. පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති කෙටුම්පත් (bill) නීතියක් (law) බවට පත්වන්නේ ජනාධිපතිගේ අත්සනත් සමගය. එහිදි ජනාධිපතිට පහත බලතල අවශ්‍ය නම් ක්‍රියාත්මක කළ හැකිය.
i. තම නිරීක්ෂන සමග නැවැත සලකා බලන ලෙස පාර්ලිමේන්තුවට යොමු කිරීම
ii. පාර්ලිමේන්තුව ජනාධිපතිගේ නිරීක්ෂණවලට සාධනීයව සලකා නොබැලුවා යැයි තමන්ට හැ‍ගේ නම්, එම පණත් රාජ්‍ය සභාව විසින් සම්මත කළ යුතු බවට සහතික කර නැවත යොමු කිරීම. (එවිට අග්‍රාමාත්‍යය විසින් රාජ්‍ය සභාව අවශ්‍ය නම් කැඳවා එහිදී සරල බහුතරයකින් එය සම්මත කර ගැනීම. එසේ සම්මත කළ පසු ජනාධිපති අනිවාර්යෙන්ම තම අත්සන යෙදිය යුතුය.)
l. ජනාධිපතිගේ හා එම කාර්ය මණ්ඩලවල, ස්වාධීන කොමිසම් සභාවල හා විරුද්ධ පක්ෂ නායක ඇතුළු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා (‍ජාතික පොලිසියට අනුබද්ධ) ජනාධිපති ආරක්ෂක අංශයට අණ දීම හා පවත්වාගෙන යෑම.
m. රජයේ ඒකීයත්වයට, භෞමික අඛණ්ඩභාවයට, ස්වෛරීත්වයට එරෙහිව ක්‍රියා කරන විට, පළාත් සභා හෝ ප්‍රාදේශික සභා එකක් හෝ ඕනෑම ගණනක් විසුරුවා ආණ්ඩුකාරවරුන් හා විශේෂ කොමසාරිස්වරුන් ලවා පරිපාලනය කිරීම.
n. සම්මානනීය පුරවැසි බව පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ ප්‍රදානය කිරීම.
o. රාජ්‍ය මට්ටමේ ගරු නාම (ජනාධිපති නීතිඥ, දේශමාන්‍ය, කලා ශූරි, ආදී) ප්‍රදානය කිරීම (මෙම ගරු නම්බුවල නියම වටිනාකම රැකීමටද පියවර ගත යුතුය.)
61. ජනාධිපති හා අග්‍රාමාත්‍යය යන දෙදෙනාටම එකවර රටින් බැහැරව සිටීමට නොහැකිය.
රාජ්‍ය සභාව
62. රාජ්‍ය සභාව යනු ඉහළම දේශපාලන අධිකාරිය වේ. මහජනයාගේ ඍජු ඡන්දයකින් මීට නියෝජිතයන් පත් නොවන අතර, නිළ බලයෙන් පමණක් පහත අය පත් විය යුතුය.
a. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
b. සියලුම ප්‍රාදේශික සභාපතිවරුන්
c. හිටපු ජනාධිපතිවරුන් හා හිටපු අග්‍රාමාත්‍යයවරුන් (වයස 70ට අඩු)
d. ජනාධිපති විසින් පත් කරනු ලබන විද්වතුන් දස දෙනෙකු. මහාචාර්යවරුන්, විශ්‍රාමික ඉහළ අධිකරණ විනිසුරුවරුන්, වසර දහයකට වඩා වැඩි කාලයක් ජනාධිපති (රාජ්‍ය) සම්මානලාභින්ව සිටි අය යන පිරිස් අතරින් මේ අය ජනාධිපතිගේ අභිමතය පරිදි තෝරාගත යුතුය.
63. රාජ්‍ය සභාවට පහත දැක්වෙන නිශ්චිත කාරණා ඇත.
a. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙන සංශෝධන, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම
b. ජනාධිපති නිර්දේශයෙන් පාර්ලිමේන්තුවේ පළමු වතාවට සම්මත වූ පොදු නීති නැවත සම්මත කර ගැනීම
c. ජනාධිපති, කථානායක, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ (ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ) විනිසුරුවන්, සියලුම ස්වාධීන කොමිසම් සභා කොමසාරිස්වරුන්, මහා අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශික සභාපතිවරුන්, ප්‍රාදේශික මන්ත්‍රීවරුන්, හා සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව විසින් ඉවත් කළ හැකි සියලු තනතුරුද මෙම සභාවේ සාධාරණ කරුණු විමසීමකින් පසුව සභාවේ මුළු සාමාජික සංඛ්‍යාවෙන්ම සරල බහුතරයක විශ්වාස භංග යෝජනා සම්මතයකින් ඉවත් කළ හැකිය.ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ට එරෙහිව කරුණු සෙවීමේදී, පොදු රාජ්‍ය මණ්ඩලීය රටකින් එම රටවල උපරිම අධිරණයේ විශ්‍රාමික කීර්තිමත් විනිසුරුවකුද එම කමිටුවේ සිටිය යුතුය.
d. පාර්ලිමේන්තුව හා රාජ්‍ය සභාව යන දෙකම සඳහා එක් ස්ථාවර නියෝග (standing orders) මාලාවක් සෑදීම හා සංශෝධනය කිරීමේ බලය
64. රාජ්‍ය සභාවේ ප්‍රධානියාද කථානායක විය යුතු අතර, සභාව අවම වශයෙන් අර්ධවාර්ෂිකව පැවැත්විය යුතුය. ජනාධිපතිට, කථානායකතුමාට, අග්‍රාමාත්‍යයතුමාට, හා යටත් පිරිසෙන් මුළු පාර්ලිමේත්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක කැමැත්ත මත විරුද්ධ පක්ෂ නායකයාගේ නිසි කැඳවීමකින්ද මෙම සභාව කැඳවිය හැකිය.

http://tekcroach.blogspot.co.uk/2015/04/political-reforms_16.html

Related Posts

1 Comment

  1. realbuddhist February 21, 2016 at 4:03 am - 

    59. ජනාධිපති හා උපජනාධිපති අතරින් කෙනෙකු අවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ විය යුතු අතර, අනෙකා අත්‍යවශ්‍යයෙන්ම දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු විය යුතුය
    this should be changed as follows
    59. ජනාධිපති හා උපජනාධිපති අතරින් කෙනෙකු අවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ විය යුතු අතර, අනෙකා අත්‍යවශ්‍යයෙන්ම දෙමළ බස මූලික බස ලෙස භාවිතා කරන්නතකු විය යුතුය

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල