කාලීන සංවාද

කැනඩාවේ ‘මනෝ’ ලකුණ

Off

බටහිර අන්තය- ලක්බිම 2013-11-07

කුඩාවට ආරම්භ වුණු කැනඩාවේ සිංහල ජනගහණයේ ව්‍යාප්තිය දැන් හතළිස් දහස ඉක්මවා සිටින බව කැනේඩියානු ආණ්ඩුවේ ජන සංඛ්‍යා ලේඛන පවසයි. මේ ව්‍යාප්ති කාලය වශයෙන් ගත් කළ හැට වසරද ඉක්මවා ගොසිනි. මේ සිංහල ජනයා අතරින් නොරකට හුරුවීමේ දී ඔවුන් ලද කටුක හා මිහිරි අත්දැකීම් සමුදායක් සොයා ගත හැකිය.

මේ හතළිස් දහසින් අඩකට වැඩි ප‍්‍රමාණයක් කැනේඩියානු සංස්කෘතිය මුළුමනින්ම වැළඳගෙන එයටම අනුගතව වෙසෙති. ඔවුන්ගේ මුල් භාෂාව වන සිංහලය අමතක වෙන්නට ඉඩහැර ඇත. ඔවුන්ගේ පසු පරම්පරා නම් සිංහල දන්නේම නැති තරම්ය.

එහෙත් තව කොටසක් මව් බිම පිළිබඳ මතකයන්ගෙන් ඈත් නොවී සිංහල ගී අසමින්, වීඩියෝ මාර්ගයෙන් සිංහල චිත‍්‍රපට, ටෙලිනාට්‍ය ආදිය බලමින් සිය මව්බිම හා බැඳුනු පෙකෙණි වැල නොසිඳ පවත්වාගෙන යති. එමෙන්ම කලා සංස්කෘතික සංවිධායකයන් විසින් වරින් වර මෙරටට ගෙන්වන සිංහල නාට්‍ය හා සංගීත ප‍්‍රසංග විසින් මව්බිමේ මතකය රඳවා ගැනීමට මෙරට ජීවත්වන්නන්ට ලබා දෙන්නේ අපූරු උපකාරයකි.

සිව්වතාවක්ම මෙරටට පැමිණ නන්විධ කලා ප‍්‍රසංග පවත්වා කැනේඩියානු සිංහල සංස්කෘතික ජන මනස තුළ විශේෂ හැඟීමක් ඇති කළ කලාකරුවෙකි ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහුගේ වරින් වර වූ ආගමනයන් විසින් සිංහල රංග කාර්යයන් කෙරෙහි රොද බැඳගත් පේ‍්‍රක්ෂක ප‍්‍රජාවක් ටොරොන්ටෝව හා ඔහු ආ ගිය නගර තුළ බිහිව ඇතැයි කීම නිවැරැදිය.

අප විසින් සංස්කරණය කොට ප‍්‍රකාශයට පත් කරන යාත‍්‍රා පුවත්පතේ පස්වන සංවත්සරය අරබයා විශේෂ ආරාධිතයා ලෙස ආරාධනා ලැබුවේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. කරුණා රසයෙන් පූරණය වූ එම ප‍්‍රාසාංගික දේශනය ටොරොන්ටෝ රසිකයන්ට කලාව ගැනත් විශේෂයෙන් නාට්‍ය කලාව හා සාහිත්‍ය ගැනත් බලවත් හැඟීමක් ජනිත කිරීමට සමත් විය.. ඊට පෙරාතුව පුත‍්‍ර සමාගම නාට්‍ය සමගත්, අනතුරුව මෙහි ජීවත්වන ප‍්‍රවීන සිනමා රංගන ශිල්පි අජිත් ජිනදාසගේ 50 වන ඡුන්ම දින සැමරුමට සමගාමීව පැවැත් වූ ජවනිකා ප‍්‍රසංගයටත් මනෝරත්නයන් පැමිණියේය. මෑතක දීම එතුමන් කැනඩාවට පැමිණියේ කේ.බී. හේරත්ගේ මායාදේවි දර්ශන වාර කිහිපයක් සඳහාය.

මනෝරත්නයන් යනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කොහක කෝරළයේ දෙහිපේ ගම්මානයේ උපත ලබා ඒ පළාතේම පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉසුරුබර ස්වර්ණමය අවධියේ එහි මැනවින් ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කළ විද්‍යාධරයෙකි. එදා ඔහු උත්පත්තික පරිසරයෙන් ලද ගැමි ජන මනස නිර්මාණ ලෝකයේ දී අති සාර්ථක නිර්මාණ සමූහයක් ඔස්සේ විදාරණය කළ හෙයින් දයානන්ද ගුණවර්ධනගෙන් පසු එතුමන් අනුදත් ජනරංගයේ ඊළඟ තැන සිට ගැනීමට ආචාර්ය මනෝරත්නයන්ට හැකිවිය.

මේ උත්තුංග නිර්මාණවේදියා බටහිර අන්තයට පැමිණ තම ජීවිතයේ අත්දැකීම් සමුදාය හෘදයාංගම බස්වහරකින් එළි දක්වන විට මව් බිම පිළිබඳ සෙනෙහස පිරි මතකය දල්වා ගැනීමට මෙහි සිටින සිංහලයන්ට පහසුවෙන් හැකියාව ලැබේ. මනෝගේ හඬ හා මනෝගේ රංගය යනු ලංකාවේ සමාජයේ ආත්මය දැන හඳුනා ගැනීමට විවර වන මාවතක් බව ඔවුන් විශ්වාස කරයි. මනෝ කැනඩාවට පැමිණ මෙරට ජීවත්වන සිංහල ජනයා සමග ගැවසෙමින් ඔවුන් හා දක්වන කුලූපගකම කලාකරුවන් හා පේ‍්‍රක්ෂකයන් අතර සබඳතාවයන්ගේ නව මානයන් සටහන් කරනවා යයි මම සිතමි.

මනෝරත්නයන් යනු පරිසමාප්තියට පත් කලාකරුවකුය යන්න මගේ අදහසය. සතතාභ්‍යාසය අතිනුත්, නිර්මාණ උල්පත් පිළිසිඳ ගැනීම අතිනුත්, බහුශ‍්‍රැත බව අතිනුත්, ඔහු ඉහළම තලයක සිටී. බොහෝ උදවිය ඔහුට පෙරයුගයේ නළුවන්ට ඔහු සමාන කළත් මනෝ යනු තමන්ගේම වූ අනන්‍ය සාධාරණ ගුණ සහිත දැවැන්ත කලාකරුවෙකි. විශ්වවිද්‍යාලයත් නාට්‍ය රංගනවේදියකුට ආචාර්ය උපාධියත් පිරි නැමීම වනාහි ලංකාව තුළ සිදු නොවූවකි. ඉනුත් විශ්වවිද්‍යාල අතරින් අග‍්‍ර විශ්වවිද්‍යාලය සේ සැලකෙන පේරාදෙණි විශ්වවිද්‍යාලය මගින්ම එය ඉටු කිරීම මනෝරත්නයන්ට කළ උපහාරයක් පමණක් නොව තමන් බිහිකළ අග‍්‍රගන්‍ය ශිෂ්‍ය රත්නයක් උදෙසා බුහුමන් පිරිනැමීමෙන් විශ්වවිද්‍යාලය සතු පීතෘ ගුණයද ප‍්‍රකට කළේය. එමෙන්ම තමන්ගේ රංග කලා ජීවිතයෙන් උකහා ගත් දැනුම ආශ‍්‍රයෙන් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධනය ද මහත් වූ ගවේෂණයක්ද ගැඹුරුතර ඥාන විමංසනයක්ද සහිත සිය රංග කලා අත්දැකීම්වල බුද්ධිමය ඵලයක්ද බව සැලයි. එම නිබන්ධනය පිළිගැනීම මගින් ලංකාවේ ද්විතික ආචාර්ය උපාධිලත් බහුශුතයන් අතළොස්ස ගනයට මනෝද ඇතුළත් වේ.

මේ සියලූ කාරණා සැලකිල්ලට ගනිමින් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ කැනේඩියානු සහෘද සමාජය විසින් එතුමන්ගේ නිර්මාණ සංරක්ෂණය කරමින් එතුමන්ගේ බුද්ධිමය ධාරිතාව සමාජයට බෙදාහැරීම, ඔහුට නිර්මාණ උල්පත් සැපයූ සිය පාසල හා විශ්වවිද්‍යාලය ඇසුරෙන් දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ට උපකාර කිරීම, ජනරංගය තේමා කර ගනිමින් ඒ සඳහා වන විද්වතුන් දිරිගැන්වීම ආදි බොහෝ කාරණා පෙරදැරි කරගෙන ‘ආචාර්ය ජයලත් මනෝරත්න භාරය’ දියත් කිරීමට උත්සාහ දරමින් සිටී. කැනඩාවේ පේරාදෙණි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංගමය ආදි සංවිධානද ඒ සඳහා උපකාර කිරීමට එකඟව සිටී.

මනෝරත්නයන් ආඩම්බරයෙන් කියන්නේ නාට්‍ය ජීවිතය පුරා ඉසුඹුවක් නොලැබ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිට තරුණ චාමික හත්වැල්ල දක්වා සියලූ නිෂ්පාදකයන් සියල්ල යටතේ තමන් රඟපෑ බවයි. මකරා නිෂ්පාදක චාමික හත්වැල්ලට හෝ සුද්දෙක් ඔබ අමතයි නිෂ්පාදක උදයසිරි වික‍්‍රමරත්නට හෝ මනෝ යනු රංග කලා ගුරුවරයෙකි. එහෙත් ඔහුගේ ගුරු ගුණ පිරි දැනුම ඒ තරුණයන්ට අත්වාරු කොට සිංහල නාටකයේ ප‍්‍රගමනයට දායක කරයි. එවැනි
මනෝ පිදිය යුත්තෙක් නොවේද?

හැට පස් හැවිරිදි මනෝ සිය ජීවිතයෙන් හතළිස් හත් වසරක් රංගනයේද ඒ ආශි‍්‍රත කි‍්‍රයාකාරකම්වලද යෙදුණේය. ඔහුගේ පරම්පරාවට අයත් බොහෝ උදවිය නව නිර්මාණයකට අත නොගසා උකටලීව බලා සිටිද්දී මනෝ වසරකට දෙකකට සැරයක් නාට්‍යයක් නිෂ්පාදනය කරයි. මෑතකදී ඔහු ‘සෙල්ලම් නිරිඳු’ නිර්මාණයට අත ගසා ඇත. ඒ ඔහුගේ ආධ්‍යාත්මයේ බලපෑමය.
චන්ද්‍රරත්න බණ්ඩාර විසිනි
http://iranamvila.blogspot.ca/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල