විවිධාංග, විශේෂ

වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… මොණරාගල වතුර project grand finale

Off

නෝනාවරුනි / මහත්වරුනි

මොණරාගල වතුර project විස්තර 1
මොණරාගල වතුර project විස්තර 2

ඔය උඩින් ලින්ක් දාපු ලිපි නොකියවපු නෝනලා මහත්තැන් ල මේක කියවන්නත් ඒ හැටි උනන්දුවක් නොවෙන බව විස්වාසයි. ඒ වගේම ඒ කොටස් දෙක කියෝලා මේක දානකම් බලන් උන්නු කොටහකුත් උන්න බව විස්වාසයි. ඔන්න ඉතින් අපේ චැරිටි පිස්සුවෙ අවසන් වාර්තාව පුස් කන්න කලින් දානවා.

පහුගිය හතර වෙනිදා අපි අපේ මියාගල විදුහලේ වතුර project එක සාර්ථකව විවෘත කොට මොනරාගල සිට  නැවත කොළඹට පැමිණියා. විවෘත කිරීමක් අපි බලාපොරොත්තු නොවුවත් ඔවුන්ගේ උවමනාවට අපි එහෙට යනකොට ඔවුන් ඉතා උනන්දුවෙන් ඒ සඳහා සුදානම් වී සිටියා. සාජන් මහතා හා ලොකු සර් එක්ක කතා කරලා තේරුම් ගත්ත විදියට අපිත් පොඩි සුදානමකින් තමයි ගියේ. කොටින්ම අපේ ඇඳුම් පැළඳුම් පවා එහෙම තැනකට සුදුසු වෙන විදියට වෙනස් කරගත්තා කලින් කතා කරලා..
වතුරයි සිනහවයි දොරේ ගලාගිය ඒ අපුරු මොහොත..
ගමනට වෙනදා වගේම මගේ අතිජාත ගමන් සගයින් දෙදෙනා වන දිමුතු සොම්නස් (කටුස්සා), ප්‍රසන්න මුදුන්කොටුව (මුද්දා) එක්ක මේ වතාවේ අවන්හල ලියන මහේෂ්රත්නායක හා චක්කරේ ලියන කාවින්ද රුපස්සර (රූපේ) ත් එකතු උනා.. එයිටාමතරව කැමරාම්පන්න අතින් කටින් එල්ල ගත්ත LNW එකේ සංජීව සොයුරාත් මෙදා පාර ගමනට සෙට් උනා.. සාජන් මහතාත් අපිත් සමඟ මොනරාගල සිට ගමනට එකතු උනා.
කැමරාව පිටුපස හිටි මුද්දා හැර අනිත් සෙට් එකම මෙතන ඉන්නවා..
ඉස්කෝල ළමයි එක්ක වැඩ කරන එක හරි පරිස්සමෙන් කරන්න ඕනි. අපි වතුර නෙවෙයි රත්තරන් දුන්නත් ඒ ළමයින්ට ඒවායේ ඒ හැටි වටිනා කමක් තේරෙන්නේ නෑ.. ඉතින් මේ ගමන් යනකොට ඒ ළමයින්ට ‘වටිනා’ තෑගි ටිකකුත් ගන්න අමතක කරේ නෑ.. ළමයි නොවෙයි කොයි කවුරුත් තෑගී වලට කැමතියි. අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ නේද?
ඉතින් අපි කොළඹ සිට යනවිට ළමයින්ට වගේම ගුරුවරුන්ටත් පොදුවේ ඉස්කොලෙටත් අපිට උදව් කරපු සාජන් මහත්තයාටත් ගැලපෙන තෑගි ටිකකුත් අරන් ගියා. ළමුන් ඔක්කොම සිය දෙනයි. පාසලේ ළමුන් 85ක් හා අවිධිමත් අද්‍යාපනය හෙවත් නොයෙක් හේතු නිසා පාසල් යාම මඟහැරුණු ලමුන් වෙනම කණ්ඩායමක් ලෙස පුහුණු කරන (විශේෂ උපදේශක මහතෙකු විසින්) 15 දෙනෙකු වශයෙන්. ඒ පාලොස් දෙනා ගැන කලින් දැනන් උන්නේ නෑ.නමුත් ලොකු සර් එක්ක බදාදා හවස අවසන් වශයෙන් කතා කරන විට ඔවුන්ටද එදාට පාසලට ගෙන්වන බව කියූ නිසා ළමුන් 85ක් වෙනුවෙන් ලබාගත් තෑගී වලට අමතරව පොත් පත් ආදිය මිලට ගැනීමට සිදු උනා. මගේ වැඩ දිහා මුල ඉඳන්ම බලාගෙන හිටි මගේ රූමා වෙන මාග සමාගමේ ජෙෂ්ට ඉංජිනේරුවෙකු වන නිශාමල් ජයසේකර මහතා ඒ වෙලාවේ ඒ ළමුන් පාලොස් දෙනාට තෑගි ලබා දීමේ වගකීම බාර ගත්තා. ඔහුට ස්තුතියි.

 

 

 

 

 

 

තෑගිත් එක්ක පිටකොටුවේ හා කාමරයේදී ඔට්ටු වෙමින්
එක ළමයෙකුට පිටු 80 පොත් 4ක් බැගින් පොත් 400  (මේ සඳහා විදානේ පොත් 170ක් ලබා දුන්නා. 230ක් මම මිලදී ගත්තා)
පැන්සල් 240
පෑන් 150
මකන කෑලි 100
අඩිරුල් 100
කටර් 100
ගුරුවරුන් සඳහා..
තිලකසිත බ්ලුක් එක බැගින් පොත් 15ක් (තිලකසිත ගේ පරිත්‍යාගය)
සයිනින් පෙන් එකක් ලස්සන බොක්ස් එකක් සමඟ – 15ක්
පුස්තකාලයට පොත් 25ක් (මේ සඳහා ඉයන් විසින් රුපියල් 21000කට වඩා වටිනා පොත් 100ක්- වර්ග 25කින් එකකින් 4 බැගින්- ලබා දුන්න. නමුත් එකම පාසලට එකම පොතේ කොපි 4ක් අනවශ්‍ය බැවින් තවත් එවන් පාසල් කිහිපයකට බෙදා දීම සඳහා එයින් සෙට් තුනක් ඉයන් හා කතා කර මා වෙන්කර තැබුවා. ඉදිරියේදී මේනක ලාගේ පාසැල ආදී වශයෙන් යන තැන්වලදී අවශ්‍යතාවය අනුව ඒවා බෙදා දෙන්න පුළුවන්.)
ක්‍රීඩා භාණ්ඩ- සයිස් 2ක ක්‍රිකට් (සැහැල්ලු පන්දු) පිති දෙකක්.. ක්‍රිකට් බෝල 9ක්. (මෙයින් 6ක් නැවතත් මා මිත්‍ර නිශාමල් ජයසේකර ගේ පරිත්‍යාගයක්.) හා ස්ටම්ප් සෙට් එකක්.
හොඳම තත්වයේ වොලිබෝල් දෙකක් හා වොලිබෝල් නෙට් එකක්..
සාජන් මහත්තයට- වටිනා අත් ඔරලෝසුවක්.
ඒ වගේම ඒ වෙලාවට ළමයින්ට ඔය හැම එකකටම වඩා වටින්නේ මොනවද කියලා අපි අත්දැකීමෙන් දැනගෙන හිටියා. ඒ නිසා මොණරාගලින් මිලට ගත්තා කෑම/ රසකැවිලි වශයෙන්
හයිලන්ඩ් කිරි පැකට් 120ක්
රෝලෝ කේක් 120ක්
ටොෆී පැකට් 4ක් (ටොෆී 600ක් පමණ)
කිට් කැට් චොකලට් පොඩි 36 බැගින් වූ පැකට් 7
ග්‍රොසරි බෑග් 120.
(ළමුන් සියයක් පමණක් වුවත් මව් වරුන් සමඟ එන අතදරුවන් සිටිය හැකි බැවින් මෙහිදී අමතර 20ක් මිලට ගත්තා හැම වර්ගයකින්ම.- මේවා මොනරාගල සිට මියගලට යන අතරට ග්‍රොසරි බෑග් වලට දමා පාර්සල් කර ගත්ත..)
පන්සලේ හාමුදුරුවන්, කොට්ටාශ අධ්‍යාපන අද්යක්ෂක තුමා, ගුරු උපදේශක මහතුන් දේපලක්, විදුහල්පතිතුමා, ගුරුමණ්ඩලය, දෙමව්පියන් හා සියලු දරුවන් අපි එනතුරු ‘තොරන් බැඳන්’ බලන් හිටියා.. ලොකු බාස් උන්නැහේ උදේ දේව දානය දී තිබුනා.

අපි ගිය ගමන් ළමුන් දෙදෙනෙකු බුලත් දී පිළිගත්තා. අනෙකුත් ආරාදිතයින් සමඟ ළමුන්ගේ හා දෙමව්පියන්ගේ අත්පොලොසන් හඬ මැද්දේ පාසලට ගිහින් ජාතික ධජය, බෞද්ධ හා පාසල් ධජ ඔසවා ජාතික ගීය (සිංහලෙන් පමණක්) හා පාසල් ගීය ගයා උත්සවය ආරම්භ කරා. ඉන්පසු ළමුන් වෙනුවෙන් සැකසු ටැප් 3කින් යුතු වතුර බොන ස්ථානය පිත්ත පටියක් කපා නිල වශයෙන් විවෘත කරා. මගේ ආරාධනයෙන් මේ සඳහා පාසලේම ළමුන් සහභාගී උනා.

 

තේ පැන් සංග්‍රහයක් ඊළඟට.. මඩු පිටිවලින් කොල ගොටු වල හැදු ‘ගොටු පිට්ටු’ හැලප, කිරිබත්, දේව දානය සඳහා ඉවූ බත්, කැවුම් කෙසෙල්ගෙඩි ඇතුළු මේසය මගුල් මේසයක සිරි ගත්තා.. ස්වභාවික දොඩම් පානයක් හා තේ බොන්නට ලැබුනා.
ඉන්පසු උත්සවය. විදුහල්පතිතුමා හා පාසලේ දරුවෙකු පිළිගැනීමේ කතාව කරා. මගේ කතාවේදී බ්ලොග් කියන්නේ/ නෙලුම්යය කියන්නේ මොකක්ද, මේ project එක කරන්න අපිට ‘සෙට් වුන’ විදිය, මිට මුදලින් හා ශ්‍රමයෙන් දායක වුනු හැමෝවම හා ළමුන්ගෙන්/ දෙමවුපියන්ගේ අපි බලාපොරොත්තුවෙන දේ ගැන කෙටියෙන් සඳහන් කරා.
විදුහල්පතිතුමා හා දියනියේගේ පිළිගැනීමේ කතාවලින් පසු මගේ කතාව..
මේක හරියටම අපි පටන් ගත්තේ පහුගිය නිදහස් දවසේ එනම් පෙබ 4 සුභ මොහොතින්. මාර්තු 4. හරියටම මාසයක් ඇතුලත මේ වැඩේ නිම කරන්න අපිට හැකිවීම කොට්ටාශ අද්යාපන අද්යක්ෂක තුමාගේ කතාවේදී පැසසුමට ලක් උනා. ඔහුගේ වචනයෙන්ම කියනවනම් රජයෙන් මේ වගේ දෙයක් කරනකොට ‘පලවෙනි ලියුම් කීපය ගනු දෙනු වෙන්නත් මිට වඩා කාලයක් යනවා’..
කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා කතා කරමින්
දෙමව්පියන් අතරින් එක අයෙක් කතාකරා. ඔහු ඉතා ලස්සන කතාවක් කියුවා අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඉදිරියේදී. මේ පාසලට එන මාර්ගයේ හරහට මිට වසර කිහිපයකට කලින් විශාල දිය අගලක් ගලා ගිය බවත්, වැස්ස වෙලාවට මේ හරහා ළමුන් එහෙ මෙහෙ යාම භයානක බවත් කියා පාර සකස් කර දෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ගෙන් ඉල්ලු එක අවස්ථාවක ‘අහස දිහා හොඳට බලාගෙන ඉඳල කළු කරගෙන එනකොට ඉස්කෝලේ වහන්න’ කියා උපදෙස් ලැබුණු බව. එවන් නිලධාරීන් සමඟ ඔට්ටු අල්ලා හෙම්බත් වී සිටි ඔවුන්ට මෙය සිහිනයෙන් ලැබුනාක් මෙන් බවත් වසර 67ක පාසල් ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මෙය සලකන බවත්. ඔහුගේ අදහස එතන සිටි හැම වැඩිහිටියෙකුගේම මුහුණින් පිළිබිඹු උනා. කතා නොකරට ඔවුන් හැමෝම හිටියේ සතුටින්.
දෙමව්පියන් වෙනුවෙන් සුදුබන්ඩා මහතා කතා කරමින්..
ගෙනියපු තෑගි හැමෝටම බෙදලා දුන්නා.. හාමුදුරුවන්ට කොට්ටාස අධ්‍යාපන අද්යක්ෂක මහතාට හා ගුරු උපදේශක දෙපලට පවා ගුරුවරුන්ට දුන් තෑගී ම ලබා දුන්නා. සයිට් විසිට් එකක් ගිහින් වැඩෙත් බලල කෑම කාල හැමොත් එක්කම කතා බහ කරලා හවස තුනට විතර අපි මීයගලින් එන්න පිටත් උනා හරිම සතුටින්.

 

 

 

 

 

 

රසකැවිලි හා තෑගී, දරුවන්, දෙමවුපියන් හා ගුරුවරුන් අතර බෙදා දෙමින්..
සාජන් මහතාට විශේෂ තෑග්ගක්..
ලිපිය දිග වැඩි වෙන නිසා කතන්දරේ ඉතුරු හරිය ෆොටෝ වලින් දාන්නම්. එත් අමතක නොකරම බැරි පිරිසක් ඉන්නවා මේක පිටිපස්සේ. ඒ මේ වැඩේට මුදලින් හා ශ්‍රමයෙන් ආධාර කරපු අපේ මිත්‍රයෝ ටික. නම් ටික විතරක් ලියන්නම්.
ප්‍රධාන කර්තව්‍ය සඳහා
සැහැල්ලුවෙ සිංහයා..
සිත්ආරේ නලිනි චන්දිමා..
මෙත්මාගේ මිතුරු චන්දන නවරත්න (බ්ලොග් රසිකයෙක්)
සඳ වියමන් හි සඳමාලි සකුන්තලා..
සොඳුරු අතීතයෙන් බිඳක් හි කවිඳු ජයසිංහ..
කවිඳු ගේ මිතුරු පල්ලෙබැද්ද රෝහලේ වෛද්‍ය උදය රුක්මල්..
තරු දානේ හි විදානේ..
ඕස්ට්‍රේලියාවේ සිටින තිසර..
නම සඳහන් කිරීමට අකමැතිවූ ඇනෝ කෙනෙක්.. (ගිය පාර පොස්ට් එකෙන් පස්සේ)
සහ නෙලුම්යාය වෙනුවෙන් චන්දිම සහ අජිත්..
*** තව උදව් කරන්න කීප දෙනෙක්ම ඉදිරිපත් උනත් වෙලාවේ හැටියට උදව්වක් අවශ්‍ය නොවුණු තැන්වලදී කාරුණිකව ප්‍රතික්ෂේප කරා.. ඉදිරි වැඩකදී ඔවුන්ව සම්භන්ද කර ගැනීමට බලාපොරොත්තු වෙනවා..
තෑගී ගැනීම සඳහා
ඉයන්.. (පුස්තකාල සඳහා පොත් වලින්)
තිලකසිත (ගුරුවරුන් සඳහා ‘තිලකසිත’ බ්ලුක්වලින් හා මුදලින්)
විදානේ.. (ඇක්සයිස් පොත් වලින්)
මගේ රූමා නිශාමල් ජයසේකර (ක්‍රීඩා භාණ්ඩ හා මුදලින්)
තාම නම හොයා ගන්න බැරිවුනු ඇනෝ කෙනෙක්
අපිත් එක්ක දිගටම මේ වැඩේට එකතු උණු නම කියන්න එපාම කියපු තව මිත්‍රයෙක්.
ශ්‍රමයෙන්..
කටුස්සා, මුද්දා, විදානේ, මහේෂ්, රූපේ ඇතුළු බ්ලොග් මිතුරන්
LNW එකේ උපුල් නිශාන්ත, සංජිව ඇතුළු මාධ්‍ය මිතුරන්
විදුහල්පතිතුමා හා ගුරුවරුන්..
ගමේ ළමුන්ගේ දෙමව්පියන්..
ලිඳ පිහිටි ඉඩමේ හිමිකරු..
ලොකු බාස් උන්නැහේ හා ගෝලයෝ..
සාජන් මහතා
අපේ මස්සිනා..
අපේ අක්කා.. (මහන්සිය නොබලා ගිය හැම වතාවේම අපිට නිදාගන්න සකස් කරලා දිම හා රසට කන්න උයා දීම සම්භන්ධයෙන්)
මගේ බිරිඳ (මං රට වටේ සමාජ සේවේ කර කර යන කොට ළමයිනුත් බලාගෙන තනියම ගෙදර වැඩ ටික අදින එකට)
අපිත් එක්ක වාහනවල එහෙට මෙහෙට මහන්සිය නොබලා ගිය රියදුරු මහත්වරුන්
හා නම නොකියවුණු එහෙත් වචනෙකින් හරි උදව් කරපු හැමෝම..
කඩි-නමින් ඉදිවුණු වතුර ටැංකි කුළුන හා වතුර කරාම..
විවෘත කරපු ගමන් බෝධිය නාවන්න වතුර එකක් අයින් කරගන්න ලොකු බාස් උන්නැහේට ඕන උනා..
නිදහසේ වතුර බොන්න ආරාධනා කරාට මේ පොඩි උන් එකෙක්වත් කරාමයක් අරින විදිය දැනගෙන හිටියේ නෑ.. අන්තිමට අම්මෙකුට සිද්ද උනා ඒ මැජික් එක කරලම පෙන්නන්න..
ආ.. ඔය එන්නේ වතුර.. ඒක තව දුරටත් හීනයක් නෙවෙයි..
 ලොකු සර් ගේ ඔෆිස් එකට ,ගුරු නිවසේට හා පන්ති කාමර ලඟටත් වතුර..
පන්සලේ හාමුදුරුවන්ගෙන් දීර්ඝ අනුශාසනාවක්..
 ගුරුවරුන් වන අපිටත් සන්තෝෂයි..
ඔන්න අද අයියලාගෙන් නංගිලා මල්ලිලාට තෑගි බඩ පිරෙන්නම..
 පැණි රස ටෝෆියක් උඩ තල්ලේ ඇලුනම ගලවා ගන්නේ මෙහෙමයි..
ඉගෙන ගන්න අත්වැලක් වෙන්න පුංචි තෑගි ටිකක් අපිට පුළුවන් විදියට.. පහලම පින්තුරේ ඉන්නේ මේ පාර සාමාන්‍ය පෙළ ලියන දුවලා තුන්දෙනා.. මැද ඉන්නේ සුදු බණ්ඩා මහතාගේ දුව.. තාත්තා කතා කරනකොට ඇස් වල කඳුළු පුරෝගෙන බලාගෙන හිටියා.
 ලිඳ ළඟදී..
ආර හරහා..
ලිඳ අයිති සෙනෙවිරත්න මහතාගේ නිවාස හා පායන කාලයේදී පන්සලේ හාමුදුරුවන්ට පන් පහසුව සලසා දීම සඳහා ඒ අසලින් දමා දුන් නාන කරාමය..
මේවා නම් මම දැක්කේ නෑ..

 

 හෙට එච්චර කළුවර නෑ පුතේ..
 එනින් ගමන මෙයාවත් මුණ ගැහුනා උඩවලවේදී..

 

හැමෝටම ස්තුතියි ගොඩක්…
ඡායාරුප ස්තූතිය  – ප්‍රසන්න මුදුන්කොටුව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල