අතීතකාමය, කෙටි කථා

පෙරලෙන රිය සක…

2

අවුරුදු පහක් තිස්සෙම පාළුවට ගිය. ඉඳහිටවත් කිසිවෙකුත් පය නොතැබූ ලොකු හාමුදුරුවන්ගේ කුටිය අස්පස්කර දැමිය යුතු යැයි නාරද හාමුදුරුවන්ට සිතුනේය. ලොකු හාමුදුරුවෝ අපවත් වූවායින් පසු වසා දැමුනු මේ කුටිය කාලයත් සමගම පාළුවට ගියේ කිසිවෙකුටත් නොදැනීමය. පංසල් මිදුලේ අලුතින් මනරම් ගොඩනැගිලි ඉදිකලත් ලොකු හාමුදුරුවෝ අපවත් වන තුරුම වැඩ වාසයකලේ පංසල් ඉඩමෙහි කෙලවරට වන්නට තිබූ මේ කුඩා කුටියේය. මලකඩ කා තිබූ පැරණි ඉබ්බා අයාසයෙන් ගලවා දැමූ නාරද හාමුදුරුවෝ කුටිය තුල වූ මකුළුදැල් වල පැටලෙමින් ගොස් ජනේල් පියන් කිහිපයක් ඇර දැමීය.
නාරද හාමුදුරුවෝ මහනදම් පුරන්නට එනවිට යන්තාම් පාසල් යන වයසට ආවා පමණය. වැඩි මහලු සොහොයුරන් දෙදෙනෙකුත්, බාල සොහොයුරිකත් නාරද හාමුදුරුවන්ගේ පවුලේ විය. අවුරුද්ද තිස්සේම දවස් කුලියට පතල් කැනීමට යාම නාරද හාමුදුරුවන්ගේ පියාගේ රැකියාව විය. දවසේ වෙහෙස නිවාගැනුමට හවසට මධුවිතින් සප්පායම් වන ඹහුට දරු පවුල රැක ගැනීම උදෙසා ඉතිරිවන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවුනි. අමාරුවෙන් හෝ මේ දරු පවුලේ කුසගින්න නිවුනේ නාරද හාමුදුරුවන්ගේ මව ඉඳහිට කාගේ හෝ තේ වත්තක දලුනෙලීමෙන් ලබාගන්නා මුදලිනි.
දිනක් ඔහුව පංසලේ ලොකු හාමුදුරුවන් වෙතට බාරදුන් ඹහුගේ දෙමව්පියෝ කඳුළු සඟවන්නට උත්සාහ කරමින් පංසලෙන් නික්මෙනවා නාරද හාමුදුරුවන්ට යාන්තම් මතකය. ඔහු වසරක් පමණ පංසලේ කුඩා කුඩා ආවතේවකම් කරමින් සිටියේය. එක්තරා පුන්පොහෝ දිනක ඔහුගේ හිස මුඩුකොට සිවුරු අන්දවා “මදටියතැන්නේ නාරද” නමින් පැවිදි බිමට ඇතුලත් කලහ.
ලොකු හාමුරුවන්ගේ අවවාද අනුසාසනා සහ ඉඳහිට ලැබුනු වේවැල් පහරවල් කාගෙන නාරද හාමුදුරුවෝ හොදින් ඉගැනුම් කටයුතු වල නිරත විය. පංසලේ පැවැත්වෙන සෑම පිංකමකම වාගේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නට තරම් කුඩා නාරද හාමුරුවෝ දක්ෂ විය. ඉදිරියේදී මේ පංසලත්, ගමත් බබලවන්නේ මේ කුඩා නාරද හාමුදුරුවන් බව ගමේ සැමදෙනාගේම විස්වාසය විය. නිසි වයස් එලැඹුණු කල්හි උපසම්පදා බිමට ඇතුලත් වූ මදටියතැන්නේ නාරද හාමුදුරුවෝ පිළිගැනීමට පංසලේ නායක හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් දායක සභාව විසින් විශාල උත්සවයක් සංවිධානය කර තිබුණි. එදින රාතියේ හතරපේරුවේ දායක දායිකාවන් වෙත නාරද හාමුදුරුවන් විසින් මනරම් ධර්ම දේශනාවකින් සංග්‍රහ කරන ලදී.
“නාරද…”
“හාමුදුරුවනේ..”
“තමුන්ට දැං සිවුරේ ඉඳියා ඇති කියලා හිතෙනවං උපාධිය ගන්න කලින් ඕක බිමින් තිබ්බට කමක් නෑ..”
“අනේ එහෙම නෑ හාමුදුරුවනේ.. ඒත් ඇයි එහෙම කිව්වේ..”
“නාරද.. ගිහියෙකුට කරන්න පුළුවන් දේවල් අපිට මේ සිවුරේ ඉඳන් කරන්න බෑ.. මං කිව්වේ රස්සාවක් උනත්.. අනික ගස් ගල් පෙරලන වයසේ ඉන්න තමුන්ට පරස්සාවක් එහෙම උනත් කරගන්න බැරිකමක් නෑනේ…”
“අනේ ඕන නෑ හාමුදුරුවනේ මං බලන්නේ කොහොම හරි හොඳට ඉගනගන්න..”
“හොඳයි හොඳයි… හැබැයි තමුන් සිවුර තියල ගියා කියල මගේ අමනාපයක් හෙම නෑ ඕං..”
“නෑ හාමුදුරුවනේ මට මෙහෙම හොඳයි..,”
මකුළු දැල් කඩමින් දූවිලි පිසදමමින් සිටින නාරද හාමුදුරුවන්ට තමන් විශ්වවිද්‍යාල පලමු උපාධිය ලබාගැනීමට පෙර නායක හාමුදුරුවන් තමන් හා දොඩමලු වූ අයුරු සිහිපත් වන්නට විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් හමාර කල නාරද හාමුදුරුවෝ ඉන්පසුව ශාස්ත්‍රපති උපාධියත්, පණ්ඩිත විභාගයත් ඉහලින්ම සමත් විය. ටිකින් ටික කල්යත්ම මදටියතැන්නේ නාරද හිමි යන නම මුලට “ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අති ගෞරවණීය” යන නාමය එකතු විය. කුඩා කල ගම්මුන් නාරද හිමියන් ගැන දැක්වූ අදහස් සපල කරමින් නාරද හාමුදුරුවෝ පංසලේත්, ගමේත්, ප්‍රදේශයේත් කීර්තිමත් සංඝයාවහන්සේ නමක් විය.
ටික කලක් රෝගාතුරව සිටී නායක හාමුදුරුවෝ, ගිහි පැවිදි සියළු දෙනාගේම දුක් සෝ සුසුම් මැද අපවත් වී වදාලේය. උන් වහන්සේගේ ඉල්ලීම මත බොහෝ චාම්ව ආදාහන කටයුතු සිදුකිරීමට නාරද හාමුදුවන් සහ දායක සභාව කටයුතු කලේය. ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු නිතරගයෙන්ම විහාරාධිපති තනතුරු නාරද හාමුදුරුවන්ට හිමිවිය. ලොකු හාමුදුරුවන්ගේ තුන්මාසේ දානය බොහෝ ඉහලින් පැවැත් වීමට නාරද හාමුදුරුවෝත්, දායක සභාවත් කටයුතු කලේය.
තුන් මාසේ දානය වෙනුවෙන් නිතර මහන්සීවී වැඩ කටයුතු කල අහල කමලිනී නාරද හාමුදුරුවන්ගේ සාධු සිත අවුල් කරන්නට විය. එක් දරු මවක වන ඇගේ හැසිරීම බොලඳ තරුණියකගේ මෙන් විය. නාරද හාමුදුරුවන්ගේ දැහැන කෙමෙන් කෙමෙන් බිඳීයන්නට විය. කිසිවකුත් නොසිටි වැසිබර හෝරාවක නාරද හිමිත් ඇයත් ආවාස ගෙය තුල තනිවිය. ඇගේ පිරිපුන් සිරුර නාරද හිමිට රසදුනක් විය. තරුණ විය ඉක්මවන්න වයසේ සිටින නාරද හිමියන් ඇය ඉදිරියේ කොලු ගැටයකු සේ ශිල්ප දක්වක්නට විය. අහස ගුගුරමින් මහ වැසි වැටෙන මොහොතේ, අකුණු පහරක් මෙන් සියල්ල අවසන් කල නාරද හිමි කමලිනීගේ නිරුවත් සිරුර මත ගිමන් හරින්නට විය.
ඉනික්බිති ඉඩ ලද සැම විටම ඉතාමත් හොර රහසේ නැවත නැවතත් මේ රංගනය සිදුවන්නට විය.
නමුත් කමලිනීගේ කුසට තවත් දරුවෙකු පැමිණිමෙන් මේ රාග රංගනය හමාර විය. මේ දරුවා නාරද හිමියන්ගේ බව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකුත් නොදැන සිටීම බොහෝ ගැටළු මගහරවන්නට සමත් විය. නමුත් තමුන්ගේ ලෙයින් උපන් දරුවා දකින විට නාරද හිමියට තමන් කිසිදු යුතුකමක් ඉටු නොකරන පාදඩ තාත්තා කෙනෙකුය යන සිතුවිල්ල නිතර නිතර පහල විය.
“එදා ලොකු හාමුදුරුවෝ කියපු විදියට මාත් සිවුර දාලා ගියානං රස්සාවකුත් කරගෙන දරු පවුලක් බලාකියාගෙන ඉන්නවනේ. “
පැරණි කබඩ් එකේ පොත් පත් අස්පස් කරමින් සිටින නාරද හාමුදුරුවන්ට සිතුනේය. කබඩ් එකේ යටටම වන්නට ලොකු හාමුදුරුවන් ගේ උපසම්පදා උත්සවය දවසේ ලබාගත් ඡායාරූපයක් විය.
“මේක සුද්ද පවිත්‍ර කරලා අරන් ධර්ම ශාලාවේ උඩින්ම එල්ලන්න ඕන..”
රෙදි කැබැල්ලකින් ඡායාරූපයෙහි දුහුවිලි පිසදැමූ නාරද හාමුදුරුවෝ මොහොතක් ඒ දෙස බලාසිටින්නට විය. කුමක්දෝ අමුත්තක් දැනුනු උන්වහන්සේ ඡායාරූපයද රැගෙන තමාගේ අවාසගෙය වෙත දුවගොස් එහි ඇති තමාගේ උපසම්පදා ඡායාරූපය අසලින් එය තබා ඡායාරූප දෙක එකිනෙක සසඳන්නට විය එහිදී උන් වහන්සේට අළුත් සහ පැරණි යන යන වෙනස පමණක් පැහැදිලිව හඳුනාගත හැකි විය.
—————————————————–
පලි/ 01. විදානේගේ මලදානෙට නොහොත් විදානේගේ ** දානේට ඊයෙට හරියටම අවුරුදු දෙකයි.. (හිප් හිප් හුරේ……………….)
මේ දක්වා දමා ඇති පොස්ට් සියල්ල කියවූ, අදහස් ඉදිරිපත් කල, සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
තවද මට මේ බ්ලොග් ලෝකේ තුල දිගු කාලයක් රැදී සිට රසවත් හරවත් වර්ණවත් පොස්ටු ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
මට
ජ ය වේ වා !!!

Related Posts

2 Comments

  1. Pradeep March 12, 2016 at 8:21 am - 

    Excellent Story. හුගක් තැන්වල මේ දේ වෙනවා. එළිනොවන එක විතරයි වෙනස.

  2. gunaratna March 14, 2016 at 2:32 pm - 

    This is not only a story. This is the human nature and the way its explained. Dont you feel that you are Narada? very classical.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල