අතීතකාමය

ලයිට් හා බැඳුණු මගේ ළමා කාලය

Off

මේ ලියන්න යන්නේ ලයිට් යෑම ඇතුලේ තියෙන දේශපාලනය ගැන නෙවෙයි. යහපාලනයේ ලයිට් ගියාම ඒකේ සෞන්දර්ය දකිනවා, රාජපක්ෂ කාලයේ ලයිට් ගියානම් මැරෙන්න යනවා වගේ කතාවක් කියන්න කෙනෙක්ට පුළුවන්….. ඕවට කොහෙද උත්තර???

ලයිට් යෑම එක්ක මට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මම කළුවරට කොච්චර හුරුද කියන එක. ඊයේ ලයිට් යද්දී මම හිටියේ බණ්ඩාරවෙල ගෙදර ඉඳන් කොළඹ එන්න ලෑස්ති වෙමින්. මම තිබුණු තැන් වල මතකයෙන් ඇඳුම් ටික හොයාගෙන ඇඳගන්නත්. ටොයිලට් එකට ගිහින් එන්නත් පර්ස් එක, ලැප් එක, ෆෝන් එක තිබුණු තැන් වලින් හොයාගෙන අරගන්නත් මට පුළුවන් වුණා. අම්මා නැතිවෙලා යැයි හොයමින් හිටපු ටෝච් එකත් හොයලා දුන්නා. කට්ට කළුවරේ මේවා කරද්දී මට සිහිවුණේ උපුල් ( සේනාධිරිගේ ) අයියාව.
ඔහු තවමත් ඇස් නොපෙණුනත් සම්පූර්ණ රාවය පත්තරේ ඇතුළු පොත්පත් පුවත්පත් කියවීමටත් කවි කියැවීමට හා ලිවීමටත් තම පවුලේ අයගේ සහායෙන් කටයුතු කරනවා. ඒ වගේම රාවයේ ලිපියක අඩුපාඩුවත් තිබුණොත් අහවල් අහවල් තැන් ගැටලු සහගත බව මතකයෙන්ම කියන්න ඔහුට පුළුවන්. ඔහු කට්ට කළුවරේ ආලෝකවත් ජීවිතයක් ගත කරනවායැයි මට හිතෙනවා. මගේ ඇස් වෙලාවක නොපෙනී ගියොත්??????

කට්ට කළුවරට මාත් ටිකක් හුරු බව විශ්වාසයි….

අපේ ගෙදරට ලයිට් ආවේ මම හතර වසරේ අග හරියේ ඉන්නකොට. ගෙදර අපි ඉපදෙන්නත් කලින් කාර් බැටරියකින් පාවිච්චි කරපු, ( අනූයහේ වර්ල්ඩ් කප් එකේදීත් පාවිච්චි කරලා) ජාතික, චැනල් අයි, අයිටීඑන් විතරක් පෙණුනු කළුසුදු ටීවි එක මුලින්ම බැලුවේ හතර වසරේදී. ඉස්කෝලෙ පන්තියේ යාළුවෝ කතා කරපු ඒවායින් පිස්සු පූසා, හොඳහිත, හයිලෑන්ඩර් වගේ ජාතික එකේ කාටූන් ටික මිසක් සූර පප්පා, අපි රජ ඉබ්බෝ, සිල්වාන් වගේ කාටුන් එකකින්වත් ටිකක්වත් බලන්න හැකියාවක් නොතිබුණු ටීවි එකත් එක්ක තිබුණු පයුරුපාසානම අඩු එකක් වුණා. හයේදී හොස්ටල් එකට ගියාට පස්සේ සෑහෙන අඬලා අඬලා සර්ට කියලා ඉල්ලාගෙන අපි බලන ස්කූබි ඩූ හරි ක්‍රිකට් මැච් එකක්හරි ඇරුණාම මට වෙන ටීවී සම්බන්ධයක් තිබුණේ නැහැ.

කොහොමහරි ලයිට් අපේ ගෙදරට එනකන්ම, ඊට පස්සෙත් සෑහෙන කාලයක් යනකන් නංගීව හා මාව විනෝදයෙන් තැබීම අම්මාට බාරවුණ දෙයක් වුණා. අවුරුද්දකට සැරයක් වගේ විනාඩි පහක් පමණ දකින් තාත්තාගෙන් හෝ අනුන්ට බණින්නට පමණක් කට අරින ආච්චිගෙන් විනෝදයක් බලාපොරොත්තු විය හැකිව තිබුණේ නැහැ. ගෙදර තිබුණු විශාල චිමිනි ලාම්පුව සාලයේත් කුප්පි ලාම්පු දෙක කුස්සියේත් තිබුණේ. කාගේ හෝ ඕපාදූපයක් නැතිවුණොත් ආච්චී සාලයේ චිමිනි ලාම්පුව ළඟ පිරිත් කියමින් ඉන්නවා. ඒ වෙලාවට අපි දෙන්නා අම්මා වටේ ගුලි වෙනවා. ඒ කතා අහන්න. පරණ කතාවක් ආයේ කියන්නයැයි අපි දෙන්නාගෙන් ඇවිටිලි නොආවොත් අපට හැමදාම අළුත් කතාව බැගින් කියන්න අම්මාට සිද්ධ වෙනවා. අවුරුදු හතරක පමණ කාලයක් තිස්සේ අළුත් කතා හොයමින් කීම අසීරු අභ්‍යාසයක් වෙන්න ඇති. ඒත් ඒ කතා වලදී අපි අහපු අතුරු ප්‍රශ්ණ එක්ක අපේ චින්තනය පුළුල් වෙන්න ඇති. නස්රුදීන්ලා, පර්සියන් කතා, ග්‍රීක කතා, පෙරදිග කතා, ජාතක කතා, ජනකතා, අන්දරේගේ කතා අපි කාලයක් තිස්සේ ඇහුවා. එක දවසක් අම්මා කීවා කතා ෆැක්ටරිය ඉවරයි කියලා.
ඒ වෙලාවේ නංගීත් මාත් හැඬුම්බර වුණ නිසා අම්මා තීරණය කළා අළුත් කතා සීරීස් එකක් අපට ගෙන එන්න. ඒ ඇත්ත ලෝකයේ කතා. අයිස්ටයින් ගැන, නිව්ටන් ගුරුත්වාකර්ශනය හොයාගත්ත හැටි වගේ කතා අම්මා අපට කියන්නට පටන්ගත්තා.

මම තුන වසරේදී අම්මා කීවා තව ටික කාලයකින් කතා කියන එක නවත්වන නිසා ඊට කලින්ම කතා කියවන්න හුරුවෙන්න කියලා. බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේ සාමාජිකත්වයක් අම්මා මට අරන් දුන්නා. එතැන් පටන් මම කතා අහන්නට විතරක් නෙවෙයි කියවන්නටත් හුරුවුණා. හතර වසර අග වෙද්දී බණ්ඩාරවෙල පුස්තකාලයේ ළමා අංශයේ තිබුණු තිබුනු සියළු ටාසන් පොත් ටිකත් ෂර්ලොක් හෝම්ස් පොත් ටිකත් කියෙව්වා. සතිපතා අරන් දුන්න මිහිර පත්තර, විජය පත්තර කියෙව්වා. මේ සියල්ල නිසා හැමදාම පන්තියේ පාඩම් මඟහැරපු දඟකාරයෙක් විදියට නාමකරණය වුණ මම ශිෂ්‍යත්ව විභාගයෙන් ඩී.එස්. එකට එන්න තරම් ලකුණු ගත්තා.

මට හිතෙන්නේ මගේ ළමා කාලයට ලයිට් නැතිවීම මගේ වර්තමානය ගොඩනඟන්න දරුණු විදියට අම්මාට උදව්වක් වෙන්න ඇති.

ඩී.එස්. හොස්ටල් ජීවිතේදීත් කට්ට කළුවර මට හුරුවක් වුණා. මගේ ඇඳ තිබුණේ හොස්ටල් එකේ එහා කොණේ. රාත්‍රිෙය් එළියට යන්නට වුණොත් හරි රෑ වෙනකන් ඩයිනින් හෝල් එකේ ඉඳලා නින්දට එන්න වුණොත් මඟ දිගට ලයිට් දමමින් යන්න පුළුවන් වුණේ නෑ. අම්මා අරන් දුන්න ටෝච් එක සතියකින් නැතිවුණ නිසා හැමදාම පාහේ රාත්‍රී කට්ට කළුවරේ හොස්ටල් එක මැද්දෙන් ඇවිදින්න හුරුවුණා.

අදත් කළුවරට මම කැමතියි. ලයිට් නිවාගෙන අඳුරේ ඉන්න වෙලාවල් මාව ගොඩක් දේ හිතන්නට යොමු කරවනවා………………………………………………………….

http://uduwaage.blogspot.co.uk/2016/03/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල