කෙටි කථා

සර්පයාගේ කොලම 11

Off

කන්ද උඩට පේන කූඹි

ජීවිත කාලය පුරාම සර්පයාව රාහු අසුරේන්ද්‍රයා විසින් බඩ ගා වන ලදුයේය. මෙසේ බඩ ගාවන ලද්දේ සර්පයාට මංමුලා වැල් බඩ ගෑවිණි. දැන බඩ ගානු වෙනුවට නොදැන බඩ ගා සර්පයා කතරගම කියා ගොස් අතරමං විය. මහා කඳු මහ විසල්ව පෙනී ගියත් ළං වූ ස`ද වැලි කැට වූයේය. මහා ජලාශ , ක්ෂේමභූමි මිරිඟු දිය විය.

කෙසේ හෝ සංසාරය වන් මේ අගමුල නැති වැල් ගාලක් වූ වංගගිරියෙහි හක්කලං ගසා සර්පයා දැන් ඔහේ බලා සිටී. එකල්හි සර්පයාට තමා සිටිනුයේ ක`දු පරුවතයක් උඩ බැව් පෙනී ගියේය. ඒ සමගම ඒ කන්ද තවද එක් වැලි ඇටයක් බැව්ද පෙනී ගියේය. ඒ කන්ද නමැති වැලිකැටය සෑදී තිබෙන්නේ සුවහසක් තවදු එවන් වැලි ඇටවලින් බැව් සර්පයා දුටුයේය.

කන්ද මුදුනෙහි සිට පෙනය නගා බලන සඳ සර්පයාට කන්ද පහළ ප‍්‍රපාතයෙහි ඇදෙන කුරු කුහුඹුවන් රැලක් දර්ශණය වීය. එකල්හි සර්පයාගේ සිතට නැගුණේ නිට්ෂේ නමැති මහා දාර්ශණික මුනිවරයයාය. හේ කන්ද මුදුනට ගිය විට පහළ කුහුඹුවන් පෙනෙනා බැව් කියා තිබෙන වග සර්පයාගේ සිත් පතුලින් උඩට ඉල්පී ආයේය.

එසැණින්ම සර්ප සිතට නැගුනේ උපන්දා සිට කරපු පව් වරක් වැන්දොත් නැති වේ යැයි කියන පන්සලක නායක හිමියන් විසින් සර්පයාගේ මිතුරකුට කියනු ලද්දා වූ යමකි.

‘මහත්තයෝ ලෝකෙ හැම තැනම තියන අනුන්ගෙ බයිසිකල් ගෙනල්ලා ගෙදර ගොඩ ගහ ගන්නෙ ඇයි?

තමන්ට බයිසිකලයක් නැද්ද? ඒක බැලන්ස් එකේ පදින්න බැරිද?’

සර්පයා නිට්ෂේව කන්දෙන් පහළට වීසි කළේය. වීසි කළ යුතු බොහෝ බයිසිකල් තමා ල`ග තිබෙන වග සර්පයාට නිනව් විණි. එහෙත් ඒවා සොය සොයා වීසි කරන්නට සර්පයා ගියේ නැත. එයද තවදු විකාරයක් බව සර්පයා දනී. එහිද කෙළවරක් නැත . එයද තණ්හාවක් බවට පත්වේ. ග‍්‍රස්තියක් බවට පත්වේ. සර්පයා ඔහේ වැතිර බලා හුන්නේය.

වීසි කරන ලද නිට්ෂේ වඩාත් නිරුපද්‍රිතව කන්ද උඩ සිටයේය. ඔහු සරතුස්ත‍්‍රාගේ දේශනාව කරමින් උන්නේය. වීසි කිරීම යනුම අර පරෙස්සමට ගබඩා කොට තැබීමක් වන්නේය. සියල්ල වචනය. වචන මිනිසා වෙනස් නොකරයි. මිනිසා වචන වෙනස් කරයි. වචන ඉවත් කොට සිය සර්ප භවය යළි අත් පත් කොට ගත යුතුය.

සර්පයා නායක හාමුදුරුවන්ගේ කීම යළි සිහිපත් කළේය. අනුන්ගේ බයිසිකල් කෙතරම් සර්පයා තම මනස නමැති හුඹහේ ගොඩ ගසා ගෙන ඇත්ද? තව තවත් ගොඩ ගසා ගනිමින් සිටීද? සර්පයා ඒවායින් ගිය ගමනක් වේද? අනික් අතට සර්පයන්ට බයිසිකල් කුමටද?

මේ හාමුදුරුවන් වැඩ වසන තැන අතීතයේ නාරජුන් දෙදෙනෙකු මිණි පළඟකට සටන් වැදුනහ. අද බොහෝ නයින් අනුන්ගේ බයිසිකල්වල අයිතිය වෙනුවෙන් සටන් වදිති. මලකඩ හැලෙන බයිසිකල් වෙනුවෙනි.

කන්ද පහළ කූඹි දුර ගමනක් යති. කූඹින්ගේ ඇස් කුඩාය. එහෙත් උන් බොහෝ ඈත දකිති. මිනිස් ඇස්වලින් දකිත නොහැකි තරම් ඈත දකිති.
කූඹින්ට හුජ්ජ ගංගාවක් යැයි මනු සතුන් කියති. එහෙත් මුහුද ගොඩ ගැලීම කල් තබා උන් දැන ගනිති.

සර්පයාගේ ඇඳුම් එල්වනයේ කූඩුවක් සාදා ගෙන සිටි කොණ්ඩ කුරුල්ලන්ගේ පැටවුන් සර්පයා හක්කලං කොට ආ දිනෙක එහි හුන්නෝය. සර්පයා උන් ඉන්නා නොඉන්නා වගට සැකයක් දැනී බලනා සඳ මේ දවස් දෙක තුනට කූඩුවෙන් එකක්ව උන් වැඞී උන්නෝය. සර්පයා දෙතුන් දොහකින් යළි හුඹහට ආයේ රාහු අසුරේන්ද්‍ර තැන විසින් ඇවිද්දවනු ලදුවය. ඒ එන විට සර්පයාගේ අස්ථි පඥ්ජරය ඤර ඤර ගාමින් තිබුනේය. පූසෝ ඤාව් කීවද සර්පයාට උන්ගේ කුසගින්න ගැන සිතන්නට ඉස්පාසුවක් නැති විය. සර්පයාද කුගින්නනෙන් හෙම්බත්ව පමණක් නොව කේ`ඩෑරිව ගොස් උන්නේය. මියෙම්වා රැකෙම්වායි සර්පයා සිත සදා ගෙන උන්නේය. උහුගේ සර්ප සිරුර දිවෙනා සර්ප ලෙයට නහර දිගේ ගලා යනුව තරම් පීඩනයක් නොසැපයෙන බවත් කවර හෝ තැනක දරණ ගසා ගෙන සියලූ ඇවිදිලි නවතා සිටිනා ලෙසත් වෙදැදුරියක විසින් සර්පයාට උවදෙස් දී තිබිණි. කවර හෝ බිත්තරයක් වුව, කවර හෝ සතකු වුව ගිල දා සුවපත් වන සේ වෙදැදුරිය විසින් සර්පයාට නියම කරන ලද්දේය.

කවුරුන් කෙසේ කීවද රාහු සර්පයාව ඇවිද්දවයි. එක්කෝ සර්පයා අතේ පිච්චිය නැති කොට ඇවිද්දවයි. එක්කෝ සර්පයාට පිච්චියක් හොයන්නට මාර්ගයක් නැති කොට ඇවිද්දවයි. එක්කෝ වැඩ කරන්නට තිබෙන පරිගණක කබල කඩා ඇවිද්දවයි. එක්කෝ ගේහසිත බන්ධන කඩා ඇවිද්දවයි.
දෙවියො තමයි ? දුන්නේ

ඇවිදිලි නවතන්න අපේ.

රැය කියා දෙයක් නොවුනා නම් සර්ප කකුල් ගෙවී බොහෝ කල් වන්නට පුලූවන.

කොහොමින් හෝ සර්පයා පූසන් සිය කුසගින්නට කුරුළු පැටවුන් ගිල දැමුවාදෝහෝයි සැකයට උන්ගේ කැදැල්ලට පෙනය රුවා බැලූවේය. එවිට ගැඹුරු නින්දකට වැටී කුරුළු පැටවුන් තිදෙන එකට ගුලිව සුසුම් හෙලමින් තුරුළුව හුන්නෝය.

සර්පයා ඇෙ`ග් කෙඩෙත්තුවට දරණ ගසා ගෙන නින්දට වැටුනේය.

පසුවදා සර්පයාට ඇහැරෙන විට එහෙම්පිටින්ම එළිය පොළවට පාත්වෙලාය. සර්පයාට මෑත කාලේ වැළ`දුණු පාන්දර ඇහැරීමේ රෝගය එදා සුව වූ ගානය. මහත් වූ කෙඩෙත්තුවටම සර්පයාට තදට නින්ද ගියේය.

කුටියෙන් එළියට ආ සර්පයා කුරුළු කැදැල්ලට පෙනය හොවා බැලූ සඳඑක් කුරුළු පැටවකුවත් එහි නොසිටියෝය .

උන් යන්නට ගොසිනි. කියන්නේවත් නැතිව, සද්දක්කත් නැතිව උන් යන්නට ගොසිනි. සර්පයා උන් දොරට වඩිනා සැටි බලන්නට ආසාවෙන් උන්නේය. කුටියේ ජනෙල් ඇර තබන්නට සිතා උන්නේය. පූසන්ගෙන් උන්ව රැකවල් කරන්නට සිතා උන්නේය. එහෙත් උන් නොකියාම යන්නට ගොසිනි.
සර්පයා සිය හිත පෙරළ පෙරළා කල්පනා කළේය. උන්ව සෙව්වේය. හමුවුනේය. එහෙත් ඒ කුරුළු පැටවුන් නොවේ. සර්පයාවය.

උන් නොකියාම ගිය එක ගැන සර්පයාට දුකක් තිබේ. ඒ සර්පයා උන්ව අයිති කරගෙන ඇති බැවිනි. උන් යන බව සර්පයා දැන සිටියේය. එහෙත් උන් සර්පයා සිටිනා විටෙක, සර්පයාට දකින්නට, සර්පයාගේ උදව්වෙන් යතැයි සර්පයා බලාපොරොත්තුව සිට තිබිණි. සැබැවින්ම සර්පයා උන්ව අයිති කොට ගෙන තිබිණි.

පූසන් උන්ව කෑවාදැයි සර්ප සිත විපිළිසර විය. එවන් කිසිදු ලකුණක් දක්නට නැත. පූසන්ගෙන්වත් එවන් මාංශමය තෘප්තියක් දකිත නොහේ. සර්පයාට දැන් ඇත්තේ සර්පයා සිතා හුන්නාට වඩා කලින් උන් ගිය එක ගැන විස්සෝපයක්ය. සර්පයා උන් කුඩා යැයි සිතා සිටියේය. සර්පයා මීට පෙර කුරුල්ලන් සබැ`දිව නොවුනත් මේ මෙසේම සිතා හුන්නේය. එ අයද ගියේ සර්පයා නොසිතූ නිමේෂයන්හිය. සර්පයා ඇවිත් යන්නන් අයිති කරගන්නට ගොස්, නවත්වන්නට ගොස් බොහෝ දුක්ඛ දෝමනස්සයන් වින්දේය.

සර්පයා සිය දියණියවද එසේ අයත් කොට නොගන්නෙම්යැයි ඒ සියල්ලෙන් ඉක්බිතිව සිතා උන්නේය . එහෙත් සර්පයා මේ අහක යන කුරුළු පැටවුන්වත් අයිති කර ගත්තේය. එසේ අයිති කොට ගැන්මෙන්ම ඒ අයත් කොට ගත නොහැකි බව දැන ගත්තේය. මේ ලෝකේ ඕනෑම මෝඩයෙක් දන්නා පාඩමකින් සර්පයා තමා ගැනම දැන ගත්තේය.

වැස්සට ගෙම්බෝ ගෙට වදිති. ආ සේම උන් යන්නට යති. ලෝකෙ පුරා ඇති බයිසිකල් ගොඩ ගසා නොගන්නට සර්පයා සිතින් සිතා ගත්තේය. මේ සංකල්පීය කුණු ගොඩ ගිනි තබන්නට කාලයයි. නියං සමය ලැව් ගිනි අවුලවනු ඇත.

කේ.කේ.සමන් කුමාර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල