කෙටි කථා

සර්පයාගේ කොලම 12

Off

වනාන්තරය සහ සන්නිවේදනය
සර්පයා ගොළුවකු වන්නට ඉටා ගත්තේය.
කැලේ සතුන් සන්නිවේදනය කරති. මනුසතුන් ඊට අමතරව ජනසන්නිවේදනයද කරති. සන්නිවේදනය සතුන්ටවත් සතුන් සේ සරලව ඉන්නා මිනිසුන්ටවත් අමුතුවෙන් උගන්වන්නට දෙයක් නැත. උන් ඒ ඉවෙන් රැගෙන එති. ඉතිරිය ජීවිතයට මුහුණ දෙමින් ප‍්‍රගුණ කරති.

එහෙත් ජන සන්නිවේදනය විශේෂයෙන් ඉගෙන ගත යුතුය. පන්ති ගොස් ඉගෙන ගන්නට කලින් කාලයේ ඒ වැඩ කිරීමෙන් තැත්වරද ක‍්‍රමයෙන් හෝ අනෙකුන්ගේ අත්දැකීම්වලින් ප‍්‍රගුණ කළෝය. දැන් ඒ උගන්වන්නට බොහෝ තක්සලාවන් තිබේ.
සතුන්ටත් සන්නිවේදන අවශ්‍යතාවන් තිබේ. ඒ දිවිසැරිය ගෙවුමට අවැසි මූලික දෑ කරගන්නට පමණක් වේ. සිය විරුද්ධ ලිංගිකයන් සමග, පැටවුන් සමග , රැළත් සමග මෙන්ම සතුරන් සමග සන්නිවේදනය කරන්නට විවිධ උපක‍්‍රම සොබා දහමින්ම දී තිබේ. උන්ගේ පාට, හැඩය ඉරියව්, නාද, විවිධ චලන රටාවන්, ගඳ සුවඳ ඊට තිබේ. පෙම්වතියට හෝ පෙම්වතාට ඇරයුම් කරන්නට, සිය ළබැඳියන්ට රැළට අනතුරු අඟවන්නට මෙන්ම ආහාර ජලය ඇති තැන් දැනුම් දෙන්නට විවිධ සන්නිවේදන උපක‍්‍රම උන්ට ඇත.
සතුරන්ට සිය කෝපය හා බලය පෙන්වා පලවා හරින්නට මෙන්ම සතුරා මුලා කරන්නට විවිධ උපක‍්‍රමද තිබේ. මෙයින් විරුද්ධ ලිංගිකයන් සහ සතුරන් සමග ගනුදෙනු කරන සන්නිවේදන උපක‍්‍රම අතිසුන්දර සේ සර්පයාට පෙනෙන්නේය.
එහෙත් අතීතේ එක්තරා දවසක මේ වනාන්තරය මැද්දෑවට වචන වැස්සක් කඩා වැටුනේය. සතුන් ඒ වැස්සෙන් නැහැවුනේ නැත. මනුසතුන්ගේ ගැහැණු සතුන්ද ඒ වැස්සෙන් නැහැවුනේ නැත. ඒ පොකුරු වැස්සක් වීය. එනම් තෙමෙන්නට කැමැතිවුන් පමණක්ම තෙමා වට වැස්සක් විය. එයින් නැහැවුනේ මනුසතුන්ගේ පිරිමි සතුන්මය. උන් වියරුවෙන් මෙන් මේ වැස්සෙන් තෙමෙන්නට ගත්හ. ඒ මදිවාට ගැහැණු සතුන්වද ඇදගෙන වුත් උන්වද ඉන් නැහැවෙන්නට හලෝය. ඒ මදිවාට කුඩා ළමුන්වද රැගෙන වුත් වැස්සට ඇල්ලූහ. උන් හා විසූ බල්ලන් බළලූන් ඈ සතුන්වද ඊට ඇල්ලූහ. ඒ මදිවාට කැලේ බෙනවල වුන් ගිරවුන්වද ඒ වැස්සට ඇල්ලූහ.
එතැන් සිට ඒ වැස්සට විවිධ ලෙඩ රෝග වහංගත බෝ වන්නට වන්නේය.

මේ වචන වැස්සේ නැහැවෙන්නට මහත්සේ ලොල් වූවෝ පසුකලක ලේඛකයෝ වූහ. දේශකයෝ වූහ.

ගැහැණුන්ව වැස්සේ තෙමීමෙන් පස්සේ හරිම අලකලංචියක් ඇති වුනේය. මුලින් ගැහැණු ඒ වැස්සට එතරම් කැමති නොවූවෝය. ඒ වැස්සේ තෙමුණු පිරිමි එතැන් සිට කලින් උගුරින් කළ සද්ද විවිධ තාලවලට කරන්නට ගත්හ. අන්තිමේ අර නිකම්ම නිකම් කළ සද්ද උන්ට අමතකව ගොස් තිබුණේය. ඉතින් මේ විවිධ තාලවලට කරන සද්ද ඉගෙන ගන්නට ගෑණුන්ට සිද්ධ විණි. උන්ද එතැන් සිට තාලවලට සද්ද කරන්නට ගත්තෝය. කෙතරම්ද කිවහොත් උන් පිරිමින්ට ළං නොවෙත හැකි තරම් නානාප‍්‍රකාර සද්ද කරන්නට උගත්තෝය. ඒත් උන් ඒ සද්ද පඬේකට ගණන් ගත්තේ නැත.
උන් අතින් පයින් කරන, මුහුණෙන් කරන මෙන්ම අතීතේ මේ වැස්සට තෙමෙන්නට කලින් කළ සද්ද ගැන පමණක්ම විස්වාස කළෝය. එහෙත් එක් මොහොතක වැටුණු වචන වැස්සකට ලොල්ව ගැහැනු අහසට මුව අයාගෙන ඒ වචන වැස්ස බඩ කට පුරා ගත්තෝය.
ඒ වේලේ අහසින් වට වදන වූයේ ආදරයයි. එතැන් සිට ගැහැණුනට් මේ වචනය ඉස්මුරුත්තාව බඩයන්නටද වැමෑරෙන්ටද විය.

මේ වැස්සට තෙමුනායින් පස්සේ මනුසතුන්ට හැදුණු ලෙඩවලින් ලොකුම එක මොළය ඉදිමීමයි. මොළය ඉදිමෙන ගානට ඉඩ මදි නිසා ඉස්කබල පළල්වී ඔලූවද ඉදිමුනේය. මනුසතා කියා නමක්ද උන්ම උන්ට පට බැඳගත්තෝය.
මෙයින් පස්සේ උන්ට හීන පේන්නට පටන් ගත්තේය. හීන කියන්නේ නැති දේ පේන එකය. සතුන්ට පේන්නේ තියන ඒවා පමණය. මේ දැන් මෙතන තියන එක පේනවා මිස උන්ට වෙන දේවල් නොපෙනේ. තිබුණු දේවල් මෙන්ම තියෙන්නට පුලූවන් දේවල්ද නොපෙනේ. අහවල් එක මෙතන තිබුණා නම්, තිබුනොත් කියා උන්ට නොපෙනේ. මේ මනුසතුන්ට නින්දෙන්ද නොනින්දෙන්ද එසේ පෙනෙන්නට ගත්තේය. ඒවාට දවල් හීන කියා නමක්ද පට බැඳුනි. ඒත් එහෙම්ම කිව්වේ වෙන්ටම බැරි දේවල්වලටය. වෙන දේවල්වලට කීවේ හිතුවිලි කියයාය. මෙසේ වෙන්නට පුලූවන්ය හිතන දේවලට උපකල්පන කියාය.
කෙසේ හෝ මෙතනින් පස්සේ කිසිවක් නැතුව තියන මෙන් හිතා ගන්නට මනුසතුන්ට ඇහැක් විය. මේ හිතෙන ඒවා කියන්නට අර වැස්සෙන් පස්සේ ඒ වැහි තාලයට සද්ද කරන්නට පටන් ගත් සද්දත් මදිවෙලා මේ මනුසතා ඒවාට ඉරි කෑලි වගේකුත් අඳින්නට පුරුදු විය. මෙතැන් සිට වැඬේ කෙලම වී ගියේය. සන්නිවේදනය ජනසන්නිවේදනය වෙන්නේ මේකෙන් පස්සේය. කියන්නට ඕනෑ කීපදෙනාට පෙම්වතියට පෙම්වතාට දරුවන්ට ?ළේ අයට සතුරන්ට කියන එකෙන් එහාට ගිය මේ විනේ කැටෙන විට වචන වැස්සෙන් පහු එකපිට එක නානා මුරුගසන් වැහි වැටී මනුසත්තු තෙමී බත්වී සිටියහ. කෙසේ හෝ රැළෙනුත් පිටට ගිය සන්නිවේදනේ මූදෙනුත් එහාටම ගියේය. ඒකෙන් වනාන්තරයම එකම රැළක් වෙන බව හැමෝම කීවෝය. ඒත් අන්තිමේ අල්ලපු ගෙදර කතා මෙන්ම මූදෙන් එහා කතාත් වැඩක් නැති හැම කතාවක්මත් ඇවිත් ඇස්කන්වල හැපුනේය. මේ අනුන්ගේ කතා නිසා අනුන්ගේ සැප ගැන ඉරිසියාවද , අනුන් හිතන හැටි ගැන මුලාවන්ද ඇති වුනේය.
අන්තිමේ සේරම මඥ්ඥංව ගියේය.

වනාන්තරය දැන් එකම එකම මඥ්ඥමකි. ජනසන්නිවේදනය වෙනුවට මඥ්ඥංවේදනය කියා කීවොත් වැරැද්දක් නැති ගානටම කෙලවුනේය. සන්නිවේදනයද, ජනසන්නිවේදනයද රැුළෙන් එහාට මූදෙන් එහාට ගොස් අන්තිමේ වැඩක් පලක් නොකරන වුන්ට රස්සාවක් උනේය. නැති ප‍්‍රශ්න හැදුනේය. වචනවලින් කියන දෙය නොව වෙනත් දේවල් කියවුනේය. කියන්නාගේ ඇත්ත වෙනුවට වචන වෙස්මුහුණු වී ඇත්ත වැහුවේය. මිනිසුන් මේ වචන වෙස්මූණු ගැන විශ්වාසය පෙන්නුවත් කිසිවෙක් ඒ විශ්වාස නොකලෝය. කියන්නට දෙයක් නැතිව කියන වචන නිසා අසන්නෝ වෙන වෙන දේවල් සිතුවෝය. තමා සිතන දෙය අනෙකාට කියන්නටය කියන වචනවලින් අනෙකා ඔහු කියන්න නොව තමන්ට ඕනෑ දේවල් සිතා ගත්හ.
අන්තිමේ වචන කැති පොලූ මුගුරු වී හැමෝම තෙමාගෙන වැටුනේය.

වචන බූමරැංග වුනේය. මූණට කරන පහරදීම් වෙනුවට වචන සැඟවී පහරදීමේ උපක‍්‍රමයක් වුනේය. කේලාම්, කෙටවිලි, ගේම්, බොරුවලවල් සියල්ල සන්නිවේදන දියුණුවත් එක්කම දියුණු විය. තාක්සණෙත් එක්කම මේක සතුරාට පහර දෙන සතුරා මුලා කරන මෙන්ම, විරුද්ධ ලිංගිකයන් ඇද ගන්නා මෙන්ම මුලා කරන විසකුරු සතුන්ගෙන් බොහෝ දේ ණයට ගත්තේය.
සර්පයා වනාන්තරය දෙස බලා උන්නේය. වචන වැස්සෙන් පස්සෙන් පහු වනාන්තරයට වූ සන්තෑසිය මෙනෙහි කරන්නට වන්නේය.

ගම්පාලූ කුරුල්ලෝ වනාන්තරය ඉස්මත්තෙන් කෑගාගෙන ඉගිල යන්නට වන්නෝය. උන්ගේ බිජු ලෑම වචන වැස්ස වනාන්තරයට වැටුණාට පස්සෙන් පහු වැඩි වන්නට ඇත.
එහෙත් මේ වැස්සෙන් තෙමුණු සතා වූයේ මනුසතාම පමණි. එතැන් සිට උහු වනසතුන්ගේ ජිවිත ගැනද තීන්දු තීරණ ගන්නට පටන් ගත්තෝය. වනාන්තරයේ මළ බෙර හඬ රැව්දෙන්නට වන්නේය.
සද්ද වචනද රූපද පාටද සියල්ල වනාන්තරය පුරා අතොරක් නැතිව පියා හඹන්නට විය. පෙර කල පරවියකු අත පණිවිඩයක් යැවූ කල්හි උහු කිසි විටෙක අන් කිසිවෙකුට ඒ පණිවිඩය ගිහින් දුන්නේ නැත. එහෙත් දැන් පණිවිඩ යන්නේ කොහේදැයි කාටවත්ම කියන්නට බැරිය. ඒ පණිවිඩ කියවන්නේ කවුදැයි යවන කෙනා දන්නේද නැත. ඒ පණිවිඩවල ඇත්තේ මොනවාදැයි කාටවත් කියන්නටද බැරිය. ඒවායින් කියවන කෙනා තේරුම් ගන්නේ මොනවාදැයි කිසිවකුට කියන්නටද බැරිය.
වනාන්තරය දැන් එකම එක මඥ්ඥමකි.
කේ.කේ.සමන් කුමාර
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල