කෙටි කථා

ලවැන්දර් සේපාලිකා

Off

තෙතමනයක් නැති කාෂ්ඨක හුළඟට එදා තෙතමනයක් එකතු උනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ.ඒත් රළු හුළඟ එක දවසකට හරි හීනියට මෙලෙක් වුනු එක ගැන මම සන්තෝස උනා.
උණුහුම් තේ එකෙන් නැගුනු සුවඳින් කියවුනේ අද මට ලැබෙන්නේ ලෙමන් තේ එකක් බවයි. මම ලෙමන් රසට ආසයි. නමුත් ඒ තේ රසත් එක්ක නම් නෙවෙයි.

තේකක් හදල අතට ගෙනත් දෙන පුරුද්දක් නිර්මලාට නැහැ. “තේ හදලයි තියෙන්නේ..” නිල නිවේදනය ඇහුනාම මම ගිහින් තේක අරගෙන කැමති නම් බොන්න පුළුවන්. නැත්නම් හලල දාන්න පුළුවන්. මොක කලත් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලලා තියන්න ඕනේ.
“කාපු බීපු පිඟාන කෝප්පේ හේදුවා කියලා ඔයාට අඩුවක් වෙන්නේ නැහැ තේමිය..” නිර්මලා කිව්වේ අපි කසාද බැඳලා දෙවෙනි සතියෙදියි.

“මගේ අප්පෝ.. පිරිමින්ට කියල වැඩ කරවාගෙන මට පව් සිද්ද කරන්න ඔය හදන්නේ” ඒ දවස් වල බඩු මල්ල උස්සගෙන ගෙනිහිල්ල දෙන්න හදද්දී සමන්තිකා කියනවා

තේක මම හිතපු තරම් නරක නැහැ. ඒක ඇත්තටම හොඳයි.

“අපේ හැමෝටම අද ටි බෑග් කේස් එක ගානේ දුන්න. බොස් චීනේ ඉඳල එනකොට ගෙනාවයි කියල. ඔයා හිතනවද අනේ ඒ මනුස්සයා මේ චීනේ ඉඳල තේ පෙට්ටි පනස් එකක් උස්සගෙන එයි කියල.. ඔය ලංකාවෙ කොහේ හරි තැනකින් අරන් අරන් දෙන්න ඇති නේද” නිර්මලා හිනා වේවි මං දිහා බලනවා

“මොනවා උනත් තේක හොඳයි” මං එහෙම කියන ගමන් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලුවා

නිර්මලා ට උසස් වීමක් හම්බවුනු වෙලාවේ මම කිව්වේ එයාට ගෙදර ඉන්න කියල. මාත් එක්කම උදේට වැඩට යන නිර්මලා මට කලින් හවසට මට කලින් ගෙදර එනවා උනත් මම හැම වෙලේම කිව්වේ එයාට එතන වැඩ වැඩියි කියල. උසස් වීමත් එක්ක එයාගේ ආදායම මගේ මාසික වැටුපට වඩා වැඩි වුනු එක ගැන මට පුරුෂ ඊර්ෂියාවක් නොදැනුනා කිව්වොත් බොරුවක්. මගේ පුරුෂාධිපති කොන්ක්‍රීට් තට්ටුව නිර්මලා නිසා එන්න එන්නම ඉරි තලන එක ගැන මම සතුටු උනේ නැහැ

“මම රස්සාවට යන්නද මහත්තයෝ..” එක දවසක් සමන්තිකා මගෙන් ඇහුවේ බොහොම බැගෑපත්ව.
“ඔයා රස්සාවල් නොකලට මට ඔයාට කන්න බොන්න දෙන්න පුළුවන් ඒත් ඔයාට ගෙදර ඉන්න පාලු නම් බඳින කම් රස්සාව කරන්න..” මම කිව්වේ ඉව වහා ගිය ආදරෙන්.
ඊළඟ දවසේ මම ගිහින් සමන්තිකාට ඇඳුම් කැඩුම් ගොඩක් අරන් දුන්නේ අලුත් රස්සාවට යන්නයි. එච්චර ලක ලෑස්ති උනත් සමන්තිකා රස්සාවට ගියේ එක සතියක් විතරයි.
” මහන්සියි අනේ.. මම මුකුත් නොකලට ඔයාට හොඳ රස්සාවක් තියෙනවනේ මහත්තයෝ” එයා කිව්ව

“මේ ස්ටාෆ් සර්විස් එක නං එපා වෙනවා අනේ. රවුම් ගහනවා නැති වෙන්න. ඒ අස්සේ ඉන්නෙත් හැට පැනපු කුකුල්ලු..” නිර්මලා කියවනවා

“හ්ම්”

“අද කිර්ති මං ගාව වාඩි වෙලා බොරුවට නිදිවගේ ඉඳගෙන මගේ ඇඟට බරවෙනවා. මං දුන්නා හොඳවයින් වැලමිටි පාරක්. ඒපාර නැගිටලා වෙන සිට් එකකට ගියා”

“ඔයා මොකක් හරි විකාරයක් ඇඳන් යන්න ඇති”

“මං ඇඳන් ගිය විකාරයක් නෑ අනේ. එදා ගත්තු කොළ පාට බ්ලව්ස් ඒකයි, කලිසමයි.. ඒ ඇඳුමේ මොකද්ද තියෙන වැරැද්ද”

“ඕක ගද්දිම මම කිව්ව. ඕකේ අත් කැපිල වැඩියි කියල. කොහෙද කියන දෙයක් ඇහුවද. ඒ කලිසමත් හිර වැඩියි”

“මේ කාලේ අඳින්නේ නැති ඒවා නාකි වෙලා අදින්න කියලද..”

“පිස්සු. පිරිමි අවුස්සන ඇඳුම් ඇදන් ගිහින් ඊළඟට කියන අරූ මූ ඇඟට ආව කියල”

නිර්මලා ස්ලාන්.. ගාල සාස්පානක් සින්ක් එකට අත ඇරියා. මෙතන ඉඳල මේ කතාවේ එල්ලිලා ඉඳල තවත් රණ්ඩු වෙනවද නැත්තන් සාලෙට ගිහින් ටීවී එක දාගන්නවද කියල දෙපැත්තට වැනි වැනි මම මොහොතක් කල්පනා කළා. රණ්ඩුව ඇද්දොත් පාඩුව මටමයි. රෑ කෑම පරක්කු වෙන්න පුළුවන්

ඉස්සර සමන්තිකා අඳින චිත්ත ගවුම් කොච්චර සංවර ද

ටීවී එකේ නිලි බට්ටියක් දිය රෙද්දක් ඇඳන් නලව නලව ඇවිත් ගඟකට බැස්සා. ඉස්සර සමන්තිකා නාල ඉවර වෙලා රෙදි බාල්දියත් අරන්, දිය රෙද්ද පිටින්ම ගෙදරට යන හැටි මට විදුලියක් වගේ කල්පනාවට ආව.

සමන්තිකාගේ ගෙදර ඉඳල ගඟට තිබුනේ මීටර් දෙසීයක් විතර. ඔය පොඩ්ඩ දුර උනත් දිය රෙද්ද මාරු කරන් ආවොත් නරකද කියල අහපුවාම අඬන්න තියා ගත්තා. ඉතින් ඕකට ඔය හැටි අඬන්න ඕනෙද කියල මම එයාගේ සුදු පාට කම්මුලක් ඉම්බා. ඒ දවස් වල ගෙදරම හිටපු හින්ද වෙන්න ඇති සමන්තිකා ටිකක් මහතයි ලස්සනයි. එදායින් පස්සේ කිසිම දවසක මම ඔය ගැන එයාට කතා කළේ නැහැ.දුප්පත් කෙල්ල

අර නිලි බට්ටිම දැන් ගෑණු පෙනුමක් තියෙන නළුවෙක්ගේ ඇඟට හේත්තු වෙලා තොදොල් වෙනවා

නිර්මලා කුස්සියේ ඉඳන් කාමරේට යන හැටි මගේ ඇස් කොනට පෙනුනා. නිර්මලා කවදාටත් මහතට හිටි කෙනෙක් නෙවෙයි. සතියේ දවස් පහක් වැඩට ගිහින් සෙනසුරාද ඉරිදා ජිම් යන්නත් නිර්මලාට පුළුවන් කම තිබ්බ.

“අනේ නලින්ද අයියේ.. සූරසේන අයියා මට හරියට කරදර කරනවා” නිලි බට්ටි නිලි නළුවට කියනවා

මගේ යාලුවෙක් වුනු විජිත නිර්මලා ගෙන් කන පුරා බඩ පුරා බැනුම් අහගෙන තිබ්බේ අවශ්‍ය නැති කතාවක් කියල. කොහොමත් උගේ කට හොඳ නෑ. හරි මනමාලයා. ඔය සිද්දිය කිව්ව වෙලාවේ මම දොස් කිව්වේ නිර්මලාටමයි. මිනිස්සු එක්ක වැඩි කතාවට යනවට ගෑණුන්ට හොඳ පාඩම් ඕව. අනෙක ඌ එහෙම කතාවකට ආව නම් නිර්මලාට තිබ්බේ මග ඇරලා එන්න. මොකට බණින්න ගියාද

“එහෙම ආවොත් ඌ හිතන්නේ මං ඌට කැමති නිසා මුකුත් කිව්වේ නෑ කියල” එදා අන්තිමේදී නිර්මලා පොල්ලෙන් ගැහුවා වගේ කියල බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා

“නලින්ද අයියේ මාව ඔයා ඉන්න තැනකට එක්කං යන්න. මම ලුණුයි බතුයි කාලා ඉන්නං” නිලි බට්ටි ඇඩ් එකක් දැම්ම

“අපිට ඔය කාර් බාර් ඕනේ නැහැ මහත්තයෝ. පොඩි ගෙයක් තිබ්බාම හොඳටම ඇති. මමත් බත් පාර්සල් හදල හරි කියක් වත් හොයා ගන්නං” එදා සමන්තිකා මට කිව්වේ එයාගේ කාමරේදියි. එයාගේ ඇඳ උඩ තිබ්බ මල් පොත් ටිකයි, ඇඳ පාමුල ගොඩ ගහල තිබ්බ මල් සඟරා ටිකයි මට ඇස් කොනෙන් පෙනුනා. අතේ සතයක් නැතිව උන් ශ්‍රියාණි දැන් මාසෙකට ලක්ෂ දෙකක් හොයන බවත්, ඒ කතාව දැන ගන්න ඇතුලත කියවිය යුතු බවත් උඩින්ම තිබුණු සඟරාවේ මුල් පිටුවේ තිබුනා.

“අනේ ඔයත් බලන කතා..” නිර්මලා ගේ සද්දෙට මම උඩ ගිහින් බිම නොවැටුණු ටික විතරයි. අපේ රණ්ඩුව එයාට මතක නෑ දැන්

“මොකද්ද මේකේ තියෙන වැරැද්ද”

“ඕවා අනේ වෙන්න පුළුවන් දේවල්ද කියන්න..අතේ සතේ නැතුව බැඳලා ආදරෙයි ආදරෙයි කිය කියා මුණට මුණ බලන් හිටියාම ඔක්කොම හරිද..”

“එතකොට ඔයා කියන්නේ සල්ලි තමයි ඔක්කොටම මුල කියලද”

“සල්ලි තියෙන්න ඕනේ.. ඒකේ දෙකක් නෑ. ආදරේ තියන්න ඕනේ. ඔය දෙකම තිබ්බත් අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් වැඩක් නෑ”

බඩිගිනියි. කමුද? මම ඇහුවේ එතනින් එහාට මට කියන්න දෙයක් තිබ්බේ නැති හින්දයි.

කාලා ඉවර වෙලා බාජන හෝදන එක මගේ වැඩක්. නිර්මලා ඒ වැඩේ මගේ ඇඟේ ගැහුවේ බැඳලා මුල් කාලෙදිමයි. “අනේ තේමිය , උයන්න උදව් වෙන්න ඕනේ නෑ. අඩුම ගානේ උයපු බාජන ටිකවත් හෝදලා දාන්න”. මම මුල්ම දවසේ බාජන ටික ලඟට ගියේ “ඔයාට මේ පොඩි දේ වත් තනියම කරන්න බැයිද කියල අහගෙන. “පොඩි වැඩක් නිසා තමයි ඔයාට කිව්වේ” නිර්මලා හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නා. ඒත් ගොඩක් දවසට මම තාම හදන්නේ කොහොම හරි මේ වැඩේ මග අරින්න.

“අනේ මහත්තයෝ මට සපුමල් අයියගේ හිත රිදෙන්න කතා කරන්න බයයි. ඔයාට බැයිද පොඩ්ඩක් කතා කරන්න” සමන්තිකා අහිංසක ඇස ලොකු කරලා මට කියපු හැටි මට තාම මතකයි
“මේ හලෝ.. තමුසේට ඕනේ නං කෙල්ලව තියා ගන්නවා. ඒකී මට හා කියපු නැති එක ඇත්ත. ඒත් කවදාවත් බෑ කියලත් නෑ.මම ඒකී කියපු දවසට යන්න යන්නං” මාත් එක්ක එකට කුඹුරු කෙටුව සපුමල්මද ඒ කියල මට හිතා ගන්නත් බැරි උනා

“මහත්තය එක එකා එක්ක කතාවට යන්න එපා. මම මග ඇරලා ඉන්නන්කෝ”

මම අන්තිම බාජනේ හෝදද්දී හීනියට ලැවැන්ඩර් සුවඳක් දැනුනා. රෑට සුවඳ තෙල් පහනක් පත්තු කරන්න නිර්මලා ආසයි. ඒ සුවඳ දැනෙනවා කියන්නේ නිර්මලා ගේ අස් කරලා , අතු ගාල ඉවරයි කියන එක.

“තේමිය .. වොෂ් එකක් දාගන්න” නිර්මලා කෑ ගහනවා. හැබෑට මේ ගෑණු පිරිමින්ව පොඩි එවුන් වගේ නේ කොන්ට්‍රෝල් කරන්න යන්නේ.හෝදගන්න කියල ආයේ කියන්න ඕනෙද. රෑට ඔක්කොම වැඩ ඉවර වෙලා ටීවී එක ඉස්සරහ ඔහේ වැටිලා ඉන්න මම ආසයි. හිතුනු වෙලාවට ඇඟ හෝදලා හරි නැතුව හරි නිදා ගන්න මම ආසයි

“ඔයා ගාව හඩු ගඳයි.” බැඳපු මුල් දවස් වල නිර්මලා කියනවා. ඕක නිර්මලා විතරක් නෙමෙයි අපේ අම්මත් කියනවා

“මහත්තයාගේ සරමක් දෙන්නකෝ මට රෑට පොරවන්න” සමන්තිකාගේ සඟරා මට ඇහැක් ගහනවා

“තේමිය .. නිදා ගන්න එන්න. නැත්තන් උදේට නැගිටින්න අමාරුයි” .
මේ මොන කෝලමක්ද, උඹ ඇඳට පලයන් නිදා ගන්න එපා , හිත ඇතුලේ පිරිමි සතා කෑ ගහනවා.

“මචං අන්න සමන්තිකයි සපුමලුයි ආයේ ගමට ඇවිල්ලා. සපුමලය උදේම වැඩට යන හින්ද සමන්තිකාට ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න අමාරු හින්ද අම්මල ගාවට ආවයි කියල තමා ආරංචිය. ඔය, දෙන්න පැනල ගියාට පස්සේ ආපු මුල් වතාව. දැන් සමන්තිකාට ළමයි දෙන්නෙක් ඉන්නවය කියන්නේ”

අපේ පොඩි එකා හීනෙන් කියෝන සද්දේ ඇහුනා. ලැවැන්ඩර් සුවඳ දැන් තදටම දැනෙනවා. නිදිමත එන්න අපූරුයි

මොනවා උනත් සේපාලිකා මල් ගහක් තිබ්බනං මීට වඩා හොඳයි කියල මට හිතුනා. උදේට පරවෙන එක ඇත්ත ඒත් ඕනේ උනාම කඩල පූජා කරන්න පුළුවනි.

http://rotiyababa.blogspot.co.uk/2016/03/blog-post_25.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල