කෙටි කථා

සර්පයාගේ කොළම – 13

Off

සුළඟට හිමි මග
සුළඟ වනාන්තරය සිසාරා හමා යමින් තිබිණිි. ඒ සර්පයාගේ පෙන ගොබයෙහි වැදී රුටා ගියේය. මේ සුළඟ මින් පෙර චණ්ඩ මාරුතයක්ව කෙතරම් වතාවක් හමා ගොස් ඇත්තේද?

මහ ගස් මුලිනුපුටා දමමින් සර්පයාගේ පෙන ගොබය තූ තූ කරවන තරම් ප‍්‍රචණ්ඩව හමා ගිය ඉන් සර්පයා කෙතරම් වතාවක් පරඬැල් පතක් සේ ගසා ගෙන ගොස් ඇත්තෙහිද?

මේ සුළඟ අල්වා සිර කර ගත නොහෙන බැව් ඇත්තය. එයට එයටම හිමි ගමන් මගක් තිබේ. එහෙත් සුළඟ ඒ ගමන් මග සකසා ගන්නේ ඒ වළකනු වස්, සිර කර ගනු වස් ඇති අවහිර බාධා තුළිනි. ඒ නොවී නම් ඊට ගමනක් නොවනු ඇත. තිබුණද සුළඟට ගමනක් ඇතැයි කියා අපට පෙනෙන්නේ ඒ බාධාවන් නිසාය. කොටින්ම සුළඟ කියා යමක් ඇතැයි අපට පෙනෙන්නේ ඒ බාධාවන්හි ඒ ගැටෙන නිසාම පමණි.

සුළඟට සුළග නොවන අනෙක් දේවල් නිසා මිස, ඒවාට සාපේක්ෂව මිස පැවැත්මක් නැත. එහි හමා යාමට අරුතක් ඇත්තේ නිසලව තිබීමට සාපේක්ෂවය. එය සෑම තැනම පවතී. පවතිනවාදැයි කියාවත් නිනව්වක්, හාංකවිසියක් නැතිව බොහෝ විට පවතී.
එය ඇතැම් විට පවුරු තුළ සිර වේ.

වනාන්තරයටද පවුරු තිබේ. දිසි අදිසි පවුරු අනන්තවත් වනාන්තරය තුළ තිබේ. ඒ ඇත්තේ පුරවරයන්ටම පමණක් නොවේ. වනාන්තරයන්හි පවුරු පුරවරයන්හි පවුරුවලට වඩා බලවත්ය. එක් අතකින් ඒ කිසිවෙක් ඒවා පවුරුයැයි නොගැනීම මත බලවත් වේ. අනෙක් අතින් ඒ පවුරු යනු සුළඟින්ම නිමියේ වෙයි. ඒ පවුරු අපගේ නාස් පුට ඔස්සේ පෙනහැළි සිසාරා යයි. රුධිරය ඔස්සේ සිරුර පුරා දිවෙයි. අපගේ සිරුරින් පිටත අපවම ත‍්‍රස්ත කරන මහා චණ්ඩ මාරුතයන් සැදෙන්නේ ඒ නිසාය. විටෙක ඒ අපේ මුවින් ඇතුල්ව අපගේ පසමගින් පිටව යයි. පිටව ගොස් නැවත සුළඟටම එකතුව විසිර යයි.
සුළඟට ආදරය කරන නිසා හෝ අන් යමක් නිසා අපට සුළඟ අයිති කොට ගත නොහැකිය. සුළඟ ඔඩොක්කු කුක්කු කොට ගත නොහැකිය. සුළඟ පවුරු තුළ සිරවී සිටී. මද පවන් වී පවුරු තුළ එහෙ මෙහෙ හමා යයි. එහෙත් ඒ චණ්ඩ කුණාටු බවට පත් නොවේ. ඒවාට එම පවුරු බිඳ යන්නට තනිව නොහැකිය. පිටතින් පැමිණ ඒ පවුරු බිඳ දමන සුළඟක් සමග එක්ව ඒ පවුරු බිඳ දමා පැන යත හැකිය .එහෙත් ඒ පවුරු සුළ‍ෙඟෙහිද නිපැයුමකි. සුළඟින් තොරව පවුරු තිබිය නොහැකිය. සුළඟ සුවච කීකරුව සිරවීමෙන් මිස පවුරු සැදෙන්නේ අන් යමකින් නොවේ.

සුළඟට අණ කරන්නන් සුළඟ බිහි වූ දා සිටම සිටියහ. සුළඟ නිපන්නේ අණ කරන්නන්ගේ අණ බිඳීමෙනි. එවිට එය කිකිළියද බිත්තරයද මෙන්ය.
ඇතැම් පවුරු තමන් සුළං යැයි කියති. ඒවා හමා නොයයි. පවුරු මෙන් ගල් ගැසී තිබෙයි. තමන් ගැන පාරම් බාන සුළඟ යැයි කිව හැකි යමක් වේ නම් ඒ පවුරු තුළ සිරව, එක තැන පල් වෙමින්, මුඩුම පුස් ගඳ දෙවමින් තිබෙයි.

එයට හමන දිශාව අදාල නැත. උතුරින් පැමිණ දකුණට යනවාද, පෙරදිගින් පැමිණ බටහිරට යනවාද නොතකා ඒ පවුරු තුළ සිරවී නම් මුඩු ගඳමය. පුස් ගඳමය. එය තීරණය වන්නේ පවුරු තුළ මහා කාල නා රජුගේ පුරුක් කීයක් ගෙවෙන තුරු සිරව සිටියාද යන්න මත පමණි. එය පුස් ගඳ අඩු වැඩි වීම පිළිබඳ කාරණාවකි. එහෙත් පුස් ගඳ පුස් ගඳමය. එක් ගඳකට සාපේක්ෂව තවත් ගඳක් සුවඳයැයි හෝ උදාසීන යැයි ගැනීම පිළිබඳ කාරණාවකි. අනෙක ගඳ හා සුවඳ යනුද සාපේක්ෂ සම්මුතියක් බව ඒ පුස් ගඳ ඔබට කියනු ඇත. සුවඳ යන්න අස්වාභාවික බව ඒ කියනු ඇත. පරම සත්‍යය වළඳමින් බඩ රැක ගන්නා උන් ගඳ යන්න ස්වාභාවික යැයි කියනු ඇත. එය උරුලෑවාගේ ගඳ වැනිය. මන්ද ඒ සුවඳකි.

මේ වනාන්තරය තුළ උරුලෑ ගඳවල් කීයක් සර්පයාට එදා මෙදා තුර දැනී ඇත්තේද?

කස්තුරි මුවා උගේම සුවඳට රැවටී කෙතෙක් මේ වනය පෙරළා දිව ගොස් ඇත්තේද?

සුළඟද ඇතැම් විට කස්තුරි මුවා මෙන්ය. තමාගේම හඬට රැවටී සියල්ල පෙරළා හමා යන්නේය. එහෙත් කිසිවක් නැතිව තමාම පමණක් වූ විට ඊට තවත් එසේ හමා යන්නට නොහැකි වෙයි.

අඩු තරමින් ඉරවත් නැති නම් හුළඟට සිය අතපය වකුටු කොට ගෙන ඔහේ පුස් ගඳ ගසමින් සිටින්නට සිදුවේ. සුළඟට බය මහ පරුවත ගස්වැල් වටහා ගත යුතු දෙය එයයි. තමා අහෝසි වී නම් සුළඟද අහෝසි වනු ඇත්තේය. එහෙත් ධර්මතාවය එය නොවේ. සියල්ල පවතී. සියල්ල තමා හැටියට පවතින නිසාම අනෙක්වාද පවතී.

සර්පයාගේ පෙන ගොබය කීතු කීතු කරමින් යන ජාතියේ සුළං පහරවල් මේ වනාන්තරය පුරා බඩ ගා ගිය දිවි සැරිය පුරා අනන්තවත් අසංඛ්‍යවත් අවුත් තිබේ. ඒ හමුවේ සර්පයා සිය පෙනය එහෙටත් මෙහෙටත් සලමින් කෙලින් තියාගන්නට බැරිව සිටිද්දී, හඬා වැටෙද්දී මහා කාල නාග රාජයා කළේ කොක් හඬලා සිනාසීමය.

නිසල වාතය තවමින්, ප‍්‍රචණ්ඩ සුළි කුණාටු ජනිත කරමින් උදම් වන හිරුද යම් දිනෙක එහි ඇති වන හිරු උදම් කුණාටුවලින් පසු අවසන් හුස්ම පොද මර සුස්මක් සේ ගොරොද්දය අදිමින්, මර කෙඳිරියක් පිට කරමින් නිසල වන බව මහා කාල නා රජු දන්නේය. නැතොත් සිහින් සුස්මක් වාතයට මුත කරමින්, සිහින් මලානික කෙ`දිරියක් පිට කරමින් ඒ වන්නටද ඉඩ තිබේ. ධර්මතාව ඒ වෙයි.

සර්පයා සිය දැහැන් රැහැන් පට සිඳ දමා බඩ ගා යන්නට වන්නේය.

එවිට ඉර ගල වැටෙමින් තිබිනි.

සුළඟ හෙමිහිට හමා ආයේය.

එය සර්පයාගේ පෙන ගොබයෙහි වැදී රූටා යමින් සිහින් ස්වරයක් නැංවීය.

මකුළුවකු සුළඟ නැවැත්වීමට මකුළු දැලක් බඳිමින් හුන්නේය.

එයද ධර්මතාවක් වන්නේය. මේ මකුළුවා තම ජීවිකාව සපයන දැල සුළඟ විසින් කඩා දමනු ලැබුමෙන් මහත් රෝෂයට පත්ව සිටියේය. එනයින් සුළඟ නැවැත්වීමට මහත් වූ දැලක් වියා, ඊට මුවහ කොට තවත් දැලක් වියා එහි සිය ජිවිකාව කොට ගන්නට සිතීය. එහෙත් සුළඟ මකුළු දැලකින්, ඒ කෙතෙක් සවිමත් වුවද වැළැක්විය නොහෙන බැව් උහු නොදැන සිටියේය.

සංසාරය පවතිනා තාක් කල් ඌ ඒ සඳහා උත්සාහ කරනු ඇත්තේය.

සුළඟද මන්ද බුද්ධිකයකු මෙන් මහ පවුරු, රූස්ස ගස් සමග මෙන් මකුළු දැල් සමගද මෙසේ ගැටෙනු ඇත්තේය. ඇතැම් විට මහා රූස්ස ගස්වලට වඩා, මහා පරුවතවලට වඩා සුළඟ වෙහෙසට පත් කරන්නේ, තරහ ගස්වන්නේ මකුළ දැල වීමටද ඉඩ තිබේ. මෙය ධර්මතාව වෙයි.
කුහුඹුවන් රැුලක් ඉර ගල වැටෙන සැන්දෑවේ සිය ගුල් වෙත ඇදෙති. උන්ගේ යෝධ සෙවනැලි රූස්ස ගස් මෙන් පොළොව දිගේ දිගේලිව ඇත. සුළඟ කුහුඹුවන්ට ගණනක් නැත. සුළඟින් ලැබෙන අන් ප‍්‍රතිපලවලින් උන් ඇතැම් විට පීඩා විඳිති. එහෙත් උන් සුළඟ ගැන කිසිවක් නොදනිති. උන්ට පණ නල දෙන්නේද ඒ නොදන්නා සුළ`ගමය. කවදා හෝ උන්ගේ ප‍්‍රාණ වායුවත් ඒ සුළඟටම එක්වෙයි. උන් පිට කරන අවසන් සුසුමින් සුළඟට එකතු වන දේ කෙතරම්දැයි උහුවත් අන් කිසිවකුවත් සුළ`ගවත් නොදනිති. කුහුඹු අඬුවක් පමණවත් නොදනිති.
කේ.කේ.සමන් කුමාර
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල