පරිවර්තන

පිරුණු කළය සහ පිපිරුණු කළය… සහ තවත් කතා

Off

ඔහු කත් අදින්නෙකි. ඔහු ගෙන යන්නේ වතුර පිරවූ කළ ගෙඩි දෙකකි. එයින් එක කළයක පිපිරුමක් වූ නමුදු අනෙක ඉතාමත් අනර්ඝ තත්ත්වයේ තිබිණ. ඔහු මේ කද ගෙනයන්නේ බෙල්ල පසු පසින් ලීය දමා දකුණු අත පැත්තෙන් පිපිරුම සහිත කළයත් වම් අත පැත්තෙන් අනෙක් කළයත් එල්ලාගෙනයි. දිය පහරේ සිට සෑහෙන දුරකින් පිහිටා තිබූ ඔහු සේවයට බැඳී සිටින මහත්මයාගේ නිවසට ලඟා වන විට දකුණු පැත්තේ කළයේ ඉතිරිව තිබෙන්නේ ජලය හරි අඩක් පමණි. නමුදු වම් පැත්තේ කළය නිරුපද්‍රිත ව එහි ලඟා වේ.

ඉතිං සෑම ගමනාන්තයක් ම අනර්ඝ අන්දමින් අවසන් කරන තමන් ගැන වම් කළය පසු වූයේ මහත් වූ අභිමානයකිනි. නමුදු සැමදා නියමිත ප්‍රමාණයෙන් අඩක් රැගෙන යන තමා පිළිබඳ ව දකුණු කළය වූයේ බොහෝ සෙයින් රිදවාගත් සිතකින් යුතුවය.

මෙසේ කලක් ගත ව ගියේය. මේ කටුක සිත් රිදවීම සමගින් තව දුරටත් රඳනු නොහැකි වූ තැන දකුණු කළය කත් අදින්නා සමග කතා කළේය.

“මට හරි ලැජ්ජයි මං ගැන. මගේ නොහැකියාව ගැන මට ඔබගෙන් සමාව ඉල්ලන්න ඕනෑ”

“ඔබේ නොහැකියාව?… සමාව?… මගෙන්?…” කත් අදින්නා කිසිවක් වටහා ගත නොහැකි වූ ලෙසින් විමසා සිටියේය.

“බලන්න හැම වාරෙම මට පුළුවන් වෙන්නේ ඔබට වතුර භාගයකින් සේවය කරන්න විතරයි. මේ පිපිරුම නිසා ඔබේ මහත්තයාගේ ගෙදරට යන මග දිගට මං අතින් ඉතිරි භාගේ හැලෙනවා. දිගින් දිගටම හැලෙයි. මගේ වැරැද්ද නිසා ඔබ කරන සේවයට ලැබෙන්න ඕනෑ නියම වටිනාකම කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මට බොහොම කණගාටුයි. මට සමා වෙන්න”

කත් අදින්නාට දුක හිතිණි. සෑහෙන වයසැති, පිපිරුමක් සහිත මේ කළය පිළිබඳ අනුකම්පාවෙන් ඔහුගේ සිත පිරිණි.

“අනේ මගේ කළේ… නුඹ කණගාටුවන්න එපා. මේ ලෝකේ ඔය වගේ දේවල් ඕනෑ හැටියේ වෙනවා. අද මහත්තයාගේ ගෙදරට යද්දි මං නුඹේ හිත හැදෙන්නත් එක්ක ලස්සන, බොහොම අලංකාර මල් පාත්තියක් පෙන්වන්නම්කෝ”

කන්ද නැග යනවිට මීට පෙර කිසිදා දකුණු කළයේ සැළකිල්ලට ලක් නොවුණු අලංකාර මල් පාත්තියක් මග දිගට ම ඔවුනට මුණ ගැසිණ.

කළය පෙළුණු කණගාටුවෙන් මුදවාලන්නට යම් තරමකට එය සමත් වූ බව කිවමනාය. නමුදු ගමන අවසාන වනවිට නැවතත් තමන් අතින් පෙර පරිදීම වතුර භාගයක් හැලී ඇති බව පසක් වීමෙන් කළය පුරුදු වේදනාවෙන් පෙළෙන්නට විය.

“අනේ ඉතිං මොන සතුටක්ද? ඔන්න අදත් වතුර භාගයක් ම හැලුණා” එය සිය ස්වාමියා හා දුකින් පැවසුවේය.

“අනේ මගේ කළේ… නුඹට තේරුණේ නැද්ද වෙලා තියෙන වැඩේ? නුඹේ පැත්තේ විතරයි ඒ අලංකාර මල් පිපිලා තියෙන්නේ. වම් පැත්තේ එහෙම නැහැ. දැනුණේ නැද්ද ඒ වෙනස?

මං කලක් යද්දි දැනගත්තා නුඹේ අඩුපාඩුව. මං කල්පනා කළා ඒ අඩුපාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහක් ගැන.

ඉතිං මං කළේ ඒ ලස්සන මල් වල ඇට ටිකක් ගෙනත් වතුර හලාගෙන එන නුඹේ මග දිගට ඉහපු එකයි. හැමදාමත් දිය පාර ගාව ඉඳන් මං මහත්තයාගේ ගෙදරට එද්දී නුඹ ඒ මල් වලට වතුර දමාගෙන ආවා.

ටික දවසකින්ම මල් පිපුණා. එදා ඉඳන් මං හැමදාම ඒ මල් කඩාගෙන ඇවිත් මහත්තයාගේ ගෙදර සැරසුවා. මහත්තයා බොහොම පැහැදීමෙන් ඉන්නේ ඒ ගැන.

ඉතිං නුඹ මේ වගේ නොවී වම් කළය වගේ වුණා නං තව වැඩිපුර වතුර කළ භාගයක් ගේන්න පුළුවන් වෙන්න තිබුණා තමයි.

ඒත් ඒ වතුර කළ භාගයට, මහත්තයාට ඇති මගේ හිතෛශිවන්ත භාවය පහදලා දෙන්න පුළුවන් වෙයි කියලා නුඹට හිතෙනවද?”

පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි
****************************************************

ඔබට සෙනෙහසින්…

කන් දෙක පිරෙන්න තිබුණු සංගීත රාවය වෙනුවට දැන් අවකාශය පිරිලා තියෙන්නේ රාත්‍රී නිහඬතාවෙන්… සියලු සාද කතා නිම වී අවසානයි. අපේ විවාහ උත්සවය ඔයා බලාපොරොත්තු වූ අයුරින් ම උත්කර්ෂවත් වූවා නේද?. නමුත් මේ උදාවෙමින් පවතින්නේ එය අතීතයට එක් වී ගත වෙන පළමු දිනයයි.

විවාහ චාරිත්‍ර සම්පූර්ණයි.
මේ ඇරඹෙන්නේ අපේ හවුල් දිවියයි.
නැතහොත් පවුල් දිවියයි.
මේ එළඹ තිබෙන්නේ අපේ පවුල් දිවියේ පාදම ගොඩ නගන හෝරාවයි.

සියලු ම ආරාධිතයෝ, පිටව ගිහින්. දැන් ඉතිරිව ඇත්තේ අප දෙදෙනා විතරයි. හෙට දිනයේ අප යම් තැනකට ළඟා වන්නේද අද තබන්නේ ඒ ගමනේ පළමු පියවරයි. මෙයින් මතු එළඹෙන කාලය ගතවුණු කාලයට කිසිලෙසකින් සමාන නොවුනු ඇති.

මතකද ඔයා අර රතුපාට ලස්සන ගවුම ඇඳගෙන ආපු ඒ දවස? ඒ ගවුමට ඔයා මොන තරම් නම් හැඩකාරද? මට එදා ඔයාව ස්පර්ශ කරන්න උවමනා වුණා. අප දෙදෙනා චිත්‍රපටයක් නරඹන්න ගිහින්නේ හිටියේ. මම ඒ වෙලාවේ හිටියේ බොහොම උද්වේගයෙන්. ඔයාව නාන කාමරය වෙත කැඳවාගෙන ගොස් සිප වැළඳ ගන්න මට බොහොම තදින් උවමනා වෙලයි තිබුණේ. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. මොකද හිතෙන්නේ දැන්? ඔයා දැන් මගෙයි. දැන් මට එහෙම කඩිමුඩියේ කරන්න හිතන්න කිසිම දෙයක් නැහැ.

ඉතිං එළඹෙන හෝරාව එළඹෙන්නට පෙර මට මේ ටිකත් කියන්න ඉඩ දෙන්න.

අදින් පසු මට ඔයාගෙන් වසංගන්න කිසිම දෙයක් නැහැ. මගේ දුරකථනය ඔයාගේ වගේ පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. මගේ ෆේස් බුක් ගිණුමත්, ට්විටර් ගිණුමත්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමත් අදින් පසු මගේ ‍පුද්ගලික දේවල් වන්නේ නැහැ.

අද පටන් මං ආපහු පොඩි දරුවෙක්. පහු ගිය අවුරුදු පහේ මම වැඩිහිටි පිරිමියෙක් ව හිටියා. මම උදේට තනියෙම අවදි වුණා. සමහර වෙලාවට මං කුසගින්නේ නින්දට වැටුණා. මං හැම දෙයක් ම කළේ මගේ තනි කැමැත්තට, මට හිතෙන විදිහට. මම ගෙදර ආවේ මට ඕනෑ වුණු වෙලාවට.

නමුත් අද ඒ හැමදේම අවසානයක් දකින දවසයි. අද පටන් ඔයා මගේ අම්මා.

මම පමා වෙලා ගෙදර එද්දි මට බණින,
වැඩට යන්න උදේ 6 වෙද්දී මාව අවදි කරන,
මට කුසගින්නේ නින්දට යන්නට ඉඩක් නැති බව සහතික කරන!

දන්නවද? ඔයා වෙතින් ආපහු අම්මා කෙනෙකු හමුවීම ගැන මට ගොඩාක් සතුටුයි.

ඉතිං මං උදක් ම බලාපොරොත්තු වෙනවා ඔයා මට හොඳ අම්මා කෙනෙක් වෙයි කියලා. ඒ කියලා මට ගොඩක් ම දරදඬු විදිහට සළකන්නේ නැහැ නේද? මමත් පොරොන්දු වෙනවා එච්චර ම ඇට්ටර කොලුවෙකු නොවී ඉන්නට.

මම ඔබට හිසේ අමාරු ගෙන දෙනවා, නමුත් මම පොරොන්දු වෙනවා ඒ හැම හිසේ අමාරුවක ම නිවාරණයත් මං ම වන බවට!.

දෙමව්පියන් මිය ගියාට පස්සේ සහෝදර සහෝදරියන් බලා ගත්තේ මම. මම ඔවුන්ට තාත්තා කෙනෙකු වුණා, ඒ ගැන ඔයා හොඳින් දන්නවා. ඉතිං ඔයාටත් තාත්තා කෙනෙකු වන එක, ඔයාට හිතාගන්න බැරි තරමට මට ලේසියි.

‘හැම පිරිමියෙකුට ම මෙහෙම වෙන්න පුළුවන් නම්?… ලෝකේ තියෙන ප්‍රශ්න වලින් තුන් කාලක් ම ලෝකේ නැති ප්‍රශ්න වෙයි’කියලා නේද ඔය හිතන්නේ?.

ඉතිං මා ප්‍රිය ස්වාමි දියණියනි, ඔහොම ලස්සනට හිනා වෙවී ඊටත් වඩා ලස්සනට අඬන්න එපා. ඉතිරි ටික අහගන්න ඕනෑ නැහැ වගෙයි මට දැන්නම් දැනෙන්නේ. ඔව්… ඇත්තට ම…

පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි
****************************************************


කුහුඹු දැක්ම
දිනක් උදැසන මා, පිටුපස බරාඳයට වී පැයකට ආසන්න කාලයක් ගත කළේ පුංචි කුහුඹුවකු විශාල කුරුලු පිහාටුවක් රැගෙන යන ආකාරය නරඹමිනි.

කිහිප විටක් ම කුහුඹු මගෙහි නොයෙකුත් බාධක හමුවිය. එවන් විටෙක මද වේලාවක් නැවතිල්ලේ ගතකළ කුහුඹුවා වෙනත් පැත්තකට හැරී ගමන් කරන්නට වන්නේය.‍

විසල් කුරුලු පිහාටුවද ඇදගෙන ගමන් කරන පුංචි කුහුඹුවාගේ උවමනාව,ධෛර්යය ගැන මා තුළ පුදුමයක් ඉපැදෙමින් තිබුණු අතර හිතෙන හිතෙන පැත්තට හැරෙමින් ගමන් කරන මේ කුහුඹුවා ආයාලේ යන්නෙක්දැයි අනෙක් අතට මට සිතිණි.

මෙසේ ගමන් කරන අතරතුරේ එවර කුහුඹු මගට හරහට හිටියේ අඟල් භාගයක පමණ පළල පැල්මක් සහිත මහා විසල් ප්‍රපාතයකි. එය කොන්ක්‍රීටය දිගේ අඟල් ගණනාවක් දිගු වූ බොහෝ දුරකට විහිද තිබිණ. එවර නං වැඩේ අහවරවනු ඇතැයි මට සිතිණි. මම කුහුඹුවා දෙසට මගේ ඇස වඩ වඩාත් ලං කළෙමි.

පිහාටුව පසෙකින් තැබූ පුංචි සතා පැල්මේ ගැට්ට දිගේ එහෙට ගියේය. මෙහෙට ගියේය. හිසත් ඉදිරි පාදත් ඔසවා පුංචි සංවේදක සොලවමින් ඈත මෑත බලමින් මද වේලාවක් ගත කර, අනතුරුව පිහාටුව ගෙන පැල්ම හරහා පාලමක් සේ දමා ඒ හරහා ගමන් කළේය. ඉන්පසු නැවතත් පිහාටුව ඇදගෙන පෙර පරිදිම ගමන් කරන්නට වන.

මෙසේ මග දිගට හමු වූ නොයෙකුත් බාධක මග හරිමින්, බොහොම වෙහෙස වී ගමන් කළ කුහුඹුවා අවසානයේ බරාඳයේ කෙළවරෙහි වූ මල් පාත්තිය වෙත ලඟාවිය. බාධක හමුවේ මග වෙනස් කළද ඔහු අයාලේ ගොස් තිබුණේ නැත. ඒ බවට එතැන පෙනෙන්නට තිබූ කුහුඹු ගෙදර පුංචි දොරටුව මට සාක්ෂි කියා පෑවේය.

නියම ගැටලුව පැන නැගුනේ එහිදීය. ඒසා විසාල කුරුලු පිහාටුව කෙසේ නම් ඒ පුංචි සිදුරෙන් ඇතුලට ගන්නද? ඇත්ත වශයෙන් ම එය කළ නොහැකි දෙයක් විය.

දන්න තරම් සියලු ම උපායයන් යොදමින්, මග දිගට හමු වූ සියලු බාධක ජය ගනිමින්, බොහොම වෙහෙස මහන්සියෙන් ගෙන ආ ඒ පිහාටුව අතහැර දමා, තවත් තත්පර නොවූ කුහුඹුවා නිවස තුලට යන්නට ගියේය.

කෙසේ හෝ පිහාටුව රැගෙන යමි’යි යන අදිටනින් කුහුඹුවා නැවත පැමිණෙතැයි සිතා මා එතැන මිනිත්තු කිහිපයක් රැඳී සිටියත් එවැන්නක් සිදුවූයේ නැත.

http://ranrandil.blogspot.co.uk/2016/04/123.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල