විචාර

Universal Movies වෙතින් හිමාලයට…

Off

කොටුව මල්වත්ත පාරෙ Universal Movies වෙත ගොඩවැදුණම ලෝක සිනමාවේ විශිෂ්ඨත්වය, අපූර්වත්වය ඇස් අද්දරම රඟදෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නෙ. විකල්ප ධාරාවේ චිත්‍රපට, සම්මානනීය චිත්‍රපට, ආන්දෝලනාත්මක චිත්‍රපට, සොයා ගන්නට අසීරුම චිත්‍රපට ඕන වුණාම අපි යන්න පුරුදු වෙලා උන්නෙ මල්වත්ත පාරට. Universal Movies වෙතට. අවැසි සිනමාපටය කොහෙන් හෝ හොයා දෙන්නට තරම් ඔවුන් සිනමාවට ළෙංගතුයි.

‘‘මේ ෆිල්ම් එක ලස්සනයි. බලන්න.“ කියා අත තැබූ එකදු චිත්‍රපටයක්වත් හදවතින් බැහැර වූයේ නැහැ. ඒ තරම්ම ඒ ඇගයීම අගෙයි. නිසැකයි. ඉකුත් සෙනසුරාදාවේ ගිනි ගහන මද්දහනේ ‘‘විශ්වීය සිනමා පියස“ට ගොඩවැදුණු මොහොතේ දැනගන්නට ලැබුණෙ නම් ඇවිළෙන කාරණයක්.

‘‘අපි චිත්‍රපටි වැඩේ නවත්තන්න හදන්නෙ..“

මගේ විතරක් නෙවෙයි, ඒ මොහොතේ එතැනට ගොඩවෙලා නම් ලැයිස්තුවක් අත දරන් චිත්‍රපට සොයමින් උන්නු තරුණයාගේ ඇස් පවා උඩ ගියා.

‘‘ඇයි ඒ.. අපරාදෙනෙ..“ මට කියවුණේ ඉබේටම.

‘‘මේ වැඩේ කරගෙන යන්න හරිම අමාරුයි. ගේ දොර දරුවන්ගේ වැඩ පවා අතපසු වෙනවා.. වෙන බිස්නස් එකක් වගෙ නෙවෙයිනේ. චිත්‍රපටි ගැන හොයන්න ඕන. රෑ නිදිමරන් ඩවුන්ලෝඩ් කරන්න ඕනි. බලන්න ඕනි.. වගකීම වැඩියි. . වෙහෙස වැඩියි.‘‘

හේතු සාධාරණ ය. එබැවින්ම කිසිවක් කිව නොහැකි නමුත් මම යළි යළිත් කිව්වෙ එය අපට නම් බරපතල පාඩුවක් වන බවයි.

රාවයේ චැප්ලින් කොලම ලියන එරික් Universal Movies වෙත ගොඩවැදුණ බව මම දැන සිටියා. ඔහුගේ අලුත් නව කතාවේ පවා ඒ ගැන සඳහනක් තිබුණා.

‘‘ධර්මසිරි පතිරාජ මහත්තයා, යාපනේ ලෙක්චර් සාමිනාදන් විමල් මහත්තයා ළඟදිත් ඇවිත් චිත්‍රපටි අරන් ගියා. මේ වැඩේ නවත්තන බව මම කිව්වෙ නැහැ.“

චිත්‍රපටි කීපයක් රැගත් මම ආපහු හැරුණෙ වසා දමන්නට මත්තෙන් ආයෙම යන අදහසත් හිතේ ඇතිව… බ්ලූ රේ චිත්‍රපටියක් හොයන්නට වෙනත් වීඩියෝ හල් දෙකකට ගොඩ වැදුණම මට වැඩි වැඩියෙන් Universal Movies වල අගය දැනෙන්නට ගත්තා. නමුත් ඉතින් කරන්නට දෙයක් නැහැ.

ජීවන අරගලය අබියස ජීවන සෞන්දර්යය ගිලිහී යන බවට තවත් සාක්ෂියක්…

සිහින උපදින්නෙ සිහිනවලින්ම වෙන්නත් පුලුවන්.. සමහර සිහිනවලට නම් අත්තටු දෙන්නෙ පොත්, ගීත, සිනමාව, සංගීතය මෙවැනි සකල කලාවන්.. හිමාලය ආශ්‍රිත පරිසර සැරිසරකට නොහිම් ආශාවක් උපදින්නෙත් ඒ විදියට… ‘‘හිමාලය‘‘ සිනමා සිත්තමේ රිදී තැටිය සහිත කවරය දුටුමතින් හිතේ ඇලෙන්නෙත් ඒ නිසාමයි.

‘‘හිමාලය“ චිත්‍රපටය නේපාලයේ හිමාල කඳු වැටිය ආශ්‍රිතව දිවි ගෙවන ජන සමූහයකගේ කටුක ජීවන අරගලය හා බැඳුණු ධෛර්යය, ආදරය, මනුෂ්‍යත්වය පිළිබඳව වන අපූරු සිනමා සිත්තමක්. පසුබිම නේපාලය වුණාට එය ප්‍රංශ නිමැවුමක්.

යැක් ගව තවලමක් සමඟ ඉතාම දුෂ්කර මඟක් ගෙවා ධාන්‍ය හුවමාරුව වෙනුවෙන් කඳුකර ලුණු අලෙවි කිරීමට යන ගමනක් මුල් වන මේ චිත්‍රපටය වැඩිහිටි සහ තරුණ පරපුර අතර වන පරම්පරා ඝට්ටනයත්, තවත් විටක සාම්ප්‍රදාය සහ නූතනත්වය අතර ගැටුමක් විදියටත්, මනුෂ්‍ය පැවැත්ම සහ සොබාදහම අතර ගැටුමක් විදියටත් දකින්න පුලුවනි. වඩා වැදගත්ම දේ මේ කුමන ගැටුමක් තුළ වුවත් මනුෂ්‍යත්වය වියැකී නොයා රැකගන්නට සිනමාකරුවා පෙළඹෙන ආකාරය.

මතකයේ රැඳෙන සුන්දර සිනමා ගෙත්තමක්… ‘‘හිමාලය‘‘.


Directed by
Eric Valli[1]

 

http://tharurasi.blogspot.co.uk/2016/04/universal-movies.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල