කෙටි කථා

සර්පයාගේ කොලම 15

Off

සර්පයා සහ පෙනේ

සර්පයා ගැරඬියෙක් ගානට වැටුනේය.

ඌ උගේ පෙනය හකුලා ගත්තේය. පෙනේ හකුලා ගැනීම ලේසි පාසු කිරියාවක් නොවන්නේය.

පෙනේ තියන පයන්න කියන්නේ ආරස්සාවට දෙවියන් දුන් තිළිණයයි. පයන්න ඇත්තේ පිටිපස්සේය. ඒත් පිටිපස්සේ තියන පයන්න පස්ස ඉස්සරහක් බවට පත් කරන්නේය. ඒ කියන්නේ පයන්න උගේ ඇස් දෙක උගේ සතුරන්ට සංඥාකරණය කරයි. එවිට පස්සෙන් ඌට පහර දෙන්නට එන්නන් ඒ ඉස්සරහා යැයි සිතා ළං නොවෙති. පිටිපස්සැයි සිතනා ඉස්සරහින් උහු කරා එති.

එහෙත් සර්පයාගේ පයන්න සර්පයාට දැන් වැඩක් නැත. එමෙන්ම පෙනයත් ඇති වැඩකට නැත. සර්පයෙක්ට එහෙම හිතන්නට ලේසිපාසු නැත. ඒකට බොහෝ කල් ගත වේ. පෙරුම් පුරා නම් ඒ අත් කොට ගත නොහේ.

සර්පයාව බොහෝ දෙනා ගැරඬියෙක් ගානට දාන්නට දාන්නට උහු ඒ ගැරඬි බව පිළිගත්තේය. සැපිනියන් කොහොමටත් පෙනේ උස්සාගෙන රැඟුම් රඟනවාට කැමතිය. සර්පයා පැටියා කාලේ සිටම පෙනේ උස්සාගෙන රඟන්නන්ට පමණක් නොව පිල් විදහාගෙන රඟන්නන්ට, අං තට්ටු කෙලින් කොට ගෙන සරන්නන්ට කැමැත්තක් නැත.

පෙන උස්සාගෙන රඟන බොහෝ සපුන් වළං කැබලිති මුවින් ගෙන රඟන ගැරඬින් බව සර්පයා දැක ඇත්තේය. සර්පයාට තමාගේ පෙනය ගැන සහතිකය. එසේ නම් ඒ පෙන්න පෙන්නා රඟන්නේ කුමට? සැපිනියෝ සර්පයාට ගැරඬියා යැයි කීවෝය. ඒ ඇසෙන විට සර්පයාගේ ආත්මය ඇතුලේ වූ සර්පයා කිපුනේය. පෙනය නිතැතින්ම පිම්බුනේය. එහෙත් සර්පයා පසක් කොට ගත්තේය. මා මෙයින් කිපෙන්නේ මගේ උද්ධච්ච බව නිසා නොවේද? මේ මහ පොළොව මත මේ අත්භවයේද, සංසාරයේ පෙර අත්බැව්හිදීද පසක් කොට ගත් යමක් වෙත්ද ඒ මේ මාගේ උද්ධච්ච බව නිසා පසෙක ලිය යුත්තෙම්ද? එදායින් එදා සර්පයා පෙනය දිග හැරියේම නැත.

පයන්නත් පෙනයත් මැවුම්කරුවාණන් සර්පයාට දුන්නේ මන්ද? සතුරන්ගෙන් හා මරණයෙන් බේරෙන්නටය. සර්පයාට දැන් මරණ බය දැනෙන්නේ නැත. එය මහා ග‍්‍රස්තියක් නොවේ. ජීවිතය ග‍්‍රස්තියක් නොවූ තැන් පටන් ජීවිතයවත් මරණයවත් වේදනාකාරී නොවේ. සර්පයා තාමත් ලියන්නේය. බඩ වියත සඳහා ලියන්නේය. බඩ රස්සාවට මතු නොව ආත්මය රස්සා කොට ගනුවද සර්පයාට ලියන්නට ආසා නැත්තේ නොවේ. එහෙත් ඒ ග‍්‍රස්තියක් නොවේ. සර්පයාද ග‍්‍රස්තික ලේඛකයෙක්ව සිටියේය. සර්පයා නොලිවුවහොත් මේ ලෝකය කැරකෙන එක නවතින්නට ඉඩ ඇතිවාක් සේ සර්පයා කුරුසියක් කර ගසාගෙන සිටියේය. සර්පයා නොලිවුවහොත් හෙට ඉර නොපායනු ඇතැයි මෙන් සර්පයා සියල්ල කළේ අසිහියෙනි. සම්මා සතියෙන් යුතුව නොවේ. සර්පයා කන විට නොකෑවේය. ලිවුවේය. නාන විට නොනෑවේය. ලිවුවේය. ශරීර කෘත්‍යය කරන විට ඒ නොකළේය. ලිවුවේය. රමණයෙහි යෙදෙන විට රමණය නොකළේය. ලිවුවේය. බඩ රස්සා කරන විට ඒ නොකළේය. ලිවුවේය.

එසේ ග‍්‍රස්තික ලේඛකයකුව සිටි සර්පයා ඉන් මිදුනේය. ලේඛකයකුව සිටි කිසි විට හේ කෑම පිස නැත. බඩසයින් අන් කිසි සරණක් නැති දෙතුන් විටෙක සර්පයා කෑම පිස ඇත. එහෙත් සර්පයා එවිට කෑම නොපිසූ හෙයින් ඒ කෑම කියා කටේ උගුරේ දිවේ නොගෑවී බඩට එබිය යුත්තක් මිස මෙලෝ බල්ලෙක්ට කෑ හැක්කක් නොවීය.

දැන් තනිකඩ සම්පත්තිය විඳින සර්පයා කෑම පිසියි. අන් කළ නොහැක්කක් නිසා පටන් ගත් එය සිය දූ සිඟිත්තට ආදරයෙන් යුතුව රසවත් අහර වේලක් දීමේ නිරාමිස ආනන්දයක් බවට පත් වී අන්තිමේදී භාවනාවක් බවට පත් විණි. සීසෑම භාවනාවක් කොට ගත් චීන භික්ෂූන් මෙන් සර්පයා කෑම පිසුවේය. එය නියතියක් ග‍්‍රස්තියක් බවට පත් කොට නොගෙන කෑම පිසුවේය. තමා ලියුවේ නැතැයි කියා ලෝක ඉතිහාසයේ මහත් හිඩැසක් ඇති වෙතැයි සර්පයා දැන් නොසිතයි.

සර්පයා දර කෝටු ඇවිලෙන දෙස බලා උන්නේය. මේ වළ‍දේ පිසෙන මත්ස්‍යයා දෙස බලා හුන්නේය. එහි පිසෙන ශාඛ කොටස් දෙස බලා උන්නේය. මේ විශ්වයේ ඒකීයත්වය පසක් කරමින් මේ පංච මහා භූතයන් මහා රංගනයක නියැලෙයි.

මේ රංගනය වදනට නගන්නට වචන සොයා ගත් දා සිටම මිනිසුන් තැත් කොට ඇත්තේය. කිවුමෙන්ද ලිවුමෙන්ද කළ ඒ සියල්ල හිස් බැව් සර්පයා අත් දුටුවේය. එසේ නම් සර්පයාට මෙතුවක් වූවා වූ ඒ හිස් බව පුරවන්නට කෙසේ නම් ඇහැක් වන්නද?

කසින් කස් බෝවන්නා මෙන් බසින් බස් බෝවේ. මිනිසුන් සන්නිවේදනය කරනුයේ, එකිනෙකා අවබෝධ කොට ගනුයේ වචනවලිනැයි සර්පයාද සිතා උන්නේය. එහෙත් වචන කිසිවක් පිළිබඳ අවබෝධය ලබා නොදෙයි. ඒ වෙනුවට අනවබෝධයම වගා කරයි. වචනයට එපිටින් ඇත්තාවූද මෙපිටින් ඇත්තාවූද යමක් විනා වචනයෙහි කිසිත් නොපවතී. වචන මත එල්බී පරිකල්පනය කරන්නා වූද, ක‍්‍රියා කරන්නා වූද තැනැත්තේ නරකයෙහි වැටෙනා සැටි සර්පයා දිනෙන් දිනම පසක් කොට ගනිමින් සිටියි.

තණ්හාවද, මෝහයද, රතියද , උද්ධච්චතාවද ඇතිව වචන මත එල්බ ගැනීමෙන්, වචනවල වැරදි නිවැරදි බව ගැන තර්ක කිරීමෙන් කිසිවක් නොලැබේ. ඒ වෙනුවට වචන ඒ සියල්ල බෝ කරනු ලබයි.

බුදුන් දවස රෝහිණී ගංගාවෙහි වතුරට යුද්ධයක් ඇති විණි. ග‍ඟෙහි වතුර රත් පැහැයට හැරිණි. අද භාෂාවෙහි වචන කරණ කොට යුද්ධ ඇති වේ. වතුර ශශ්‍යයට මෙන්ම සමස්ත ජීවිතයටම මාධ්‍යය විය. අද ඒ තැනට වචන පත්ව ඇත. වචන කරණ කොට සීසා වවා නෙලා ගන්නා තැනැත්තේ වචන කරණ කොට යුධ වදිති. ශශ්‍ය අස්වැන්න අතිරික්තය බවට පත්ව එදා ඇතිවූ දෙයම අද වචන අස්වැන්න අතිරික්තය බවට පත්වීමෙන් ඇති වේ. තම තමන්ගේ එදිනෙදා යැපුමට පමණක් එහා ගිය අස්වැන්න සමාජය බෙදා වෙන් කළ සේම තම තමන්ගේ එදිනෙදා අවැසියාවන්ට එහා ගිය වචන සියලූ මිනිසා බෙදා වෙන් කරයි. පරමාණු බවට බෙදා වෙන් කරයි. මිනිසුන් අතර සේම මිනිසා තුළමත් බෙදුම් ඇති කරයි.

වෙනත් කිසිදු අස්වැන්නක් ඇති නොකරන්නා වූ පරිදි වචන යෙදීමට හැක්කේද? වචන නිසා මෙතෙක් ඇතිව ඇත්තා වූ අවුල් ලිහනුව තවත් වචනවලින් නොහේ. සර්පයා එසේ උත්සාහ කොට ඇත්තේය. එහෙත් ඒ තවත් අග මුල නැති වැලක් බවට ඒ සැම විටකම දේවල් පත් කොට ඇත්තේය. එනිසා වචන මාර්ගයෙන් නානා විධ ප‍්‍රකාශ නොකොට ඉන්නට සර්පයා දැඩිව සිතා ගත්තේය.

එහෙත් එසේ සිටිත හැකිද?

කුරුල්ලන් සීසාන්නේවත් වපුරන්නේවත් නැත.

එසේ සිටිත හැකිද?

බඳුනේ ලූ මිදි යුෂ බඳුනෙහි හැඩය ගන්නා මෙන් වස විසද බඳුනෙහි හැඩය ගන්නා මෙන් වචන උද්දච්චතාව නම් බඳුනට ලූ කල්හි එහි හැඩයද , තණ්හා බඳුනෙහි ලූ කල්හි ඒ හැඩයද මෝහයේ බඳුනෙහි ලූ කල්හි ඒ හැඩයද , රාග බඳුනෙහි ලූ කල්හි ඒ හැඩයද ගනී.සවන් නමැති බඳුන් කටින් මනසට ඇතුළුව ආත්මය පුරා ගන්නා වචන ඒ ආත්මයේ හැඩය ගන්නවා මිස බඳුන වෙනස් නොකරයි.

ඉතින් ඒ බ`දුනේ ඒ වචන පැසෙන්නට ගනියි.

ලිවීමෙන් එවිට ඇත්තේ කවර නම් පලක්ද? සර්පයාට නොලියා සිටිත හැකිද? යමෙක් යම් ජීවිකාවක් කළ යුතුය. කොට බඩ රස්සා කළ යුතුය. එසේම ආත්මය රස්සා කළ යුතුය. ආත්මය රස්සා කරන්නට වචන සමත් වේද?

පිරුණු කළේ දිය නොසැලේ යැයි කියනු ලැබ ඇත. එහෙත් හිස් කළයෙහිද දිය නොසැලේ. එක්කෝ ප‍්‍රඥාවන්තයකු විය යුතුය. එක්කෝ පට්ට මෝඩයකු විය යුතුය. දෙකෙහිම පලය එකමය. දෙදෙනාම නිහඬය. මෝඩකම පෙන්වීමට තරම්වත් හැකියාවක් නොමැති මෝඩයකු විය යුතුය. සර්පයා එසේ වන්නට සිතා ගත්තේය.

සර්පයා මේ කොලම ලියන්නට ගත්තේ මෝඩයාගේ දවසේය. ඊළ`ග මෝඩයාගේ දවස වන්නට පෙරම සර්පයා පට්ට මෝඩයකු වන ලකුණු පළ කොට ඇත්තේය. බුදුන් කී පරිදි කතා නොකර, නිහඬව, පිළිවදන් නොදී, නිවැරදි කරන්නට නොයා , කිසිවකු වෙනුවෙන්වත් තමා වෙනුවෙන්වත් පෙනී නොසිට තුෂ්ණිම්භූතභාවයෙන් ඉවසා වැදෑරීමට සර්පයා අමාරුවෙන් හිත හදා ගත්තේය.

‘මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.’ සර්පයා මහා කතිකාවන්හි නියුතු වන සීපාවුන්ට පයන්න පා දරණ ගසා ගත්තේය. පෙනේ නොපෙනී ගියේය. පෙනේ බලය මෙන්ම නොපෙනේ බලය ගැනද ඒ සමගම සර්පයාට බියක් ඇති විය.

කේ.කේ.සමන් කුමාර
උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල