සංගීතය

දෑතේ එල්ලී මියුරු කතා කී

Off

 

නවක ගීපද රචකයන් ගායක ගායිකාවෝ සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක්‌ ලෙස ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර හා ගුණදාස කපුගේ රජරට ගුවන් විදුලි වංශ කතාවට එක්‌වේ.ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අවුරුදු 46 ක් වැනි කෙටි ජීවිත කාලයට ඔහු පල්ලේගම හේමරතන හිමියන්, මහින්ද චන්ද්‍රසේකර, මහින්ද දිසානායක, සේන නානායක්කාර, බ්‍රැඩ්මන් ජයවීර, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, ඇබෝගම වසන්ත බණ්ඩාර, මහින්ද පතිරගේ, චුල්ල ජයවර්ධන, කරුණාරත්න දිවුල්ගනේ, පොඩිරත්න අංගමලේ ඇතුළු තව බොහෝ දක්ෂයින් රටට හඳුන්වා දුන්නා. ස්වර්ණ ශ්‍රී අපිට හිටපු ප්‍රවීණ කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක් වගේම ජනශ්‍රැති පර්යේෂකයෙක්.හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත් ගීතයේත් වෙනස මැනවින් වටහාගත්තෙකි. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරාගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
ගීත රචකයකු විදියට ස්වර්ණ ශ්‍රී ලියලා තිබෙන්නේ ගීත ස්වල්පයක් විතරයි. ඒ ගීත ඔහු තමාගේ ‘සුදුමුතු කුඩ යට’ නම් වූ ගීත රචනා කෘතියට එකතුකර තිබෙනවා. මෙම ගීත රචනා සංග්‍රහය පළවුණේ 1993දී. වෘත්තියෙන් ගුවන්විදුලි ශිල්පියෙක් ව සිටියත් ස්වර්ණ ශ්‍රී කිසිම දවසක ගායක ගායිකාවන් පසුපස්සේ ගිහින් ගීත ලියූ රචකයෙක් නොමෙයි. ඔහු අමරදේවයන්ට වුණත් ගීතයක් ලිව්වේ අදාළ ගීතය තැපෑලෙන් යවමින්. ඔහුට එතුමන් හමුවුණේ ඊට හුඟ කාලෙකට පස්සේ පවත්වපු අමරදේව උපහාර උළෙලකදී බවත් කියැවෙනවා.
ස්වර්ණ ශ්‍රී ගමේ මුල් තිබුණු සම්ප්‍රදායේ තිරසාරව පිහිටා වූ සිටි සැබෑම ජන කලාකරුවෙක්. කවුරුහරි කෙනෙක් ඔහුගෙන් ගම කොහේදැයි ඇහුව්වොත් ‘අපි වන්නියේ එවුන්’ යැයි කියන්නයි පුරුදු වෙලා හිටියේ.අවුරුදු 11 ක පමණ කාලයක් ස්වර්ණ ශ්‍රී රජරට ගුවන් විදුලියේ සේවය කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ ‘පිළේ පැදුර’ ‘සංහිඳ’ ‘සම්භාෂා’ නිර්මාණ’ ‘එක්තැන් සවිය’ ‘රචනා මුළුව‘ වැනි වැඩසටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණු බවයි විචාරකයන්ගේ අදහස. ‘පිළේ පැදුර’ රජරට සේවයේ ජනප්‍රියම විචිත්‍රාංගය ලෙස වාර්තා වෙනවා.රජරට කැකුළු, නව පදමාලා, මී බිඳු, නිර්මාණී, තෝතැන්න, කැටපත් පවුර, සංහිඳ, සම්භාෂා, කෘෂි රටා , පිලේ පැදුර ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් කිහිපයක්.
ඒ අතර ම පොත්පත් ලිවීමත් කළා…
* සල්මල් – ළමා ගී – (ආචාර්ය දයාරත්න රණතුංග සමග)
* පරපුටුවෝ – අනුවර්තන නාට්‍යය – රාජ්‍ය සම්මාන – 1975
* ගැමි දිවිය සහ වප් මගුල – ශාස්ත්‍රීය
* සංහිතාධ්වනිය – ආයුර්වේදය පිළිබඳ
* අල්මේදලා බෝල ගසති – කෙටිකතා- රාජ්‍ය සම්මාන
* සකිසඳ බලව – පද්‍ය ආඛ්‍යානයක්
* කැදැල්ලේ කුරුල්ලෝ – යොවුන් නවකතා
* සංහිඳ – ජනශ්‍රැති පර්යේෂණ අධ්‍යයනයක්
* සුබ්‍රමනියම් – කෙටිකතා – 1977 රුසියානු සම්මානයක් හිමි විය

ඒත් බොහෝදෙනෙකුට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අමතක වෙලා. අලුත් පරම්පරාව ඒ කවුද කියලාවත් දන්නෙ නෑ. එතුමා පිළිබඳව ප්‍රවීන කළා කරුවන් දැක්වූ අදහස් කීපයක් …

*මඩවල එස්.රත්නායක දුටු ස්වර්ණ ශ්‍රී

හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත් ගීතයේත් වෙනස මැනවින් වටහාගත්තෙකි. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරාගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම නූතන සාහිත්‍යයත් විශේෂයෙන් ගැමි සාහිත්‍යයත් අධ්‍යයනය කළ ඔහු සිය ප්‍රතිභාව වඩා රසවත් කර ශ්‍රාවකයා ආනන්දයට පත් කරවීමට පාලි,සංස්කෘත වැනි පෙරදිග භාෂාවලින් ලද ආභාෂය ද ඉවහල් කරගත් බව පෙනේ. ගුවන්විදුලියේ ළමාපිටියෙන් මෙන් ම යෞවන සමාජයෙන් ද බාලවියේ සිට ම ලත් පුහුණුව ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙකු බිහි කිරීමට ඉවහල් වූ බවට සැක නැත. රජරට ගුවන්විදුලි සේවයෙන් උසස් රසික පිරිසක්, ගායක ගායිකාවන් හා ගීත රචකයින් පිරිසක් බිහිකිරීමේ ගෞරවය ස්වර්ණ ශ්‍රී ට හිමි වෙයි.

*පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන්නේ අපේ පිනට පහළ වූ කෙනෙක්. අපේ ජීවිත කාලයටම ඇති එතුමාගේ කෙටි ඇසුරක් වුණත්. එතුමා මාව ඒ පවුලෙම කෙනෙක් හැටියට තමයි සැලකුවේ. බණ්ඩාර මහත්තයාට කෙනෙක් හඳුනාගන්න පුදුම ඉවක් තිබුණේ. ගීත රචකයො , කවියො , ලේඛකයො, නාට්‍යකරුවො විතරක් නෙවෙයි, චිත්‍ර ශිල්පී,කැමරා ශිල්පීන් වැනි සියලු කලාකරුවන්ට එතුමාගෙන් පුදුමාකාර සේවයක් වුණා. මම අද යම් තැනක ද, ඒ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් නිසා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන්නේ ගැඹුරු මනසකින් ජීවිතය දිහා බලපු කෙනෙක්. එතුමා හඳුන්වන්න මාගේ ශබ්ද කෝෂයේ තියෙන කෙටි ම වචන කිහිපය, ඔහු අප්‍රමාණ මිනිසෙක්.

*ප්‍රවීණ ගීත රචක මහින්ද දිසානායක

වසර1979 රජරට සේවය ඇරඹුවාට පස්සෙ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා අපිවසොයාගෙන ආවා. අපේ දක්ෂතා හඳුනාගත්තා. එතුමාට ලොකු උවමනාවක්තිබුණා,අපේ දක්ෂතා රටට හඳුන්වාදෙන්න. අපි ගීත රචකයින් බවට පත් කළේඑතුමා තමයි. නව පදමාලා කියලා ආධුනික නිර්මාණ ශිල්පීන් සොයන වැඩසටහනක් කළා. එහි දී තෝරාගන්නා ගීත රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් ලවා ගායනා කෙරෙව්වා. මෙතුමා මාව ගීත රචනයට වගේ ම බාහිර පොතපත කියවන්නත් පෙළඹෙව්වා. නිතරම අපිව මුණගැහිලා ධෛර්යවත් කළා. එතූමා අපිට සෙවණ දුන් මහා වෘක්ෂයක් වගේ. අපි අද යම් තැනක ඉන්නවා ද, ඒ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නිසා..

*ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර

බණ්ඩාර මහත්තයා කොළඹින් මෙහාට ආවට පස්සෙ එයාට ලොකූ උවමනාවක්තිබුණා මෙහෙ අහිංසක ළමයි ඉහළට ගන්න. එයා නිතරම කිව්ව දෙයක් තමයි,මේ අත්වල කරගැට පිපුණ ළමයි කොහේ හෝ ඉහළ තැනක ඔසවා තබන්න ඕනකියන එක. එයා නිතරම වැඩ කළේ ඒ අරමුණ ඇතිව. අද ඉන්න පරපුර බණ්ඩාරමහත්තයා නැත්නම් නෑ. අපට නිතරම ගුරුහරුකම් දුන්නා, බැන්නා, අගය කළා.එතුමා අපට නිර්මාණ පාසලේ ප්‍රින්සිපල් වගේ. හරිම ස්වාධීන, අදීන මනුස්සයෙක්.එයාට ලොකු පෞරුෂයක් තිබුණා.එයා නොබිය ව හැම වැඩක්ම එයාගේ අරමුණටගෙන ගියා .
——————————————————————————–
*දෑතේ එල්ලී මියුරු කතා කී

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයේ රියසක මහලු මගෙන් ඔබ
ඈතට ගෙනියන්නේ

බොළඳ මියුරු බස් සවන් නිමාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
අතීත සිහිනය බොඳ වී දිය වී
ඈතට පාවෙන්නේ

පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළ වූ පිනවූ සිත
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ

පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය : විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය : විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
————————————————————-
*වැහි පොද වැටිලා

වැහි පොද වැටිලා
බිම් මල් පිපිලා
සුදු පාටට මුතු කුඩ ඉහලාලා

සුදු මුතු කුඩ යට
පිණි පාවඩ පිට
කඩියෙක් යනවා රජෙක් වගේ
කඩියෙක් යනවා රජෙක් වගේ…

කඩියට යන්නට පාර තියනකොට
කඩියට ඉන්නට ගෙයක් තියනකොට
කඩියට කන්නට කෑම තියෙන කොට
ඌ නම් මේ ලොව රජෙක් වගේ
ඌ නම් මේ ලොව රජෙක් වගේ….

පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : නන්දා මාලනී
———————————————————————–
*ආශා දෑසින් දකිනා සිහිනේ

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..

ආ මඟ දෑලේ පිපි මල් කර වී
නෑ ඵල හට ගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ ..

තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා …
ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..

ගායනය : දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව : දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
————————————————————–
*මගෙ හද මඬල මල් යහනකි

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ
මල් සුවඳකට බැඳී වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඬන් දේවතාවියේ

පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
——————————————————————-.
*ඔබ රූ සිරියෙන් මන්මත් වී මම

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකෙලෙමි අනුවණ කම්
මුලා වුණේ ඔබ මුලා නොවිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
———————————————————————
*දොවන තරම් බුරුළු පුරා

දොවන තරම් බුරුළු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවන් කුර ගාටන්නං
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුල ඉඹින්නම්

පුරු ඇඳගත් නළල වටේ පබළු වැල බැඳන්
කර ගැහිච්ච බෙල්ල වටේ ගෙජ්ජි වැල බැඳන්
නුඹයි මමයි හාද වෙලා ගියපු සුබ ගමන්
හිතට එනවා මසට නොදෙන් පතුල ඉඹින්නම්

මං අඬද්දි බඩගින්නට උඹත් හැඬු හැඬුම්
අපෙ අම්මගෙ කණ වැටිලා උඹට දුන් කිරෙන්
සංසාරෙන් එතෙර වෙලා උන්දැ ගිය ගමන්
උඹත් යමන් පින් සිදුවෙයි මසට නොදෙන් මං

ගී පද – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගී තනු – එච්. එම්. ජයවර්ධන
ගායනය – සුනිල් එදිරිසිංහ සමග නිර්මලා රණතුංග
———————————————————————
*උදාර සිංහල යශෝ කිර්තිය

උදාර සිංහල යශෝ කිර්තිය
අහස උසට රැව්දෙන සංකේතය
පුත ඔබ ඉපදුන සිංහල භූමිය
වසා සැලෙන මේ සිංහ ධජය වේ

මිනිමුතු සැදුනේ කෙත්වතු පැසුණේ
විරුවන් දිනුවේ මේ සෙවණේ
පුත ඔබ ඉපදුන පුත ඔබ මියයන
මිහිකත වැඩුනේ මේ සෙවනේ
මිහිකත වැඩුනේ මේ සෙවනේ

අදීන හෙළ ගති එඩිතර සිහ ගති
පෙරයුරු වූයේ මේ සෙවනේ
පුත ඔබ මියයන පුත ඔබ ඉපදුන
මිහිකත වැඩුනේ මේ සෙවනේ
මිහිකත වැඩුනේ මේ සෙවනේ

ගී පද – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය – රෝහණ වීරසිංහ
ගායනය – බන්දුල විජේවීර /එඩ්වඩ් ජයකොඩි
———————————————————————
*සෙල් කුලේ මහා කළා නිකේතනේ

සෙල් කුලේ මහා කළා නිකේතනේ මැවූ
ගල් තලේ පවා උදාන ගීතයක් ලියු
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වේවි ගයන්නෙමි යශෝ ගැයුම්

වැසි බිඳෙන් මහා තඩාග පෙළ නිමා කෙරූ
සාර වූ කෙතින් අසාර වූ පොළෝ වැසූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වේවි ගයන්නෙමි යශෝ ගැයුම්

රණ බිමෙහි පවා මෙතින් රුපුන්ට අභය දී
විමුක්ති භුමියේ සටන් වැදී හිසත් පිදු
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වේවි ගයන්නෙමි යශෝ ගැයුම්

ගී පද – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය – රෝහණ වීරසිංහ
ගායනය – බන්දුල විජේවීර
———————————————————————
*නුඹ හැරදා උදනැක්කේ

නුඹ හැරදා උදනැක්කේ මා මෙහි ආ දවසේ
උඹ හිටියා ඉඳිකඩ ළඟ පිනි කඳුලැලි වැස්සේ
ගල්ගිරියා කඳු මුදුනේ උළමා හඬ ලෑවා
අප්පච්චිගේ සොහොන් කොතේ කණාමැදිරි උන්නා

මහා නියරේ පැන එද්දී
පය පැටලී වැටුනා
වැටකෙයියා මල් සුවඳේ
හිත ගැස්සී ඇඩුනා

විදුලි පහන් පංකා යට මසිත අවුල් වෙනවා
එන යන ලිපි ගොනු අස්සේ
දුක් ගැනවිලි එනවා
දුම් රොටු දුවිලි මැද්දේ
ඒ මේ අත යනවා
නාඩන් මේ දුක දාලා
දෝණියේ මා එනවා ..

ගී පද – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය /ගායනය – දයාරත්න රණතුංග
———————————————————————
*දෑස නිල්ල මැකී ගොසින්

දෑස නිල්ල මැකී ගොසින්
අන්ද අඳුර මතුවෙන තුරු
ඔබ එන පෙර මඟට වෙලා
එළිපත්තේ මා සිටියා

සුරා මතින් සැලෙන නෙතින්
කිසිත් නොමැති හිස් දෝතින්
පය පැටලෙන බමන ගතින්
පුරුදු පරිදි ඔබ එන විට
හද විණා තත් හැඬුවේ
අනුකම්පිත මඳ ස්වරයෙන්

මට සෙනෙහස නොපා ඔබේ
කම්පිත වී ස්නේහයෙන්
බල මැන ගෙට කර පොවලා
නිරුවත් කය වකුටු කරන්
නිදන ඔබේ කිරි දරුවන්

ගී පද – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය – මාලනී බුලත්සිංහල
සංගීතය – ඩබ්ලිව්. ඩී. අමරදේව
———————————————————————
ප.ලි

හැමදාම කියනවා වාගේ තවත් කිසිම ඇගයීමකට ලක් නොවූ කලාකරුවෙක් වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගැන බොහෝ කාලයක සිට ලියන්නට සිතුවත් තොරතුරු සොයා ගැනීමට තිබුන අපහසුව නිසා පරක්කු වුනා.
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න .තව මෙහි සඳහන් නොවුන විස්තර ඇතොත් සඳහන් කරන්න .විස්තර සොයා ගැනීමට උදව් වුන හැමෝටම බොහොමත්ම ස්තුතියි …
ජයවේවා !!

http://sinduano.blogspot.com/2016/04/blog-post_21.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල