කෙටි කථා

රැල්ලට ගසාගෙන නොගිය සොනාලිගේ wave ජාත්‍යන්තර රැල්ලට

Off

යාල අභය භුමියට කිට්ටුවෙන් මුහුද අසල සිට අහස බැලූ සොනාලි දුටුවේ වර්ණවත් අහසකි. ඒවා සිත්තරෙකු විවිධ වර්ණයෙන් ඇඳි පින්සල් පහරවල් මෙන් දිස්වන බව ඇය කල්පනා කළේ සැහැල්ලුවෙනි. මේ ඇය දහස්වරක් දැක ඇති අහසයි. තව මොහොතකින් ඈත නිල් සයුර වියරු වෙස්ගෙන ගොඩට විත් ජීවිතයේ තමා වඩාත් ආදරය කරන සියලු දෙනා සඟවාගෙන යන බව ඇය මොහොතකට හෝ කල්පනා කළේ නැත.

ඒ වනවිට ඇය, සැමියා හා දරු දෙදෙනා සමග පදිංචිව සිටි ලන්ඩනයේ සිට ඔවුන්ද කැටුව තම උපන් බිම වන ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරන්නට පැමිණ සිටියාය.

සොනාලි දැරණියගල ගැන අද මෙරට මෙන්ම ජාත්‍යන්තර සාහිත්‍ය ලෝකයද හඳුනන්නේ ඉතා ඉහළ අලෙවියක් ඇති ‘වේව්’ (WAVE) නම්, පාඨක හා විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ ඉංග්‍රීසි ‍පොත ලියූ ශ්‍රී ලාංකික ‍ලේඛිකාව ලෙසටය. ‍පොතේ ඇත්තේ සොනාලිගේ ‍ලේ, කඳුළු හා සුසුම් ඇසුරින් ලියැවුණු කතාවය. 2004 දෙසැම්බර් මාසයේ ආසියාවට බලපෑ ඉන්දියානු සාගරයේ මහා සුනාමිය ඇගේ සැමියා,පුතුන් දෙදෙනා පමණක් නොව දෙමව්පියන්ද සොනාලිට අහිමි කළේය. මේ කියන දිනයේ පවු‍ලේ උදවිය සමග යාල අසල මුහුදු වෙරළේ සිටි සොනාලි මුහුදු රළ අසාමාන්‍ය වේගයකින් ඇදී එනු දුටුවාය. මුහුද ගොඩගලන බව වැටහුනු ඇය ඒ බව හඬ නගා කියමින් තම සැමියා හා දරුවන් සමග අසලවූ ඔවුන්ගේ ජීප් රථයට ගොඩවෙනවාත් සමගම මුහුද විදුලි වේගයෙන් පැමිණ සියල්ල ඩැහැගත්තේය.

සිහිසුන්ව සිටි සොනාලි මියගිය අය අතරේ පණ ඇති අය සොයන පිරිසට හමුවනවිට ඇය ලෙයින් මෙන්ම මඩින්ද නැහැවී කෙළින් සිටගන්නටවත් නොහැකි තත්ත්වයක පසුවූවාය. ජීප් රිය පෙරැළෙද්දී ඇයගේ සිරුරට පිටතින් මෙන්ම අභ්‍යන්තරවද තුවාල සිදුවූ අතර සොනාලිගේ සෞඛ්‍යය නැවත යහපත් තත්ත්වයකට තරමක් හෝ පත්වන්නට මාස ගණනක් ගතවිය. තම පුතෙකුගේ කමිසයක් පමණක් ඇයට මුල් දිනවල සුන්බුන් අතර තිබි හමුවුවද බාල පුතු නිකිල් ගේ හා සැමියා ස්ටීව්ගේ මළ සිරුරු හඳුනාගන්නට සිව් මසක් ගතවිය. ඔවුන් මිහිදන් කරන ලද්දේ සමූහ මිනී වළකය.

කාලය ගෙවී ගියේය.කොළඹ තම නැන්දනියගේ නිවසේ නැවතී සිටි මුල් කාලයේදී සුනාමිය යන වචනයෙන් පවා තැතිගත් සොනාලි දෙතුන් වරක් දිවිනසාගන්නටද තැත් කළාය. පණටත් වඩා ආදරය කළ සැමියා, දරු දෙදෙනා සහ මව්පියන් යන සියලු දෙනා අහිමිව සිටි ඇගේ තනියට ඒ කාලයේ සිටියේ නෑයින් හා විශේෂයෙන් මිතුරු,මිතුරියන්ය. සුනාමියෙන් පසු ඒ වෙලාවේ තම පවු‍ලේ අය සිටි තැනට නැවත නැවතත් ගිය සොනාලිට පෙරළා waveලන්ඩනයට එන්නට හිත හදාගන්නට හැකිවූයේ දෙවසරක කාලයකට පසුය.

ලන්ඩන් නිවසේ නිදන කාමරයට ගිය ඇයට කොට්ටයක් මත වැටී තිබූ තම සැමියාගේ ඇස් පිහාටුවක් දකින්නට ලැබෙන්නේ හද කම්පා කරවමිනි. කිසිදිනෙක අමතක නොවන මතකය ‍පොතක පිටු අතරට ගොනුකොට තම ඛිෙදනීය අත්දැකීම ලොව හා බෙදාගන්නට සොනාලි කල්පනා කළාය. ‍පොතේ නම හා ඇගේ නම හැරුනුවිට ඡායාරූප හෝ චිත්‍ර නැති අඳුරු පැහැ කවරයකින් යුතු ‘රැල්ල’ යන අරුත ඇති ‘WAVE’ සාහිත්‍ය ලෝකයට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

“රැල්ලකට අහුවෙලා මාව ගහගෙන ගියා. දිගින් දිගටම ගහගෙන ගියා. වේදනාව එක්කම තද බයක් මට දැනුනා. මොනවා වෙනවද කියලා හිතාගන්නත් අමාරුයි. ඒ එක්කම ටික ටික මොහොතකට කලින් වුණ දේවල් මට මතක් වෙන්න ගත්තා. මගේ ළඟින්ම මගේ පුතාගෙ වයසෙ පිරිමි ළමයෙක් වාහනේක සීට් එකක් අල්ලගෙන පා වෙලා ගියා. මට මේ කිසි දෙයක් අදටත් හිතාගන්න බැහැ. මම මුහුණදුන්නෙ මොනතරම් වෙනස් අත්දැකීමකටද කියලා. මට හොඳටම කල්පනා වුණේ ‍පොත ලියන්න පටන්ගත්තමයි.”සොනාලි කියයි.

‘WAVE’ හරහා සාහිත්‍ය ලොව තුළ තම පවු‍ලේ අය ගැන අසාමාන්‍ය සිහිවටනයක් ගොඩනගන සොනාලි දැන් පදිංචිව සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේය. ඇය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සේවය කරයි. මීට පස් වසරකට පෙර පදිංචියට ගිය නිව්යෝක් තට්ටු නිවසේ තනි යහනේ ගුලිවී ඇය තම දුක පරිගණකයෙන් අකුරු කරවන්නට වූවාය. තමා අත්දුටු දේ අවංකවම ලියැවෙද්දී හිතට සැනසීමක්ද දැනෙන්නට වූ බව සොනාලි පවසන්නීය.

‘WAVE’ වෙළෙඳපළට නිකුත්වී ටික දිනකින්ම එය අතිශයින් ජනප්‍රිය විය. ‍පොතේ පෙරවදන් ලියා තිබුණේ සාහිත්‍ය ලෝකයේ සොනාලිගේ වීරයන් වන මයිකල් ඔන්ඩච්චි හා ජෝන් ඩිඩියොන් විසිනි. ජෝන් ‘ද ඉයර් ඔෆ් මැජිකල් තින්කින්’ වැනි සුප්‍රකට ‍පොත් ලියූ ඇමරිකානු ‍ලේඛිකාව වන අතර මයිකල් ඔන්ඩච්චි ‘ද ඉංග්ලිෂ් පේන්ට්’ නවකතාව වෙනුවෙන් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රකට ශ්‍රී ලාංකික ‍ලේඛකයාය. ‍පොත ලිව්වද එය මුද්‍රණය කිරීම කල්දමමින් සිටි තමාට ඊට අනුබල දුන්නේ ඔන්ඩච්චි බව ඇය ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි. පරිගණකගත කළ ‍පොත වසරක් තුළ මුද්‍රණයෙන්ද නිකුත් වූ බැවින් එය සංස්කරණය කරන ලද්දේද යාන්තමින් බව සොනාලි කියයි.

‘WAVE’ නිකුත් කරන ලද්දේ මෙම වසරේ මාර්තු පස්වැනිදාය. ජීවතුන් අතර සිටියානම් ඇගේ වැඩිමහල් පුතු වික්‍රම් මාර්තු තුන්වැනිදා සමරන්නේ ඔහුගේ දහසයවැනි උපන් දිනයයි. සොනාලිගේ පනස්වැනි උපන්දිනයද මාර්තුවේ යෙදී තිබිණි. සුනාමිය සියල්ල රැගෙන ගිය පසු පවු‍ලේ උපන්දින හෝ සංවත්සර යෙදෙන දින තරම් සොනාලිට ගෙවාගන්නට අපහසු දවස් තවත් නැත. ඒ දවස්වලට ඇය කරන්නේ කිට්ටු හිතවතුන් සමග සෙනග බහුල තැනකටවී කාලය ගතකිරීමෙන් තනිකම මගහරවාගැනීමය. එසේ නොකළහොත් එය තමාට දරාගන්නට බැරි වේදනාවක් ඇති කරන බව ඇය කියන්නීය.
‘WAVE’ ලිවීම තුළින් සොනාලි තම දුක තුනීකරගැනීමේ පාඩමද උගත්තාය. අමතක කර සැනසෙන්නට නොව තම ආදරණීයයන් මතකයේ තබාගෙන සැනසෙන්නට දැන් තමාට හැකි බව ඇය කියයි. ‍පොත නිකුත් කිරීම කලබලයකින් තොරව කරන්නට ඇය ගත් තීරණයට ප්‍රකාශකයින්ගෙන්ද ලැබුණේ ලොකු සහයෝගයකි. මේ නිසා මාධ්‍ය ආවරණ ඇතුළු ප්‍රචාරක කටයුතුවලින් තොරව ‍පොත පිටවුණද ටික දිනකින්ම නොසිතූ ප්‍රතිචාර දසතින් ඊට ලැබිණි. කෙසේවුවද තවදුරටත් ඇය වැඩිදෙනෙකු නොදන්නා කෙනෙකු නොවේ. මගතොට හමුවන්නන්ද දැන් ඇයව හඳුනාගෙන කතා කරයි.මෙය එක් අතෙකින් තමාට පහසුවක් මෙන්ම තවත් අතෙකින් අපහසුවක් ඇතිකරන බව කියන සොනාලි මේ තත්ත්වයට මුහුණදෙන ආකාරය ගැන තමා තවමත් සිතා බලන බවද කියයි.

“මම මේ ‍පොත ලිව්වෙ බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවක කරනවා වගේ මගේ දුක තුනීකරගන්න ‍නෙවෙයි. මගේ පවු‍ලේ අය ගැන මතක ‍පොතක් ලියන්නයි මට ඕන වුණේ. ඔවුන් එක්ක ගතකරපු කාලය ගැන ලියලා මම මගේ හදවත නැවත අවදි කරගත්තා” සොනාලි දැරණියගල පවසයි. ‍පොත ලියාගෙන යද්දී තමාට දැනුණේ තාත්තා, අම්මා, සැමියා ස්ටීව්, වැඩිමහල් පුතු වික්‍රම් හා ‘මල්ලි’ යන සුරතල් නමින් හැඳින්වුණ බාල පුතු නිකිල් සම්බන්ධ සිදුවීම් කොහේදෝ ඈත ලෝකයකින් එබිකම් කරන්නාක් මෙන් යැයිද සොනාලි පවසා තිබිණි. ‘WAVE’ ‍පොතට හැඳින්වීමේ පාඨයක් ලෙස ‘සුනාමියෙන් පසු ජිවිතය හා මතක’ යන අරුත ඇති “ලයිෆ් ඇන්ඩ් මෙමුවාර්ස් ආෆ්ටර් ද සුනාමි” (Life and memoirs after the Tsunami) යන්න ඇය එකතු කරන්නේද එබැවිනි. මේ හේතුවෙන්ම සොනාලිගේ ‍පොත නිර්භීත හා අවංක ප්‍රයත්නයක් බව බටහිර විචාරකයින්ගේ මතය වී තිබේ.
‘WAVE’ හරහා සොනාලි පාඨකයා ගෙනයන්නේ එක හුස්මට කියැවිය හැකි අසංවේදී ගමනක් බව කියන ‘අමේසන් ඩොට් කොම්’ (amazon.com) වබේ අඩවිය අසංවේදී යැයි කියන හේතුව මෙසේ විස්තර කරයි.

“පළමු මාස කිහිපය තුළ නොඅනුමානව මේ ඛේදවාචකය හා ‍පොර බදන්නට ඇති ඇය තමාට මුහුණ දෙන්නට අපහසු වුවද ප්‍රතික්ෂේප කරන්නටද බැරි යථාර්ථයට මුහුණ දෙන්නට ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමයෙන් තීරණය කළ බව පෙනෙයි. ඉන්පසු සොනාලි කරන්නේ වියෝ දුකින් බර තම මතකය, ගෙවී ගිය ජීවිතයේ ඉසුරුමත් හා ප්‍රීතිමත් කාලය ඔස්සේ සෙමින් ගමන් කරවීමයි. කොළඹ ගත කළ ළමා විය, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ හමු වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා, ඔහු හා පෙමින් වෙලී විවාහ වූ ආකාරය, ලන්ඩනයේ තම නිවස, දරුවන්ගේ උපත සෙමින් අප ඉදිරියේ දිග හරින ඇය අහිමි වූ අය ගැන දරාගත නොහැකි මතකය මැද වුවද ඔවුන් තමා තුළ ජීවමානව තබාගැනීමට උත්සාහ කරන්නීය.”

සොනාලි දැරණියගලගේ මෙම ‍පොත ගැන ප්‍රබලතම විචාරයක් ‘ද ගාඩියන්’ පුවත්පතට කරන සුප්‍රකට ‍ලේඛකයෙකු මෙන්ම ඉතිහාසඥයෙකුද වන විලියම් ඩැල්රයිම්ප්ල් කියන්නේ ‘වේව්’ විරහව මෙන්ම ප්‍රේමය ගැන එතෙක් මතෛක් ලියැවුණු හොඳම ‍පොත්වලින් එකක් බවයි. සුනාමිය ගොඩට එන දිනයේ ඔහුද තම දරුවන් තිදෙනා සමග ඉන්දියාවේ මුහුදුබඩ නිවාඩුවක් ගතකරමින් සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත අනූනමයෙන් බේරී ඇත්තේ නැවතී සිටි හෝටලයේ ඔවුන් ඒ මොහොතේ නොසිටි බැවිනි.

ලක්බිම

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල