කෙටි කථා

යාළු

Off

ඒක පැතිරෙන්න පටන් ගත්තේ හුළගෙන් බෝවෙන ලෙඩක් වගේ.

උතුරු පැත්තෙන් හමාගෙන ආපු හුළඟට වසන් වෙන්න කියල ඊසානට හැරුනම බටහිරින් ආපු හුළඟට අහුවෙලා අපි ඔක්කොම හිත හදාගත්ත.

ඔන්නොහෙ ලෙඩ වෙලාම බලනව කියල ඒකායන අරමුණකට නැති , සම්මුතියකට ආවා වගේ අපිත් ලෙඩේට ගොදුරුවෙන්න පටන්ගත්ත.

මුලිම්ම උනේ මට අලුත් යාලුවෙක් හම්බ උන එක. ඒක මුලිම්ම උන දේ නොවුනත් මම හිතන්නේ එතැනයි මුලින්ම වෙන්න ඕනේ දේ සිද්ද උනේ කියල.

එයා හිටියේ පැසිපන්දු පිටියේ ලොකු පඩිපෙල් වලින් දෙවැනි පඩිපෙලේ මැද්දට වෙන්න වාඩිවෙලා. ටෙනිස් රැකට් එකත් කරක – කරක මම එතැන පහුකරනකොට හොඳටම හවස් වෙලා තිබ්බේ. මම කොහොමත් කාත් එක්කවත් ඇයිහොඳය්යක් තිබ්බ කෙනෙක් නෙවෙයි.

“ඔයා ‘බී’ පංතියේ නේද?”

එයා එහෙම කිව්වේ ‘බී’ කියන වචනේ අමුතු උරුවට සද්ද කරමින්, ඒ කියන්නේ වෙනමම තියෙන පංතියක් වගෙයි. එතකොට තමයි මම එයාව යන්තමට මතකෙට ආවේ. අපේ ශ්‍රේණියේ එහෙම ළමයෙක් ඉන්න බව මතක් උනෙත් ඒ මොහොතෙමයි.

“ඔව්… ඔයා බාස්කට්බෝල් ගහනවද?”

එයා ඔලුව ඉහලට, පහළට වන්න ගමන් කකා හිටපු රටකජු මල්ල මගේ දිහාට දික්කලා. අපි දෙන්නම කළුවර අහසෙන් බිමට වැටෙනවා බල බල ගොඩක් වෙලා රටකජු කෑවා.

ඇත්තටම උනේ එහෙම කන්න පටන් ගත්ත එක.

***********************************

” එන්න සෙල්ලම් කරමු”

ලක්මිණි එහෙම කියාගෙන මගේ පැත්තට පැසිපන්දුව විසිකලා.

මමත් පුරුදුකාරියක් වගේ ඒක අතට අරගෙන බෝලය බිම බවුන්ස් කරමින් දුවන්නට උනා. කොහේ හිතන්නද, ලක්මිණි ඒ පොඩ්ඩට මගේ අතින් බොලේ ඩැහැගෙන දුවගෙන් ගිහින් ඉලක්කෙටම විසි කරනකොට, ඉලාස්ටික් වලින් බැඳපු පැසිපන්දුව තමන් වෙතට ඇදගන්නවා වගේ යකඩ කම්බි රාමුව පන්දුව බදාගත්ත.

“ලකී…. එහෙම ඔට්ටු නැහැ හරිද.. මටත් චාන්ස් එකක් දෙන්න ඕනේ”

මම ඇස්දෙක කරකවලා ‘ලකී’ දිහා හිනාවෙමින් කිව්වේ නොමනාපයක් මවාගෙන. ලකී අත්දෙක ඉනට ගහගෙන පිටියේ මැද්දේ හිනාවීගෙන බලාගෙන හිටිය. මට දැනුනේ විදුලියක් වගේ හැඟීමක්. ඒක ආවේ යටි බඩේ මැද්දෙන් වගේ.

අපි දෙන්නා මොහොතකට එකිනෙකා දිහා බලාගෙන.

“මේනු ? මෙතන මොකද කරන්නේ?”

එකපාරටම මම සද්දේ ආපු දිහාවට හැරුනේ ගැස්සිලා වගේ. පපුව ඇතුලෙන් ලොකු දුම් ගුලියක් වගේ එළියට පැන්න. ‘මනෝ’!! මට ලකී දිහා බැලුනේ උත්තරයක් හිතාගන්න බරුවම නෙවෙයි.

‘ඒ කියන්නේ මනෝ අපි දෙන්න දිහා බලාගෙන ඉඳල?’ ලකීගේ ඇස්දෙකේ දීප්තිය මට පෙනුනේ ප්‍රදිපාගාරෙකින් එන එළියක් වගේ.

“… මම ඇහුවේ ඔයාගෙන්… කාගෙන්වත් නෙවෙයි.”

ආයෙමත් අර කටහඬ මගේ පිටිපස්සෙන් ඇහුන. ලකී බිම බලාගෙන ආයෙමත් හැරුන. මම පැසිපන්දුව අතට අරගෙන හෙමින් හෙමින් ආයෙමත් පන්දු දමන කාමරය පැත්තට ඇදුනේ ‘දඩ බඩ’ ගාන හිතක් එක්ක.

“මමයි යතුර ඉල්ල්ගත්තේ”

මම හෙමිහිට එහෙම කියන ගමන් පන්දුව කාමරේ ඇතුලට තල්ලු කරලා ඉබ්බා තදකලා. මගේ හිත පොපියනවා. මනෝහරි පඩිපෙළ බැහැල ඇවිත් පැසිපන්දු පිටිය හරහා ඇවිදගෙන යනවා , කණුවකට මුවා වෙලා ලකී බලාගෙන ඉන්නවා මම දැක්ක.

***********************************

අපි කවිත් ලියන්න පටන්ගත්ත. ඒ කිසි කවියකට හරිහමන් තේරුමක් තිබ්බේ නැහැ. ඔක්කොගෙම තිබ්බේ ‘මායාව’ ‘යතාර්ථය’ ‘තිමිරපට’ වගේ වචන. ඇත්තටම මම ඒවගේ තේරුමක් දැනගෙන හිටියෙත් නැහැ. ඒ උනාට මගේ කවි ලකී ලස්සනයි කිව්වා. ඒවාට උත්තරත් ලියල හවස මගේ ප්‍රක්ටිස් ඉවර වෙලා එනකොට පොත් අස්සේ ලියුම් විදියට තැන්පත් කරලා තිබ්බ හින්ද මගේ සවස සුන්දර උනා.

ලකීගේ අතකුරු ලස්සනයි කියල මට හිතුන. මම ආසම ඒ අතකුරු වල ‘ත’යන්න, ‘ක’යන්න, ‘න’යන්න ලියන විදියට. දවසක් මම කිව්වා ඒ අකුරු ලියන විදිය මට ඇත්තටම බලන්න ඕනේ කියල. මොකද අපි දෙන්නා හිටියේ එකිනෙකා නොපෙනෙන ‘ඊ’ සහ ‘බී ‘ පංතිවල . ඉතින් හවසක අපි දෙන්නම සයන්ස් ලැබ් එක පිටිපස්සේ තියෙන වතුරමල ගාවදි මුණගැහුන.

ඒක වැහිබර දවසක් උනේ නැතුවට මට දැනුනේම හිරිකඩක් වගේ එකක් අපි වටේ කැරකුනා කියලයි.

එයා ‘ක’යන්න කියනකොට මම ඇස්දෙක එලියට පනින තරම් උනන්දුවෙන් බලාගෙන හිටිය. ‘ත’යන්න ලියනකොට මගේ දිහා බලල විදුලියක් වගේ බැල්මක් දැම්ම. මගේ හිත පසාරුකරගෙන යන ඒ බැල්ම!

මේ ලෙඩේට පින්න කියන්නේ අසාධ්‍ය තත්වයක් කියල මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් පින්න හින්ද මට පපුවේ අමාරුවක් වගේ එකක් ආව.

“මනෝ මාරයි නේද? මට දකිනකොටත් පිස්සු වගේ”
“ඉතින් ඔයාට නම් ලේසියි. එයා ඔයත් එක්කම බාස්කට් බෝල් ගහන හින්ද හැමදාම දකින්න පුළුවන්. මට? ඔයාව හම්බෙන්නේ අඩුවෙන්”

මම හෙමිහිට සුසුම්ලෑව. මට දුකක් දැනුනේ නැති උනත් මම සුසුමක් හෙළුව.

“ඉතින් ඔයා තව කවි ලියන්න. මම කියවන්නම්”
“ලේසි නැහැ කවි ලියන එක”

ලකී මගේ දිහාම බලාගෙන හිටිය. මගේ කොණ්ඩ කරලක් ලක්මිණි ඉඳගෙන හිටපු පැත්තට වෙන්න එයාගේ පිටිපස්සෙන් බිම ගාවෙමින් තිබ්බ. ලකී හෙමිට මගේ කොණ්ඩ කරල අල්ලනකොට මට දැනුනේ ඒකට පණක් තියෙනවා වගේ.

“……එපා… කවුරුහරි එයි”

ආයෙමත් මගේ බඩ ඇතුලෙන් විදුලියකුත්, පපුවෙන් රිදුමකුත් ආව. ලෙඩේ පැතිරෙනවා වෙන්න ඕනේ බඩේ මැද්දේ හරියෙන් වෙන්න ඕනේ. ලෙඩෙක් උනත් අබ්බගාතයෙක් වෙන්න ඕනෙකමක් මට තිබ්බේ නැහැ. මට ලකී ගැන ආවේ පොඩි ඉරිසියාවක්.

‘එයාට නම් මොකද? මම නැත්තම් මනෝ…. එහෙම කියන්නත් බැහැ.. මනෝහරි අක්කා එයාට ලංවෙන්න බැරි තරම්. ආ.. එහෙම කියන්නේ කොහොමද.. දැන් අර ටීචර්ගේ දුවෙක් වෙලත් , ඒ මදිවට මුස්ලිම් වෙලත් සියාමා රාමදාස මැඩම්ට වහවැටිලා ඉන්නේ?’

“මට පරක්කු වෙනවා”

ලකී ‘න’යන්න නොලියාම ගියාට මගේ අමනාපයක් නොතිබ්බේ ඇයිද කියන්න මට වැටහුනේ නැහැ. ඒ උනාට මට එදා නින්දක් නම් අහලකට වත් ආවේ නැහැ

**************************


ශ්‍රෙණියේ හැමෝම අපිට උදව් කළා. එහෙම නොකර උන් බකට් අදින්නේ නැතුව හිටියේ රෝගවාහකයින් සහ ආසාදිතයින් ප්‍රමාණය සංක්යාවෙන් අඩු උනාට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩි හින්ද වෙන්නත් පුළුවන්.

බෝවිච්ච අය හැමදාම පංතිවල පුවත් මැව්වා. මටත් ලකීටත් කොලමක් තිබ්බේ නැත්තේ මනෝහරි එක්ක ඇඳුනු ගොඩක් දෙනෙක් තමන් ගැන තීරු ලිපි පළකරගන්න පෝලිමේ හිටිය නිසා වෙන්න ඇති. බාගවෙලාවට කොලමක් නැතිවීමත් එක්තරා විදියට ප්‍රසිද්ධියක්. මනෝහරිගේ ලැයිස්තුව එන්න එන්නම වැඩිඋන හින්දා මතකේ තියාගන්නෙක ලේසි උනේ නැහැ.

ඊට වඩා පහසුවෙන් සියාමාගෙ , රාමදාස මැඩම් ගැන තිබ්බ ආරංචි කනට වැටෙනකොට ලක්මිණි ඉඳල හිටලා අපේ පන්තිය පැත්තේ රවුමක් දාගෙන යන්න පටන් ගත්ත. ඒක හරිම සුන්දර වැඩක් උනාට මගේ අල්ලපු ඩෙස්ක් ඒකෙ කෙල්ලට ගෙනාවේ කිචියක්.

“අන්න ලකී”

මම පාඩමේ හිත යෝදොගෙන ඉන්නකොට රාමදාස මැඩම්ගෙන් විසිවෙන විද්‍යාව සටහන වරද්දන්නෙ නැතුව පිටපත් කරනවා. එකපාරටම මැඩම්ගේ ‘කියෝන සටහන’ වරදිනවා. සියාමා ඇවිදගෙන යනවා අපිට පේනකොට මැඩම් ඉක්මනට සාරි පොතෙන් මුණ වහගන්නේ තරහින් කළුවෙලා කියල අපිට පෙනෙන හින්දමද මන්ද.

ලියුම් එන්න එන්නම දිග වැඩි උනා. පොඩ්ඩක් හරි සුවඳක් ඇතිය කියල ඒ ලියුම් නහය ළඟට කරපු හැම වතාවෙම මම ආයෙමත් බිමට වැටුන.

එක දවසක්දා කළුපාට ශෝටක් ගහගත්ත , කැරලි කොණ්ඩයක් තියෙන , ක්‍රීඩා සපත්තු දාගත්ත සපත්තුවකට මාව කකුල් මාට්ටුවක් වැටුන. අනු නවයෙන් හොම්බ බේරුනේ. ඒ උනාට කකුල් දෙකම බරු ගියා. කකුල් දෙකේ තුවාලේ පිටට පෙනුනේ නැහැ. ඇස්වල ලේසර් කිරණ වලින් පිච්චිලා බරු ගියපු කකුල්දෙක මම ඊට පස්සේ හැමදාම වැහෙන්න බොටම් ඇඳගෙන පුහුණුවීම් වලට ආව. ඒ උනාට වැඩක් උනේ නැහැ. ලේසර් කිරන වල පිළිස්සුම් නහර දිගේ ගිහින් තිබ්බ.

“මේනු … ඇයි උත්තර එවන්නේ නැත්තේ? මම ලියුම් කීයක් දුන්නද?”

දවල් විවේකයට පඩිපෙළ නගිනකොට මගේ පන්තිය ළඟ ගාව හිටපු ලකීට මම ඇස්දෙක ලොකු කලේ ‘මෙතන බැහැ’ කියන්න වගේ. ඒ උනාට මම එදා හවස වතුර මල ළඟට නොගිහින් ගෙදර ගියා.

“මෙන්න… ලකී දෙන්න කිව්වා”

ඊට සතියකට පස්සේ බස්හෝල්ට් එකේ හිටගෙන උන්නු මගේ ගාවට ආපු ලකීගේ යෙහෙලියක් දුඹුරු කඩදාසි උරයක් මගේ අතේ තියල මගේ දිහා හිනා වේවි බලන් හිටිය. මට හිතුන ඒ කවරේ එකීගේ මුණටම ගහන්න. ඒ උනාට මම ඒක අරගත්ත.

රතුපාට හදවත් තිබ්බ කාඩ්පත මම එදාම හවස නිල්පාට, කොලපාට දැල්ලක් එන්න කියල කාමරේ ජනේලෙන් දල්වලා එලියට දැම්ම. නිදහසේ එළියක් දිදී දැල්විලා උදේ බලනකොට අළුත් හේදිලා.

**********************

මුහුණු පොතට එබිමක් කරපු කාලයක් මතක නැහැ. කැම්පස් ගියාට පස්සේ රස්සාවකට මිසක් වෙන දේකට ඔලුවට වැඩකලේත් නැහැ. වෙන උන්ට නම් යාළුවො උතුරලා. මට ඉන්නේ අතේ ඇඟිලි ගානක් යාළුවො ලිස්ට් එකේ.

හොඳම වැඩේ තමයි ඉස්කෝලේ යාළුවො බුරුතු පිටින් එකතු කරගන්න එක! වැඩේ ඉක්මන් සහ ලේසියි!!

එකපාරටම මාව හිර උනා වගේ.

ආරංචි උනා තමයි. ඒ උනාට…. කෝකටත්….. ඔව්…. දොස්තර කෙනෙක් තමයි. කොන්ඩේත් වවලා වගෙයි තමයි. සාරියක්? ඔව් ගැලපෙන්නේ නැහැ කියල හිතුනට.. නොගැලපෙන්නෙත් නැහැ වගේ නේ… හ්ම්ම්ම් කෝ මැරිටල් ස්ටේටස් දාල නැහැ. සිංගල් ද?

ඈත ඉඳන් ලකී දිහා බලාගෙන හිටපු දවසුත්, එහෙම බලාගෙන ඉන්නවා අහුවෙලා ඉක්මනට මාරුවෙච්ච දවසුත් වගේම…. යටි බඩ එකපාරටම දැවිල්ල අල්ලන දවසුත් ඒ මොහොතේ මතක් වෙන්න ගතවුනේ අකුණුසරයක් ගහනවා තරම් වෙලාවක්.

යාළුවෙන්න කියල හිතාගෙන බොත්තම් ඔබන ක්‍රමය තියෙන්නේ අන්තර්ජාලයේ විතරයි. ඒත් තාමත් නියමිත බොත්තම සොයමින් පවතින බවත් ඇත්තක් !

http://upekshad.blogspot.co.uk/2016/04/blog-post_18.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල