ඉතිහාසය

දේවාල ගමත් එක්ක අවුරුදු සුබපැතුම්

Off

සුබ අලුත් අවුරුද්දක් වේවා!

උග්ගල් අලුත්නුවර දේවාලයේ අවුරුදු ආරම්බ වෙන්නෙ අමුතුම විදිහකට. ඒ පෙර සිරිත; අවුරුදු ඇරඹෙන විදිහ, ගැන විමසුවාම අහගත්ත විස්තරය කෙටිකරන්න ඕන නිසා මෙතන තියෙන්නෙ දැනමුත්තන් දුන්න පිළිතුරු විතරයි¹( sugv ගේ ප්‍රශ්න අයින් කළා).

“අපේ හත්මුතු පරම්පරාවම කිව්වෙ අලුත් අවුරුද්ද ලබනවා කියල. ඒ මිසක් සිංහල දෙමළ කතාවක් ඒ කාලෙ තිබුණෙ නෑ. අවුරුද් උදාවෙන්නෙ මේ ගමටයි අහලගං හතටයි විතරක් නෙමෙයි; මුළු දේසදීපංකරේට මයි.

pagexyz
දෙයියන්නෙ ගමේ ඇත්තනුත් එකතු කරගෙන sugv ත් සිය නෑ පිරිසත් සමග ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා

ඒ කාලෙත් රාජකාරි ඇත්තො නොනගතේ එන්න ඉස්සෙල්ල දේවාලටෙ එනව. බුදුන් වඳිනව. ඔව් ගමේ අනික් මිනිස්සුත් නොනගතේ දි එනව. නොනගතේ එන්ඩ කිට්ටුව දවුල් බෙර ගහනව. නමෝ විත්තියෙං හේවිසි මණ්ඩ පේ ඉස්සරහ ලිප් දෙකක් බැඳල හක්කාර පංගු දෙකේ ඇත්තන් කිරි මුට්ටි ලිපේ තියනව. එහෙම කරන්නෙ ගමට රටට කිරි උතුරන්න වගේ හරියන්න ඕන කියල හිතාගන. කිරිමුට්ටි මුළුතැන් ගේ ඉඳල වැඩමවාගෙන ගෙනල්ල තමයි ලිපේ තියන්න බාර දෙන්නෙ.

කිරි හැලි උතුරා යන්නෙ සූරිය දිවිය රාජය සංගරාන්දි වුන වෙලාවටයි. ඒ වෙලාව ගමට කියන්න ගෙබෝරාල කාලතුවක්කුව පත්තුකරනව. කිරි උතුරන විදිහ බලල ගමට හොඳක් වෙනවද නරකක් වෙනවද කියල කිව්වෑකි.

ඒ කියන්නෙ දිග්ගෙයි දොරටුව දෙපැත්තට හිටින්න තියන මුට්ටි දෙකෙන් නැගෙනහිරට තියනමුට්ටිය ඉස්සෙල්ල ඉතිරුවොත් ගමට හොඳයි. දෙකම එකපාර ඉතිරුවත් හොඳයි. බට හිරට තියන මුට්ටිය ඉස්සේල ඉතිරුවොත් ඉදිරි අවුරුද්ද ගමට කියන්න තරං හොඳක් නෑ.”

මෙහෙම කියාපු දැනමුත්තා කිරි උතුරන හැටි බලා ඉඳල ලබන අවුරුද්ද (2015-2016 අතර කාලය) ගැන අනාවැකියක් කිව්ව. ගිය අවුරුද්දෙ කිව්ව එ් අනාවැකිය කොයිතරං ඇත්ත ද කියල හරියටම දන්නෙ ගමේ ඇත්තො. මේ අනාවැකිය හා පෙරසිරිත ඉටු කෙරෙන හැටි පහත වීඩියෝවෙ තියනව (තත්පර 83 කි)

මේ වතාවෙත් සංගරාන්දියෙදි කිරි උතුරවාවි ! ගමට රටට සෙත් පතල කිරිමුට්ටි ලිපේ තියාවි !! අනාගතේ ගැන සාස්තරත් කියාවි. !!!

පෙර සිරිත රකිමින් සමප්‍රදාය රැකගන්නට තවමත් කැපව සිටින මේ අහිංසක පිරිස වෙසෙන පෙදෙසටත් රටටත් ඔබ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! යි sugv ද ප්‍රාර්ථනා කරයි.

පසු ලිපිය

“සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්මුර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම”

-විමලරත්න කුමාරගමගේ -අයියනායක කවිපන්තියෙන් උපුටාගත්තකි

විශේෂ වදන්

පෙරසිරිත – උඩරට රාජ්‍යපාලන අවදියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රධාන වශයෙන්ම අලිඛිත එකක් විය. එය “පෙරසිරිත” නමින් හැඳින්වේ. මේ පිළිබඳ ජෝන් ඩොයිලි මහත් වෙහෙසක් නෙ ඇති බව ඩොයිලිගේ දිනපොත පෙන්වා දෙයි. එකල ස්ථිපිතව තිබූ පුරාණ විහාර දේවාලගම්වල පවතින නීතිරීති සමූහය ද පෙර සිරිත ලෙස හැඳින්වේ. දේවාල රාජකාරි වලදි පෙරසිරිත පිළිබඳ විශේෂයෙන් සලකන ආකරය සෑම විටම දිස්වේ.
අහල ගංහත – ආසන්න ගම්මාන හත(දේවාලගම ද ඇතුළු කළ විට ගම් අටක් බව දැනමුත්තන් වෙතින් කියවිිනි. මේ අනුව ගම් අට ඇත්තේ වලල්ලක ආකාරයෙන් විය හැකිය)
හත්මුතු පරම්පරාව – ආතා, මුත්තා, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත සහ කිරිකෑ මුත්ත දක්වා යෙදෙන පරම්පරාවන් මෙයින් අදහස් කෙරේ. ආතා යනු පියාගේ පියා ලෙසත් මුත්තා යනු ආතාගේ පියා ආදී ලෙසින් පියපාර්ශ්වය සැලකිල්ලට ගෙන පරම්පරා හත විස්තර කෙරේ
දේස දීපංකරේ – දේස දීපංකරේ යනුවෙන් අදහස් කළේ මුළු රටම බව ඇතැමෙක් තේරුම් කරති. එහෙත් මේ “රට” යන සීමාවෙන් ඔබ්බට විහිදෙන තේරුමක් තිබේදැයි තවදුරටත් විමසිය යුතුව ඇත.
නොනගතේ – නැකතක් නැති වේලාව හෙවත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යමින් තිබෙන කාල පරතරය
සංගරාන්දිය – සංක්‍රාන්තිය හෙවත් සංක්‍රමණය වන වෙලාව එනම් නොනගය යි ව්‍යවහාර වූයේද මෙයටම ය.
නමෝ විත්තිය – මුලින්ම
හක්කාර පංගු දෙක – දේවාලයේ තේවා වලදී සක්පිඹිම කරන ප්‍රවේනි රාජකාර්පංගු දෙක(රාජකාරි පංගු පිළිබඳ විස්තර වෙනම ලිපිවල ලියවේ)
ගෙබෝරාල – මෙයටම ගෙබලන පංගුව යනුවෙන්ද ව්‍යවහාර වේ. දේවාලයේ දිග්ගෙය විවෘත කර රැක බලාගැනීම මීට අයක් ප්‍රධාන රාජකාරියයි ආසන්න ගම්මාන හත(දේවාලගම ඇතුළු කළ විට ගම් අටක් දැනමුත්තන්ගේ අදහසයි. මේ අනුව ගම් අට ඇත්තේ වලල්ලක ආකාරයෙන් විය හැකිය)
අත්තනායක මොහොට්ටාල – දේවාලයේ පාරම්පරික ප්‍රධානම විධායක නිලය ආසන්න ගම්මාන හත(දේවාලගම ඇතුළු කළ විට ගම් අටක් දැනමුත්තන්ගේ අදහසයි. මේ අනුව ගම් අට ඇත්තේ වලල්ලක ආකාරයෙන් විය හැකිය)

පාදක සටහන්

1.ඒ.එම්. එස්.එම්. පරම්පරාවේ ඒ වනවිට රාජකාරි කළ කුමාරසිංහ බණ්ඩාර මහතා සමග 2015 අප්‍රේල් 13 දින කළ සාකච්ඡාව – මීට පෙර වසර වල ඒ ඒ දැනමුත්තන්ගෙන් ලබාගත් තොරතුරු හා මේ අදහස් අතර පරස්පරතාවක් ඇත්නම් ඒ අවස්ථාවේ භාවිත කළ වචන වල වෙනස පමණි. sugv දශක 4 කට අධික කාලයක් තිස්සේ ලැබූ නිරීක්ෂණ වලට ද එකඟය.

https://sugv.wordpress.com

 

 

චාරක Wicharaka පවසයි:
2016 අප්‍රේල් 14 දින 08:05 ට
බොහොම ලස්සන විස්තරයක් ගුණසිංහ මහත්තයා. අවුරුද්දට ගමේ ඉන්න බැරිවුණ එක දුකක් කරගන්න එපා. හිතෙන් අපි කවුරුත් තම තමන්ගේ ගමේ රටේ තමා ඉන්නේ. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
mppgunasinghe පවසයි:
2016 අප්‍රේල් 14 දින 08:29 ට
ඔව් විචාරක තුමා ගමේ හිටිය නම් දවසට කීදෙනකු පැමීන යනවාද. කියමින් අපි දුක් වෙනවා පුතා ගමට ගිහින්ම නෑ. පුළුවන් අය කතා කරලා කිව්වෙත් තමන්ගෙ දුක ගැන

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
maathalan පවසයි:
2016 අප්‍රේල් 14 දින 10:39 ට
සුබ නව වසරක් වේවා…!!!

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
mppgunasinghe පවසයි:
2016 අප්‍රේල් 14 දින 18:41 ට
මාතලන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
විභීෂණ II පවසයි:
2016 අප්‍රේල් 15 දින 21:37 ට
ඔබටත් පවුලේ සැමටත් අහල ගං හතටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
———–
සුබ පතන්න එන්න ප්‍රමාද වීම ගැන සමා වෙන සේක්වා..

වෙලාවක ගොඩ වෙලා යන්න එන්න විභීෂණ ගේ වර්ඩ්ප්‍රෙස් ශාඛාවට.
මෙන්න ලිපිනය.
https://vibheeshana2blog.wordpress.com/

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
mppgunasinghe පවසයි:
2016 අප්‍රේල් 15 දින 21:51 ට
නිතර ෙකාෙමන්ට් ෙනාකළත් මා නිතර ෙගාස් රසවිඳින අඩවියක් විභිෂණ අාවාට ස්තුතියි ඔබ අැතුළු අාදරනීයයන් සැමටත් සුබ අලුත් අවුරුද්දක් ෙව්වා

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
Ajith Dharma පවසයි:
2016 අප්‍රේල් 19 දින 21:02 ට
සුභ නව වසරක් වේවා. මේ කිරි උතුරන වෙලාව අවුරුදු නැකත් වෙලාවමද? නැත්නම් දේවාලයට වෙනම නැකතක් හදනවද?

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
mppgunasinghe පවසයි:
2016 අප්‍රේල් 19 දින 22:33 ට
අජිත් ඇතුළු පවුලේ සැමටම සුබනව වසරක් වේවායි පතනවා !
දේවාලයට “ගණිත පංගුව” නමින් ප්‍රවේනි රාජකාරි පංගුවක් තියනවා. (ඈත අතීතයේ සිට පැවත එන පාරම්පරික රාජකාරි පවුල්වලින් පැවත එන අය) ඒ පරම්පරාවේ නැකත් හදා දෙන කෙනා දේවාලයේ ගණිතඥයා ලෙස කටයුතු කරනවා,(අනෙක් රාජකාර ඇත්තන් ඒ තනතුර දරන්නාට පවසන්නෙ “ගණිතයා” නමින්) ඔහු අදාල නැකත් හෝරා ගණනය කර සකස්කර දේවාලයට ගෙන එනවා. එසේ පැමිණ පැතැටිය ජල බඳුනේ තබා අදාල හෝරාව ලබා දෙනවා.( මේ ගණනය කරන ආකාරයන්ගේ පදනම මෙහි පවසන තරම් සරල එකක් නෙවෙයි. ඒ සඳහා ඔවුන් ලබාගන්නේ සව්භාවික දේවල්; එනම් ඉර, හඳ, ස්වාභාවිකව ගලායන ජලය, පිලිබඳ වරින්වර වෙනස්කම් ඇතිවන ආකාරය; ගස්වැල් සතුන් ආදියේ ඇතිවන චරයාවේ වෙනස් වීම් වැනි දේවල්. මේ පිළිබඳ කාලයක් තිස්සේ මා ඳුනාගන්නට ගත් උත්සාහයක් පාරම්පරික ඥානසම්භාරය ලිපිවල තියනවා. ඒත් අජිත් එයින් පවා ලබාගත හැක්කේ ඒ ගණනයන් කළ ආකාර පිළිබඳ දළ අදහසක් පමණයි. (වර්ත මානය වන විට මේ පාරම්පරික පවුල් වල අය ද ඈපා පඤ්චාංග ලිත භාවිත කරන බව පෙනුනත් දැනට පරම්පරා දෙකකට පමණ ඉහත සිටි අය භාවිත කර ඇත්තේ මේ ලිපිවල පවසන ක්‍රමයයි. ඒ ක්‍රමය පිරිසිදු ලෙසම භාවිත කළ පැරණිම දැනමුත්තා. ඒ. ජී. අල්විස් මහතා 2012 දී අභාවප්‍රාප්ත වුනා)
අවුරුදු චාරත්‍රවලදීත් ගණිත පංගුවෙන් කිරිමුට්ටි ලිපේ තබන වෙලාව ලබා දෙනවා.ඒ රාජකාරි පංගුවේ ඇත්තා මේ අවස්ථා නිරන්තරව අධීක්ෂණය කරමින් ඉන්නෙ.ලබාදුන්න හෝරාවෙන් ලිප් මත තබන කිරි හැලි දෙකෙන් පළමුවම කිරි උතුරා යන මොහොත “සංක්‍රාන්ති මොහොත” හැටියට ගැනීම මිස ඒ මොහොත කලින් ගණනය කර ප්‍රකාශක කිරීමක් මේ සම්ප්‍රදායේ නැහැ. ගණිත පංගුවේ “ගණිතයා”(ගණිතඥයා) කලින් ගණනය කර පෙන්වන්නේ කිරි හැලි ලිපේ තැබිය යුතු අදාල හෝරාව හෙවත් පැය හෙවත් කාල පරාසය පමණයි. නියමිත මොහොත නිශ්චය කිරීම ඔහු පවරන්නේ “කිරිහැලිය”ටයි. දේවාලයට නැකැත් හදන විදිහ පැහැදිලි ඇතැයි සිතමි. මේ නැකැත් දේවාලගමේ වැසියන්ද එලෙසම අනුකරණය කරනවා මිස ලිත් වලින් පවසන නැකැත් ගැනීම තවමත් දක්නට නැති තරම් . කිරි ඉතිරවීම පමණක් නොව අනෙක් නැකත් සියල්ලමත් මෙහි කෙරෙනවා. දේවාලයේ ඊ ළඟ වෙඩිල්ලට මුළුතැන් ගේ ලිප ගිනි මෙලවීම කෙරන අතර ඒය නැකත එලෙසම ගමේ අය ද යොදාගන්නවා කැම ගැනීම හිසතෙල් ගැල්විමත් එලෙසමයි . එම නකැත් වේලාවන් ගණිත පංගුවේ ඇත්තා දේවාලයට ලබා දෙන්නෙ “පෑතැටිය” අනුසාරයෙනුයි.
වර්තමානයේ බොහෝවිට ජාතික මට්ටමේ සම්මතයන්ට අනුකූලවෙමින් හැකිතාක් දුරට සමාන වන ලෙස දේවාල නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කරනු ලබන බැවින් විශාල වෙනස්කම් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙත් මගේ මතකය අනුව 60,70.80 හා 90 දශකයේත් ලිත්වල වේලාවන්ට වඩා විනාඩි 15 20 තරම් වෙනස් වේලාවන් යොදාගත් බව දක්නට හැකිවුනා.
මගේ පිළිතුර දිග වැඩිද මන්දා අජිත්.”ඔව්” යනුවෙන් කෙටි පිළිතුරක් දීමට වඩා අජිත්ගේ විමසීමට මෙසේ පිළිතුරු ධිම හොඳ යයි සිතීමි. විමසීමට ස්තුතිවන්ත වෙමි.

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
Ajith Dharma පවසයි:
2016 අප්‍රේල් 20 දින 02:38 ට
මේ පිළිතුර ඉතාම හොඳයි. එපමණ ලොකු පිළිතුරක් බලාපොරොත්තු නුනත් මම හිතුවෙත ඔය වෙලාව මුළු ගමටම දේවාලෙන් කියනවද කියල දැන ගන්න. මොකද පරණ කාලේ ටීවී රේඩියෝ තිබ්බේ නැහැ නේ. ස්තූතියි .

කැමතියි

ප්‍රති-පිළිතුරු සැපයීම
mppgunasinghe පවසයි:
2016 අප්‍රේල් 20 දින 02:42 ට
ස්තුතියි අජිත්. නැකත ආසන්න වන බව දන්වන්නාක් බඳුව නොකඩවා වාදනයවන හේවිසි නාදයත් නැකත තදාසන්නයට පැමිණම පැමිණ ඇති බව හඟවන්නාක් බඳුව හේවිසි නාදය තුළම ඇසෙන්නට වන ඝන්ටානාදයත් ඒ අතර තුරම පළාතම ගිගුම් දෙන ලෙස ඇසෙන දේවාලයේ කාලතුවක්කු හඬත් අවශ්‍ය පරිදි සියලුම නිවේදන කටයුතු සම්පූර්ණ කරමින් මුළු ගමම එකට එකතු කරන පරිදි සම්ප්‍රාය හැඩ ගැන්වී තිබී ඇති බව පෙනී යනවා.

කැමතියි

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල