කෙටි කථා

පුනරුප්පත්තිය

Off

‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘

‘‘ මට ගහන්ඩ …ඔයාට බැ මට ගහන්ඩ ‘‘

‘‘ ඇයි මොකද තාත්තට බැරි ඔයාට ගහන්ඩ ..අම්මල තාත්තලට පුලුවන් ළමයි වැරදි කලහම දඩුවං කරන්ඩ ‘‘

‘‘ ඔයාලයි මට බයවෙන්ඩ ඕන …මට ගහන්ඩ බෑමයි …බනින්ඩත් බෑමයි ‘‘

‘‘ අර දැක්කා නේද ..හැම වෙලාවෙම ඔහොමයි මූන දිහා බලාගන ඉදල යනවා යන්ඩ …ඔයා මම කියන එක පිලිගන්නෙම නැනේ…ඔය ඔයාගේ අක්කම තමයි ‘‘

‘‘ පිස්සු විකාර කියවන්නේ නැතුව ඉන්ඩ අනේ …..ඔය පොඩි කමටනේ අනිත් වෙලාවට ඔය හොදට හුරතල් වෙවි ඉන්නේ ‘‘

‘‘ ඉතින් ඔයානේ කියවන්නේ …මේ කෙල්ල මාව ගනන් ගන්නේ නැය …බල්ලට දාල කතා කරනවය අරකය මේකය කියල ….ඔන්න දැං ගිහින් බලන්ඩ කොහේ හරි මුල්ලකට වෙලා තනියම කියව කියව ඇති ….එක්කෝ බලාගත්ත අත බලාගන ‘‘

‘‘ ඒක එහෙමනං ඔය පෙර ආත්මේ කියවන අනිත් ළමයි වාගේ මේ ළමය කියවන්ඩ එපැය මං අරහේ හිටියය ..මෙහෙම කරාය …අතනදි මැරුනය කියල……දැං මම මෙහෙම කියුවයි කියල ගිහින් කෙල්ලගෙන් අරව මේවා අගිස්සවනව නෙමෙයි හරිද ‘‘

‘‘ අනේ මං ඔයා තරං මෝඩ නැ …එහෙම හැම ළමයම පෙර ආත්මේ කියන්නේ නැ අනේ …..ඒ උනාට සමහරක් එහෙම කෙලින්ම නොකිවට ඔය වගේ එක එක විදිහට ඔව්වා පෙන්නනවා , බලන්ඩ ඔය වයසේ ළමයි කරන කියන දේවල්ද කරන්නේ ……හැම දෙයක්ම හොදට තේරෙනවා….අනික බලන්ඩ නොතේරෙන වයසේ ඉදන් අක්කගේ ළමයින්ට එකතුයි …මතකද ඇබින්දං කාලේ ඉස්සෙල්ලම ලොකු පුතාව දැක්ක ගමං අතට පැනල හුරතල් වෙච්ච හැටි ‘‘

‘‘ ඒ කොල්ලා පොඩි ළමයින්ට ආදරෙයි කොයි පොඩි එකත් දැක්ක ගමං අතට පනිනවා ‘‘

‘‘ ඔයාලැ අක්ක ඔයාට හරි ආදරෙයි මා එක්ක ඉස්සර කොච්චර කියවනවද ඔයා ගැන පොඩි කාලේ කරපු කියපු දේවල් එහෙම , අනික මටත් හරි ආදරෙයි , ඔයාලගේ ගෙදර අනිත් මිනිස්සු වගේ නෙමෙයි ..පුදුම මනුස්සකමක් එයාලග තිබුනේ ….මතකනේ අප කසාද බැන්ද අලුත අපිට එහේ ඇවිත් ඉන්ඩ කියවා ‘‘

‘‘ හයියෝ සංසාරේ එ් තමුසෙට ආදරේට නෙමෙයි ඔයි ….එයාගේ පාලු කපන්ඩ ‘‘

‘‘ අනේ මෙහෙම මිනිහෙක් …දිවේ කටේ නොගෑවි කියන ලස්සන ‘‘

‘‘ වෙන කොහොම කියන්ඩද විකාර කියවනකොට ‘‘

‘‘ විකාර නෙමෙයි අනේ අර අපි අන්තිමට අක්කව බලන්ඩ ගිය දවසේ මතකද ඔයාට , පාස් දෙකෙන් තුන්දෙනෙකුට යන්ඩ දෙන්ඩ බැ කියල ඔයාලගේ අම්මවයි මාවයි ඇතුලට ඇරල එලියට වෙලා හිටපු වෙලාවේ අක්කා ඔයාව බලන්ඩ ඕන කියල කොච්චර විස්සෝප උනාද , ..කොහෙද ඔයාගේ තියන පංඩිත කමට අර …සල්ලි දෙන්ඩ ඇතුලට එක්කං යන්නං කියුව ඉස්පිරිතාලේ වැඩකරන මනුස්සයටත් බැනල පන්න ගත්තනේ ‘‘

‘‘ ඒ යකා ඒ වෙලාවෙත් සර්ජිකල් ස්ප්‍රීට් ගහලයි හිටියේ …සල්ලි නෙමෙයි දෙනව මං උන්දැට ‘‘

‘‘ ඔයා හැමදාම වරද්ද ගන්නේ ඔය ගතිගුන හන්දම තමා …එදා එහෙම නොකරන්ඩ අක්කා එක්ක වචනයක් දෙකක් කතා කරනවා නේද ‘‘

‘‘ අයියෝ දැන්වත් ඕක නවත්ත ගන්නවකෝ ‘‘

‘‘ නැ අනේ කියන එක අහන්ඩකෝ මට හැමවෙලාවෙම ඔව්වා මතක් වෙනවා , අක්කා නැති උනා කියල ආරංචි වෙච්ච ගමං මට හිතුනේ……අනේ මගේ දරුවෙක්වෙලා ඉපදෙන්ඩ කියල……….අක්කගේ මිනියට වැදලත් මම හිතුවේ එහෙම , ඊට පස්සේ එයාව මතක්වෙන මතක්වෙන ගානේ …මම හිතින් කියන්නේ මගේ ලගටම එන්න කියල , ……අමතකයිද අපි මේ ගේ හදාගන එන්ඩ ලංවෙලා මං බෙහෙත් පෙත්ත ගන්න එක නවත්තලා ටික දවසක් හිටියා ……ඊට පස්සේ මේ ගෙදරට ආවා ….අපි එකට හිටියේ හරියටම එක දවසයි ….ඔයා ආයෙත් වැඩට ගිහින් ආවේ මාසයකින් විතර …තව සතියකින් දෙකකින් විතර අපි දැනගත්තේ බබෙක් ඉන්නවා කියල ‘‘

‘‘ මේ ඒක නෙමෙයි අපි තේ ටිකක් බොමුද ‘‘

‘‘ තාම තුනයිනේ කාපු බත් ඇට ටිකවත් පෙරලිලා නැනේ ‘‘

‘‘ ඔන්න ඔහේ තේ ටිකක් බොමු අනේ ‘‘

‘‘ මතකද ඉපදිච්ච ගමන් කෙල්ලගේ පපුවේ තිබුන ලොකු ලපය , දැං එහෙම එකක් තිබුනද කියලවත් නැ ටික ටික මැකිල ගිහින් …ඔහොම හදිසිසියේ මැරෙන අයගේ රිදුන තැන්වල එහෙම ලප හිටිනවලු …..එවා පස්සේ කාලේ ටික ටික මැකෙනවලු ‘‘

‘‘ ඔය වැඩකට නැති දේ හිතන්ඩ එපා …ගිහිල්ලා බලන්ඩ අරය කෝ කියල ….සැහෙන වෙලාවකින් සද්දයක් නැ …මොනවහරි ලොකු වැඩකට අතගහල ඇති ‘‘

‘‘ ඔයා කොච්චර කියුවත් පිලිගන්නේ නැ නේ , මතකද ඔයාට එදා අක්කා නැති වෙච්ච දවසේ උදේ නැගිට්ට වෙලාවේ ඉදන් මගේ ඇගට කිසි පණක් තිබුනේ නැ , ඔයාට බත් එක උයලා දුන්නෙත් අමාරුවෙන් වැඩට ගිහින් ටිකකින් ඔයා මට කෝල් කරල කියුවා ……වැඩකරන්ඩ හිතෙන්නේ නැ මහා කම්මැලියි ඇගට නිකං මොකදෝ මොකදෝ වාගේ කියල ……..එතකොට මං කියුවා මටත් මහ නිදිමතක් දැනෙනවා අනේ ….මේ ඇදට වෙලා ඉන්නේ කියල ……අසනීපයකටවත් දවල්ට නිදියෙන ගෑනියෙක්ද මං ….ටිකකින් මට නින්ද ගියා …..ඔයාලගේ අක්කා ආවා ..මාත් එක්ක හොදට හිනාවෙවි කතා කරකර හිටියා …..ටිකකින් මම කුස්සියට ගිහින් තේ එකක් හදාගන ඇවිත් බලනකොට අක්කා නැ ….‘‘

‘‘ අපි දෙන්නා ඔය ගැන දහස් වාරයක් කතා කරල තියනවා මයේ හිතේ ‘‘

‘‘ ඔයා කොච්චර කියුවත් ඒක හීනයක් උනාට ඇත්ත වගේ ……අපේ දුව ඔයාගේ අක්කම තමයි…..‘‘

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල