විචාර

අනිත් කොනේ බෝධිනීගේ හදවතේ සූත්‍රය

Off

වෛද්‍යවරියක ලියන බ්ලොගයක් ඇති බව දැනගත්තේ ළඟකදිය. අනිත් කොන නම් වූ ඒ බ්ලොගයේ මම බොහෝ විට කරන්නේ කියවා ඒම හෝ ඉඳහිට කොමෙන්ටුවක් දමා ඒම පමණි. එහි ලිපි පිටපත් කර ගැනීම වළකා ඇති බැවින් එහි ලිපි නෙලුම් යායේ කිසිදා පල නොවිණි. අනිත් කොනේ පළවූ ලිපි එකතු කර පොතක් පල කර ඇති බව දැන සිටියත් එය අතට ලැබුනේ මේ නොබෝදාය. ඒ නෙළුම් යාය සම්මාන උළෙලේදී මිලදී ගත් බැවිනි. මගේ පොත එළි දැක්වූ දවසේ පැමිණි බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ඇගේ අත්සන සහිත තවත් පොතක් මට පරිත්‍යාග කලාය.

මුලින්ම බ්ලොගයේ ලිපි කියවන විට මුලින්ම ඇතිවන අදහස් හෝ හැඟීම් දෙකක් තිබේ. එකක් නම් ඇය උතුරේ සිටින ශ්‍රී ලංකා හමුදාවේ විශේෂයන්ම සිංහල හමුදා භටයන්ගේ වීරත්වය හා කාරුණිකත්වය ගැන කතා කරන බවයි. මෙය විශේෂ වන්නේ පසුගිය කාලයේ බොහෝ බටහිර ජන මාධ්‍ය වල, දෙමළ ඩයස්පෝරාව මෙහෙයවන වෙබ් අඩවි වල හා මෙන්ම සමහර වාමාංශික යයි කිව හැකි වෙබ් අඩවි වලද සිංහල යුධ භටයන් විසින් සිදු කරන ලදැයි කියන යුධ අපරාධ පිළිබඳව චෝදනා බොහොමයක් එල්ලවූ බැවිනි. ඒ චෝදනා ප්‍රතික්ෂේප කළේ සිංහල පුවත්පත් හා ශ්‍රී ලංකාවේ එවකට පැවති රජයේ මාධ්‍ය පමණි.

දෙවැනිව ඇතිවන හැඟීම නම් වෛද්‍යවරුන්ට ඇති සමහරක් චෝදනා වලට පිළිතුරක් ලෙස බ්ලොගක් ලියන බවයි. නමුත් බ්ලොගයේ අනිකුත් ලිපි කියවන විට හා ඇගේ පොත කියවන විට මේ අදහස දෙකම ප්‍රශ්නාර්ථයකට ලක් කිරීමට අපට සිදු වේ. මෙහිදී මේ පොත ගැන කිසිවක් ලිවීම පවා බිම් බෝම්බ මැදින් ගමන් කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

කොටි සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය එරෙහිව කරන ලද යුද්ධය විමුක්ති අරගලයක් ලෙසට සලකන රෝහිත භාෂණ අබේවර්ධන ජේඩිඑස් වෙබ් අඩියේ සමකයට ලියන ලද ලිපියක් මෙසේ අවසන් කරයි. “ඒ සා දුක් දොම්නසින් වැසුණු ඝෝර ඉරණම් නොතකා, තල් හකුරු සහ පිච්ච මල් ගැන ගොහොදු සිංහලෙන් ලියැවෙන පෙදෙහි රස හව් විඳ දෙමළුන් නිවී සැනහෙනු ඇතැයි සිතීම ද ඊට නොදෙවෙනි ප‍්‍රචණ්ඩත්වයකි”. ඔහු එසේම තවමත් දෙමල තරුණයන් ගැනීම් හා දෙමළ ජනතාවට හිංසා කිරීම සිදුවන බව පවසයි.

රෝහිත භාෂණ ගේ අදහසට කෙලින්ම ප්‍රතිවිරුද්ධ මතය නාමල් උඩතලමත්ත විසින් මේ පොතේ අග ඇති ප්‍රතිචාර කොටසේ ලියා තිබේ. “ඒ මිනිස්සුන්ට ඕන මේ රටේ පපල්ල හැලිච්ච මාක්ස්වාදීන් ගේ වලව්කාරයින්ගේ ලිබරල්කාරයින්ගේ අනුකම්පාව නෙමේ. ආදරය කරුණාව ගෞරවය, සහෝදරත්වය.” එසේම වෙනත් තැනක ඔහු මෙසේද ලියයි. “අද මේ රටට අවශ්‍ය 13 හරි පළාත් සභා හරි නෙමේ. ”

මා බිම් බෝම්බ යයි කිව්වේ මේ අන්ත දෙකටය. ඔය අන්ත දෙක මැදින් සුක්කානම හැසිරවීම හරිම අමාරුය. එක අන්තයකින් දෙමළ ජනතාව ඉල්ලන්නේ ස්වයං නිර්ණන අයිතිය කියන අතර එසේ ලබා දුන් විට දකුණේ සමාජවාදය පිහිටවීම කජු කන්නාක් මෙන් ලෙහෙසි වනු ඇති බවට මතයකි. අනිත් අන්තයෙන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය සිංහලයන් ගේ අනුකම්පාව බවයි. ඒ අනුකම්පාව හා කරුණාව මිස බලය බෙදීමකින් කිසිවක් නොවිසඳේ යන්න ඔවුන් ගේ මතයයි. දැන් බෝදිනී තම සුක්කානම හසුරුවන්නේ මේ දෙකම සිහි තබා ගෙන යයි මට සිතෙයි.

ඉහත කී අදහස් දෙකටම හරියන විධිහේ පිළිතුරක් බෝධිනී මුලින්ම දෙයි. ඒ ඇය විසින් ඇගේ රැකියාව වඩා පහසු වීම සඳහා දෙමළ භාෂාව ඉගෙන ගැනීමයි. දකුණේ සිංහල ජනතාවට දෙමළ ඉගැන්වීම අනිවාර්ය කිරීමට මා එකඟ නැත. පාසලේ විෂයක් ලෙස තිබුනාට කමක් නැත. මා සිතන්නේ කැමති අයට පමණක් දෙමළ ඉගෙන ගැනීමට ඉඩ දිය යුතු බවයි.නමුත් දෙමල කතා කරන කඳු කරයේ, උතුරේ හෝ නැගෙනහිර සේවයට යන රජයේ සේවකයන්ට පමණක් දෙමළ අනිවාර්ය කල යුතුය. එසේ කලයුතු වන්නේ, නැත්නම් එහි සිටින ජනතාව හා රජය සම්බන්ධ කටයුතු වලදී අපහසුතා ඇති වන බැවිනි. වෙළඳපල ප්‍රමුඛව ඇති සමාජයක මේ භාෂාව ඉගෙන ගැනීම ඉබේ සිදු වනු ඇත. ඒ ධනවාදී සමාජයක ලාභ ගැනීමේදී එය වඩා හොඳ ක්‍රමය සොයන බැවිනි. දෙමළ දන්නා සේවකයන්/වෘත්තිකයන් වඩා හොඳින් භාණ්ඩ විකිණීම හෝ සේවා සැපයීම කරන්නේ නම් එය සමාගමක රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් වනු ඇත. එය පවතින ආර්ථිකය හෙවත් “ලාභය” මත රැඳී තිබේ.

බෝධිනී සමරතුංග රැකියාව කරන මුල් මාස කිහිපයේ දෙමල භාෂාව උගනියි. ඒ හරහා තමන් සේවය කරන බහුතරයක් දෙමල ජනතාව වෙත හදවතින් සමීප වෙයි. එසේ සමීප වන ඈ ඔවුන්ගේ සිත් දිනා ගැනීමට අමතරව ඔවුන්ගේ “අම්මා” කෙනෙකු බවටද පත්වෙයි. සමහරෙකුට මේ නිහතමානී වෛද්‍යවරිය ඩොක්ටර් අක්කා ය. මේ ඇගේ සටහන් අනුව මා අවබෝධ කරගත් අන්දමයි. ඇය ඇගේ සිංහල ජාතිය හා එහි අසීමිත කරුණාව ගැන බොහෝ දේ කියයි. නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඇගේ භාවිතාවයි. දෙමළ ජනතාව වෙනුවෙන් කටින් බතල හිටවන බොහෝ දෙනාට වඩා, සමහරවිට දෙමල ඩයස්පෝරාවටත් වඩා මානුෂිකත්වයක්, ඒ පිඩනයට පත්වුණු ජනතාවට ප්‍රගතිශිලිව සේවය කරන රජයේ වෛද්‍යවරියක් වන ඇය තුලින් මතුවෙයි.


මා තුල මතුවන ප්‍රශ්නය නම් මේ රෝහිත භාෂණ පවසන ප්‍රචණ්ඩත්වය ද යන්නයි. සිංහලයන්ගේ කරුණාවන්තකම ගැන සඳහන් කිරීම වරදක්ද? යුදයෙන් බැට කෑ පිඩිත තත්වයට පත්වුණු ජන කොටසකට ඇය යම් බලාපොරොත්තුවක් හා සහනයක් ගෙන එයි. එසේම ඇයට මේ බ්ලොගය ලියන්නට වන්නේද හමුදා පාලනයක් සහිත පෙදෙසක සිටයි. ඕනෑම හමුදා පාලනයකදී තමන් ලියන කියන ඕනෑම දෙයක් ගැන දෙවරක් සිතන්නට සිදු වේ. ඒ දෙවරක් සිතීම මේ පොතේ බොහෝ පිටු හරහා අපට දකින්නට හැකිය. එසේම කාසියේ අනිත් පැත්තේ සිටින අයගෙන් ද අප ප්‍රශ්නයක් ඇසිය යුතුවේ.


තවමත් නිකරුනේ සිර ගත කෙරීම් කෙරෙනවා නම්, පළාතකට නොගැලපෙන ලෙස විශාල යුද භටයන් සංඛ්‍යාවක් තවමත් සිටිනවා නම් එයද ප්‍රශ්නයක් නොවේද? දෙමළ වැසියන් ඉල්ලන්නේ සිංහලයන්ගේ අනුකම්පාව නොවේ. ඔවුන්ට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සිංහලයන් විසින් දිය යුතු දෙයක් නොව එය ශ්‍රී ලංකාවේම ඉපදුන ඔවුනට සිංහලයන්ට මෙන්ම ඇති අයිතියකි. ඔවුන් සටන් කළේද කරන්නේද ඒ සඳහාය. එය ප්‍රචණ්ඩත්වයට හරවා එම සටන මගදී උදුරා ගත්තේ එල්ටීටීඊ සංවිධානයයි. ඔවුහු තමන් විමුක්තිය දෙන්නට පොරොන්දු වී සිටි ජනතාවටද එකසේ කුරිරු වුන් අවස්ථා රාශියක් විය. ලන්ඩනයේ සාමාන්‍ය වෙළඳාමක් හිමි දෙමළ ව්‍යාපාරිකයකු වරක් ශෝකයෙන් මට පැවසුවේ තමන් ගේ දියණියට හා පුතාට පාවහන් ගැනීමට තිබෙන මුදලත් ඔවුන් බලෙන් ගත් බවයි. ඔහුගේ ලාභය ගණනය කර ඉන් කොටසක් රැගෙන යාම පමණක් නොව සමහර විට ඔහුගේ මෝට්ගේජ් කර ඇති නිවස තවත් උගස් කර පවා මුදල් රැගෙන දිය යුතුව තිබිණි. ඒ ණය බරින් ඔහු පීඩිතව සිටියේය.

බෝධිනී දකුණේද සේවය කරනු ඇත්තේ ය මේ උතුරට පෙන්වන කරුණාවන්ත හදවතින්ම බව මගේ හැඟීමයි. කොටි සංවිධානය හෝ ශ්‍රී ලංකා හමුදාව ෂෙල් වෙඩි දැමුවේ නැත කියා දෙගොල්ලම ප්‍රතික්ෂේප කරනු ඒ දවස් වල පුවත් පත් වල කියෙව්වෙමු. නමුත් 20 පිටුවේ මිඩ් වයිෆ් කෙනෙකුගේ හිසේ ෂෙල් කැබැල්ලක්ය. දරු ප්‍රසුතියකට පැමිණි නිතර ෆිට් එක සැදෙන දෙමළ මවකගේ හිසේද ෂෙල් වෙඩිය. මේ ෂෙල් වෙඩි කැබලිද බෝම්බ කැබලිද කියා ඔවුන් දන්නවාද? මේ රෝගීන් හමුව සොයා බලය හැකිද? රජයහා කොටි සංවිධානය ප්‍රතික්ෂේප කළ ෂෙල් වෙඩි කතාව සත්‍යයක්ද? විසි තුන්වන පිටුවේ ඈ ලියන්නේ “ද්‍රවිඩ වෙළෙන්දා කීවේ එකම දෙයක් බවයි. අපිට යුද්ධේ ඉවර කරල දෙන්න කියලා” මෙය මදක් අදහා ගත නොහැකි කතාවකි. ඔවුන් යුද්ධය ඉවර කර දෙන්නට ඉල්ලුවේ ලංකා රජයෙන්ද? නැත්නම් ප්‍රභාකරන් ගෙන්ද?

කුරිරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අසුවී ළමා සොල්දාදුවෙකු වුනු තම සොහොයුරා ගැන කතක් හඬයි. මෙහිදී “අපේ හමුදා ” ඒ කියන්නේ සිංහල බෝධිනිගේ සිංහල අපේ හමුදා ඒ කුරිරු වකවානුව හමාර කොටය නිදහස ලබා දුන් නිසා අද ඇයටත් ජිවත් වීමේ භාග්‍යය හිමි වී තිබේ යන්නද? . නැත්නම් ඇය මැරෙන්නේ කෙසේද? බෝධිනී? හමුදාව අතින්ද? ත්‍රස්තවාදීන් අතින්ද?

ත්‍රස්තවාදීන් ගෙන් නිදහස ලැබී අද ඔවුන් නැවත සිංහල ග්‍රහණය යටතේ සිටින සෙයක් පෙන්නුම් නොකරන්නේද? මට හිතෙන්නේ මෙය ලිවිය යුතුව තිබුනේ වෙනස් ආකාරයටය.

කොටි සංවිධානය විසින් ළමුන් පැහැරගත් බව ඇත්තය. ශ්‍රී ලංකා හමුදාව විසින් එය අවසන් කර තිබේ. ශ්‍රී ලංකා හමුදාව සිංහලයන් ගේ මෙන්ම දෙමල හා මුස්ලිමුන් ගේ හමුදාවද වෙයි. තමන්ගේ ළමයි හොඳින් බටහිර ඉගෙන ගනිද්දී දෙමල ඩයස්පෝරාවේ ආධාරයෙන් යුද්ධය ගෙනි ගිය කොටි සංවිධානය දුප්පතුන් ගේ ළමයි පැහැර ගත්තේ අනිත් දෙමල ජනතාවගේ විමුක්තිය උදා කරන්නටය. නමුත් පියවර දෙකක් පස්සට යනවා වෙනුවට ඔවුන් මරාගෙන මැරුනහ. අවසානයේදී කිසිවකුට විමුක්තිය උදාවුයේ නැත. බෝම්බ වලට බියේ වාහන තුන හතරකින් පවුලේ උදවිය වෙන වෙන්ව ගමන් කල සිංහල ජනතාව සැනසුම් සුසුමක් හෙලු බව ඇත්තය. නමුත් ඒ බොහෝ මල කඳන් මතින් බවද ඇත්තය.

නර්ස් මිස්ලා , මිඩ් වයිෆ් මිස්ල හා විශේෂඥ වෙද තුමන් ලා මේ පොතේ හැම තැනම සිටිති. ඔවුන් හෙදි සොයුරියන්, හෙදියන්, මිඩ් වයිෆ් ල හෝ සාත්තු සේවිකාවන් හා විශේෂඥ වෛද්‍ය වරු නොවන්නේ මන්ද? සමහර විට පැජරෝ රථය පෙරලි රෝහලට පැමිණ (පිටුව 61) ආඩම්බරයෙන් තර්ජනය කල අයගේ මහා මානය වැන්නක් නිසාමද?

දෙමල ඉගෙනීමට අමතරව බෝධිනී මහසෝනා හා ප්‍රේත දිෂ්ටි වැදී දඟලන මානසික රෝගීන් ගැනද කතා කරයි. මෙහිදී ද ඇය ඉතාම ප්‍රගතිශීලි බවක් පෙන්වයි. (පිටු 63-67) බයිසිකලයකින් රැකියාවට යෑමෙන් ද ඇය එය සනාථ කරන්නීය. ඇගේ බයිසිකල් පාවිච්චිය මට මතක් කරවන්නේ ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ ආදී රටවල බයිසිකලයේ නැගී යන රජයේ නිලධාරීන් , වයිද්යවරුන්, නීතිඥයන්, දේශපාලනඥයන් ආදීන් ගැනය. ජෙරෙමි කෝබින් ද පාර්ලිමේන්තුවට එන්නේ බයිසිකලයෙනි.

ස්ටෙතස්කෝපය අතේ දවටාගෙන සුදු කබාය හැඳගෙන පාරේ ඇවිදින් වෙද සිසුන් ගැන යන්තමට සරදමක්ද එල්ල කරයි. ඒ ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇති තත්වය හිසේ රැස් වළල්ලට ආරුඪ කර ගැනීම බව අප දනිමු. ඇත්තටම වෛද්‍ය වෘත්තීය යනු සම්භාවනීය එකකි. ඔවුන් බේරන්නේ ජීවිතය. බොහෝ විට හරි හැටි විවේකයක් පවා නොලබයි. රාත්‍රී යාමයන්හි බිරිඳ ගේ හෝ සැමියාගේ තුරුල්ලේ පහසුවෙන් නිදා ගැනීම වෙනුවට රෝහලේ වෙහෙසෙන්නේ ඔවුන්ය. කනිෂ්ඨ දොස්තරවරු වැඩ අධික කම නිසාම මේ දිනවල එංගලන්තයේ වර්ජන කරති. නමුත් ඒ සියලු වැඩ අතර හවසට පෞද්ගලික රෝහලක සේවය කිරීමට යන කොටසක්ද සිටිති. (ලංකාවේ) ඔවුන් කරන්නේ ද මුදලට හෝ සේවයකි යයි සිතමු නමුත් අය කරන මුදල සමහර විට සෞඛ්‍ය රක්ෂණයක් නැත්නම් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදෙන තරම්ය.

අනවශ්‍ය ලෙස කරන වර්ජනයන්ට තමන් එතරම් කැමැත්තක් නොදක්වන බව බෝධිනී පවසන්නීය. ඒ ලෙඩුන්ගේ ජිවිත ඇත්තේ තමන් අතේ යයි ඈ සිතන බැවිනි . මුළු වෛද්‍ය සංගමයම මෙසේ සිතනවා නම් කොපමණ අගේද? පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් ඇඳුම් ආදී දේ ගෙන්වාගෙන රෝහලේ සිටින දිලිනු රෝගීන්ට හා දරුවන්ට ඇඳුම පැළඳුම් ආදී දේ ලබා දෙන්නට තරම් කාරුණික හදවත් ඇත්තෝ ඇය රැකියා කල රෝහලේ සිටිති. පත්තර වලින්, සමාජයෙන් බොහෝ විට විවේචනය වන හෙදියන් හා වෛද්‍යවරුන් සිටින රටක මේ තොරතුරු දැක්වීම ඉතා යහපත් වන්නේ හැම දෙයක්ම සුදු හා කළු වශයෙන් සිතන මිනිසන් බොහොමයක් ඇති බැවිනි. විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරගෙන කරන බොරු ෂෝක් විවාහ උත්සව වෙනුවට ඒ මුදල් මෙවැනි අසරණයන් වෙනුවෙන් යෙදෙව්වා නම් හොඳ නොවේ දැයි ඇය විමසන්නිය.

ඉතින් මෙවන් ප්‍රගතිශීලි වෛද්‍යවරියක්, කරුණාවන්ත හදවතක් හිමිව ඇත්තේ සමහර විට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක දුකසේ අකුරු කල, අරගල කල, වෛද්‍ය ශිෂ්‍යාවක විය හැකි යයි ඔබට සිතෙනු ඇත. නැත. ඇය වෛද්‍ය උපාධිය නිම කර ඇත්තේ පිටරට විශ්ව විද්යාලයකය. තමන්ගේ මුදලින්ය. නිදහස් අධ්‍යාපනය ලබා ඇත්තේ අපොස උසස් පෙළ දක්වා පමණි. නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් ඇතිව වෙනත් සහයක් නොමැතිව ඇය ශල්‍යකර්ම පවා කර තිබේ. විදුලිය නැති අවස්ථා වල විදුලි පන්දම් හෝ මොබයිල් දුරකතනයක එළියෙන් වැඩ කර තිබේ.

මට එකඟ විය හැකි තැන් මෙන්ම එකඟ විය නොහැකි තැන්ද තිබුනද මෙවන් අත්දැකීම් ගැන ලියවිය යුතුමය. අපේම සහෝදර ජනතාවක් ගැන අප දන්නේ අඩුවෙනි. ශ්‍රී ලංකා හමුදාව ගැන ඇත්තේ පරස්පර විරෝධී දැක්මවල්ය. එය තමන් සිටින දේශපාලන කඳවුර අනුව පවා වෙනස් විය හැකිය. නමුත් දෙමළ කතා කරන සිංහල වෛද්‍යවරියක ගෙන් හොඳ ආරම්භයක් ලැබී තිබේ. මේ පොත දෙමළ භාෂාවට හා ඉංග්රිසියටද පරිවර්තනය වන්නේ නම් හොඳ යයි සිතේ.

ප.ලි. අනිත් කොන බ්ලොග් අඩවිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල