කෙටි කථා

රාල

Off

යුද්ධය අවසන් විය.වටිනා ජීවිත රාශියක්,මහා ධනයක්,කාලයක් නාස්ති වූ කාලකණ්නි යුද්ධය අවසන් විය..

ගිණිගන්නා…ගිණි නිවීගිය මැදුරු,ශාලා වලින් අහසට නැගෙන දුම් රොටු තවමත් තැනින් තැන දක්නට ඇති බව යහන් ගැබේ කවුළු සළුපට ඈත් මෑත් කරන කල දකින්නට ලැබෙයි.

රාජකීය වෙදදුරුතුමන්,පුරෝහිත සහ මහසෙනවි සමඟින් යොදාගත් රහස්‍ය මන්ත්‍රණයට නොපමාව යායුතු ය.

මහත් කල්පනාවෙන්ම සිරුරු කිස නිමකරමින්ම තවත් පමා නොවී මන්ත්‍රණය අරඹන්නට රජ තෙමේ තීරණය ගත්තේ යහන් ගැබ අබියස කුටිය ඒ සඳහා සූදානම් විය.

‘ජයශ්‍රී රජතුමණි’

‘ජයශ්‍රී’ ‘ජයශ්‍රී’

රජ තෙමේ තිදෙනාට අසුන්ගන්නට අතින් සන් කරමින් රවුම් මේසය වටා අසුන්ගත්තත් කිසිවෙකුත් උනන්දුවෙන් භෝජන ලබාගන්නා බවක් දක්නට නොවීය. එහෙන් මෙහෙන් යන්තම් කුස රවටාගෙන මහත් කල්පනාවට මුල්තැන දී සිටින වෙදදුරුගේත් මහසෙනවිගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමින් එක් ක්ශීර බඳුනකින් උදෑසන භෝජනය අවසන් කළ රජ තුමා ඖෂධ කල්කය ගිල දමා මන්ත්‍රණය ආරම්භ කලේ අස්පස් කල සියළු දාසයන් ඉවත් වූ පසුව ය.

‘මහසෙනවි..
නගරයේ සිදුවන මංකොල්ලකෑම්,ඝාතන සඳහා තවමත් සෙබළුන් සම්බන්ධවන බවට තතු සැලවෙනවා.. ජහග්‍රහණයෙන් ඔදවැඩී මධුපානයේ යෙදුන සෙබළුන් පිරිස් මීට සම්බන්ධ බව සැලයි…’

‘එසේය මහරජතුමණි,මීට අමතරව විවිධාකාරයෙන් තම දිවිතොර කරගත් සෙබළුන් ගණනද අඩුවක් නැහැ’

‘හ්ම්ම්ම්… වෙදදුරුතුමණි,
ඔබතුමන් දුර්ලභ ඔසු භාවිතයෙන් තනවා දුන් විශේෂ ඖෂධ හේතුවෙන් මා යම්කිසි අස්වැසිල්ලක් ලැබුවද සුවපත් නින්දක්… සැනසිල්ලක් මා හට පවා නොමැති තරම්..
කඩු පහරින් සතුරු හිස් දෙපළු කලේ මා පමණක් නොවේ..
අප මනුශ්‍යඝාතනය කෙලිකමට කලා නොවේ..
ඉදින් සෙබළුන් ගැන කවර කථා ද..??
විසඳුමක් සෙවිය යුතුමැයි..’

‘අවසර මහරජතුමණි,
යුද්ධය හේතුවෙන් අතපය අහිමි වූ,තුවාල ලැබූ පිරිස් වලින් අපගේ වෙදශාලා පිරී ඉතිරී ගොසින්.යටත්වූ සතුරු හමුදා තුවාල කරුවන් සියළුදෙනාගේ වගකීමත් දැන් දරන්නේ අපයි.
ශාරීරික තුවාල.. ආබාධ පිළිබඳ ඔබතුමා කිසිසේත් නොතැවෙන්න.. ඒ වගකීම මා භාරගන්නවා.. නමුත්….
නමුත්… අප එක්වී මනසට ප්‍රතිකාර කිරීම වහ වහා ඇරඹිය යුතුයි..ජනයාට පැහැදිලි සන්සුන් මනසක් ලබාදිය යුතුයි..’
‘පුරෝහිත තුමණි..,
කලභ්‍ර වංශිකයන්,පුණ්ඩු වංශිකයන් ඇතුළුව සතුරු භූමියේ වාසය කල වාසි ලැබූවන් මහා සංග්‍රාම කාලයේ අසල්වැසි රාජ්‍යයට කෙසේ හෝ පැනගොසින්.ඔවුන් විවිධ අවාසි සහගත අසත්‍ය චෝදනා අපට විරුද්ධව දැන් සිටම පතුරන බව සැලයි…
වහ වහා මෙයට පියවරක් ගත යුතුයි.’

‘අවසර රජතුමනි..
එදවස අපගෙන් යම් දඬුවම් ලබා ඔබතුමන් හා හිත් අමනාප ඇති පිරිස් ද මේ හා සම්බන්ධයි.ඔබතුමා වෙතට ලැබී ඇති මහා ජන ප්‍රසාදය ඉවසාගත නොහැකි ප්‍රභූන් පිරිසක් ද යම් යම් කුමන්ත්‍රණ වල යෙදෙන බවක් බුද්ධි තොරතුරු වලින් කියැවුනා.. ඔබතුමා මොවුන් දිනාගත යුතුමයි..

‘හහ්… යුද්ධයේ අසීරු අවස්ථාවන්හි මහජන මතය සකස් කරමින් අපහට සහාය දුන් චිත්තධයිරිය වඩවාදුන් මහා සංඝයා විශයෙහි තත්වය කෙසේද?’

‘කමාවන්න රජතුමණි.., මා ඉහත සඳහන් කල ප්‍රභූන් රැස්වන්නේත් චීවර ආරක්ශාව පිටයි..ඔබතුමන්ට ඔබතුමන්ගේ කිරුළ රැක ගැනීමට කල්පනාකාරී වන්නට සිදුවේවි…
එසේම ඔබතුමන් වෙනුවෙන් හඬක් නැඟෙන්නේත් සංඝයා තුලින්මයි.මහත් ඉවසීමෙන් කල්පනාකාරී විය යුතුයි රජතුමණි.’

‘හහ් හහ් හා… අපට සැමදෙනාම සතුටු කළ නොහැකියි පුරෝහිත.. බලන්න.. සතුරුභූමියේ තිබූ වෙහෙර විහාර ගිණිබත් කරමින් .. වස්තුව කොල්ල කමින් කෙරෙන විනාශයට එරෙහිවයි අප සටන් වැදුනේ…

අහිංසක වැසියන් තලා පෙලා අප දිවයිනේ වස්තුව පිට කරනවාට විරුද්ධවයි අප සටන් වැදුනේ..
මේ මතය ජනගත කළ යුතුයි..’

‘අවසර රජතුමණි..’

‘ඔව් සෙනවි.. පවසන්න..’

‘සේදමාවත ඔස්සේ එන වෙළෙන්දන්.. වෙනත් වෙළෙන්දන් නාවිකයන් ගැන අප අවධානය යෙදිය යුතුයි.
යුද්ධායුධ වෙළෙඳාමේ යෙදුන ඇතැම් වෙලඳුන් අප හට ආයුධ සැපයූ නිසා ඔවුනට ඇතැම් වරායන් තහනම් කලාප වී ඇති බවට වාර්ථා කලා.. බොහෝ වෙළඳුන් අපව මඟ හරින අවස්ථාවේ අප හා සමඟ සිටි වෙළඳුන්,ඔව්.. ඔවුන් අති විශාල ලාභයක් ලැබූ බව සත්‍යයක්.. නමුත් ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි..

ඇතැම් වෙළෙඳ ප්‍රජාවන් අප දිවයින වෙළෙඳාමට නුසුදුසු දේශයක් බවට පතුරන මතවාද පරාජය කිරීමට මොවුන් අපට යොදාගත හැකියි..’

සාකච්ඡාව නැවතුමක් නොමැතිවම කෙරීගෙන යන්නට විය…සතුරා උවත් මිනිසෙකු හෙයින් ගරුකල යුතුබව රජතුමාම පෙන්වමින් සතුරු රජ සොහොනට රජතුමා ගරු කරමින් රට වැසියාට ආදර්ශ සපයා දුන්හ.
මාළිගය තුලත් පිටතත් තවමත් ජයඝෝශා.. ප්‍රීති සාද උත්සව පැවතෙන්නටම විය..

මේ අතර හදිසියෙන්ම රාජ ආඤ්ඤාවක් නිකුත් විය.

රට සශ්‍රීක කිරීමේ වගා සංග්‍රාම ඇරඹින..

මගා සංඝ‍යා වහන්සේලාගේ අනුශාසනා පරිදි විශාල පිරිසකට එකවර සහභාගී විය හැකි වෙහෙර විහාර ව්‍යාපෘති ඇරඹුනි.

සෙබලුන් ගේ ශ්‍රමය වැටුප් සහිතව මේ සඳහා යොදාගැනුනු අතර වඩා සුව පහසු කූඩාරම් හා නැවතුම් මොවුන් හට පිලිවෙල විය.

ගම්මාන ආශ්‍රිතව වැව් පොකුණු ඉදිකිරීම් සිදුවිය..

ගමේ හැදූ පොකුණ විවෘත්ත කිරීමට පැමිණි මහසෙනෙවිගේ යෝධයා රැගෙන ආ රා කල ගම්මුන්ට බෙදා දුන් බවක් මතක ඇත..ඒ ජය ඝෝශා තාමත් ඇසෙනවා වැනිය… තමාව යමෙකු ඔසොවන බව රාල ට දැනෙන්න විය.

‘ලොකු උන්නැහේ… මොකද..?? ඊයෙ ආපු බස් එක මිස් උනාද?
කඩේ අරින්න තියෙනවා.. මගෙ දවස කාලකණ්නි කරන්නැතුව පව් නොදී යනවද……..? කාලකණ්නි මැයි දින කාරයො’

ඇමැති තුමාට ජයවේවා කියා ලොකු අකුරින් ලියූ බැනරයක් පොරොවා කඩපිලේ නිදා උන් මනුශ්‍යයා ඇද දමන ලදින් උඩ බිම බලමින්,තතනමින් ඉවත් වනු පෙනින…

https://gaslabba.blogspot.co.uk/2016/05/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල