විචාර

දීපන් නැරඹුවෙමි……

Off

ලංකාවේ උතුරුකරේ තල් රුප්පාවක් යට හැන්දෑයාමයේ දර්ශනයකට කැමරාව නාභි ගත වෙයි. එහි සිටින අවි ගත් LTTE සාමාජිකයන් පිරිසක් වෙඩි වැදී මිය ගිය තම සඟයන්ගේ සිරුරු පිළිස්සීම සඳහා වන සූදානමකි. ලී මැසි උඩ බාවා තල් කොළ වලින් වැසූ සිරුරු වලට ගිනි දැමීමෙන් අනතුරුව තම ලේ වැකුණු ඇඳුම් උණා සාමාන්‍ය ඇඳුමින් සැරසෙන තරුණයෙකි. මුහුණ පුරා රැවුල වැවී මහා විඩාබර දෙනෙතින් යුතු ඔහු, උණා දැමූ ඇඳුම් මිනී දැවෙන ගිනි මැලයටම විසි කරත්ම කැමරාව ගින්නේ පිළිස්සෙන හිස් කබලකට එල්ල වේ. සිනමා පටයේ නාමාවලිය තිරයේ දිස්වේ.
ඊළඟ දර්ශනය අවතැන් වූවන් වෙසෙන කඳවුරකි. යාන්තමට අටවා ඇති මඩු හරහා දිවයන තරුණියකි. යාලිනී නම් වූ ඇය දෙමළ භාෂාවෙන් කාත් කවුරුවත් නැති දරුවකු මහා කලබලයකින් එහෙ මෙහෙ දිව යමින් සොයයි. එක් පොලිතින් වැසූ මඩුවකදී ඇයට මව මිය ගොස් ඇති කාත් කවුරුත් නැති කුඩා දැරියක හමුවෙයි. දැරියගේ නම ඉලයාල්ය.
ඉන්පසු ඇය, යාලිනී සිටින්නේ, LTTE සංවිධානයේ කාර්‍යාලයකය. වෙනත් අයෙකුගේ ගමන් බලපත්‍රයක් ඇයට ලැබෙන අතර සොයා ගත් දැරිය සහ කාර්‍යාලයෙන් ලැබුණු සැමියෙකු සමඟ ඇය ව්‍යාජ පවුලක් අරඹයි. ඒ සැමියා නම් පළමු දර්ශනයේදී ඇඳුම් උණා ගින්නට දැමූ තරුණයාය. ” දීපන් ” ඔහුගේ නමයි. නොදන්නා සැමියකු, නොදන්නා බිරිඳක ඊටත් වඩා නොදන්නා දෙමාපියන් සමඟ තනිවන දරුවකු , නොදන්නා රටකට පැන ගොස් නව දිවියක් ඇරඹීමට සැරසෙයි. මෙයටත් වඩා තවත් අවිනිශ්චිත අවදානමක් ඇතිද? මේ සියල්ලම යුද්ධයේ අතුරු ඵලය. එයට ජාතියක් ජන්මයක් නැත. මම යුද්ධයට ශාප කරමි.
ඇය සරනාගතයකුසේ ලංඩනයට යාමට සිතුවත් ඔවුනට බෝට්ටු වල නැගී ඉංදියාවෙ මදුරාසියට යාමටත් එතැනින් ප්‍රංශයට යාමටත් සිදුවේ. බෝට්ටුවට ගොඩවීමට තම වාරය එනතුරු මුහුදු වෙරළේ කෑලි කැපිය හැකි අඳුරේ බලා සිටින ඔවුනගේ දර්ශනය අතිශය සංවේදීය. තාත්විකය.
ප්‍රංශයට යාම සඳහා කෙරුණු සම්මුඛ සාකච්ඡාවේදී පෙර LTTE සාමාජිකයකු වූ දීපන් , තමන් මාධ්‍යවේදියකු ලෙස හඳුන්වා දෙමින් පැවසූ ව්‍යාජ කතන්දරය බැහැර කරන භාෂා පරිවර්තක ලෙස එතැන සිටින දමිළ තරුණයා( ඔහුත් පෙර LTTE සාමාජිකයෙකි) ඒ හේතුව ශක්තිමත් නැතිබව පවසා රජයේ හමුදාව තමුන්ට දසවඳ දුන්නා යැයි පවසන ලෙස දීපන්ට උපදෙස් දෙයි. එම සිදුවීමේ දී යුද්දයෙ දී සිදුවූ හා සිදුවුණි යැයි ව්‍යාජ ලෙස මවා පෑ යම් යම් කාරණා ගැන අඳුරේ සැඟැව තිබූ යම් පැතිකඩක් විවර වූ බව මට හැඟේ.
කෙසේ හෝ ප්‍රංශ භාෂාවේ මළපොතවත් නොදන්නා ඔවුන් තිදෙන ප්‍රංශයට යති. එතැනින් ඔවුනට රජයෙන් දෙන තට්ටු නිවාස සංකීර්ණයකට යාමට සිදුවන අතර එහි කසළ ශෝධක හා නඩත්තු කාර්මික රැකියාවක් ( care taker) දීපන්ට ලැබේ. දැරියට පාසලක් ලැබේ. දැරිය වුවද පාසලේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී දීපන්ගේ ඉගෙණුම් බහට රජය තම පාසල පිළිස්සූ බව පවසයි. එය බොරුවක් බව ඇයගේ මුහුණින් ප්‍රේක්ෂකයාට පෙනේ. මෙසේ හැලහැප්පීම් සමඟ ඔවුනගේ දිවිය ගෙවී යයි.
අවුරුදු 26 ක අවිවාහක තරුණියක වූ ඇයට දරු සෙනෙහසක නාමයක් හෝ නොතිබේ. දැරිය හා ඇය අතර වන ඝට්ටන වලදී ඒ තත්වය ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට අධ්‍යක්ෂකවරයා සාර්ථකව සමත් වී ඇත. එහෙත් දැරිය දීපන්ට ළංවීමෙන් ඔහුගේ පරිණතභාවයත් ඔහු පියකු බවත් අපට දැනේ. එය පසුව එන රූප රාමුවක දීපන් යුද්ධයේදී තමන්ට අහිමි වූ සිය බිරිඳගේ හා දරුවන්ගේ සේයාරුවක් බැලීමේදී තව දුරටත් එම කාරණය තහවුරු වේ.
ඔවුන්ට නිවස ලැබුණු පෙදෙස පාතාල කල්ලි වල රජ දහනක් බව එහි ගැවසෙන තරුණ පිරිසෙන් හා රාත්‍රියට ඔවුන් කල්ලී ගැසී කරන ක්‍රියාකාරකම් වලින් අපට පෙනේ. දීපන් මේ හැම සිද්ධියක්ම හොර රහසේ බලා සිටී. ඔහුගේ බැල්මෙන් හා නිවුණු ස්වභාවයෙන් පෙරකාලයක ඔහු ගිනි අවි දරා එලෙසින්ම ත්‍රස්තවාදී කල්ලියක සිටි බව තව තවත් අපට තහවුරු කෙරේ. එමෙන්ම ඔහුට ඒවා අරුමයක් නොවන බවද ඔහුගේ හැසිරීමෙන් අපට ඒත්තු යයි.
මේ අතර දීපන් සේවයටත්, ඉලයාල් පාසලටත් ගිය විට නිවසේ තනිවන යෞවනයේ පසුවන යාලිනීට තනිකම සහ පාළුව දැනේ. පවුලක් සේ සිටියත් ඔවුන් අතර කායික හෝ මානසික සම්බන්ධයක් නැත. යුද්ධය ඔවුන්ව හැඟීම් දැනීම් නැති රොබෝ වරුන් බවට පත් කරඇති බවට මීටත් වඩා සාක්ෂියක් තව කුමටද?
යාලිනීටත් රැකියාවක් කිරීමට උවමනා වේ. ඇයට , තනියම වෙසෙන දුර්වල වූ වැඩිහිටි පිරිමියෙකුට උයා පිහා දී දිවා කල ඔහුව බලා කියා ගැනීමේ රැකියාවක් ලැබේ. භාෂාව නොහැකි වූවත් දීපන් හා යාලිනී දිවි සටනට උරදෙති. ඉක්මනින් ප්‍රංශ බස අල්ලා ගන්නා ඉලියාල් ඔවුනට පාර පෙන්වන තරු ලකුණක් වැනිය. පාසලේදී ඇයටත් අනෙක් දැරියන්ගෙන් අකටයුතු සිදු වූවත් ඇය සාර්ථකව ඒවාට මුහුණ දීම ප්‍රේක්ෂකයාගේ නෙතට සතුටු කඳුළක් නංවයි.
යාලිනී ට තම රැකියාවට ගිය නිවසේ දී හමුවන්නේ පාතාල නායකයෙකි. ඔහු ඒ පෙදෙසේ ආයුධ හා කුඩු ජාවාරම මෙහෙයවන්නාය.
තාරුණ්‍යයේ පසුවන යාලිනීගේ පිබිදෙන ලිංගික ආශාවන් සාමාන්‍යයය. ඇය එම ආශාවන් පාතාල නායකයාගෙන් තෘප්තිමත් කරගත් බව ප්‍රේක්ෂකයාට කෙළින්ම නොපෙන්නුවද ඒ ගැන සිතා ගැනීමේ සාධක අධ්‍යක්ෂකවරයා අපට ඉදිරිපත් කරයි. ලහි ලහියේ එතැනින් පලා යන ඇයගේ ඉරියව්වෙන් ඇය ඒ පහස ලැබුවත් ලැජ්ජාව හා බය ඉස්මතුවන බව පෙන්නුම් කරයි. එහිදී ඇයට හමුවන සුදු පැහැති සුනඛයාද ඇයට කිහිප වරක්ම හමුවේ. වරක් එම සුනඛයාද එම පාතාල නායකයා සමඟ සිටින දසුනක් ඇය දීපන් සමඟ සැඟවී ජනෙල් කවුළුවෙන් බලා සිටී. ඇය එතැනදී මේ කිසිත් නොදත් දීපන්ට සුනඛයා පෙන්වා ඇය ඌ හඳුනන බව කියූවත් එයින් ඇය ඇත්තටම අදහස් කළේ ඇය පාතාල නායකයාව හඳුනන බව කීම බැව් ප්‍රේක්ෂකයාට වැටහේ.
නිවසට එන යාලිනී එතෙක් කලක් සිතේ සඟවාගෙන වුන් ආශාවේ රස ගුලාව දීපන් මත මුදාහරී. වෙන දා ඇය ස්නානය කර එන අයුරු හා ඇඳුම් මාරු කරන අයුරු දමනය කළ සිතින් හා දෑසින් බලා වුන් දීපන් ඇය සමඟ යහන්ගත වෙයි. දීපන්ගේ සුරතින් ඇද ඔහුව තම නිදන කාමරයට කැඳවාගෙන යන යාලිනී තම ඇඳිවත උනා දමා , තම සිත තුළ සඟවාගෙන වුන් රාග ගිනිදැල් නිරාවරනය කරයි. එතැනින් එම දර්ශන කපා හැර අපට ඉන්පසු සිදුවන දෑ සිතා ගැනීමට ඉතිරිකරණ අධ්‍යක්ෂකවරයා ‍ලිංගික දර්ශන අනවශ්‍ය ලෙස උපුටා දක්වන්නට උත්සුක නොවෙයි.
දිනක් මේ පාතාල කල්ලි අතර මහ දවල් ඇතිවන වෙඩි හුවමාරුවකට මැදිවන ඉලයාල් හා යාලිනී ඉතාමත්ම දැඩි බියකටත් තැති ගැන්මකටත් පත්වේ.
මදක් සිතන්න සහෘදයනී, අප බහුතරයක් යුද්ධය ගැන ඇසුවා හා දුර සිට දුටුවා පමණි. එයට මැදිවී වෙඩි පහරවල් කණ ළඟින් යද්දී හා තමන් අවට සිටින්නන් වෙඩි කා කෙසෙල් කඳන් මෙන් ඇද වැටෙද්දී ඇතිවන හැඟීම හා තිගැස්ම මුළු ජීවිත කාලයටම අමතක කළ හැකිද? එය කොයි ජාතියකට කොයි ආගමකට අයිති වූවත් එලෙසමය. සෑම ජීවියෙකුටම පොදුය.
මේ අතර දීපන්ට හමුවන LTTE සංවිධානයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරියෙකු නිසා ඒ සියලු කටයුතුවලින් එදා, එනම් දීපන් ඔහුගේ ඇඳුම් මිනී දැවෙන ගින්නට විසිකලදා සියල්ලෙන්ම සමුගෙන නව දිවියක් නව මිනිසකු වීමට ගත් අදිටන මදක් දෙදරා යයි. බොහෝ වෙරිවන තුරු මත්පැන් බී දමිළ ගීතයක් ඔහු කෑගසා ගැයීමෙන් ඔහුගේ සිත තුළ පැසවන නළියන අපේක්ෂාභංගත්වය ප්‍රේක්ෂක මනසට ඇතුළු කිරීමට අධ්‍යක්ෂකවරයා ඉතාමත් ශූර ලෙස සමත්ව ඇත.
” ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැඳිරි එළියටත් බයයි” කියන්නාසේ මෙහි ඇතිවූ වෙඩි තැබීමෙන් තැතිගත් යාලිනී හොර රහසේ නිවසින් හා දීපන් වෙතින් පලායාමට තැත් කළත් අන්තිම මොහොතේ එය දැනගන්නා දීපන් එය වළක්වාලයි.
ප්‍රංශ බස නොදන්නා යාලිනී දමිළ බසින් තමන්ගේ ප්‍රශ්න යටකී කල්ලි නායකයාට පැවසීම ඉතා සංවේදී දර්ශනයක් වෙයි. ඇයගේ සිතේ කැකෑරෙන අසහනය හා බිය ඇය ඒ මගින් පිට කරයි. ඒ අතර දීපන් කල්ලි තරුණයන් හා ගැටීම නිසා ඔවුන් ඔහු හා වෛර බැඳ ගනිති. මේ සියල්ලටම මැදිවී සිටින්නී යාලිනීය.

dheepan2
මෙම ගැටුම්වල උච්චතම අවස්ථාව වන්නේ යාලිනී සේවය කරමින් සිටිනවිට එම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමය. කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයකි ඒ. එහිදී කල්ලි නායකයා සහ යාලිනී බලාගත් වැඩිමහලු පුද්ගලයා වෙඩිකා නසින අතර ඔවුන්ගේම ගිනි අවියක් ගත් දීපන් ඒ ගැන තමන් සතු පරිචය මනාවට විදහාලමින් යාලිනීව එම මාරාන්තික අවස්ථාවෙන් බේරා ගනියි.
ඉන්පසු තිරයේ දිස්වන්නේ අවසාන ජවනාකවයි. ඒ ලංඩනය බැව් ප්‍රේක්ෂකයාට පසක්වේ. ප්‍රංශයෙන් පිට වී ලංඩනයෙ නව සතුටුමත් දිවියක් දීපන් හා යාලිනී අරඹා ඇතිබව ප්‍රේක්ෂකයාට පසක් කරමින් සිනමාපටය නිමාව දකී.
මෙහිදී අධ්‍යක්ෂකවරයා නළු නිළියන් තේරීමේ විභාගයෙන් ඉහළින්ම සමත්ය. ඔවුනට වඩා ඒ ඒ චරිතයනට තාත්වික වෙනත් නළුවකු හෝ නිළියක මට නම් සිතා ගැනීමටවත් බැරිය. එමෙන්ම සියුම් ඉංගිති, දකුණු ආසියාතිකයන්ට පමණක් සීමාවූ එනම් ඔව්, නෑ හෝ බෑ නොකියා බෙල්ලත් සමඟ හිස
සෙලවීම , ප්‍රංශ ජාතික අධ්‍යක්ෂකවරයා මනාව අධ්‍යයනය කර ඇති අතර එය සාර්ථක ලෙස සිනමාපටයට යොදාගෙනද ඇත.
එමෙන්ම අවස්ථා දෙකකදී කොළ අතු අතරින් ඈත් මෑත්වන සුදුකබර පිරි හස්තියෙකුගේ පුංචි ඇස හා හොඬයේ ඉහළ කෙළවරට කැමරාව එල්ලවෙයි. ඒ ඇතෙක්ද කියා හඳුනා ගැනීමට අපහසුතරමටම රූපරාමුව සමීපය. එම දර්ශනය හින්දු ආගමේ ගණ දෙවියන් සිහිපත් කිරීමට යොදා ගත් බව මට සිතිණි. එමෙන්ම ඇතාගේ පෞඩ බල තේජස විදහාපෑමට එය යොදා ගත්තාද විය හැක. ඒ කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් මේ ප්‍රංශ සිනමාකරුවා ( Jacques Audiard) අපේ රටේ ජනවාර්ගික අරගලය දෙස සමබර කෝණයකින් මෙම චිත්‍රපටය තුළින් බලා ඇතිබව මම අවසාන වශයෙන් පවසන්නට කැමැත්තෙමි.
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල