සංචාරක හා ඡායාරුප

රටවල් හතරක ටැක්සි හතරක්

Off

මේ රථගාලට පිටුපසින් පෙනෙන උස් ගොඩනැඟිල්ල Grand Pacific Le-Daiba.ඈතින් ආරුක්කුවක් මෙන් පෙනෙන්නේ දේදුණු පාළමයි (ජායාරූපය මගේ නවාතැනේ සිට )

පිරිසිදුකම අතින් ජපානයට බොහෝ ඈතින් සිටියත් තායිලන්තයේදී සොඳුරු මිනිසුන් දහස් ගනනකගේ මනුස්සකමේ සුවඳ විදගන්නට මට වාසනාව තිබුනි. ඒ ආසියානු තාක්ෂණ ආයතනයේ (AIT) හැදෑරූ දෙවසරක පශ්චාත් උපාධියට පිංසිදු වන්නටය.අප ආයතනය තිබුනේ බැංකොක් සිට කිලෝමීටර 30 ක තරම් දුරින් “පහොල්යෝතින්” නම් අධිවේගී මාර්ගයට සමීපවය.
බැංකොක් වල මාර්ග තදබදය අඩුකිරීමට BTS (Bangkok mass Transit System ) නම් Sky train system එකක් ඇත. අප ආයත නයේ ඉගෙන ගන්නා, උගන්වන සහ අනෙකුත් රාජකාරි කරන සියළු දෙනාම මෙන් අපද නතරව සිටියේ ආයතනය තුල ඇති නිවසකය. එහි සිට බැංකොක් වෙත යාමට බස් තිබුනද ඊට වඩා ජනප්‍රිය වෑන් රථ සේවාවාක් තිබුනි. ඒවා ආරම්භ වන්නේ අපේ ආයතනය ඉදිරිපස සිට අක්කර සිය ගනනක වපසරියක පැතිර ඇති ” තමසාට් ” නම් තායිලන්ත විශ්ව විද්‍යාලයක අවසන් කෙලවරිනි. BTS ආරම්භ වන තැනට පහසුවෙන් යාමට මේ වෑන් රථ යොදවා තිබුණි. මඟීන් 15 දෙනෙකුට ගමන් කළ හැකි ඒ වෑන් අපේ ආයතනය අසලට එනවිට බොහෝවිට ආසනයක් දෙකක් හිස්ව තිබෙන නිසා අපද බැංකොක් යාමට අවශ්‍ය විටක ගමන් පහසුව සලසා ගත්තේ එලෙසය. එහි ගාස්තුව බාට් තිහකි. බස් ගාස්තුවද ඒ ආසන්නම ගනනක් නිසා මේ වෑන් රථයේ ගමන හැම අතින්ම පහසුය. මඟීන් පිරුණ පසු එය යලි නතර කරන්නේ BTS අරඹන තැනිනි. ඒ නිසා මේ ගමනට ගතවන්නේ මගේ මතකයේ හැටියට විනාඩි 20-30 වැනි කාලයකි. ආපසු එන ගමන සදහාද බැංකොක් හි ඇති “Victory monument” අසලදී මේ වෑන් රථයකට ගොඩවීමට පුළුවන. බැංකොක් ගිය හැමදාකම අපි ගමන් පහසුව සලසා ගත්තේ එහෙමය.

මේ කියන කාල වකවානුව වන විට අපේ පුතාගේ වයස අවුරුදු එක හමාරකි. මාත් මගේ සැමියාත් අධ්‍යාපන කටයුතු වල නියැලෙද්දී මවක මෙන් ඔහුව ආදරයෙන් රැක බලාගත්තේ “කුන් නුච්” නම් තායි ජාතික මැදිවිය ඉක්මවූ කාන්තාවකි. කුන් යන්න ජපානයේ “සං” මෙන් තායිලන්තයේ පුද්ගල ආමන්ත්‍රණයේදී යෙදෙන විශේෂණයකි. නමුත් අප ඇතුළු එහි සිටි, සියයකට ආසන්න වූ ලාංකිකයින් සියල්ලෝම මෙලෙස දරුවන් බලාගන්නා කාන්තාවන් හැදින්වුයේ “කූන්” ලෙසිනි. අදටද ඕනෑම කෙනෙකු අපේ පුතා බලාගත් කාන්තාව ගැන කතා කරන්නේ “ඔයාලගේ කූන්” යනුවෙනි.
මේ කියන දවසේ මාත් මගේ සැමියාත්, දේශණ නොතිබුණ පස්වරුවේ කුමක් හෝ අවශ්‍යතාවයකට බැංකොක් ගියේ පුතා කූන් ළඟ සිටියදීය. ගිය වැඩේ අවසන් කර, පුරුදු පරිදි අපි වෑන් රථයක නැඟී “පැතුම්තානී” නම් අප සිටි දෙසට එමින් සිටියෙමු. තායිලන්තයේ මාර්ග පද්ධතිය බොහෝ දියුණුය. නමුත් එය ඉතා සංකීර්ණය. මේ නිසා බහින තැන් කල්තියා රියදුරුට දැනුම් දිය යුතුය. “U turn” මහ ගොඩක් ඇති නිසා ඔහුට අදාල ස්ථාන වලට පහසුවෙන් ළඟා විය හැක්කේ එතකොටය. අප බැසිය යුත්තේ අවසන් නැවතුමේදී හෝ ඊට මීටර් දෙතුන් සීයක් මෙහායින් නිසා අප ඒ ගැන එතරම් සැලකිය යුතු නැතත් වෙන වෙන තැන්වල බහින උදවිය ඒ බව කලින් දැනුම් දීම කරයි.
වෙනදාට තමසාට් කැම්පස් යන අය බොහොමයක් සිටියද එදා ගමනේදී සියළු මඟීන් අතර මඟදී බැසගිය නිසා අවසානයට ඉතුරු වූයේ අප දෙදෙනා පමණි. ඒ නිසා රියදුරු පිටුපස හැරී අපෙන් බහින තැන ඇසීය. මගේ සැමියා අපි AIT අසලින් බහින බව කියන විට ඔහු අධිවේගී මාර්ගයේ මැද කොටසට, එනම් තැන තැන නවත්වන්නේ නැතිව වේගයෙන් යන කොටසට වාහනය ඇතුල් කරගෙන තිබුණි. අප AIT අසලින් බහින බව ඇසූ ඔහු කෝපයෙන් බැණ වදින්නට පටන් ගත්තේය. ඔහු කේන්තියෙන් සිටින බව මිස කියවන කිසි දෙයක් නොතේරෙන නිසා මම සිටියේ සිනාසෙමිනි. ඊට වඩාත් හේතු වූයේ රියදුරු කියන සෑම දේකටම මගේ සැමියා සිංහලෙන් මොන මොනවා හෝ කියන්නට පටන් ගැනීමය. නමුත් වැඩි වේලා නොයවාම මගේ සිනහව රියදුරුගේ කේන්තිය වැඩිකල බව අපට දැනෙන්නට වුයේ ඔහුගේ කියවිල්ලේ වේගය තරමක් වැඩි වූ බැවිනි.
අපේ ආයතනය තිබුනේ මේ පහොල්යෝතින් පාරේ සිට මීටර් තිහ හතලිහක් හැරී ගමන් කළ විටය. ඒ පැත්තට යන්නට නම් වාහනය ගමන් කළ යුත්තේ අවසන් මංතීරුවෙන් වුවත් අපිට බැණ බැණ එන මේ රියදුරා වාහනය ඒ දෙසට ගත හැකි අවසන් තැනින් හෝ රිය ඒ දෙසට හැරවූයේ නැත. බහින තැන ළං වුවද රිය තවමත් තිබුනේ මැද කොටසේය. ඊට එහායින් මේ අධිවේගී කොටස සහ සාමාන්‍ය මාර්ගය වෙන්වන, තණකොළ වැවූ පටු තීරයක්ද ඉන් එහායින් තවත් මං තීරු දෙකක්ද තිබිනි. අපට උවමනා තැනින් රියෙන් බැසගත නොහැකි බව ඒ වනවිට හොදින්ම වැටහී තිබුන බැවින් මා සිතුවේ ඔහු ඊළඟ යූ ටර්න් එකෙන් හරවා අපව පාරේ අනෙක් පසින් බස්සවා වැඩි දුරක් පයින් ඒමට සැලසෙන රැග් එකක් දෙන්නට සූදානම් බවය. එය අධිවේගී මාර්ගයක් වු නිසා පාර මාරු වීමට තිබුනේ ගුවන් පාලම් පමණි. ඒවා දෙකක් අතර සෑහෙන දුරක්ද තිබුනි. නමුත් මගේ බලාපොරොත්තු තඹේකට මායිම් නොකල ඔහු අපේ ආයතනයට හැරෙන තැන අර තණකොළ තීරුව අසලින් රිය නවත්වා අපට ඉක්මනින් බසින ලෙස අණ දුන්නේය. තායි භාෂාව හැසිරවීම ඒ වනවිට කොහෙත්ම කළ හැක්කක් නොවූ නිසාත්, බහිනවා හැර වෙනත් විකල්පයක් නැති නිසා අප වහා රියෙන් බැස ගත්තෙමු.

රියදුරු අපිට බහින්නට සැලැස්වුයේ මේ තණකොල සහිත කොටසටය -අන්තර්ජාලයෙන්
අහසෙ තරු පොළොවෙන් පෙනෙන්නට පටන් ගත්තේ වෑන් රථය ඉගිල ගිය පසුය. අප සිටි තැනට එහායින් තිබුනේ සාමාන්‍ය මංතීරු දෙකක් වුවත් ඒවායේද නොනවත්වාම වේගයෙන් ගමන් කරන රථ පෙළක් තිබුන නිසා පාර මාරුවීම හීනයක් මෙන් විය. විනාඩි දහය පහලොවක් ඒ භයංකාර සිහිනයට මැදිව සිටි අපට පොලීසියටත් අසු නොවී, අනතුරක්ද නොවී කෙසේ හෝ පාර පැනගන්නට අවස්ථාව ලැබුනි. ඊට පෙරද අපට යම් යම් කට්ට කෛරාටික ටැක්සි කරුවන් දෙතුන් දෙනෙකු මුණ ගැසී තිබුනත්, මේ රියදුරා කෝපාවිෂ්ඨව අපව මහ මඟ දමා ගියත්, තායිලන්තය හෝ තායි ජාතිකයින් කෙරෙහි අප්‍රසාදයක් තවමත් මගේ හිත් කොණකවත් නැත.

මගේ සැමියා ඔහුගේ පශ්වාත් උපාධිය සදහා ජපානයට ආවේ 2012 ඔක්තෝබර් පළමු සතියේය. පාසැල් කාලයේ අප දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේය. උසස් පෙළ විභාගයේදී එක සමාන ලකුණු ප්‍රමාණයක් ගත් අපට එකම විශ්ව විද්‍යාලයක එකම පීඨයකට ඇතුල් වීමේ වරමද ලැබුණි. ඉන්පසුවද එකම විෂය පථයක රැදුන නිසාත්, දෙදෙනාටම එක සමාන පංති සාමාර්ථයන් ලබාගත හැකි වූ නිසාත් අප සේවය කළේත්, ආසියානු තාක්ෂණ ආයතයෙනි පශ්චාත් උපාධිය හැදෑරූවේත් එකටමය. ආදරණීය මිතුරෙකු, පෙම්වතෙකු සහ සැමියෙකු ලෙසින් ඔහු දීර්ග කාළයක් තිස්සේ මා සමගම සිටීම නිසා මේ 2012 ඔක්තෝබරයේ ඔහු තනිව විදෙස්ගත වනවිට මට අභියෝග රැසකටම මුහුණ දෙන්නට විය. තනිව වැඩ කටයුතු කිරීමේ අපහසුතාවය හැබෑවටම මා මුලින්ම අත් වින්දේ ඔහු විදෙස්ගත වූ පසුය.
ඒ වනවිට අපේ පුතාගේ වයස අවුරුදු පහට ආසන්නය.කොයි වෙලාවේත් ප්‍රශ්ණ පත්තරයක් දිගහැරගෙන සිටින ඔහු ඒ කාලයේ බොහෝ කටකාර,දඟකාර සහ හිතුවක්කාර කොළු පැටියෙකුව සිටියේය. දැනටද එහි ඒ හැටි වෙනසක් නැත. මේ කියන දවසේ මා සවස හතර හමාර පහ අතර වේලාවක නිවසට පැමිණ තේ එකක් බොමින් සිටියදී ඔහුට පසුදාට පෙරපාසලට රැගෙන යායුතු යමක් මතක් විය. ඒ දිනවල දවල් කාලයේ ඔහුව බලා කියා ගැනීමටත්, රාත්‍රියේ අපේ තනි නොතනියටත්, පොළොන්නරුව පැත්තේ කාන්තාවක් අපේ නිවසේ නතරව සිටියාය. මා දහවලට පුතාව පෙර පාසලින් රැගෙන එන වෙලාවට, මගේ දිවා කෑම පාර්සලයද අතැතිව ගේට්ටුව අසල ඉන්නට ඇය පුරුදුව සිටි නිසා මා කරන්නේ පුතාව එතනින් බස්සවා කෑම එක රැගෙන යලි වැඩට යාමය. මේ නිසා පෙර පාසලේ සිට එන අතරතුර පසුදාට උවමනා දෙයක් කියන්නට පුත්තරයාට අමතක වුවහොත් යලි ඒ බව දැනගන්නට වන්නේ සවසය. ඒ වනවිට තනිව සියල්ල කරගැනීමේ අභියෝගය බාරගෙන සතියකට වඩා ගත වී නොතිබුන නිසා මෙවැනි සුළු අතපසුවීම රාශියක් දිනපතාම සිදුවිය.
පුතාට උවමනා දේ ගෙනෙන්නට මා දැන් ටවුමටම යායුතුය. හිත හිතා ඉන්නට කාලයක් නැති නිසා මා එහෙමම පාරට ගියේ බසයකින් ටවුමට ගොස් උවමනා දේ රැගෙන එන්නටය. අපේ නිවසේ සිට මාතර ටවුමට තිබුනේ කිලෝමීටර එක හමාරක් වැනි දුරකි. එනිසා විනාඩි දහයක් යන්නට මත්තෙන් නගරයේ ප්‍රධාන බස් නැවතුමෙන් බැසගත් මා දැන් මාතර බෝධියට ටිකක් එහායින් ඇති ගුණසේන පොත් සාප්පුවට යායුතුය. එය විනාඩි 5-10 කින් පයින් යාහැකි දුරක් වුවත් රෑ බෝවන්නට පෙර නිවසට යායුතු නිසා මා බස් නැවතුම ඉදිරියේ එක පෙලට නවතා ඇති ත්‍රී රෝද රථයක සහය පැතුවෙමි. අවුරුදු විස්සක් විසි දෙකක් තරම් වයසක වූ තරුණ රියදුරා විනාඩි පහක් යාමට පෙර අදාල ස්ථානයට ගොස් රිය නතර කළේය. නගරයේ සිට කිලෝමීටරයක් වැනි දුරක පිහිටි ගුණසේන එක අසලදී මා ඔහුගෙන් “ගාන කීයද” ඇසුවෙමි.
“දෙසීයක් දෙන්ඩ” ඔහු විදේශිකයෙකුගෙන් මුදල් ඉල්ලන්නාක් මෙන් කීවේය. නගරයේ සිට කිලෝමීටර් හතරක් දුරින් ඇති කැම්පස් එක ළඟට යාමට ඒ කාලයේ අය කළේ රුපියල් සීයක් හෝ එකසිය විස්සකි.
“මේ ඩිංගට දෙසීයක් ගන්නවද?. කැම්පස් එක ළඟට යන්ඩ ගන්නෙත් සීයයි”
“ඒකට කරන්න දෙයක් නෑ. මගේ ගාන දෙසීයයි. අනෙක මිස් කොහොමත් ගාන අහලා නෙවෙයිනෙ ආවෙ” රුපියක් සීයකට එකසිය පනහකට මාතර බස් නැවතුම් පොලේ ඇති ත්‍රීරෝද රියක රියදුරෙකු හා වාද කිරීම මෝඩකමක් ලෙස සිතා මා වෙනත් කිසිවක් නොකියා ඔහුට සීයේ කොල දෙකක් දිගු කළෙමි.
කට්ට කෛරාටික ත්‍රීරෝද රථ රියදුරන් මෙන්ම යහපත් රියදුරන්ද බොහෝ ගනනක් අපේ රට තුලදී ඊට පෙර මෙන්ම පසුවත් හමුව තිබු නිසා මෙය මට සිදු වු මහා අකරතැබ්බයක් නොවීය.එහෙත් මේ සුළු සිදුවීම මගේ මතකයේ තවමත් තිබෙන්නේ වැඩිපුර රුපියල් එකසිය පණහක් ගෙවන්නට වූ නිසා නොව, ඊට සතියකට පෙර මගේ සැමියාට විදෙස්ගත වන්නට වීමත්, වෘත්තීය සමිති අරගලයක් හේතුවෙන් ඒ වනවිට තුන් මසක්ම වැටුප් නොලැබී තිබීමත්, ඉදිරියට කෙතරම් කාලයක් එලෙසම ගතකළ යුතුදැයි නොදැන සිටිමත්, යන කාරණා හේතුවෙන් ඒ දිනවල මගේ පසුම්බියේ තිබූ රුපියලකට පවා ලොකු වටිනාකමක් තිබූ නිසාය.

සොබා දහමේ අපූරුම නිර්මාණයක් වන, දකුණු කොරියාවට අයත් විශාලතම දූපත වන “ජේජු” දූපතට මා ගියේ පහුගිය වසරේ මැයි 25 දාය. මහාචාර්යවරු දෙදෙනා සහ තවත් මිත්‍රයෙකු සමග අප එහි ගියේ conference එකකට සහභාගි වීම සදහාය. එහි ගිය දිනයේ පටන්, අපේ විද්‍යාගාරයේ හෝ යාබද විද්‍යාගාරවල ඉගෙනගෙන, දැන් ජේජු දූපතේ රැකියා කරන කොරියානුවන්ගේ ආගන්තුක සත්කාරයන් හේතුවෙන් දිවා රාත්‍රී කෑම බීම පමණක් නොව ප්‍රවාහන පහසුකම්ද ලැබුනේ නොමිලේය. කෑමට බීමට ලැබුන දේ සහ මඟ දෙපස දුටු දේවල් හැරෙන්නට ඔවුන් අපව රැගෙන යන එන පාරවල් ගැන මහ ලොකු මතකයක් තිබුනේ නැත. මේ කියන දවසේ අපිට රාත්‍රී සාදයක් සදහා ඇරයුම් ලැබී තිබුනේ “Alltech” නම් සත්ව ආහාර නිෂ්පාදනයේ ලොව පුරා ශාඛා ජාලයක් ඇති ඇමරිකානු සමාගමකිනි. ඒ සමාගමේ කොරියානු නියෝජිතයා සාදය සංවිධානය කර තිබූ අතර, ජපානයද ඇතුළුව තවත් රටවල් දහය දොළහක නියෝජිතයින් එහි රැස්ව සිටියහ. ඒ සමාගමේ නියෝජිතයන්ද එහි පැමිණ තිබුණේ අප සහභාගී වූ කොන්ෆරන්ස් එකට සමගාමීව එහිම පැවැත්වූ වෙළඳ ප්‍රදර්ශණයක ප්‍රදර්ශණ කුටියක් පවත්වාගෙන යාමටය.
අපේ විද්‍යාගාරයෙන් පශ්චාත් උපාධිය ලබගෙන පිටව යන බොහෝ දෙනෙකු මේ සමාගමේ විවිධ රට රටවල ඇති ඔවුන්ගේ ශාඛා වල සේවය කරන නිසා අපේ මහාචාර්යවරයාට ඒ සමාගම තුල ලොකු පිළිගැනීමක්ද තිබුනි. සාදය ඇරඹී කා බී විනෝද වන අතරම අපේ ක්ෂේත්‍රයට ඉදිරියේ මුහුණ දෙන්නට වන අභියෝගත්, ඒවාට ඒ ඒ රටවල ඇති සැලැස්මවල් ආදියත් කතා කරමින් රාත්‍රී 11.30 පමණ වන තුරුම අපි රැදී සිටියේ ඔවුන් සමගය. එහි සිටි බොහෝ දෙනෙකු පැමිණ සිටියේ ජපානය හා කොරියාවට වඩා පැය හත අටක් හෝ ඊටත් වැඩි පැය ගනනක් පිටුපසින් සිටින රට වලින් නිසා ඒ කිසිවෙකුට සාදය නිමා කිරීමේ උවමනාවක් හෝ නිදිමතක් නොවීය. එහෙත් අප යායුතු බව මහාචාර්යවරයා පැවසූ පසු කොරියානු නියෝජිතයා අප වෙනුවෙන් කුලී රථ දෙකක් ගෙන්වන ලෙස අවන්හල් හිමිකරුට පැවසීය. ඉන්පසුව ඔවුන්ගෙන් සමුගත් අප මිදුලේ නවතා තිබූ කුලී රථයකට නැගී එන්නට ආවෙ ජපන් ජාතික තවත් මහාචාර්ය වරයෙකු ඔහුගේ බංග්ලාදේශ ගෝලයා සමග අනෙක් රියට නගිද්දීය.
අප යායුතු තැන රියදුරුට දැනුම් දුන්නේ කවුරුන්ද යන්න මට මතක නැත. බොහෝවිට මේ රිය ගෙන්වන්නට ඇත්තේ ඒ තැන් දැනුම් දීමෙන් පසුවය. කොරියානුවන් වමින් රිය පැදවීමත්, පාරවල් මතක තබාගැනීමේ උවමනාවක් නොතිබි නිසාත් රිය ධාවනය වන්නේ කොයි දිශාවටද යන්න පිළිබදව මුලින් මට ඒ හැටි අවබෝධයක් නොවීය. තිබුණ තරමක් බීම ජාති වල රස බලා සිටි අනෙක් තිදෙනාටද එය එසේම වන්නට ඇත. අප ගමන් කරමින් සිටින්නේ යායුතු දිශාවට විරුද්ධ දිශාවට බව අපට අවබෝධ වුයේ Conference එක පැවැත්වූ “Jeju International Convention Center (ICC-JEJU)” එක පහුවන විටය. එවෙලෙහිම රිය නතර කරවාගත් අපි යායුතු දිශාව රියදුරුට දැනුම් දෙද්දී ඔහු මොකද්දෝ හයියෙන් කිව්වද අපට එය නොතේරුනි. බොහෝවිට එය නොසරුප් වදනක් විය යුතු බව අනුමාන කළ හැකි වූයේ ඔහු එතැන් සිට අපි නතරව සිටි හෝටලය අසලට එනතුරුම (විනාඩි පහලොවකට වැඩි කාලයක්) නොනවත්වාම අපිට නොතේරෙන කොරියානු භාෂාවෙන් මොන මොනවාදෝ කියවමින් මට අර පරණ තායි ජාතික රියදුරා මතක් කරවමින් පැමිණි නිසාය.

පාර වැරදුන බව තේරුම් ගියේ මේ දිනපතා ආව ගිය මේ ගොඩනැඟිල්ල පසුවන විටය
කොරියාවත් ජපානයත් අතර බොහෝ සමානකම් තිබෙන බව දැන සිටි මා ඒ ජාතීන් දෙක අතර ඇති වෙනස්කම් බොහොමයක් හදුනා ගත්තේ මගේ කොරියානු මිත්‍රයන්ගේ ක්‍රියා කලාපයන් ජපනුන් සමග සසදමිනි. අහස උසට නැගි කොන්ක්‍රීට් ගොඩනැගිලි පිරි තෝක්යෝවේ සිට, සිහිල් සුළං හමන, ගහකොළ, දිය ඇළි වලින් හැඩ වැඩ වූ ජේජූ දූපතේදී මට මේ රටවල් දෙක අතර ඇති තවත් සමානකම් මෙන්ම වෙනස්කම්ද බොහොමයක් හදුනාගත හැකි විය. කුලී රථ රියදුරාද ඊට සහය වූවා මිස කොරියාව සහ කොරියානුවන් ගැන මහිතේ වූ විශේෂිත නොවූ හැඟීම ඉන් අඩු-වැඩි වුයේ නැත.

මාසයක කෙටි නිවාඩුවක් ලංකාවේ ගතකර, එතෙක් දිනක් මා සමග ජපානයේ සිටි සැමියා සහ පුතණුවන් ලංකාවේ සිටියදී මා යලි ජපානයට පා තැබුවේ පහුගිය ඔක්තෝබර් 26 උදේ අටට ආසන්න වෙලාවකය. නරීටා ගුවන් තොටුපලේ සිට මගේ අළුත් නවාතැන පිහිටි “ඔදයිබා” නම් තෝක්යෝ බොක්ක මැද වසර දෙතුන් සීයකට උඩදී ඉදිකල කෘතිම දූපතට පැමිණීමට මා භාවිතා කලේ බස් රථයක්ය. එය මගේ නවාතැන පෙනෙන මානයේ, මීටර් හත් අටසීයක දුරින් පිහිටි හෝටලයක් දක්වා ගමන් කරන නිසා, සූට් කේස් දෙකක්ද රැගෙන දුම්රියක ගමන් කරනවාට වඩා බසයකින් පැමිණීම මට පහසු විය. Grand Pacific Le-Daiba හෝටලය ඉදිරියෙන් මා බසයෙන් බසින විට වෙලාව උදෑසන 10 ට ආසන්නය.
මා පැමිණි ගුවන් යානය කටුනායකින් පිටත් වූයේ පෙරදින සවස 7.20 ට පමණය. ගත පෙලූ විඩාවත්, සිත පෙලූ වේදනාව, පාළුව තනිකම ආදී අටෝරාශියක් හැඟීමුත් විසින් අඩපණව සිටි මා ඒ අසල තිබූ ටැක්සි රථ ගාල දෙස බලා අත එසවූයේ, ගුවනින් ගෙන ආ හැකි උපරිම බර වූ කිලෝ තිස් හතට වැඩි මිස අඩු නැති මගේ සූට්කේස් දෙක ඇදගෙන පයින් ගමන් කිරීම එවෙලෙහි බොහෝ දුෂ්කර කාර්යක් ලෙස මට දැනුන නිසාය.
අවුරුදු හැටක් හෝ ඒ ආසන්න වයසක යැයි අනුමාන කළ හැකි වයසක සිටි, ටයි කෝට් පැළදි ප්‍රියමනාප පෙනුමකින් යුත් ටැක්සි රියදුරා මට පිටුපස දොර විවර කරදී රියෙන් බැස මගේ සූට් කේස් දෙක ඩිකියට පටවා ගත්තේය. ඉන්පසු රියට නැගුන ඔහු මගෙන් යායුතු ලිපිනය ඇසීය. මගේ නවාතැනත් මේ හෝටලයත් අතර වෙනත් කිසිදු ගොඩනැගිල්ලක් නැත. ඒ දෙක අතර තිබෙන්නේ උද්‍යානයක් සහ විශාල රථ ගාලකි. එනිසා යායුතු තැන අත දිගුකර පෙන්විය හැකි වුවත් ජපානයේ රියදුරන්ට GPS navigation නොමැතිව තමාගේ නිවසටමවත් යා හැකිදැයි නොදන්නා නිසා මා ඔහුට මගේ ලිපිනය බලා ගැනීමට, ජපන් අකුරින් එය මුද්‍රණය කර තිබූ Alien Registration card පත දිගු කළෙමි. එහි මා පෙර නතරව සිටි තැන ලිපිනයත්, නව ලිපිනයත් යන දෙකම තිබුන නිසා මා ඔහුට ඇඟිල්ල තබා අදාල ලිපිනය පෙන්වූ පසු ඔහු එය Navigation system එකට ඇතුල් කර ගමන පටන් ගත්තේය.
මා සිතා සිටියේ හෝටලයේ සිට මගේ නවාතැනට කෙලින්ම යාහැකි බව වුවත් රිය හැරවූයේ මා බලාපොරොත්තු වූ දිශාවට විරුද්ද දෙසකටය. අපි සිතන දිශාවටම මේ පාරවල්වල වාහන ධාවනය කළ නොහැකි බව දන්නා නිසා මා ඉවසිල්ලේ බලා සිටියෙමි. වාහනය තව ටිකක් ඉදිරියට ගොස් දකුණට හැරවූ විට මගේ නවාතැන දෙසට යාහැකි වුවත් එය හැරවූයේ වමටය. මම වහාම ඔහුට මා යායුතු පෙදෙසෙ නම කියා සිටියෙමි. ඔහු හරි හරි කියා රිය ඉදිරියට ගනිද්දී මම පරිගණක තිරය දෙස බලා සිටියේ මොහු යන්නට හදන්නේ කුමන පාරකින්දැයි සිතාගත නොහැකිවය. මට සිතුනේ ඔහු මා රවටා වටයකින් අදාල තැනට රැගෙන ගොස් වැඩි මුදලක් ගන්නට උත්සහ කරන බවය. මුල් කිලෝමීටර දෙකට අයකරන ගාස්තුව යෙන් 730 කි. මා රියට නැඟුන තැන සිට යායුතු තැනට කිලෝමීටරයක දුරක්වත් නොතිබුනද දැන් මුල් කිලෝමීටර දෙක අවසන්ව මීටරයේ සටහන් ගනනද වෙනස් වෙමින් තිබේ. මා ඔහුට යලිත් වරක් මා යායුත්තේ “කොතෝ” දෙසට බව පැවසීමි. එවෙලෙහිද ඔහු හරි හරි කියා ගමනේ යෙදුනේය.
මට තරු පෙනෙන්නට පටන් ගත්තේ ඔහු “දේදුණු පාළම” ලෙසින් හදුන්වන, අප සිටින කෘතිම දූපතත්, ප්‍රධාන දූපතත් යා කරමින් තෝක්යෝ බොක්ක හරහා ඉදිකර ඇති දීර්ග පාළමට රිය ඇතුල් කරන විටය. මා පෙර නතරව සිටි අපේ විශ්ව විද්‍යාලය දෙසට යායුත්තේ මේ පාළම පසු කරමිනි. එනිසා ඔහු මේ මා රැගෙන යන්නේ ඒ ලිපිනයට බව දැන් පැහැදිලිය. එනිසා මා ඔහුට යලිත් කතා කර මා යායුත්තේ ඒ දෙසට නොව, අනෙක් පසට බව යලිත් අර ලිපිනය සහිත කාඩ්පත පෙන්වා පැවසීමි. කාඩ්පත දෙස බැලූ ඔහුට වරද අවබෝධ වුවත් පාළම පසුකරන තුරු රිය හරවා ගත හැකි තැනක් නොවීය. ඔහු ඔහුට වරදක් සිදු වූ බවත්, ඊට සමා වන ලෙසත් කිහිප සැරයක්ම පවසා පාළම අවසන් වූ පසු අතුරු පාරකට කර රිය නවතා මගේ කාඩ්පතේ වූ අනෙක් ලිපිනය ඇතුල් කරගත්තේය. දිර්ග පාළමක් වූ දේදුනු පාළම පසුකර ඔහු රිය නතර කරන විට, ගාස්තුව ලෙස යෙන් දෙදහසකට ආසන්න මුදලක් මීටරයේ සටහන්ව තිබුණි.

 

සිදු වූ වරදට ඔහුත් මාත් දෙදෙනාම සම සමව වග කිවයුතු නිසා මට හිතුනේ ඔහු දැන් මීටරය නතර කර මේ වනවිට එහි සටහන් මිළ පමණක් මගෙන් අයකල යුතු බවය. මගේ සිතුවිල්ල එසේ වුවත් ඔහු පුරුදු පරිදි රිය ධාවනයේ යෙදෙද්දී එහි මිළ ක්‍රමයෙන් ඉහළ ගොස් මා බැසිය යුතු ස්ථානයට එනවිට එය හාරදාසකට ආසන්න වූ බව මට මතකය. කිසිවක් සිදු නොවූ පරිදි මට බහින්නට ඔහු ස්වයංක්‍රීයව දොර විවර කළද මා බහින්නට ඉක්මන් නොවීමි. ජපානයේ සාමාන්‍යයෙන් මුදල් අතට දීම හෝ ගැනීම නොකරයි. වෙළද සැලක වුවත්, බැංකුවක් හෝ වෙනත් ආයතනයක වුවත් මුදල් තැබීමට කුඩා Tay එකක් භාවිතා කරයි. ඉතිරි මුදල් ලබා දෙන්නේද ඒ Tray එක හරහාය.
ටැක්සි වලදීද එහි වෙනසක් නැති නිසා ඔහු දොර ඇරියද මා නොබැස බලා සිටියේ ඔහු රිසිට්පත සමග Tray එක මට ඉදිරිපත් නොකළ නිසාය. එහෙත් ඔහු මා රිය තුල සිටියදීම ඉන් බැසවිත් මගේ සූට්කේස් දෙක ගෙන බිම තැබූ නිසා මා රියෙන් බැස්සේ ඔහු දෙසට යෙන් පන්දහසේ නෝට්ටුවක් දිගු කරමිනි. අත සමගම හිසද දෙපසට සොලවමින් මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු නැවත වරක් සිදු වූ වරදටත්, ඒ නිසා වැය වූ කාලයටත් මගෙන් සමාව ඇයදීය. ජපානයේදී බොහෝවිට කෙනෙකු යමක් කතා කිරීමට හෝ විස්තර කිරීමට හෝ වෙනත් කටයුත්තකට කතා කිරීමේදී පවා ඊට ගතවන කාලය ගැන ගැටළුවක් ඇත්ද යන්න විමසයි. මේ රියදුරුද මගෙන් කිහිප වරක්ම කාලය ගැටළුවක්ද යන්න විමසීය. විනාඩි පහක ගමනට අඩ හෝරාවකට වඩා ගත වි තිබුණත් මා ඔහුට එය ගැටළුවක් නොවන බව පැවසූ පසු ඔහු මට සුබ දවසක් ප්‍රාර්ථනා කර නික්ම ගියේ ජපනුන් කෙරේ මගේ හිත තුල වූ පැහැදීම තව තවත් වැඩි කරවමිනි.

අදහස සහ අයිතිය බ්ලොග්කරුවා සතුය උපුටා ගත්තේ මෙතැනින්
https://sandamalisakunthala.blogspot.com/2016/05/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල