විචාර

සාමා අමර මෙහෙ එන්න. මේ සල් ගහ යට තමිලිනි දකින්න.

Off

ගං වතුර හිදී යයි.
විගහින් හිදීයන්
ආයෙත් නොගලන්න මේ වගේ
හිදී යන වතුර එක්ක මතු වෙන යතාර්ථය
තවත් වේදනාකාරිය. මහා ජාතිවාදයේ
උන්මතක ආගමිකජාතික වාදය නිසා
1948 සිට මේ රට පාලනය කළ
සිංහල ප්‍රභූ පන්තිය කර ඇත්තේ අපමණ
විනාසය හුදෙක් ප්‍රජතන්ත්‍ර වාදයට පමණක් සීමා නොවී
එය මේ දිවයිනේ සකල ස්වාබහවයම උඩු යටි කුරු කර ඇත
ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්ත දේශපාලනය එයට නිත්‍යානු සුජාත බවක්
ලබාදුණි. නමුත් යථ අප විසින් බැහැර කල නොහැක
අන්ත ජාතිවාදීන් හා ප්‍රජාතන්ත්‍රවාදය අගය නොකරන අයවලුන් හා වික්ටෝරියානු සුචරිතවාදීන් කිහිප දෙනකු හැර මා දන්නා අති බහුතරය සිංහල අයට මා
‘හොඳ දෙමළෙකි’.
ඒ මා සිංහල බසින් , බෞද්ධ පාසලකින් ඉගෙන ගෙන, සිංහල සංස්කෘතියටත් බෞද්ධ භික්ෂුවට ගරු කරන්නට මැළි නොවන, සුබ්‍රමන්ය භාරති තරමටම , රත්න ශ්‍රී විජේසිංහ කවියටත් පෙම් බදිනා, මාතර පොල් සම්බෝලය මෙන්ම පොළොන්නරුවේ වැව් මාළුවත් රස විඳින,
මාගේ ජිවිතයේ 90% ම මා දරා ගන්නා මිතුරන් සිංහල වන නිසාත් පමණක් නොවෙයි.
මම හොඳ දෙමළෙක් වෙන්නේ
යාපනයේදී පමණක් නොව ද්‍රාවිඩ ව්‍යාප්ත අගනුවර වන චෙන්නායිවලදීත් දෙමළ බෙදුම්වාදයේ ශුද්ධ වූ භුමිය වන ටොරොන්ටෝ ස්කාබෝරෝවලදීත්
ඊළාම් බෙදුම්වාදයට ප්‍රසිද්ධියේම විරුද්ධ වන නිසාය.
මම දෙමළ ජනයා ‘ජාතියක් ‘ (a nation) හැටියට වාද කරමි. එනිසා ඔවුන්ගේ දේශපාලනික ස්වතන්ත්‍ර නිර්ණය අයිතියද ( right to self determination) ස්වාධීන රාජයකට ඇති නෛතික බවත් න්‍යායාත්මකව සැකයකින් තොරව පිළිගනිමි. අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පෙනී සිටිමි.
නමුත් ‘ඊළමට’ මා විරුද්ධ වන කරුණු 4ක් ඇත.
1. ඊළම, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ( Participatory Democracy) වෙනුවට වාර්ගික (ethnic) රාජ්‍යයක් වීම
2. තවමත් එකට සිටිමින් පොදු සිවිල් දේශයක් (Civic State ගොඩනැගීමේ අවකාශය තිබීම
3. නව රාජ්‍යයක් දකුණු ආසියාවේ ඇති වෙන්නට සාධනීය ජාත්‍යන්තර ‘අවසරයක් ‘ නොතිබීම හා
මේ සියල්ලටම වඩා
4. එකා පිට එක මැරී වැටුණත් ලංකාව බෙදා දෙන්නට දකුණේ බහුතරයක් සිංහලයන් දිවිහිමියෙන් අකමැති වීම
මම ඊළමට විරුද්ධ වන්නේ යම් සේද , සිංහල-බෞද්ධ බහුතරයේ ආධිපත්‍යවාදී / ආක්‍රමණික රාජ්‍ය වාදයටත් විරුද්ධ වෙමි .
මේ නිසා මා නිතර කියන්නා සේ, සිංහලයන් සොඳුරු ජන කොටසකි. ඔවුන්ගේ බෞද්ධ ධර්මය දාර්ශනිකය. ජීවන සංස්කෘතය සියුම්ය. නමුත්
සිංහල සාමුහික දේශපානය මාරාන්තිකය. එය වාර්ගිකය. එයින් පැන නගින රාජ්‍ය තන්ත්‍රණය හුදෙක් දෙමළාට පමණක් නොව, සිංහල ප්‍රභූ පන්තියට අයිති නැති සකලවිධ වාර්ගික, ආගමික, සංස්කෘතික අනෙකාට මර්ධනකාරිය. එය මනුෂ්‍යයන්ට පමණක් සීමා නොවී මේ සුන්දර දිවයිනේ සම අයිතිකරුවන් වන සතා සිව්‍පා ගහ කොළ ඇල දොළ දක්වාත් විහිදුන අධිපති මතවාදී ව්‍යුහාත්මක ආක්‍රමණයකි.
ඒ නිසා අසිංහල අපට සිංහල දේශපාලනය සමග මාරාන්තික ප්‍රශ්න රාශියක් ඇත.
වෙගයෙන් විසදිය යුතු ප්‍රශ්න රාශියක් ඇත. (ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ) අරගලයකින් එම ප්‍රශ්නවලට විසදුඳුම් සෙවිය යුතුයි සිතමි.
දැන් මම ඒ තරම්ම ‘හොඳ’ දෙමළෙක් විය නොහැකිය.
මේ බව තහවුරු වූ මෑත සිද්ධියක් ඇත.

thamilini
එනම් තමිලිනි කියවීම නොහොත් කොටි දෙනට සාරි ඇන්දවීමයි.
තමිලිනි මට 10 වතාවක් පමණ හමු වෙන්නේ 2009 අවසන් වටයේ යුද්ධයට කලින්ය. එනම් කොටියා රජ කළ දවසේ දීය . සිංහලයන් කොටියාට බයේ ජීවත් වුණ සමයේ දීය. ඒ අතර, තරාකී – සිවරාම් සමග වන්නියේ සංචාරය කර මහා ඝන අදුරු දවසක තමිල් චෙල්වම් එක්ක රතු හාල් බත් සමග කරවල කෑ දවසත් , මා සිංහල සමාජයට ප්‍රතිබද්ධ කල මාගේ ප්‍රාණ ප්‍රිය මිතු (මහාචාර්ය) ජගත් වීරසිංහගේ දෘශ්‍ය ප්‍රදර්ශයන යාපන පුස්තකාලයේ සංවිධා නය කරන්නට මා පෙරගමන් කරුවෙකු හැටියට වන්නියට ගිය දවසේ සිදු වූ තමිලිනි හමුවීමත් සුවිශේෂය .
මගේ වන්නි ගමන්වල අරමුණ වුනේ දකුණේ මධ්‍යස්ථ සිංහල බුද්ධිමතුන් සමග
ආයුධ වලින් තොරව පොදු අරගලයකට කොටි දේශපාලනයේ ඇති අවකාශය සොයා බැලීමය.
සයනයිඩ් කරලත්, ටි 56ත් අතින් ගත් පුරුෂාධිපත්‍යයේ ගැඹුරුම යුද පිටියක
තමිලිනි සැහැල්ලුවෙන්, සිනාවෙන් පිය සැලුවාය. අගේ සිනාව සොඳුරුය. අවංකය.
නමුත් තමිලිනි මේ සියල්ලටම වඩා කැපී පෙනුනේ තම ජනයාගේ දේශපාලන, සමාජීය, හා ආත්ම ගෞරවය වෙනුවෙන් අවිගත් දිවි නසන්නට වෙර ඇති ‘දෙමළ’ සටන් කාමිනියක් හැටියටය.
මා දන්නා තමිලිනි කිසි දිනෙක ‘සිවිල් ‘ නොවීය . සාම ගිවිසුම සමයේත් ඇය සැරසී සිටියේ කොටි කලිසම, ලා නිල් කමිසය හා කළු බැඳ පටියෙන්ය, අඩුවට තුබුණේ 9 mm පිස්තෝලය පමණි.
2009 පසු අපි හමු වුනේ නැත නමුත් 2009-2015 දී ඇය ජීවිතය හා දේශපාලනය වෙනස් කෝණයකින් දැක ඇති බව ඇය විසින්ම ලියා තබා ගොස් ඇත. තමිලිනිගේ පොතෙන් මතු වන පශ්චාත් යුද දෙමළ මානසිකත්වය හා එහි දේශපානය ගැන ඉදිරියේ දී ලියන්නට සිතමි.
(ඒ මා මිත්‍ර සොඳුරු මිනිසා Saminadan Wimal ගේ සිංහල පරිවර්තනයෙන් මතු වෙන තමිලිනි සමග දොඩමලු වූ පසුව)
නමුත් මට එක වරම පැන නගිනා දැවැන්තම ප්‍රශ්නය නම් සිංහලයන් මේ තරමට ලෙන්ගතු වන්නේ සැබෑ තමිලිනිටද? එසේ නැතිනම් මන් වගේම ‘හොඳ වූ’ දෙමලිච්චියෙකුටද? අධිපති මතවාදීන් ආසා කරන තරමටම සිංහල වූ නිසාද?
දෙමළ පොතේ කවරයේ කොටි නිල ඇදුමෙන් ඉන්න තමිලිනි
සිංහල පොතේ (මධ්‍යම පාන්තික ඩෙනිම් අදින කෙල්ලෝ ‘ No more July” වලදී පළදින රතු පොට්ටුවවත් නැතිව) ඒ වෙනුවට චාම් විදියට සාරි ඇඳ Bun හැඩයට කොන්ඩෙ දමා සිහින් කර මාලා ඇන්දේ අවශ්‍ය ප්‍රමාණයට සිංහලකරණයට යටත් වීමටද?
මා දැන සිටි තමිලිනි දකුණ පහසුවෙන් /ආදරෙන් වැළද ගන්න පුළුවන් ‘හොඳ දෙමලිට්ච්චියෙක්’ නොවෙයි. තම ජනයාගේ නිදහස වෙනුවෙන් කුලය , වයස, ලිංග භේදය, වැනි සියලු වැඩවසම් යාන්ත්‍රණයන්ට විරුද්ධවත් මහා ජාතිවාදී සිංහල-බෞද්ධ ආක්‍රමණයටත් විරුද්ධව අවි දැරූ කොටි ඇදුමෙන් සැරසුන අභීත ගැහැනියක්ය .
කොළඹ NGO ගැහැණුන් ස්ත්‍රීවාදය ගැන තරු 5 යේ සම්මන්ත්‍රණ තියද්දි , වනයක් මැද සිංහල හමුදාවේ වෙඩි උණ්ඩය මුහුණදෙමින් සටන් වැදුන අපේ යුගයේ සැබෑ සෙබළියක් වූ ඇය ලංකික Zoya Kosmodemyanskaya විය නොහැකිද?
ව්‍යුහාත්මක දේශපාන අරගලයේදී අපට අවශ්‍ය පරිදි අනෙකා සංස්කරණය කළ හැකිද?
සැබෑ ජාතික විමුක්ති අරගලයකදී අපට හමුවෙන්නේ කොටිදෙනක් ද? සමස්ථ මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් උර දෙන උදාර ස්ත්‍රීත්වයද ?
දෘශ්‍ය කලාවේ අති ප්‍රබල සෙන්පතියකු වන මානව දයාවෙන් පරිපුන් ධර්මසිරි බණ්ඩාරනායක වැනි ප්‍රබලයෙකු පවා ‘සිංහලකරණය හසුවුණු ‘හොඳ දෙමළ තමිලිනි අපට දෙන්නේ සිංහල සමාජය තවමත් එවැනි පුළුල් මානව දේශපාලනයට සුදානම් නැති නිසා ද?
තමිලිනි සිංහල පොතෙන් ලැබෙන ආදායම මහරගම පිළිකා රෝහලට දෙන මෙන් ඉල්ලා ඇති නිසා වෙසක් මාසයේ සිංහල බෞද්ධ ආත්මය සදහම් සිසිලෙන් තෙත් වුනේ තමිල්ලිනි මොන තරම බෞද්ධ ද දැන් කියා වෙන්න ට ඇති.
නමුත් මා දකින හැටියට තමිලිනි සිය මරණයෙන් ඔබ්බට පවා දේශපාලනික පණිවිඩයක් එවා ඇත
එනම් සිංහල සමාජයේ දේශපානය පිලිකාවකි
එය සුව කල හැක්කේ මහා ජාති ඔවුන්ට පමණි
මේ දිවයිනේ දේශපාලන සුවයක් ලබෙන්නටනම් ,
1956, 1971, 88-89 83-2009, යුද්දෙන් මිය ගිය සියලු දෙනාගේ ජීවිත වලින් නැගෙන විලාපයට සවන් දී එය නිම කරන මෙහෙයවුමට සම්මාදම් විය යුතුය
එය කල හැක්කේ
තමිලිනි තමිලිනි හැටියට (හෝ අඩුම තරමින් කෝගිලා කෝකිලා හැටියට ) දකින්න පුළුවන්
“නියම’ සිංහල බෞධයන් ට පමණී යන්නයි.

 

ආචාර්ය සුරේන් රාඝවන්

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල